UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

චුල්ලහත්ථි පදෝපම සූත්‍රයේ විද්‍යාත්මක පසුබිම

චුල්ලහත්ථි පදෝපම සූත්‍රයේ විද්‍යාත්මක පසුබිම

බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් වර්ෂ දෙසිය දහඅටක් ගිය විට තුන්වන ධර්මසංගායනාව මොග්ගලී පුත්තතිස්ස හිමියන්ගේ මූලිකත්වයෙන් හා අශෝක මහ රජතුමාගේ අනුග්‍රහයෙන් පැවැත්විණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ලංකාව ඇතුළු රටවල් නවයකට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ව්‍යාප්ත විය.

ඒ අනුව බුද්ධ පරිනිර්වාණයෙන් වර්ෂ දෙසිය තිස් හයක් ඉක්ම ගිය පොසොන් පුර පසළොස්වක පොහොය දින මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කොට දේවානම් පියතිස්ස රජුගෙන් අඹ ප්‍රශ්නය හා ඥාාති ප්‍රශ්නය පිළිබඳව ප්‍රශ්න කිරීමේදී ලැබුණ පිළිතුරුවලට අනුව රජතුමා ඉතා ඥාානවන්තයෙකු බව අවබෝධ කරගත් මිහිඳු මහරහතන් වහන්සේ රජතුමා ඇතුළු ලක්වැසියන්ට ධර්මය දේශනා කිරීමට ස්ථානයක් සූදානම් කරන ලෙස රජුට දන්වා ඇත. රජතුමා මහමෙව්නා උයනට සියලු නගරවාසීන්ට පැමිණීමට නියෝග කර මිහිඳු මහරහතන් වහන්සේට දැන්වූ පසු මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩමවීමෙන් දෙවන දින මහමෙව්නාවට වැඩම කොට බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද මජ්ක්‍ධිම නිකායේ ඕපාන වග්ගයේ සඳහන් චුල්ලහත්ති පදෝපම සූත්‍රයෙන් ධර්මය දේශනා කළ බව සඳහන් වේ.

කුඩා ඇත් උපමාවක් යන නමින් සඳහන් වන සූත්‍ර දේශනාවෙහි ඇතුළත් කරුණු දාර්ශනික වශයෙන් ද, විද්‍යාත්මක වශයෙන්ද වැදගත් වන සූත්‍රයක් බව සැලකිය හැකියි. යම් දෙයක් පිළිබඳ සොයන විට එය අවසන් වන්නේ පර්යේෂණාත්මක හා විද්‍යාත්මක සොයාගැනීමක් ලෙසයි. විද්‍යාඥයෙකු යමක් පිළිබඳ සොයනුයේ විද්‍යානුකූලවයි. එසේ සොයාගන්නා දේ නිරවද්‍ය හා නිරවුල් කාරණා වශයෙන් සමාජගත කරනු ලබයි. ඒ අනුව බුදුරජාණන් වහන්සේ ඇත් උපමාව පිළිබඳව සඳහන් කරමින් යමක් සොයාගැනීමේදී ද, බුදුරජාණන් වහන්සේ පිළිබඳ, ධර්ම රත්නය පිළිබඳ, සංඝ රත්නය පිළිබඳ යනු කවරෙක්ද? යන ක්‍රමවේදය අනුගමනය කිරීම කළ යුත්තේ කෙසේද? යන්න චුල්ල හත්තිපදෝපම සූත්‍රයෙන් වටහා දී ඇත. ඒ අනුව අප යමක් පිළිබඳව සාමාන්‍ය වශයෙන් යම් දෙයක් දැනගෙන කිසිදු නිගමනයකට එළඹීමට නොහැකි බවත්, සත්‍ය සත්‍ය වශයෙන් දැකීමත් , බුදු දහමෙහි සඳහන් ඉගැන්වීමක් ලෙස සඳහන් කළ හැකියි. චුල්ලහත්ති පදෝපම සූත්‍රයට අනුවද, එම ප්‍රකාශය ඒ ආකාරයෙන්ම සිදු විය යුතු කාරණයක් බව වඩාත් තහවුරු වන බවට නිගමනය කළ හැකියි.

