UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

‘මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව‘ 2017 - නිමිත්තෙන් නිකුත් කළ  පණිවුඩ

 

සමස්ත ලංකාවාසීන් සෑම දෙනාම ආලෝකයට පත් කර වූවකි

මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති
මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ
මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක
තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමි

තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශයෙන් තෙවරක් පාරිශුද්ධත්වයට පත් වූ ශ්‍රී ලංකාද්වීපයට අනුබුදු මිහිඳු මාහිමියන් වහන්සේගේ වැඩම වීම පොසොන් පොහොය සැමරීමේ මූලික අරමුණයි. ඒ අසිරිමත් පොහොය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කිරීමට ලැබීම අපගේ සතුටට කරුණකි.

ශ්‍රී ලාංකේය ඉතිහාසයේ ස්වර්ණමය සංසිද්ධිය ලෙස අවිවාදයෙන් පිළිගන්නා මිහිඳු මාහිමියන්ගේ ලංකාගමනය විවිධාකාර මිසදිටු ඝණ අඳුරෙන් වැසි තිබුණු සමස්ත ලංකාවාසීන් සෑම දෙනාම ආලෝකයකට පත්කරලුවක් ලෙස හැඳින්විය හැකිය.

මිහිඳු මාහිමියන්ගේ වැඩමවීම හුදෙක් බෞද්ධ දර්ශනය ලංකාවට හඳුන්වාදීම සඳහා පමණක් සිදුවූවක් නොවේ. බෞද්ධ දර්ශනයෙන් ඔප් නැංවුණු බෞද්ධ සංස්කෘතිය ද උන්වහන්සේ ලාංකික අපට හඳුන්වා දුන්හ. ඒ බෞද්ධ සංස්කෘතියෙන් ශික්ෂණය ලද ශ්‍රී ලාංකිකයෝ ආධ්‍යාත්මයෙන් හා චාරිත්‍රවාරිත්‍රවලින් සුපෝෂණය වූහ. ප්‍රෞඪ ඉතිහාසයක් හිමි ශ්‍රී ලාංකිකයන්ට ප්‍රෞඪ සංස්කෘතියක උරුමය හිමි වූයේ අදවන් පොසොන් පොහෝ දිනයක අනුබුදු මිහිඳු මාහිමියන් රැගෙන ආ සදහම් පණිවුඩය නිසාය.

මිහිඳු මාහිමියන්ගේ ඒ උත්තරීතර ශ්‍රී නාමය අද දවසේ ලංකාව පුරා විවිධ ආමිස පූජා යටතේ සිහිපත් කිරීම වඩා උචිතය. එහෙත් වඩාත් අර්ථදායී වන්නේ මිහිඳු මාහිමියන් ලාංකාභිවෘද්ධිය උදෙසා එදා හඳුන්වා දුන් බෞද්ධ පණිවුඩය චර්යාත්මකව ක්‍රියාවට නැංවීමයි.

ඒ උතුම් දිනය සිහිපත් කරමින් ලේක්හවුස් ආයතනය 55 වන වර්ෂයටත් ‘මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව‘ 2017 වර්ෂයේ ද ජූනි 07 වෙනි දින සිට දින පහක් පුරාවට සිදුකිරීමට නියමිත පින්කම්මාලාවට ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය ප්‍රාර්ථනා කරමු.


ආලොකො උදපාදි

මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ
අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහානායක
මහනුවර භයගිරි විජයසුන්දරාරාම විහාරද්වයාධිපති
රාජකීය පණ්ඩිත, මහෝපාධ්‍යාය,
වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතන මහා නාහිමි

ශ්‍රී සම්බුද්ධ වර්ෂයෙන් 236 වැන්නේ දේවානම්පියතිස්ස රජු දවස මහින්ද මහරහතන් වහන්සේගේ වැඩමවීමත් සමග ලක්දිව සම්බුද්ධ ශාසනය ප්‍රතිෂ්ඨාපනය විය. ඒ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ප්‍රථම පාදස්පර්ශයෙන් පාරිශුද්ධ වූයේ මිහින්තලාවයි. පූජනීය අසිරිමත් මිහින්තලාව ලක්දිව සම්බුද්ධ ශාසනයේ උප්පත්ති ස්ථානය පමණක් නොව බෞද්ධ සංස්කෘතියේ හා සාරධර්මයන්ගේ කේන්ද්‍රස්ථානය ද විය. ධර්මාලෝකයෙන් හා ඥානාලෝකයෙන් සිරිලක ඒකාලෝක කළ මිහින්තලාව ප්‍රමුඛතම පූජනීය පෞරාණික සිද්ධස්ථානයකි.

