UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

 

පොසොන් පුර පසළොස්වක 2017.06.08

උතුම් ගුණයන්ගෙන් පෝෂිත ජන සමාජයක්

බුදුරජාණන් වහන්සේ පන්සාළිස් වසක් පුරා ලෝක සත්වයාගේ හිතපිණිස, සුව පිණිස දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයේ පණිවුඩය රැගෙන මිහිඳු මහරහතන් වහන්සේ ලංකාද්වීපයට වැඩම කිරීමත් සමඟ මෙරට ජන සමාජය අධ්‍යාත්මික වශයෙන් ද, බාහිර වශයෙන්ද , සුවිශේෂී වෙනසකට බඳුන් විය. මිනිසුන්ගේ සිතුම් පැතුම්, ආචාර සමාචාර හා ගති පැවතුම් බෞද්ධ ධර්මානුකූලව ගොඩ නැඟුණි. අධ්‍යාත්මික ගුණධර්මයන්ගෙන් පෝෂණය වූ සිතිවිලි ක්‍රියාවට නැඟෙමින් අපූර්ව බෞද්ධ සංස්කෘතියක් බිහි වුණි. ලාංකේය සමාජය භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිසගෙන් සැදුම් විය. ඒ සමාජ කණ්ඩායම් ක්‍රියාකාරිත්වයේ ප්‍රතිඵලය වූයේ ගමත්, පන්සලත් මුළු ජන ජීවිතයත් ඒකාත්මික වීමය.

හෙළ සංස්කෘතිය බෞද්ධ සංස්කෘතියක් බවට පත් වීමය.

අනුබුදු මිහිඳු දහමින් පෝෂිත වූ එදා අපේ පැරැන්නෝ ගුණ ධර්මයන්ගෙන් අනූන වූහ. කෙළෙහි ගුණ සැලකීමට, වැඩිහිටියන්ට ගරු කිරීමට. පංච ශීල ප්‍රතිපදාව ජීවන ප්‍රතිපදාව බවට පත් කර ගන්නට , අල්පේච්ඡ ජීවිතයට හුරු වූහ. අටලෝ දහම හමුවේ කම්පා නොවෙමින් ජීවිතය තේරුම් ගන්නට උත්සාහ කළහ. අවිහිංසාවාදී වූහ. එක් අවස්ථාවක රජ කෙනෙක්, වැරදිකරුවකු ලෙස ඉදිරිපත් කළ මිනිසෙකුට දඬුවම ලෙසින් කුකුළෙකු මරා දමන්නට අණ කළේය. රාජාඥාව නිසාවත්, මරණ බිය නිසාවත් ඔහු ඒ අණ ඉටු නොකළ බව සංයුක්ත නිකායේ අට්ඨකතාවේ සඳහන්ය. ඒ තරමට ඔහු පරපණ නැසීමට බිය විය. පන්සිල් සමාදන් වී මහ වනයට ගිය මිනිසෙකු පිඹුරෙකුට හසු විය. පොරව ද ඔහු අත විය. එහෙත් පිඹුරාට මෙත් සිත පැතිර වූ මිනිසා අතැති පොරව පසෙකට දමා ඒ වේදනාව ඉවසා දරා ගත්තේය. සම්බුදු දහමින් පෝෂණය ලැබූ අපේ ජන සමාජය ඒ සා උදාර සිතිවිලිවලින් යුතු විය. අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ දායාද කළ මේ උතුම් ගුණධර්ම ශක්තිමත් කරමින් අපගේ අනාගත පරපුරට දායාද කරවීම කාලීන අවශ්‍යතාවකි.

මව්පිය උපස්ථානය, වැඩිහිටියන්ට සැලකීම, අසරණයන්ට පිහිට වීම,ආදි උතුම් ගුණාංග තවමත් ලාංකීය ජන සමාජය ලස්සන කරයි. කිහිප දෙනෙකුගෙන් හැර වැඩි දෙනකුගෙන් එහි අඩුපාඩුවක් නොවේ. පසුගිය දින කිහිපයේදීද ගංවතුරින්, නාය යාම්වලින් පීඩාවට පත් වූ ජනතාව සුවපත් වූයේද ඒ උතුම් ගුණාංගයන්ගෙන් පෝෂිත ජන සමාජය ද, ඒ ජන සමාජය මෙහෙයවන නායකත්වයේද උදාර ආකල්ප සජීවි වූ බැවිනි. ඒ පිළිබඳව පුණ්‍යානුමෝදනාව හිමිවිය යුතුමය.

අප කළ යුතු වන්නේ මේ උතුම් ගුණධර්ම නොනැසී ඉදිරියට පවත්වාගෙන යන්නට තරුණ දරුවන්ට, බාල පරපුරට වැඩිහිටියන් ලෙස ආදර්ශවත් මග පෙන්වීමය. සමාජිය සේවා, ආගමික වැඩ සටහන් සංවිධානය කරමින් අපගේ සංස්කෘතිය ශක්තිමත් ලෙස දායාද කරවීමය.

ඓතිහාසිකවූද, වගකීමෙන් යුතු වූද මාධ්‍ය ආයතනයක් ලෙස ලේක්හවුස් ආයතනය ද විශේෂයෙන් වෙසක් පොසොන් උත්සව අර්ථවත් කරමින් ආගමික වැඩසටහන් සඳහා මුල් තැනක් ලබා දෙන්නේ සාරධර්ම අනාගතයට දායාද කිරීමේ , වත්මන් පරපුරට දැක බලා ගැනීමේ අවස්ථාව ලබා දීමෙහි පුරෝගාමී වෙමිනි. ලේක්හවුස් මිහින්තලා ආලෝක පුජාව එහිදී සුවිශේෂිය. පොසොන් සමයේ ශ්‍රද්ධා සිතින් මිහින්තලාව වැඳ පුදාගන්නට එක් රොක් වන ලක්ෂ සංඛ්‍යාත ජනතාවට දැක සිත් පහන් කරගන්නට මිහින්තලා පුදබිමේ අඳුර දුරු කරන්නට මෙම ආලෝක පූජාව වසර 55 ක් පුරා ක්‍රියාත්මක වන්නේද ඊට සමගාමීව තවත් ආගමික පුද පුජා, පින්කම් සංවිධානය කෙරෙන්නේද අනුබුදු මිහිඳු මා හිමියන්ට කරන පූජාවක් ලෙසිනි. පොසොන් සමයේ මේ උතුම් පුණ්‍ය කර්මයන් දැක බලා සිත් පහන් කරවා ගැනීමට අවස්ථාව උදාවී උතුම් ශ්‍රී සද්ධර්මයෙන් නිවී සැනසෙන්නට ධර්මාවබෝධය ලැබේවායි ප්‍රාර්ථනා කරමු.

 

පොසොන් පුර පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පෝය ජුනි 08 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 04.16 ට ලබයි.9 වනදා සිකුරාදා අපරභාග 06.39 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 8 වනදා බ්‍රහස්පතින්දාය.
 

මීළඟ පෝය ජුනි 17 වනදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 08

Second Quarterඅව අටවක

ජූනි 17

Full Moonඅමාවක

ජූනි 23

First Quarterපුර අටවක

ජූලි 01


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]