UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කළ කම් පළදෙන හැටි: කර්ම විපාක

කළ කම් පළදෙන හැටි: කර්ම විපාක

ලෝකය තුළ දැනට පවතින ආගම් අධ්‍යයනය කරන විට එම ආගම්වල මිනිස් ස්වභාවය පිළිබඳ කරනු ලබන විග්‍රයන් දක්නට ලැබේ.එම ආගම් බොහෝ ප්‍රමාණයක්ම නිර්මාණවාදී ආගම් ලෙස දැකිය හැකි ය.කිසියම් වූ නිර්මාණයකින් ආගම ආරම්භ කිරීමේ විධි ක්‍රම පවතින ආගම් නිර්මාණවාදී ආගම් ලෙස හැඳින්විය හැකියි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය නිර්මාණවාදයෙන් ආරම්භ නොවන නිසා ම එම ධර්මය ස්වභාවධර්මවාදී ආගමක් ලෙස හැඳින්වේ. ස්වභාවධර්මයේ විධි ක්‍රමයට අනුගතව, ආගමික විධි ක්‍රම ආරම්භ වූ බව බුදු බණෙහි දක්වා ඇත.

අනෙක් ආගම් තුළ නොමැති අලුත් දර්ශනයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළහ.එය සංසාරය නමැති වචනයෙන් අර්ථ ගැන්වේ. කිසියම් සත්ත්වයෙකු වර්තමානයට අනුව දක්නට ලැබෙන විට, එම සත්ත්වයා මීට පෙර ආත්ම ගණනාවක උප්්පත්තිය ලබා ඇති බව බුදු දහමෙහි නිගමනය වේ. උප්පත්තිය ලැබූ ආත්ම ගණන කිසිවෙකුටත් ප්‍රකාශ කළ නොහැකි ය. එම කාරණාව වෙනත් කිසිම ආගමක, දර්ශනයක උගන්වා නැත. එම සත්ත්වයා තුන්තරා බෝධියෙන් ,එක්තරා බෝධියකට පැමිණ නිවන් දකින බව බෞද්ධ දර්ශනයෙහි සඳහන් ය. බුද්ධත්වයට පත්වීම, පසේබුද්ධත්වයට පත්වීම , මහරහත් බවට පත්වීම තුන්තරා බෝධිය ලෙස හැඳින්වේ. වර්තමානයෙහි ජීවත්වන සෑම සත්ත්වයෙක් ම මතුයම් දිනයක එවැනි ආකාරයෙන් සංසාර ගමන නිමාකරන බව බුදු දහමේ ඉගැන්වේ. සංසාර ගමන නිමා කරන තුරු කෙතරම් කාලයක් ඔහුට උප්පත්තිය ලැබීමට සිදුවේවිද? යන කාරණාව කිසිවෙකුටත් පැහැදිලිව ප්‍රකාශ කළ නොහැකි ය.බුදුරජාණන් වහන්සේ නමකට පමණක් දේශනා කළ හැකි ය.මේ අනුව ඉපදෙමින් මැරෙමින්, සත්ත්වයා සංසාරයෙහි ගමන් කරන ආකාරය පැහැදිලි වේ. මේ ආත්මභාවයේ දී කරනු ලබන කාර්යයන් සංසාර ගමනේ එක් පරිච්ජේදයක් වේ. බුදුරජාණන් වහන්සේගේ දේශනා අනුව මෙවැනි ආකාරයෙන් උපදින සත්ත්වයා සමඟ අවට පරිසරයෙහි ඔහු ඇසුරු කරන සමීප සම්බන්ධතා පවත්වන සෙසු සත්ත්වයන් ද, එකම පිරිසක් ලෙස නැවත ඉපදෙමින් ගමන් කරන බව පැහැදිලි වේ. එම පිරිස අතරින් සමීප පිරිස ලෙස දක්වනු ලබන ලේ ඥාාතීන් තමන්ට ලේ ඥාතීන් ලෙස සම්බන්ධතා ගොඩනැගීමටත් පෙර, සංසාරගත සම්බන්ධකමක් තිබිය යුතු බව බුදු දහමේ සඳහන් වේ. සතර වරිගයේ ලේ ඥාතීන් ලෙස සංස්කෘතියෙහි තවදුරටත් විග්‍රහ කර ඇත. තමාගේ තාත්තාගේ මව්පිය දෙපාර්ශවයේ ම ඈත මෑත ඥාතීන් ද, අම්මාගේ මව්පිය දෙපාර්ශවයේ ම ඈත මෑත ඥාතීන් ද වශයෙන් සතර වරිගය හැඳින්වේ.