ඓතිහාසික මිහින්තලාව සැදැහැ සිතින් වැඳ පුදා ගැනීමට වැඩිම පින්වත් පිරිසක් නන් දෙසින් ඇදී එනුයේ වර්ෂයේ පින්බර පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයේදී ය. එසේ පැමිණෙන සැදැහතියන්ගේ ශ්‍රද්ධා භක්තිය වඩා වර්ධනය වන පරිද්දෙන් පනස්පස් වසරටත්, මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව පැවැත්වීම මහත් පින් ඵල ලබා දෙන පුණ්‍යකර්මයකි. එම උතුම් පින්කම අඛණ්ඩව පවත්වාගෙන ආ ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමට, එම අගනා පුණ්‍යකර්මය ඉදිරියටත් නොකඩ කොට සාර්ථකව පවත්වාගෙන යෑමට ත්‍රිවිධ රත්නයේ හා ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ ආශීර්වාදය නොමඳව ලැබේවායි ආශිංසනය කරම්හ.


ශීලයෙහි පිහිටා සිතත් නුවණත් වඩා දියුණුව උදාකර ගනිමු

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක
අග්ග මහා පණ්ඩිත
නාපාන පේමසිරි මහා නා හිමි

තෙවලා බුදුදහමත් සමඟ දියුණු ශිෂ්ටාචාරයක් සංස්කෘතියක් අපට උරුම කර දීම සඳහා අනුබුදු මිහිඳු මාහිමියන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට වැඩම කළ අනුස්මරණීය දිනය පොසොන් පෝය දිනයයි. විවිධ ආගමික මිථ්‍යා මතාන්තර වෙත නැඹුරුව සිටි මෙරට ජනතාවගේ ප්‍රඥා ප්‍රදීපය දල්වා ප්‍රඥාවන්තයන්ටම විෂය වූ බුද්ධධර්මය දේශනා කොට ලෞකික ලෝකෝත්තර දියුණුව සළසා ගන්නා , මඟ සළසා ගන්නා බුදුමඟ මිහිඳු මාහිමියන් වහන්සේ පෙන්වා දුන්හ.

මේ නිසා රටේ රජතුමාද ප්‍රධාන වැසියෝ ද කයින් ,වදනින් සිදුවන තමන්ටත් අනුන්ටත් අයහපතට හේතු වන වැරදි අතහැර පොදු යහපතට හේතු වන සත් කාර්යන් සිදු කරන සිල්වතුන් වීමට උත්සුක වූහ. රාග, ද්වේෂ, මෝහ ආදි පව් සිතුවිලි මැඩ මෛත්‍රී, කරුණා ගුණ වඩමින් ප්‍රඥාව පුබුදුවාලීමේ කාර්යයෙහි නියැලුනෝය. මේ නිසා මෙරට රහතුන් වහන්සේගෙන් පිරි රටක් විය. යෝධ වැව්, පොකුණු, වාරි මාර්ග සැකසී ආර්ථිකයෙන්ද සමෘද්ධිමත් දේශයක් විශ්මිත විහාර දාගැබ් පිළිම වහන්සේ දිලෙන පුණ්‍ය භූමියක් බවට සිරිලක පත්විය.

මිහිඳු මාහිමියන් හඳුන්වා දුන් ධර්මාලෝකයෙන් ආර්ථික ආධ්‍යාත්මික වශයෙන් සමෘද්ධිමත්ව විශ්ව කීර්තියට පත් ශ්‍රී ලංකාව අද පත්ව ඇති ආර්ථික අධ්‍යාත්මික අගාධයෙන් ගොඩ ඒමට නම් අප යළි බුදුමගට යායුතු වේ. දහම යැයි කියා සිදුකරන ආටෝප වැඩ හැර පන්සිල් සුරකිමින් සිත ඇති රාග ද්වේෂ මෝහ ගිනි නිවා ප්‍රඥාවෙන් සරු නිසරු දෙය තෝරා ගෙන කටයුතු කිරීමට මේ උතුම් දිනයේ පාලක පාලිත සියලු දෙනාම අදිටන් කර ගැනීම වටී.

