UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 කායගතාසතියෙන් නිවන් මඟට පිවිසි අම්බපාලි තෙරණිය

 කායගතාසතියෙන් නිවන් මඟට පිවිසි අම්බපාලි තෙරණිය

භික්ෂුණී සමාජය පිහිටුවීම සම්බන්ධයෙන් මූලිකත්වය ගෙන ක්‍රියා කළ මහා ප්‍රජාපතී ගෝතමියගෙන් ආරම්භ වී භාරතය පුරා ප්‍රචලිත වූ භික්ෂුණි ශාසනය දීර්ඝ කාලයක් ගතවන තුරු ම පවත්වා ගෙන ආ අයුරු අපදාන පාලි, ථෙරි ගාථා සහ වංශකථා ආදියෙන් ප්‍රකට වෙයි.

සමාජයේ විවිධ තරාතිරම්වල වැජඹුණු කාන්තාවෝ සිය ජිවිතය ගැන කළකිරීමට පත්ව මෙහෙණි සස්නෙහි පැවිදිව භාවනා කොට නිවන් මගට පිවිසියහ. අම්බපාලිය ද එසේ නිවන් මගට පිවිසි භික්ෂුණින් අතුරෙන් එක් රහත් තෙරණියකි. හැම සම්පතකින් ම අනූන නගරශෝභිනියක් වූ අම්බපාලි බෞද්ධ සාහිත්‍යයේ සුප්‍රකට ගණිකාවකි. ඕ තොමෝ ධනයෙන් ආඪ්‍ය වුවා ය. දඹදිව හැම ප්‍රදේශයක ම ඇගේ රූප සම්පත්තියේ ශෝභාව පැතිර ගියේ ය. බුද්ධකාලයෙහි විසාලා මහනුවර ජිවත් වූ රූපසුන්දරිය අම්බපාලි වූවා ය. පරමත්ථදීපනී නම් ථෙරීගාථා අට්ඨකථාවෙහි සඳහන් වන පරිදි ඇය ගණිකාවක් වූයේ ඉහත ආත්මයක කරන ලද අකුශල කර්මයක විපාකයක් වශයෙනි.

මෙයින් කල්ප තිස් එකකට පමණ පෙර තිලෝගුරු’සිඛී” නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකයෙහි පහළ වූ සමයෙහි උන්වහන්සේගේ ශාසනයෙහි පැවිදි වී උපසම්පදාව ලැබූ ’අම්බපාලි” නම් තෙරණිය දිනක් අනෙක් භික්ෂුණීන් වහන්සේලා ද කැටුව චෛත්‍ය වන්දනාවේ යෙදෙන අතරතුර තමාට පෙරටුව ගමන් කළ එක්තරා භික්ෂුණියක හදිසියේ කිවිසීම නිසා කෙළ පිඬක් චෛත්‍ය අංගනයෙහි වැටෙනු දැක කෝපයට පැමිණ ඇයට දොස් පැවරුවා ය. එම භික්ෂුණිය අතින් ඉබේ සිදු වූ වරද සුළු කොට නොතකා කවර ගණිකාවක් විසින් සෑ මළුවට කෙළ ගසා අපිරිසුදු කරන ලද්දේ දැයි අසමින් ඇයට පරිභව කළා ය. නින්දිත වචනයෙන් අවමන් කළා ය. එදා කරන ලද එම අකුශල කර්මය හේතු කොටගෙන ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකයෙහි පහළ වී බුද්ධත්වය ලබන තුරු කල්ප ගණනක් මුළුල්ලෙහි සංසාරයේ උපන් බොහෝ ආත්ම භවයන් හි දී ගණිකාවක ලෙසින් ජිවිතය ගත කිරීමට ඇයට සිදු විය.