කිසියම් සත්ත්වයෙක් උප්පත්තිය ලබන විට එම සතර වරිගයේ ජානවල කර්ම ශක්තීන් වශයෙන් කිසියම් මිශ්‍රණයක් දක්නට ලැබේ. එම ළමයින් වෙනම අධ්‍යයනය කර බලන විට එම ස්වභාවය වෙනම වටහාගත හැකි ය.

ඇතැම් දරුවන් මව්පිය දෙපාර්ශවයෙහිම ගතිගුණ දැකිය හැකි ය. රූපකාය , කායික ක්‍රියා යන සියලු ඇවතුම් පැවතුම් එක සමාන වීමට කර්ම ශක්තිය හේතුවක් වන බව බුදු දහමේ විග්‍රහ වේ.වෛද්‍ය විද්‍යාවේ ජාන ලෙස හැඳින්වේ.

කම්ම යන පාලි වචනය පුඤ්ඤ කම්ම හා පාප කම්ම ලෙස කොටස් දෙකකට බෙදා දක්වයි. ලේ උරුමය අනුව ලේ ඥාතීන් ලෙස ඉපදීම ඔහුගේ පින හෝ පව යන ස්වභාවයන් දෙකෙහි ම මිශ්‍රණයකි. කිසියම් සත්ත්වයෙකු වර්තමානයෙහි ක්‍රියාත්මක වනවා නම්, ඔහුගේ එම ක්‍රියාදාමය ඔහුගේ මව්පිය පාර්ශ්වයන් අධ්‍යනය කළ විට හඳුනාගත හැක. පුද්ගලයන් වශයෙන් වර්තමානයෙහි විවිධ තත්ත්වයන් තුළ ජීවත්වුව ද, ඒ ඒ පුද්ගලයාගේ ක්‍රියාදාමයන් පාරම්පරික ලේ උරුමයට සම්බන්ධ වේ.පරම්පරා හතකට එහා තමාට සමානව පුද්ගලයෙකු ජීවත්ව සිට ඇති බවට සංස්කෘතික විශ්වාසයන් පවතී. ඒ අනුව ලේ ඥාතින් කම්ම නෑයන් ලෙස බුදු දහමේ හැඳින්වේ.කම්ම රෝග යන වචනය වරදවා වටහාගැනීමක් සමජයේ පවතී. කිසියම් පුද්ගලයෙකුට දරුණු රෝගයක් වැළඳුන විට එම පුද්ගලයාගේ කර්මය මත ගොඩනැගුණ තත්ත්වයක් ලෙසට ඇතැමුන් ප්‍රකාශ කිරීමට පුරුදුව සිටී. නමුත් ලේ උරුමයෙන් පරම්පරාවෙන් පැමිණෙන රෝග කම්ම රෝග ලෙස බුදු දහමේ දැක්වේ.අම්මාට වැළඳුන රෝගය කම්ම ලෙස ජාන අනුව දුවට වැළදිය හැකිය.ඇතැම් අවස්ථාවල ආච්චිගේ රෝගය මිනිබිරියට මුණුබුරාට වැළඳිය හැකිිය.

ලේ උරුමයෙන් පැමිණෙන රෝග කම්ම රෝගවේ. එම කාරණාව සාමාන්‍ය පුද්ගලයෙකුට ඇසට නොපෙනෙන නිසා එය විග්‍රහ කළ නොහැකි ය. අන්වීක්ෂයකින් පෙර සංසාරය පිළිබඳව සෙවිය නොහැකි නිසා වෛද්‍ය විද්‍යාවේ ද එය සඳහන් නොවේ.පුනරුප්පත්ති පර්යේෂණ තුළින් එවැනි සිදුවීම් සොයාගත් අවස්ථා දක්නට ලැබේ.පෙර පුනරුප්පත්ති පර්යේෂණ අනුව කර්මය පළදෙන ආකාරය සොයාගත හැකි ය.

