UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහින්තලයේ බොංජි ශ්‍රී ලංකා බෞද්ධ මධ්‍යස්ථානයේ දී පින්කම් රැසක්

මිහින්තලයේ බොංජි ශ්‍රී ලංකා බෞද්ධ මධ්‍යස්ථානයේ දී පින්කම් රැසක්


බොංජි – ශ්‍රී ලංකා මහා සාම සෑය


බෝතලේගම සංඝරතන හිමි

මෙවර පොසොන් සතිය තුළ මිහින්තලේ බොංජි බෞද්ධ මධ්‍යස්ථානය කේන්ද්‍ර කොට ගනිමින් ජපන් බොංජි බෞද්ධ ශුද්ධ අක්ෂර පිළිබඳව බැතිමතුන් දැනුවත් කිරීමේ පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මිහින්තලේ බොංජි ශ්‍රී ලංකා බෞද්ධ මධ්‍යස්ථානාධිපති , ශාස්ත්‍රපති බෝතලේගම සංඝරතන හිමියෝ කටයුතු සංවිධානය කර ඇත.

මිහින්තලේ කළුදිය පොකුණ ආසන්නයේ පිහිටි බොංජි ශ්‍රී ලංකා බෞද්ධ මධ්‍යස්ථානය මිහින්තලාවට එන සැදැහැවතුන් බොංජි මධ්‍යස්ථානය වැඳ පුදා ගන්නේ එහි සිදු කෙරෙන බෞද්ධ වැඩසටහන් කෙරෙහි පවතින විශ්වාසය හා ප්‍රසාදය නිසා වෙනි.

ජපානයේ ජෝ– එන්කුබෝතා මහා දානපතිනිය ඇතුළු එරට බෞද්ධ දාන පතියන්ගේ ධනපරිත්‍යාගයෙන් එය ඉදි කර ඇත. බොංජි ශ්‍රී ලංකා මහා සාම සෑය අභියස සෑම දිනකම ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයටම සාමය පතා පුද පුදපූජා පැවැත්වීමට බෝතලේ ගම සංඝරතන හිමියෝ අමතක නොකරති.

බොංජි යනු බෞද්ධ ශුද්ධාක්ෂර විශේෂයකි. එම අක්ෂර කියවීමෙන්, ඇදහීමෙන් වැඳීමෙන් ප්‍රාර්ථනා ඉෂ්ඨකර දීමේ බලයක් ඇතැයි ජපන් ජාතික බොදුනුවෝ විශ්වාස කරති. එම විශේෂ බොංජි අක්ෂර කීපයක් සාම චෛත්‍ය රාජයාගේ ගර්භය තුළ සියල්ලන්ටම දැක ගත හැකි වන ලෙස ඇඳ තිබේ. සෑයේ තැන්පත් කර ඇති සර්වඥ ධාතූන් වහන්සේලාගේ බල මහිමයෙන් සහ චෛත්‍යගර්භයේ ඇඳ ඇති බොංජි අක්ෂරයන්ගේ ආනුභාවයෙන් විශාල පිහිටක් ලැබෙන බව විශ්වාසයක් පවතී.


ශාක්‍යමුණි බුදුරජාණන් වහන්සේ සංකේතවත් කරනු ලබන බොංජි අක්ෂරය

ලෝක සාමය පතා ඉදි වූ සාම මහා සෑය අබියස පිහිටා ඇත්තේ ජය ශී‍්‍ර මහා බෝධින් වහන්සේගේ අංකුරයකි. මෙම බෞද්ධ මධ්‍යස්ථානය නිසා මෙතෙක් ජපානයේ බෞද්ධ ජනතාව අතර පමණක් ප්‍රචලිතව පැවති බොංජි නම් වූ බෞද්ධ ශුද්ධ අක්ෂර කලාව පිළිබඳ අවබෝධයක් සහ එහි ආශිර්වාදය ලබා ගැනීමේ අවස්ථාව මෙරට බෞද්ධ ජනතාවටද උදාවී තිබේ.

බෝතලේගම සංඝරතන හිමියන් ජපානයට වැඩම කර තෝකියෝ නුවර කොමශාවා බෞද්ධ විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ජපානයේ බුදුදහම පිළිබඳ පර්යේෂණයක නියැළුණු අතර වසර හයක පමණ කාලයක් බොංජි නම් වු මෙම සුවිශේෂි ශුද්ධ අක්ෂර කලාව පිළිබඳව හදාරා තිබේ. අනතුරුව උන්වහන්සේගේ බලවත් ඉල්ලීම මත ශී‍්‍ර ලංකාවේ බෞද්ධයන් අතරේද බොංජි අක්ෂර කලාව ඉගැන්වීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට දානපතිනි ජෝ. එන්කුබෝතා ආචාර්ය තුමිය එකඟ වූවාය. ඒ අනුව මිහින්තලේ ඉදිකරන ලද මෙම බොංජි බෞද්ධ මධ්‍යස්ථානය ජපානය හා ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය ආරම්භ වී වසර 50 ක් සම්පූර්ණ වූ දින එනම් 2002 වසරේ සැප්තැම්බර් මස 15 වෙනි දින විවෘත විය.

එම ස්ථානය බොංජි හෝඩිය අක්ෂර 51 කින් සමන්විතය. මේ සෑම අක්ෂරයක්ම එක් එක් බුදුවරයෙකුගේ, බෝධිසත්වවරයෙකුගේ හෝ දෙවිකෙනෙකුගේ සංකේත ලෙස භාවිතා කරයි. ඒවා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටක ධර්මය ලිවීමට පමණක් භාවිතා කිරීම මෙහි ඇති විශේෂත්වයයි. බොංජි අක්ෂර කලාව භාවනාවක් වශයෙන් පුරුදු කිරීමෙන් චිත්තඒකාග්‍රතාවයද සලසාගත හැකි බව පැවසේ.

මේ අනුව පොසොන් සතිය තුළ පැමිණෙන බැතිමතුන්ට බොංජි බෞද්ධ අක්ෂර කලාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් නොමිලයේ පැවැත්වෙන බවද සියලු බැතිමතුන්ට බොංජි අක්ෂර පත්‍රිකා නොමිලයේ බෙදා දෙන අතර පින්කම් රැසක්ද මෙහි සිදු කෙරෙන බවද බෝතලේගම සංඝරතන හිමියෝ පැවසූහ.


 

පොසොන් පුර පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පෝය ජුනි 08 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 04.16 ට ලබයි.9 වනදා සිකුරාදා අපරභාග 06.39 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 8 වනදා බ්‍රහස්පතින්දාය.
 

මීළඟ පෝය ජුනි 17 වනදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 08

Second Quarterඅව අටවක

ජූනි 17

Full Moonඅමාවක

ජූනි 23

First Quarterපුර අටවක

ජූලි 01


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]