UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

උපන් අකුසල් නැති කිරීමට ගන්නා උත්සාහය

උපන් අකුසල් නැති කිරීමට ගන්නා උත්සාහය

යම් අරමුණක්, ඉලක්කයක් ඉටුකර ගැනීම සඳහා ඇතිවන ඕනෑකම, උත්සාහය, පුද්ගලයෙක් තුළ හට ගත්ත ද ඒ වෙනුවෙන් වීර්යයක් උපදවිය යුතු ය. උත්සාහයක නිරතවන පුද්ගලයෙක් වෙත තිබිය යුතු ගුණාංග තුනක් එනම් උත්සාහයේ ලක්ෂණ තුනක් පිළිබඳව තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. ආරම්භක ධාතු, නික්ඛම ධාතු, පරාක්කම ධාතු වශයෙනි.

ආරම්භක ධාතු – යම් දෙයක් ආරම්භ කිරීමට පටන් ගැනීම අවශ්‍යය ය.

නික්ඛම ධාතු – ආරම්භ කළ දේ ක්‍රියාත්මක කරගෙන යාම අවශ්‍යයය.

පරාක්කම ධාතු - මොන ආකාරයේ සම්බාධක පැමිණියත්, මගේ අරමුණ ඉලක්කය මෙතනයි, ඒ අරමුණ ඉලක්කය ඉටුවෙනතුරු මම මේ ගමන යනවා, යැයි අධිෂ්ඨානය ඇතිකර ගැනීම අවශ්‍යය ය. එයයි සතර සම්‍යයක් ප්‍රධන් වීර්යය ලෙස පවසන්නේ.

යම් කිසි පුද්ගලයකුගේ චිත්ත සන්තානය තුළ යම් වූ අකුසල ධර්මයක් ඇති වුණා නම්, ඒ අකුසල ධර්මය ඉපදීමට, හටගැනීමට ඉඩනොදිය යුතු ය. එසේ ඉඩ දීමෙන් අකුසල ධර්ම වඩා වර්ධනය විය හැකිය.

අකුසල යනු අදක්ෂ යන්නයි. අදක්ෂයෝ පව් කරමින් දුගතිගාමී භවවල උපත ලබති. දක්ෂයෝ පින්කම් කරමින් සුගතිගාමී භවවල උපත ලබති. පින් කිරීම අපහසුය. පව් කිරීම පහසුය. හොඳ දේ පුරුදු වීම අපහසුය. නරක දේ පුරුදු වීම පහසුය. බොහොම අපහසුවෙන් පුරුදු වූ යහපත් ගති සිරිත් අත්හරින්න පහසුය. එලෙස ම බොහොම පහසුවෙන්, ලාභයට, සුගමව පුරුදු වූ නරක ගති සිරිත් අත්හරින්න අපහසුය.

අකුසල් කියන්නේ මොනවා ද? ධම්මපදයේ යමක වග්ගයේ දී තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළේ,

“මනසා චෙ පදුට්ඨෙන
භාසති වා කරොති වා
තතො නං දුක්ඛමන්වෙති

චක්කංව වහතො පදං” යමෙක් දුෂිතවූ සිතින් ක්‍රියා කරන්නේ නම්, නපුරු වචන කියයි නම්, ඒ කරණකොට ගෙන ඔහු පසු පස දුක ගමන් කරයි. ඒ කරත්තය බැඳි ගොනා පසු පස වේගයෙන් කර කැවී යන කරත්ත රෝදය මෙනි.

පව කියන්නේ කුමක් ද? පවේ වෙනස කුමක් ද? පව් කරන්නෝ කෙසේ තැවෙන්නේ ද කියා බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් හ. අප්පති සෝචති – තැවෙනවා, ශෝක කරනවා. තැවෙන්නේ ශෝක කරන්නේ කවරෙක් ද?. පාපකාරියෝ ය. එනම්, පව් කරන අයයි, අකුසල් කරන අය යි. “මම යම් කිසි කතාවක් කරයි. ඒ කතාව තුළින් ලෝකයට විපතක්, අයහපතක්, හානියක්, විනාශයක් වේ නම් ඒ තුළින් මට සැපතක් වෙයි ද? නැත. මට ද විපතක් විනාශයක්මයි සිදුවෙන්නේ. සිදුකළ අයහපත් කතාව, ක්‍රියාව මගේ සිතට, මනසට, හදවතට, මතක්වන, මෙනෙහිවන සෑම මොහොතක් මොහොතක් පාසාම මගේ සිතට දරාගත නොහැකි භයක් ඇතිවෙනවා යනුවෙන් සිතනවා නම් එයයි පවේ වෙනස. අකුසලයේ වෙනස.