වත්මන් සමාජය ධර්මයෙන් ඈත්කර පසිඳුරන් පිනවන දිසාවට යොමු කරන දේවල්ම රටේ බහුලව පවතී. ජනමාධ්‍යවලින්ද එයට මහත් අනුබලයක් ලැබේ. නමුත් ලේක්හවුස් ආයතනය මගින් දශක ගණනාවක සිට අඛණ්ඩව පවත්වා ගෙන එන බුදුසරණ පුවත්පත සමාජය යහමගට යොමු කිරීම සඳහා අමිල මෙහෙවරක් සිදු කරයි. ලේක්හවුස් ආයතනය මිහින්තලේ වාර්ෂිකව සිදුකරන ආලෝක පුජාවද මිහිඳු මාහිමි වෙත කෙරෙන කෘතෝපකාර පූජාවකි. ජනමාධ්‍ය ආයතනයක් වශයෙන් යුගයේ කළ යුතු මෙහෙවර තෝරාබේරාගෙන කටයුතු කරන ලේක්හවුස් ආයතනයට අපගේ ප්‍රශංසාත්මක ආශිර්වාදය හිමිවේ.


රටට ආලෝකය ලබාදුන් දවස

ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ
උත්තරීතර මහා නායක
අග්ගමහා පණ්ඩිත – මහෝපාධ්‍යාය
කොටුගොඩ ධම්මාවාස මහා නා හිමි

මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කළ දිනය පොසොන් පුර පසළොස්වක් පොහොය දවසයි. ක්‍රමවත් ආගමක් නොතිබූ මෙරට වාසීහු එදා බුදුදහම වැළඳ ගත්හ. එයට ප්‍රමුඛ හේතුව වුයේ දේවානම්පියතිස්ස මහරජතුමන් ප්‍රමුඛ රාජකීය පිරිස බුදුදහම වැළඳ ගැනීමයි. මේ දක්වා ක්‍රමවත් ආගමක් නොතිබූ රටක් වූ බැවින් මිහිඳු මහරහතන් වහන්සේගේ ධර්මදූත සේවා සියයට සියයක්ම සාර්ථක බවට පත්කර ගැනීමට හැකිවිය.

මිහිඳු මහරහතන් වහන්සේ පොසොන් පෝය දා වැඩමවීමෙන් පසු එම වසරේම උඳුවප්පුර පෝය දින සංඝමිත්තා මහ රහත් මෙහෙණිය තව පිරිසක් සමඟ මෙහි සැපත් වූවාය .ධර්මාශෝක අධිරාජයාගේ දරුදෙපළ පැවිදිව. මේ කළ උදාර ශාසනික සේවාව නිසා ලක්දිව, ආගමික සංස්කෘතික හා පරාර්ථචාරී සේවාවන්ගෙන් පිරිපුන් දේශයක් බවට පත්විය. එබැවින් පොසොන්පුර පසළොස්වක පොහෝ දිනය රටට ආලෝකය ලබාදෙන දවස වශයෙන් සැලකීමද බෙහෙවින්ම වැදගත් ය.

මෙවර පොසොන් පොහෝදින උත්සවයන් සඳහා අප විසින් ඉටුකළ යුතු තවත් කාර්ය භාරයක් පැවරී තිබේ. ඉකුත් සති දෙක තුන තුළ කඩා හැලුන ධාරාණිපාත වර්ෂාව නිසා ඇළ දොළ ගංගා, වැව්, අමුණු, කුඹුරු, වතුපිටි, ගෙවල්, දොරවල්, මහාමාර්ග විනාශවීමත්, ජීවිත හානි සිදුවීම නිසාත් ජනතාව දුකට පත් වූ මේ අවස්ථාවේ පොසොන් උත්සවය වෙනුවෙන්, මිල මුදල් යොදවා සිදුකිරීමට නියමිතව පැවැති තොරණ, පෙරහර දන්සල් ආදිය සඳහා තමශ්‍රමයත්, ධනයත් යෙදවීමට බොහෝ දෙනා සූදානම්ව සිටියහ. ඒ සියලු කටයුතු නවතා අපේ රටේ දුකටපත් අපේ සහෝදර ජනතාව වෙනුවෙන් ඇප කැපවී පරිත්‍යාගශීලීව කටයුතු කරන මෙන් මහා සංඝයාවහන්සේලා වශයෙන්. හුදෙක්ම පොදු මහජනතාවගෙන් ඉල්ලා සිටිමු. එසේම සමගිය, සහයෝගිතාවය, කරුණාව, මෛත්‍රීය ආදී උත්කෘෂ්ඨ ගුණයන්ද වඩාත්ම ඉස්මතු කර ගනිමින් ක්‍රියා කිරීම අප කාගේත් පරම පවිත්‍ර යුතුකම වන්නේ ය. උතුම්ම පොසොන් පූජාවද එයමැයි.