පුනරුප්පත්ති පර්යේෂණ කළ අමෙරිකාවේ වර්ජිනියා විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකු වූ ඉයන් ස්ටීවන්සන් මහතා ලෝකයේ පුනරුප්පත්ති පර්යේෂණ තුළින් සංසාරයේ කර්ම විපාක පළදෙන ආකාරය පිළිබඳව ඔහු දීර්ඝකාලීනව වශයෙන් කළ පර්යේෂණ වර්තමානයෙහි ලෝකප්‍රකටව පවතී. ඉයන් ස්ටීවන්සන් ශ්‍රී ලංකාවට පැමිණ සිදුකළ පුණරුප්පත්ති පර්යේෂණ තුළින් ද, කර්මය පළදෙන ආකාරය, පිළිබඳ කරුණු කාරණා ගොන්නක් ලෝකයට හෙළිදරව් විය. බලංගොඩ විජේරත්න පිළිබඳ සිදුවිම ප්‍රකටව පවතී.බලංගොඩ විජේරත්න නම්න් උප්පත්තිය ලැබූ දරුවා බහ තෝරන වියේ සිටම යම් යම් කාරණා ප්‍රකාශ කළ අතර ඔහුගේ කායික ස්වභාවය ද වෙනස් ස්වරූපයක් ගෙන ඇත. විජේරත්න දරුවා ගිය ආත්මය පිළිබඳව කතා කරන බව දැනගැනීමත් සමඟ ඉයන් ස්ටීවන්සන් ලංකාවට පැමිණ ඔහු පිළිබඳ පර්යේෂණයක් ද කර ඇත.ඔහුගේ වම් අත නිරෝගී වුව ද, දකුණු අත සොත්ති අතක් ලෙස සකස්වී තිබ්ණි. ඔහු අධ්‍යයනය කළ විට ඔහුගේ පපුවේ වම් අංශයෙහි අසාමාන්‍ය උපන් ලපයක් මෙන් විශාල කලු පැල්ලමක් ඇති බවටද, ඉයන් ස්ටීවන්සන්ට සොයාගැනීමට හැකි විය.

විජේරත්න දරුවා සඳහන් කරන ආකාරයට ඔහු පෙර ආත්මයේ දී රත්තරන්හාමි ලෙස කුළී වැඩ කරම්න් ජීවත් වූ සාමාන්‍ය විවාහක තරුණයෙකි. කුලි වැඩ කරම්න් සතියකට, මසකට වරක් රත්තරන්හාමි ගෙදරට පැම්ණෙන බව ඔහුගේ බිරිඳ දැන සිටි කාරණාවක්. දරුවන් නොලැබුණ ද, බොහොම සැහැල්ලුවෙන් සතුටෙන් සමාදානයෙන් රත්තරන්හාමි තම බිරිඳ සමඟ ජීවත්ව ඇත. කාලයාගේ ඇවෑමෙන් බිරිඳ වෙනත් පුද්ගලයෙකු සමඟ අනියම් සබඳතාවයක් පවත්වන බව ගමේ පැවතුන කතාවෙන් රත්තරන්හාමිගේ කන වැකී ඇත. රත්තරන්හාමි ඒ පිළිබද බොහෝ සේ කල්පනා කරම්න් සාමාන්‍ය ආකාරයට තම කුළී වැඩ සඳහා පිටත්ව ගොස්, රැකීමේ අදහසින් අතරමග නැවතී බිරිඳට හොරෙන් නැවත ආපසු පැමිණි රත්තරන්හාමිට තම බිරිඳ වෙනත් පුරුෂයෙකු සමඟ නිවස තුළ සිටින අයුරු දක්නට ලැබුණි. දුටු සැනින් කෝපයට පත් ඔහු බිරිඳගේ පපුවේ වම් පැත්තට ඔහුගේ දකුණතින් පිහිපහරවල් කිහිපයක් එල්ලකරමින් මරණය කැන්දවීය. අවසානයේ නීතියට අනුව පොලිස් අත්අඩංගුවට පත් ඔහු බන්ධනාගාර ගත විය. වරදට දඬුවම වශයෙන් රත්තරන්හාමිට මරණීය දණ්ඩනය නියම විය. මරණයට දින නියම වූ අවස්ථාවේ තමාගේ සොහොයුරු සහෝදරත්ව බැඳීමට අනුව ස්වාමීන් වහන්සේ නමක් වැඩමවා රත්තරන්හාමිට ධර්මය දේශනා කරමින් පිරිකර පූජා කිරීමට අවස්ථාව ලබා දී ඇත. අවසානයේ රත්තරන්හාමි මැගසින් බන්ධනාගාරය තුළ එල්ලාමරණයට පත්කරන ලදී.