චුල්ලහත්ති පදෝපම සූත්‍රයට අනුව ජානුස්සෝනි බමුණා සියලු ආභරණයන්ගෙන් සැරසී සුදු ඇතුන් යෙදූ අශ්ව රියක නැඟී පිලෝතික පරිබ්‍රාජකයා දැකීමෙන් අනතුරු ඔහුගෙන් කරුණු විමසා ඇත. ඔහු බුදුරජාණන් වහන්සේගේ සමීපයෙහි සිට පැමිණෙන බව සඳහන් කළ පසු බුදුරජාණන් වහන්සේ කවරාකාරයේ පුද්ගලයෙකුදැයි ජානුස්සෝනි බමුණා ප්‍රශ්න කර ඇත. ඒ අනුව පිළිතුරු දුන් පිලෝතික බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ සමීපයට ගොස් උන්වහන්සේ දුටු පමණින් විශේෂයෙන්ම තමන්ට පැහැදීමක් ඇතිවූ බවට සඳහන් කර ඇත. යම් සේ ඇතුන් වසන වනයෙහි දක්ෂ පුරුෂයෙකු දිගින් දිග්වූ පළලින් පළල්වූ ඇතෙකුගේ පා සලකුණක් දුටු පමණින් එය විශාල ඇතෙකුගේ පා සටහනක් බවට නිශ්්චයකට පැමිණෙන්නේ යම් ආකාරයකටද , භවත් ගෞතමයන්ගේ ඥාාන පද හතරක් දැක ඒ භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි.උන්වහන්සේගේ ධර්මය ස්වාක්‍යාතයි. උන්වහන්සේගේ ශ්‍රාවකයා සුපටිපන්නයි යනුවෙන් නිශ්චයකට පැමිණි බවට ඔහු සඳහන් කර ඇත. එම ඥාන පද හතර ලෙස සඳහන් වන ආකාරයට බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණි ක්ෂති‍්‍රයෙකු අසන ප්‍රශ්නයට අනුව උන්වහන්සේ පිළිතුªරක් ලබාදුන හොත් අප නැවත මේ ආකාරයෙන් ප්‍රශ්න අසන බවට කතිකාකර ගනු ලැබුවත්, බුදුරජාණන් වහන්සේ ක්ෂත්‍රියන් සමීපයට වැඩම කර දැහැමි කතාවෙන් කතා කර කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව සතුටූ වූ සියලු දෙනා සම්බුද්ධ ශාසනයෙහි පැවිදි වූ බව සඳහන් වෙයි. මේ ආකාරයට බ්‍රාහ්මණ, ගෘහපති, ශ්‍රමණ ආදී සියලු පිරිස බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදිවූ බව සඳහන් වෙයි. මේ ඥාාන පද හතර අනුව බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම ඇති වූ බවට සඳහන් කර ඇත. ඒ අනුව ජානුස්සෝනි බමුණා වහාම රථයෙන් බැස බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා යැයි හැඟුන දිශාවට හැරී වැඳ නමස්කාර කර ඇත. අවසානයේ බුදුරජාණන් වහන්සේ බැහැදැක කතා කිරීමට ජානුස්සෝනි බමුණා කැමැත්ත ප්‍රකාශ කර ඇත.