අනුබුදු මිහිඳු මාහිමියන් සිහිකරන විට මතකයට එන්නේ මිහින්තලාවයි

මිහින්තලා රජමහා විහාරාධිපති
සහ භාරකාර
වළවාහැංගුණවැවේ ධම්මරතන හිමි

අසිරිමත් පොසොන් පොහොය සහ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ සිහියට නැගෙත්ම නිරන්තරයෙන් සිහිපත් වන ඓතිහාසික පුදබිම මිහින්තලාවය. සතර බුදුරජාණන් වහන්සේලාගේ පාදස්පර්ශයෙන් අතිපාරිශුද්ධත්වයට පත් වූ මිහින්තලාව මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රධාන දහස් ගණන් මහ රහතන් වහන්සේලා වැඩ සිටි පින්බිමකි. ඒ නිසාම සදේවක ලෝකවාසීන්ගේ ඉමහත් ගෞරවයට පාත්‍රවු පුණ්‍ය භූමියක් ලෙස සඳහන් කළ යුතුය.

දේවානම්පියතිස්ස මහ රජතුමාගේ පටන් රාජ රාජ මහාමාත්‍යාදීන් ඒ ඒ යුගයන්හිදී මිහින්තලා පුදබිමෙහි කරවන ලද වෙහෙර විහාර , ස්තූප, ගල්ලෙන්, පිරිවෙන්, දානශාලා, රෝහල් පොකුණු ආදි ඓතිහාසික පුරාවිද්‍යාත්මක ස්මාරක වස්තුන්ගෙන් සමන්විත මිහින්තලා පුරාවෘතය සිහිපත් කරන විට සැදැහැති, හදවත් තුළ ජනිත වනුයේ ඉමහත් ගෞරවයකි. ශ්‍රද්ධාවකි. පංචශීල, ප්‍රතිපදාව, පැවිද්ද, උපසම්පදාව, වස්විසීම, ආදිය ආරම්භ වූයේද මිහින්තලා පුදබිම කේන්ද්‍ර කර ගෙනය. එබඳු ප්‍රෞඪ ඉතිහාසයකින් සමන්විත මිහින්තලාව වසරේ අනෙකුත් දිනයන්ට වඩා පොසොන් සමය තුළ මහත් ගෞරවයෙන් රටේ සිව්දෙසින් පැමිණෙන වන්දනාකරුවන්ගේ නොමඳ ගෞරවයටත්, වන්දනාවටත් පාත්‍ර වේ.

පොසොන් සමය තුළ පමණක් ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් මිහින්තලාව වන්දනා කරනුයේද ඇත අතීතයේ සිටය. වර්තමානය වන විට බෞද්ධයන්ගේ චාරිත්‍රයක් බවට එය පත්වී ඇති බව නොරහසකි.

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව මෙවර පවත්වනුයේ පනස් පස්වන වරටය. ලේක්හවුස් ආයතනය මෙහෙයවීමෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ සම අනුග්‍රහයෙන් හා විවිධ ආයතනයන්හිද අනුග්‍රහය ඇතිව මෙවර ආලෝක පුජාව පුරා දින පහක් පැවැත්වේ. ඊට සහාය දක්වන සියලු ආයතන මෙහිදී කෘතවේදීව සිහිපත් කරමි. මිහින්තලා පුදබිමෙහි පෞරාණිකත්වය ආරක්ෂා කරමින් එහි නවෝදයට සහාය දැක්වූ සහ දැනටත් අනුග්‍රහය දක්වන සියලු රාජ්‍ය නායකයන්, ඒ ඒ රජයන් වෙතද කාරුණිකව පින්දෙමි.

මිහිඳු මහ රහතන් වහන්සේ වැඩමවා වදාළ ඓතිහාසික මිහින්තලා රජ මහා විහාරයේ කටයුතුවලට දායකත්වය, සහාය දැක්වීම මහඟු පුණ්‍යකර්මයක් ලෙස කල්පනා කළ යුතුවේ. එවන් පින්කෙතක සිදු කෙරෙන පින්කම්වලට දායකත්වය දැක්වීම පූර්ව සසර බල මහිමයේ වාසනාවක් ලෙසද සිහි කළ යුතුය.