ඒ වගේ ම අකුසල් කරන අය, පව් කරන අය, විපත් කරන අය, හානිදායක, විනාශකාරී දේ කරන අය අවස්ථා පහක දී තැවෙනවා. එනම් අත්තානුවාද භය – අපරාධයක්, අකුසල කර්මයක් සිදු කර සමාජය ඉදිරියේ සඟවාගෙන සිටියත්, තමාගේ සිතට සැඟවිය නොහැකි ය. කළ අකුසල කර්මය සිතට අරමුණුවන, මෙනෙහිවන සෑම මොහොතකම තමා තමාට චෝදනා කර ගනියි. පරානුවාද භය – පර යනු අනුන් විසින්, තමන්ගේ ජීවිතයට බොහෝ කිට්ටු සමීපතමයන්ගෙන් එල්ල වන නින්දා, අපහාස, චෝදනා නිසා තමන්ගෙ සිතට ඇතිවන භයයි. ලෝකානුවාද භය - ලෝකයාගෙන් තමන්ට එල්ලවන චෝදනා නිසා හට ගන්නා වූ භයයි. දණ්ඩානුවාද භය – පවතින නීතිරීතිවලට අනුකූලව මා කළ වරදට නීතියෙන් දඬුවම් ලැබෙයි යන භයයි. විපාකානුවාද භය – ‘යාදිසං වපතෙ බීජං’ පැළ කළේ, වැපුරුවේ යම් බීජයක් ද “තාදිසං හරතේ ඵලං’ පැළ කරන ලද වපුරන ලද බීජයට අදාළ අස්වැන්නයි, බලාපොරොත්තු විය යුත්තේ. කවර තරාතිරමක පුද්ගලයෙක් වූව ද හොඳ යහපත් ක්‍රියාවක් සිදු කළ විට යහපත් ප්‍රතිඵලයක් ලැබෙන අතර, නරක අයහපත් දෙයක් සිදු කළේ නම් නරක පාපකාරී ප්‍රතිඵල ලබයි.

ඕනෑම කෙනෙක් අපරාධයක් කළ පසු ඒ අපරාධය කළ මෙහොතේ ම විපාක නොලැබෙන්න පුළුවන්. දිට්ඨධම්ම වේදනීය කර්ම, උපපජ්ජ වේදනීය කර්ම, අපරාපරීය වේදනා කර්ම, අහෝසි කර්ම ආදී ලෙසින් අකුසල කර්ම විපාක දෙන ආකාර හතරක් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර දුන්හ. පිනට, කුසලයට යොමු කරන්නේ ද සිතයි. පවට, අකුසලයට යොමු කරන්නේ ද සිතයි. සිත පිළිබඳව යම් කිසි වූ ද දැනුමක් ඇති කරගත් පසු මට මා පාලනය කර ගෙන මගේ ගමන යන්නට පුළුවන්.ආදී ලෙස ධර්මය පිළිබඳව බුද්ධිය, ධර්ම ඥානය පිළිබඳව යම් වූ ද අවබෝධයක් ඇති කර ගෙන උපන් අකුසල් දුරු කර ගැනීමට අධිෂ්ඨාන කර ගනිමු.

 

නිකිණි අව අටවක පෝය


නිකිණි අව අටවක පෝය අගෝස්තු 14 වන දා සඳුදා අපර භාග 07.45 ට ලබයි. 15 වන දා අපරභාග 05.39 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 15 වන දා අඟහරුවාදා ය.

 

මීළඟ පෝය අගෝස්තු 21 වන දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 15

Full Moonඅමාවක

අගෝස්තු 21

First Quarterපුර අටවක

අගෝස්තු 29

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 05


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]