බුදුරජාණන් වහන්සේ හමුවූ ජානුස්සෝනි බමුණාට බුදුරජාණන් වහන්සේ හස්ති උපමාවෙන් හා ශ්‍රාවක උපමාවෙන් ධර්මය දේශනා කර ඇත. එම දේශනාවේ සඳහන් ආකාරයට වනයේ විශාල පා සලකුණක් දුටු පමණින් ඒ විශාල හස්තියෙකුගේ පා සලකුණක් යැයි නිශ්චය කිරීම සුදුසු නොවන බව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරමින් ප්‍රථමයෙන්ම වදාරා ඇත. එවැනි පා සලකුණ සහිත මිටි කුඩා හස්ති විශේෂයක් වනයේ සිටින නිසා එම පා සලකුණ කුඩා ඇතෙකුගේද විය හැකියි. පා සලකුණ නිශ්චය කොට දිගටම ඉදිරියට යන විට උස් ගස්වල පිට ඇතුල්ලූ සලකුණුත් , එම පා සලකුණත් හේතු කොටගෙන විශාල ඇතෙකුගේ පා සලකුණක් බව නිශ්චය කිරීම නුසුදුසුයි. එයට හේතුව මිටිවූ දිග්වූ දළ ඇති උච්චාකාලිරිකා හස්ති විශේෂයක් සිටින බැවිණි. එම සලකුණ ඇතැම් විට එම ඇතාගේ විය හැකියි. තවදුරටත් වනයේ ඇවිදින විට පා සලකුණු උස් ගස්වල පිට ඇතිල්ලූ ස්ථාන, උස් ගස්වල දලු කොළ ආහාරයට ගත් ස්ථාන, ආදිය දැක අසල වැතිරී සිටින හස්තිරාජයා දැකීමෙන් ඒ විශාල ඇතෙක් යැයි නිගමනයකට පැමිණෙයි. ඒ ආකාරයට මුල, මැද, අග තුන් අවස්ථාවෙහිදීම සියලු අර්ථ සහිත ධර්ම දේශනා කරන බවත්, එම දේශනා කිරීමෙන් අනතුරුව බුදු සසුන කෙරෙහි පැහැදුන යමෙකු ගිහි ගෙය සම්බාධක සහිතය. රාගාදී කෙලෙස්වලින් යුක්තය බ්‍රහ්මචරියාවේ යෙදීමට සුදුසු ස්ථානයක් බවට සලකමින් ආශාවන් නැතිව වාසය කරමින් ,පස්පව්, දස අකුසල්වලින් තොරව කටයුතු කරමින්, සමඟියෙන්, නිදොස්ව, හිස් වචන ප්‍රකාශ නොකර ,ධර්මයට අනුව, විනයට අනුව, කිසිදු දෙයක් පිළිබඳ ආශාවක් නැතිව, ලද දෙයින් සතුටට පත් වී ,ඇසින් රූප දකිම්න්, ඒ පිළිබඳ නිමිතිද, කනෙන් අසන මිහිරි ශබ්දයන්ට නිමිතිද නොගෙන මේ ආකාරයට පස් ඉඳුරන්ගෙන් ලබන ආශ්වාදයන් නොලැබ කටයුතු කරයි. ගමනක් යන විට සහ එන විට සිහි කල්පනාවෙන් යුක්තවද සවස් කාලයේ පිණ්ඩ පාතයෙන් වැළකී සමවත් සුවයෙන් කාලය ගත කරයි. සියලු සත්ත්වයන් කෙරෙහි දයානුකම්පාවෙන් සිටීයි. සිත දුර්වල කරන පංච නීවරණයන්ගෙන් වැළකී සිටිමින් ප්‍රථම, ද්වීතීය, තෘතීය,චතුර්ථ ධ්‍යානයන්ට සමවැදී සිට එක දිගට සමාධිය වඩමින් ද ,සැප දුක් නැතිව උපේක්ෂාවෙන් වාසය කරමින්ද, පෙර විසූ කඳ පිළිවෙල පිළිබඳ දැනීමක් ඇතිකර ගැනීමෙන්ද, සිත කය වචනය යන දුෂ්චරිතයන්ගෙන් වැළකී ,සුචරිතවත් සංවර පුද්ගලයෙකු බවට පත්වෙයි. එම තත්ත්වයන් ලැබුවත් ,ඔහු කිසි විටෙකත් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ බව කල්පනා කරන්නෙකු නොවෙයි. උන්වහන්සේගේ ධර්මය මනාව දේශනා කර තිබෙන බවත්, ශ්‍රාවකයන් සුපටිපන්න බවත් නිශ්චයකට නොඑළඹෙයි. එසේ කිරීමෙන් නිගමනයකට එළඹිය නොහැකි බවට බුදුරජාණන් වහන්සේ වදාරයි. යමෙක් යම් දවසක සියලු ආශ්‍රවයන්ගෙන් මිදී යම් දවසක රහත් වූ පසු ඒ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි. ආදී වශයෙන් නිගමනයකට එළඹීමට පුළුවන් බව සූත්‍ර දේශනාවෙහි සඳහන් වෙයි. චුල්ලහත්ති පදෝපම සූත්‍ර දේශනාවට අනුව යමක් පිළිබඳ අනුමාන වශයෙන් සැලකීම බුදුරජාණන් වහන්සේ ගේ දහම දැනගැනීමක් නොවන බව සඳහන් කළ හැකියි.

උදාහරණයක් ලෙස විශේෂ ගමනක් යන විට ඈත ඔතන ලද ලණු කැරැල්ලක් දැක එය සර්පයෙකු ලෙස නිගමනය කළද තර්කානූකූලව එය එසේ නොවිය හැකියි. එම ස්ථානයට ළංවී බලන විට එය ලණුු කැරැල්ලක් බවට දැනගත් පසු ඔහුට ප්‍රත්‍යක්ෂ ඥාානය ලැබෙයි. විද්‍යාත්මකව යමක් සොයාගන්නා පුද්ගලයා යම් පර්යේෂණයක් කරන විට සියලු දේ පිළිබඳ විමර්ෂණයක් ඇති කරගෙන විවිධාකාරයෙන් කරුණු ගවේෂණය කරයි. බුද්ධ, ධම්ම, සංඝ යන තුනුුරුවන් පිළිබඳ එක් කාරණාවක් පදනම් කරගෙන සුදුසු යැයි හෝ නුසුදුසු යැයි නිගමන කිරීම අප විසින් නොකළ යුතුයි. දකිනා දේ තුළ ප්‍රත්‍යක්ෂ ඥාානය ලැබෙන තෙක් අපට කිසිවක් නිගමනය කළ නොහැකියි.

විද්‍යාත්මක පර්යේෂණයකින් වුවද, තමන් එක විට සිතන දේ නිවැරැදි යැයි එක විට තීරණය කළ නොහැකි බව බවට චුල්ලහත්ති පදෝපම සූත්‍රයෙන් පෙන්වාදෙයි.


 

පොසොන් පුර පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පෝය ජුනි 08 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 04.16 ට ලබයි.9 වනදා සිකුරාදා අපරභාග 06.39 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 8 වනදා බ්‍රහස්පතින්දාය.
 

මීළඟ පෝය ජුනි 17 වනදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 08

Second Quarterඅව අටවක

ජූනි 17

Full Moonඅමාවක

ජූනි 23

First Quarterපුර අටවක

ජූලි 01


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]