රටටත් ජනතාවටත් සෙත් පතා වාර්ෂිකව පවත්වන සති පිරිත් දේශනාව පසුගියදා පැවැත්විණි, මිහින්තලා මහ සැ රදුන් ප්‍රධාන සියලු විහාරාංගයන් තීන්ත ආලේප කිරීම මෙවරත් ලේක්හවුස් ආයතනය අනුග්‍රහයෙන් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරින්ගේ ශ්‍රමදායකත්වයෙන් සිදු කෙරුණු අතර ඊට පුණ්‍යානුමෝදනාවද සිදු කරමු. මහ සෑ මළුවේ ගල්අතුරා ආරක්ෂා කිරීමට ගත් පියවරද අගයමු. මෙතෙක් විශාල අඩුපාඩුවක් ව පැවැති ධර්මශාලා මන්දිරය ඉදිවෙමින් පවතින අතර

එමගින් වන්දනාකරුවන් වෙතද අගනා මෙහෙවරක් සැලසිය හැකිවේ.

එසේ මිහින්තලා පුදබිම වන්දනාවට පැමිණෙන සැදැහැවතුන් පුදබිමට සුදුසු වන්දනාවට ගැලපෙන ඇඳුම් පැළදුම් වලින් සැරසි පැමිණීමද කාරුණිකව අපේක්ෂා කරමු. එසේ පැමිණ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා සියැසින් දැක බලා වැඳ පුදා ගැනීමත් මිහිඳු මහ රහතන් වහන්සේට දක්වන කෘතෝපහාරය ලෙසද සඳහන් කරනු කැමැත්තෙමි.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සහ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා මිහින්තලා ලේක්හවුස් ආලෝක පුජාවට සහභාගිවීම ඓතිහාසික කරුණකි.

ලේක්හවුස් ආදි කර්තෘ ඩී.ආර්. විජයවර්ධන ශී‍්‍රමතාණන්ගේ අදහස මල්ඵල ගන්වමින් එතුමාගේ පුත්‍ර රත්නය වන රංජිත් විජයවර්ධන මහතාගේ මූලිකත්වයෙන් එදා ආරම්භ කළ ලේක්හවුස් ආලෝක පූජාව මගින් මේ වන විට ප්‍රදේශයේ ආගමික, සාමාජික, අධ්‍යාපනික, සෞඛ්‍ය ආදී විවිධ අංශ වෙත අවධානය යොමු වී ක්‍රියා කළ ආකාරය පැසසුම් සහගතය.

ලංකා විදුලිබල මණ්ඩලය, ජලසම්පාදන මණ්ඩලය, අනුරාධපුර දිසා ලේකම්තුමා , ත්‍රිවිධ හමුදාව, පොලීසිය, උතුරුමැද පළාත් සභාව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය සභාව සාගල රත්නායක අමාත්‍යතුමන්, රුවන් විජයවර්ධන රාජ්‍ය අමාත්‍යතුමන්, මිහින්තලේ ප්‍රාදේශීය ලේකම්තුමන්, ලේක්හවුස් සභාපතිතුමන් ඇතුළු මෙම කටයුතු සාර්ථක කර ගැනීමට නන් අයුරෙන් සහාය දෙන සියලු ආයතන ඇතුළු විවිධ සංවිධානද මෙහිදී කෘතඥතා පූර්වකව සිහිපත් කරමි.


අනුබුදු මිහිඳු මා හිමි වැඩම කළ මිහින්තලාවට පිරිනැමෙන ගෞරවය අතිමහත්ය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
ජනාධිපති
මෛත්‍රීපාල සිරිසේන

අප නව ශිෂ්ටාචාරයක් කරා ගමන ආරම්භ කළේ එදවස මිහින්තලාවේ දී දේවානම්පියතිස්ස රජතුමා දඩ කෙළි නිමාකර නතර වූ තැන් සිටය. එතැන්හිදී දුනු හී අත්හළ දේවානම් පියතිස්ස රජතුමා සමග අප ජාතිය එළැඹියේ අවිහිංසාව, කරුණාව සහ මෛත්‍රීය පෙරදැරි කරගත් ගමනකටය.

එදා මෙදාතුර බෞද්ධ ශිෂ්ටාචාරය කෙරෙන් ලද විනය, ශික්ෂණය සහ හැදියාව තුළින් විශිෂ්ට ජාතිකත්වයක උරුමකරුවන් බවට පත් වූ අප කෘතවේදී මෙන්ම සතාසීපාවා කෙරෙහි ද අතිශය කාරුණික ජනතාවක් ලෙසින් පිදුම් ලබන්නෙමු.

මිහින්තලා පුදබිම අපේ ජාතික මව් උකුළ බවට පත්වන්නේ ඒ අනුවය. ලේක්හවුස්’ ආයතනය වාර්ෂිකව පනස් පස්වන වතාවටත් මෙවර පොසොන් පොහෝදින ආලෝක පූජාවෙන් පුදනුයේ අපේ වර්තමාන සහ අනාගතය විචිත්‍රවත් කළ එකී පුදබිමය. එනයින් අඩසිය වසකටත් අධික කාලයක් පුරා ඉටුකරන ජාතික යුතුකම වෙනුවෙන් සමස්ත ජාතියේම ගෞරවය, ලේක්හවුස් ආයතනය වෙත පිරිනැමිය යුතු ය.

එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් උළෙල අතිගෞරවනීය අයුරින් සැමරූ අප ථෙරවාදී බුදුදහමේ කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකාව රැගෙන යන ගමනේ දී අනුබුදු මිහිඳු හිමි වැඩම කළ මිහින්තලාවට පිරිනැමෙන ගෞරවයද අතිමහත් ය.

පින්බිම පොසොන් පොහෝදින ආලෝක පූජාවෙන් පුදන්නට පුරෝගාමී වූ සහ වසර පනස්පහක් අඛණ්ඩව පවත්වන්නට දායක වූ සියල්ලන්ගේ කැපවීම අගය කරන අතරම මෙවර ආලෝක පූජාව ද සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවායි ශුභාශිංසන පිරිනමමි.


සමස්ත දේශය දහම් ආලෝකයෙන් පුරවාලීම මෙම ආලෝක පූජාව තුළ සංකේතවත් වනු ඇත

අග්‍රාමාත්‍ය
රනිල් වික්‍රමසිංහ

නිවහල් චින්තනය, අවිහිංසාව, මෛත්‍රිය පෙරදැරි කරගත් නිර්මල බුදුදහම, අනුබුදු මිහිඳු මහ රහතන්වහන්සේ ප්‍රමුඛ පිරිස විසින් අප මව්බිමට වැඩම කරවන්නේ සමස්ත දේශය තුළ මහා පුනරුදයක් ඇති කරමිනි.

එම උත්තරීතර සිදුවීම බැතිබරව සමරන පොසොන් පෝදා අවිඳු අඳුර දුරලා ප්‍රඥා ප්‍රදීප දල්වාලීමේ අධිෂ්ඨානය පෙරදැරිව මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව සුපුරුදු ලෙස 55 වන වරටත් පැවැත්වේ. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ දෙවනපෑතිස් රජු හමු වී ධර්මය අවබෝධ කොට දෙමින් සමස්ත දේශය දහම් ආලෝකයෙන් පුරවාලීම මෙම ආලෝක පුජාව තුළ සංකේතවත් වනු ඇත. මගේ සමීපතම ඥාතීන් වන ලේක්හවුස් නිර්මාතෘවරුන් විසින් ආරම්භ කරන ලද, මාගේ පියාණන් වන එස්මන්ඩ් වික්‍රමසිංහ මැතිඳුන් ලේක්හවුස් කළමනාකාර අධ්‍යක්ෂ ධූරය හෙබවූ සමයේ මහත් ගෞරවයෙන් දායක වූ මිහින්තලා ආලෝක පුජාව අඛණ්ඩව ඉදිරියට ගෙන යන්නට හැකි වීම සතුටට කරුණකි.

පොදු ජන ජීවිතය හා බුදු දහම වඩා සමීප කිරීමේ අරමුණින් පොසොන් පෝ දා මිහින්තලා පුද බිමේ දී මුල් වරට එළි දක්වන ලද බුදුසරණ පුවත්පතට ද මාගේ හෘදයාංගම සුභාශිංසන පිරිනමමි.

මිහින්තලා ආලෝක පූජාව සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා......! ඔබ සැමට අර්ථවත්, බැතිබර පොසොන් මංගල්‍යයක් වේවා.....!