එපමණක් නොව සිඛී බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි භික්ෂුණියක් ව සිටි අම්බපාලිය මව්කුස පිළිසිඳ ගැනීමට ද පිළිකුල් කළ නිසා එහි විපාක වශයෙන් ඇගේ අන්තිම ආත්මභාවය රජතුමාගේ උද්‍යානයේ දී අඹගසක් මුල ඕපපාතික ලෙස සිදු විය. එහෙයින් ඇය අම්බපාලි නමින් ප්‍රකට වූවා ය. අතිශයින් රූමත් වූ ශරීරයක් ඇතිව අඹගසක් මුල උපන් අම්බපාලිය උයන්පල්ලා විසින් නගරයට ගෙන එන ලදී. ඇගේ අතිශය ප්‍රියමනාප රූපසෞන්දර්ය දුටු එනුවර රාජකුමාරවරු ඇය විවාහ කර ගැනීමේ බලවත් කැමැත්තෙන් පසු වූහ. දුටුවන් නෙත් සිත් ඇද ගන්නා ඇගේ මනා රූ සපුවෙන් ඔවුහු මන්මත් ව ඇය තමන් සතු කර ගැනීම සඳහා එකිනෙකා කෝලාහල කළහ. අවසානයේ දී රාජකුමාරවරු සියලු දෙනාගේ ම සිත් සන්තෝෂ කිරීම සඳහා ඔවුන්ගේ පොදු පරිභෝගය සඳහා ගණිකාවක ලෙස ජිවිතය ගතකිරීමට ඇයට සිදු විය. මේ නිසා අම්බපාලි බුද්ධකාලයේ උතුරු දඹදිව වීසු රූමත් අභිසාරිකාවක් ලෙස බෞද්ධ සාහිත්‍යයෙහි ප්‍රකට වූවා ය.

දිනක් වෙසාලි නගරය මැදින් මහසඟන පිරිවරා වඩිනා බුදුන් වහන්සේ හමු වූ අම්බපාලි උන්වහන්සේට දන් පිළිගන්වා ඉන්පසු බණ අසා පැහැදී ඇයට අයත් අඹ උයන පුජා කළ බව ද සඳහන්ව ඇත. එහි දී උන්වහන්සේ’ කායගතාසතිය” පිළිබඳව අම්බපාලි ඇතුළු පිරිසට දහම් දෙසුහ. මෙලොව උපන් සෑම සත්ත්වයකුට ම ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදිය උරුම ය. තරුණ වියෙහි පවත්නා රූප සෞන්දර්ය සැමදා එලෙසින් ම නො පවති. මහලු වියට පැමිණෙන විට ක්‍රමයෙන් ජරා දුර්වල තත්ත්වයට පත් වේ. හම රැළි ගැසෙයි. කෙස් සුදු වී ගැලවෙයි. දත් දිරා ගොස් වැටී යයි. ඇස් නොපෙනී යයි. සිරුර කුදු වෙයි. අත්පා අවසඟ වෙයි. ඉන්ද්‍රිය විකලත්වයට පැමිණේ. මෙම අනිත්‍යතා ධර්මය මුළු මහත් විශ්වයට ම එකසේ සාධාරණ ය. අන්ධ බාල පුහුදුන් අය විසින් මගේ යැයි සිතාගන්නා මෙම ශරීරය පෙණ බුබුලක් මෙන් වැඩි කල් නො පවති. එහෙයින් ම අස්ථීර ය. අසුභ ය. අසාර ය.

මේ සිරුර සෑදී තිබෙන්නේ මුතුමැණික් ආදී වටිනා දේවලින් නො වේ. කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර, ඇට, ඇටමිඳුලු, වකුගඩු, හෘදය, අක්මාව, පපුමස, බඩවැල්, සෙම, පිත, ලේ, සැරව, කඳුළු, දහඩිය, කෙළ, සොටු, මළ, මුත්‍ර ආදී කුණප කොටස් තිස්දෙකකිනි. ඒ සෑම කොටසක් ම පිළිකුල් සහගත ය. දුර්ගන්ධ ය. දකින්නවුන්ට අප්‍රිය ය. නව දොරටුවකින් නිතර ම අපවිත්‍ර දෑ වැගිරේ. එක් දිනක් නොනෑවොත් සිරුරෙන් දුගඳ වහනය වේ. මේ කය නානාප්‍රකාර පණුවන්ට ආකරයක් වැනි ය. එහෙත් යථාභූත ඥානය නොමැති අන්ධබාල පුහුදුන් සත්ත්වයෝ මෙවැනි පිළිකුල් සහගත වූ කය පිළිබඳව ඇලෙති. ගැලෙති. ආශා කරති. මම ය මාගේ යැ‘යි ශුභ වශයෙන් හා නිත්‍ය වශයෙන් කල්පනා කෙරෙති.