මේ සිදුවීමෙන් වසර 11ක් ගත වූ තැන රත්තරන්හාමිගේ දුකසැප බැලූ සහෝදරයා විවාහ වී වසර 11ක් දරුවෙකු නොලබා සිටිය ද එම බිරිඳට දරුවෙකු ලැබිණි. හේ බලංගොඩ විජේරත්න නම්න් ඉපිද තමාගේ අතීත සිදුවීම් පුනරුප්පත්තිය ලෙස ප්‍රකාශ කිරීමට පටන් ගෙන ඇත. මේ සිදුවීම ලෝකප්‍රකට වූ පුනරුප්පත්ති පර්යේෂණයක් වූ අතර ඒ තුළින් පුද්ගලයා නැවත නැවත මේ සංසාරයේ උප්පත්තිය ලබන ආකාරය පැහැදිලි වේ. රත්තරන්හාමි එම ආත්මභාවයේදීම ඔහුගේ සහෝදරායා ලෙස ජීවත්වූ පුද්ගලයා ජීවත් වූ අතර රත්තරන්හාමි මරණයට පත්ව ඇත. ජීවත්ව සිටි සහෝදරායට දාව එම පුද්ගලයා දරුවෙකු ලෙස උප්පත්තිය ලබා ඇත. ඔහුගේ සහෝදරයාට දාව දරුවෙකු වශයෙන් ඉපදීම කර්මයේ එක් පැතිකඩක් වේ.රත්තරන්හාමි තමාගේ දකුණු අතින්ගත් පිහියෙන් බිරිඳගේ වම් ඇලයට ඇන මරණයට පත්කර ඇත. විජේරත්නගේ දකුණු අත ද සොත්ති අතක් ලෙස සැකසී උප්පත්තිය ලබා ඇත. මෙය බුදු බණේ සඳහන් ආකාරයට කර්ම කළ ස්ථානයට විපාකය ලැබිමක් ලෙස සඳහන් කළ හැකිය. කර්මය තුළ දකුණු අත සොත්ති විය. ඔහුගේ පිහි පහරින් මරණයට පත්වූ බිරිඳගේ ශරීරයෙහි වම් ඇලයෙන් රුධිරය වහනය වීමෙන් බිරිඳ මරණයට පත්ව ඇත. විජේරත්න උප්පත්තිය ලබන විටද ඔහුගේ ශරීරයෙහි වම් ප්‍රදේශය පිළිස්සුණු ස්වභාවයක් ද දක්නට ලැබිණි. අයහපත් ක්‍රියා කළ විට අපායේ පිළිස්සෙන බව බණ පොතේ සදහන් වේ.

බුදු බණේ උගන්වන ආකාරයට කර්මය සහ කර්ම විපාකයත්, කර්මය පළදෙන ආකාරයද, බෞද්ධ සාහිත්‍යයෙහි බෞද්ධ කතන්දර ඕනෑතරම් දක්නට ලැබේ.එම කතාවලට පරිබාහිරව වර්තමානයෙහි පුනරුප්පත්ති පර්යේෂණ ඇසුරින් තහවුරු වූ ලංකාවේ ප්‍රසිද්ධවූ ලෝකය පිළිගත් සිද්ධි දාමයකි.එම මැගසින් බන්ධනාගාරය තවමත් පවතී. මෙහි ප්‍රකාශ වන බලංගොඩ තවමත් පවතී. එම සිදුවීම් ඇසුරින් එම පුද්ගලයා සංසාරයේ නැවත නැවත උප්පත්තිය ලබයි. සංසාරයේ හැටි එහෙමයි.

 

බිනර පුර පසළොස්වක පෝය


බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 05 වන දා අඟහරුවාදා අපරභාග 12.41 ට පෝය ලබයි.
6 වන දා බදාදා අපර භාග 12.32 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 05 වන දා අඟහරුවාදා ය.

 

මීළඟ පෝය සැප්තැම්බර් 13 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 05

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 13

Full Moonඅමාවක

සැප්තැම්බර් 19

First Quarterපුර අටවක

සැප්තැම්බර් 28


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]