ලක්වැසි බෞද්ධ ජනතාවට පොසොන් පොහොය ඉතා වැදගත්

බුද්ධශාසන හා අධිකරණ අමාත්‍ය
ජනාධිපති නීතිඥ ආචාර්ය
විජයදාස රාජපක්ෂ

පොසොන් පොහොය බෞද්ධ අපට ඉතා වැදගත් දිනයකි. ඒ මක්නිසාදයත් විවිධ මිථ්‍යාමතවල ඇලී ගැලී සිටි ලක්වාසීන් දහම් ගංගාවෙන් නහවා පෝෂණය කළේ ලක්දිවට වැඩම කළ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ විසින් බව අප කවුරුත් දන්නා නිසාවෙනි. ක්‍රි.පූ. 3 වන ශතවර්ෂයේ දී අනුබුදු මිහිඳු මහා රහතන් වහන්සේගේ ලංකා ගමනයත් සමඟ ආර්ථික, සමාජීය, හා දේශපාලන, වශයෙන් සිංහලයා ජාතියක් හැටියට දියුණු වන්නට විය. එතැන් පටන් බුද්ධාගම ආණ්ඩුවේ ආගම විය. සිංහල සිංහාසනයේ නීත්‍යානුකූල අයිතිය බෞද්ධයෙකු හට හිමි විය. මෙසේ ආගමත්, ජාතියත්, රාජ්‍යයත් එක්වීම නිසා රටේ පාලන කටයුතුවලට ද ජාතියේ නිදහසට හා ආරක්ෂාවටද භික්ෂු ශාසනයෙන් වූ අමිල මෙහෙවර අධ්‍යනයේ දී තෛ‍්‍රනිකායික මහා සංඝරත්නයෙන් ඉටුවීම ජාතියක් හැටියටත් බෞද්ධ රටක් හැටියත් අපට සතුටු විය හැකි කාරණයකි.

මහින්දාගමනයෙන් අනතුරුව ලක්දිව බුදු සසුන පිහිටුවීම, දෙවියන්ට සමචිත්තපරියාය සූත්‍රය දේශනා කිරීම, දෙවනපෑතිස්ස රජු ඇතුළු හතළිස්දහසක් පමණ පිරිසට චුල්ලහත්ථිපදෝපම සූත්‍රය දේශනා කිරීම, භණ්ඩුක කුමරු පැවිදිවීම, මෙන්ම ලක්දිව උපසම්පදා කර්මය ලැබීම වැනි උතුම් ශාසනිකරුණු මත ලංකාවාසී බෞද්ධ ජනතාවට පොසොන් පොහොය ඉතාමත් වැදගත් වෙයි.

මෙවන් වැදගත් වූ දිනයක මිහින්තලා පව්ව වසර 55 ක් පුරා ආලෝක පූජාවෙන් ශෝභමාන කළ ලේක්හවුස් ආයතනයේ සභාපතිතුමන් ඇතුළු කාර්යය මණ්ඩලය සහ බුදුසරණ පුවත්පතට ගෞරවය පුදන්නට මෙය අවස්ථාවක් කර ගනිමි. සියලු ජනතාවට ශ්‍රී සුබ පොසොන් මංගල්‍යයක් වේවා!!!


බෞද්ධයාගේ මුදුන් මල්කඩ මිහින්තලාවයි

 

අප මව්බිමට උතුම් බුදු දහම දායාද කරදීමේ ඓතිහාසික සංසිද්ධිය සමරමින් සෑම පොසොන් පුරපසළොස්වක දිනයකම මිහින්තලා පුදබිම විදුලියෙන් ඒකාලෝක කිරීමේ මහඟු පුණ්‍යකර්මයට සහභාගි වීමටත්, එවන් ශාසනික ,ආගමික මෙන්ම ජාතික කර්තව්‍යයක් වෙනුවෙන් සුබපැතුම් එක්කිරීමට අවස්ථාවක් ලැබීමත් මහත් භාග්‍යයක් කොට සලකමි.

එදා මිහිඳු මාහිමියන් විසින් ශ්‍රී ලංකාද්විපය තුළ බුදුදහම ස්ථාපිත කිරීම සඳහා දේවානම්පියතිස්ස රජතුමාගේ සිත් පහදවා බුදු සසුන පිහිටවු අවස්ථාවේ සිට මේ දක්වාවූ කාලය තුළ බුදුදහමේ සිසිලසින් සමස්ත ශී‍්‍ර ලංකාවම නිවී සැනසී ගිය බව අපි දනිමු. මෙවන් වූ උතුම් ධර්මද්වීපයක් අපට උරුමකරදීමට මූලිකවූ පූජනීය භූමියක් වන මිහින්තලාව, නිතැතින්ම ලෝවැසි ජනයාගේ ගෞරවාදර භක්තියට පැවැත්වෙන මිහින්තලා ආලෝක පූජාව , මෙවරත් පොසොන් පොහෝදින අති උත්කර්ශවත් අන්දමින් පැවැත්වීමට හැකිවනුයේ ලංකා විදුලිබල මණ්ඩලය සපයන අනුග්‍රාහකත්වය නිසාම බව කෘතවේදීව සිහිපත් කළ යුතුය. මිහින්තලේ රජමහා විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී වළවාහැංගුණවැවේ ධම්මරතන නා හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි මෙවරත් සිදුකෙරෙන මෙම මිහින්තලා ආලෝක පුජාවට සමගාමීව තවත් ආමිස හා ප්‍රතිපත්තිමය පුණ්‍ය කටයුතු රාශියක් සිදුකිරීමට ලේක්හවුස් ආයතනය සහ ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු සංවිධානය කර තිබීම සතුටට කරුණකි.