එම සිතුවිල්ල මුළාවක් බවත්, සක්කායදිට්ඨීය සත්ත්වයා සසරට බැඳ තබන සංයෝජන ධර්මයක් බවත් බුදුහු පැහැදිලි කළහ. යමෙක් මේ දෙතිස් කුණපයන් හි නිමිති අරමුණු කරන සිහිය හෙවත්’කායගතාසතිය” නිතර මැනවින් පුරුදු පුහුණු කරන්නේ නම් රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ, යන පංචස්කන්ධය පිළිබඳව ආශාව දුරු කොට විදර්ශනා ප්‍රඥාවෙන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය අවබෝධ කොට නිවන් සුව පසක් කරගනී. මෙම කායගතාසති භාවනාව නියම ආකාරයට පුරුදු පුහුණු කරන කෙනෙකුට සිරුර පිළිබඳව කළකිරීම ඇති වේ. ඉන්පසු සසර ගැන කලකිරීමෙන් රාගාදී කෙලෙස්වලින් ඔහුගේ සිත මිදෙයි. එම විරාගය ඇතිවීම සඳහා කායගතාසතිය වැඩීම නිවන් මගට පිවිසීමකි. බුදුරජාණන් වහන්සේගේ මෙම දම් දෙසුම ඇසීමෙන් ජිවිතය ගැන කළකිරී සිටි අම්බපාලිගේ නුවණැස පෑදුණි. පසුව තමාගේ පුතු වූ විමල කොණ්ඩඤ්ඤ තෙරුන්ගෙන් දහම් අසා විමුක්තිය ලබනු පිණිස භික්ෂුණි සමාජයෙහි පැවිදි වූවාය. පැවිදි විමෙන් අනතුරුව විවේකයෙන් පසු වූ අම්බපාලි තෙරණිය සම්බුදු වදන් මෙනෙහි කොට කායගතාසතිය අනුව සිය සිරුරෙහි එක් එක් කොටස් අනිත්‍යතාවට පත්වන අයුරු සිහි කරන්නට වුවාය.

ඇයගේ සිතේ හටගත් අදහස් නොසඟවා කාව්‍ය රසයෙන් පරිපූර්ණව ධ්‍රැවපද භාවිත කරමින් ධර්ම රසයත් , කාව්‍ය රසයත් දෙක ම කැටි කොට ගෙන අම්බපාලි ථෙරීගාථාවන්හි රචනා කොට ඇති අයුරු දැකිය හැකි ය. ධ්‍රැවපද භාවිතය භාවගීතයන්හි ප්‍රධාන ලක්ෂණයකි. කාලකාභමරවණ්ණසාදිසා - වෙල්ලිතග්ගා මම මුද්ධජා අහු තෙ ජරාය සාණවාකසාදිසා -සව්චවාදිවවනං අනඤ්ඤථා

තුරුණු වියෙහි දී මගේ කේශකලාපය බමරුන්ගේ පැහැය බඳු කාල වර්ණයෙන් යුක්ත විය. උඩට නැමුණු අග ඇති අක් බමරු මෙන් විය. එහෙත් දැන් ඒ කෙස් ජරාව හේතුකොටගෙන වැහැරී ගිය හණ නුල් ගොඩක් මෙන් සුදු පැහැ වී ඇත.

සත්‍යවාදී වූ බුදුරජාණන් වහන්සේගේ වචනය වෙනස් නො වේ. මෙය අම්බපාලි තෙරණියගේ කාව්‍යමය කියමනකි. එකිනෙක මැඩ ගැනෙන්නට වෑයම් කරන රසවත් කියුම් දෙකක් මෙහි ඇත. එහෙත් මෙහි ලා සැලකිය යුත්තේ ඒ කියුම් දෙක ම නො වේ. ඒ කියුම් දෙක එකට කැටි කොට කළ රචනයෙන් තෙරණිය අදහස් කළ අනිත්‍ය ප්‍රතිසංයුක්ත හැඟීම යි. තරුණ කාන්තාවකගේ සුන්දර කෙස් කළඹ අප නිතර දකින්නක් .මහලු ස්ත්‍රියකගේ දිරීමෙන් සුදුවුණු කෙස් වැටිය ද අපට දකින්නට ලැබෙන්නේ කලාතුරකින් නො වේ. අම්බපාලි තෙරණිය ඒ සත්‍ය කරුණු දෙක අපට හඳුන්වා දී ඇත්තේ දක්ෂ කවියෙකු ලෙසිනි. ඇය තම වර්ණ ය සඳහා යොදා ගත් උපමා අලුත් ය. ඇතැම් වචන ව්‍යංග්‍යාර්ථ ගෙන දෙයි.