මෙවන් වූ පුණ්‍යකර්මයන් සිදුකිරීමටත්, සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා කටයුතු කිරීමටත් සියලුම පාර්ශ්වයන්ට තව තවත් ශක්තිය, ධෛර්ය ලැබේවායි ප්‍රාර්ථනය කරන අතර සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම විසින් පිහිටුවා ඇති ආලෝක භාරය සහ ලංකා විදුලිබල මණ්ඩලය එක්ව සංවිධානය කරනු ලබන මෙම ආලෝක පුජා පුණ්‍යකර්මයද, ඉදිරියටද චිරාත් කාලයක් පවතීවායි සැදැහැ සිතින් ප්‍රාර්ථනය කරන අතරම ලේක්හවුස් ආයතනය මගින් සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් මුද්‍රණය වන එකම පුවත්පත වන බුදුසරණ පත්‍රය අනාගත පරපුර වෙතද දායාද කිරීමට හැකිවේවායි පතමි.


මෙවන් පින්කමක අසිරිය විඳ ගැනීමට ලැබෙන ඉඩකඩ මග නොහැරිය යුතු අවස්ථාවකි

උතුම් ශී‍්‍ර සද්ධර්මය මෙනෙහි කරමින් පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අර්ථාන්විතව ගත කරන බෞද්ධයා පින්කම් කිරීමට දක්වන උනන්දුව අමුතුවෙන් කිව යුතු නැත. වෙසක් පොහොය තරමටම පොසොන් පොහොය ද අපට එක සේ වැදගත්ය. නිමල බුදුදහමේ උරුමය ලද පොසොන් පොහොය නිමිති කරගෙන සැවොම පින්කම් කිරීමට සැරසෙන මොහොතක මිහින්තලා ලේක්හවුස් ආලෝක පුජාව සඳහා ආශිර්වාද පණිවුඩයක් ලබාදීමට හැකිවීම භාග්‍යයකි.

ජනහද වැළඳගත් පුවත් පවස සංසිඳුවන ලේක්හවුස් ආයතනය විසින් සිදුකරනු ලබන සද්කාර්යයන් අතර මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව මෙවර පවත්වන්නේ 55 වන වතාවටය. වසරකට වරක් එළඹෙන උතුම් පොසොන් පොහොය සමරමින් බොදු බැතිමතුන්ගේ බුද්ධාලම්බන පී‍්‍රතිය වඩවන මෙම පුණ්‍යකර්මය සැමට මාහැඟි අවස්ථාවකි. මිහින්තලාවට පැමිණෙන ජනතාවට පූජා භූමියේ ඓතිහාසික ස්ථාන නරඹන අතරම මෙවන් පින්කමක අසිරිය විඳගැනීමට ලැබෙන ඉඩකඩ මග නොහැරිය යුතු අවස්ථාවකි.

දිගුකාලයක සිට බුදුදහම පිළිබඳ යථාවබෝධයක් ලබාදෙන ලේක්හවුස් ආයතනයේ අභිමානවත් ප්‍රකාශනයක් වන බුදුසරණ පුවත්පත සමඟ එක්ව ඓතිහාසික මිහින්තලා පුරවරයේදී සැදැහැ සිතින් ආලෝකවත් මාහැඟි පින්කමට බැතිබර සහභාගිත්වය සැපයීමට සමස්ත බොදුනු ජනතාවට ඉඩකඩ ලැබී ඇත. නෙත් සිත් පහදවා මෙම දුර්ලභ අවස්ථාවට එක්රොක් වී ඓතිහාසික මිහින්තලා පුරවරයේ මිහින්තලා ආලෝක පුජාවේ ආශිර්වාදය ලබාගැනීමට ඇරැයුම් කරමින් සද්භාවයෙන් කරන්නා වූ මෙවැනි කාර්යයන් අඛණ්ඩව සිදුකිරීමට, රජරට පුරවරයේ අභිමානය සමඟින් ගුණ නැණ වැඩේවායි ප්‍රාර්ථනා කරමි.


 

පොසොන් පුර පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පෝය ජුනි 08 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 04.16 ට ලබයි.9 වනදා සිකුරාදා අපරභාග 06.39 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 8 වනදා බ්‍රහස්පතින්දාය.
 

මීළඟ පෝය ජුනි 17 වනදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 08

Second Quarterඅව අටවක

ජූනි 17

Full Moonඅමාවක

ජූනි 23

First Quarterපුර අටවක

ජූලි 01


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]