කළු වකුටු කෙස් වැටියෙන් වැසුණු සුන්දර හිසක් ඇති තරුණ ලඳකගේ රූ සපුව දකින්නකුට ආස්වාදයක් ලැබේ. එහෙත් හණ කෙඳී සේ දිරා ගිය සුදු පැහැති කෙස් වැටිය දකින්නකුගේ සිතට ඇතිවන්නේ ශෝකාකුල හැඟීමකි, නො එසේනම් පිළිකුලකි. එහෙත් කායගතාසතිය වැඩූ අම්බපාලි තෙරණියගේ සිත තුළ ඇති වූයේ එවැනි හැඟීම් නො වේ. කලු බමර වැනි තම කෙස් වැටිය නිසා වරක් ඈ ලෑබූ රසයට වැඩි රසයක් හණ කෙඳී වැනි කෙස් වැටිය නිසා ඇය විඳීයි. ඒ හැඟීමත්, රසයත් අප ලවා ආස්වාදය කරවීමට ඒ තෙරණිය වෑයම් කරයි. මෙලොව සුන්දර දේ අපගේ හැඟීමට ගොදුරු කර ඇත්තේ එයින් ලබන රසය ඉක්මවන රසයක් විඳීන්නට සලස්වමිනි.

පසිඳුරන් පිනවීම උසස් කොට සලකන්නකුට එය රුචි නොවිය හැකි ය. එහෙත් සිත එකඟ කොට ථෙරී ගාථා කියවන්නකුට එයින් මහත් රසාස්වාදයක් ලැබිය හැකි ය. අම්බපාලි තෙරණිය සිය සිරුරෙහි හිස කේශකලාපය, දෑස්, බැම, නැහැය, දෙකන්, දත්, කටහඬ, බෙල්ල, දෙබාහුව, දෑත, පියවුරු, කය, දෙකලවා, කෙණ්ඩා, දෙපා යන එක් එක් අවයවයන් වෙන වෙන ම ගෙන ඒවායෙහි පෙර තත්ත්වය දැන් තත්ත්වය වෙනස් වී ඇති අයුරු පවසමින් අනිත්‍යය, අසුභය අප ඉදිරියෙහි මැවී යන පරිදි කාව්‍ය රසයෙන් අනූනව ගාථාවන් 19ක් දක්වා ඇත. මෙසේ අම්බපාලි තෙරණිය සිය කයෙහි ඒ ඒ අවයවයන්ගේ පෙර තත්ත්වය හා දැන් තත්ත්වය සන්සන්දනය කර බලමින් ඒවායේ අනිත්‍ය බව, අසාර බව, අසුභ බව මෙනෙහි කොට ඒ අනුසාරයෙන් සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණය ප්‍රත්‍යක්ෂ කොට ගෙන විදසුන් වඩා සියලු කෙලෙසුන්ගෙන් මිදී රහත් වූවා ය. ඔබ සැමට ද මෙම සත්‍ය දහම මනාව අවබෝධ කොට නිවන් සුව අත්වේවා.

 

බිනර පුර පසළොස්වක පෝය


බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 05 වන දා අඟහරුවාදා අපරභාග 12.41 ට පෝය ලබයි.
6 වන දා බදාදා අපර භාග 12.32 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 05 වන දා අඟහරුවාදා ය.

 

මීළඟ පෝය සැප්තැම්බර් 13 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 05

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 13

Full Moonඅමාවක

සැප්තැම්බර් 19

First Quarterපුර අටවක

සැප්තැම්බර් 28


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]