UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහිඳු සංස්කෘතියේ වර්තමාන භාවිතය

මිහිඳු සංස්කෘතියේ වර්තමාන භාවිතය

වර්තමාන සිංහල සංස්කෘතිය පිරිහීමට පත්ව ඇත්තේ කුමන අංශයන්ගෙන්ද?යන්න ගැටලු වෙයි.ඒ ඒ අංශවලින් පිරිහී ඇත්නම් පිරිහීම නැතිකිරීමට ගත යුතු ක්‍රියාමාර්ග ගත යුත්තේ කුමන අංශවලින්ද?ඒ සඳහා කෙබඳු ආකාරයේ දක්ෂතා අවශ්‍ය වෙනවාද?ආදී වශයෙන් ගැටලුව තේරුම් ගැනීම විසඳුම් ලබාදීමට අවශ්‍ය වෙයි.

මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කිරීමෙන් පසු සිංහල සංස්කෘතිය තුළ නව පිබිදීමක් ඇති වුණායැයි කියන මතය මූලාශ්‍ර ග්‍රන්ථවලත් , වර්තමානයෙහි ජීවත් වන සියලු දෙනාගේත් පිළිගැනීමයි. මිහිඳු මහරහතන් වහන්සේගේ ශ්‍රී ලංකාගමනයෙන් පසුව ශ්‍රී ලංකාව ශිෂ්ටත්වයෙන් විශිෂ්ටත්වයට පත්වූ බවයි.එය සනිටුහන් කරන කරුණු කාරණා කිහිපයක් සඳහන් කළ හැකියි.

පළමු කාරණාව ලෙස සංසාරය අවසන් කළ මනුෂ්‍යයන් බිහිවීමයි. ගිහි පැවිදි දෙපාර්ශවයෙන්ම මහරහත්භාවයට පත්වූ උතුමන් බිහිවීමයි. මහරහත් භාවයට පත්වුණ පුද්ගලයා සංසාර ගමන නිම කරයි.මනුෂ්‍යයෙකුගේ අධ්‍යාත්මික වර්ධනයේ උපරිමය මහරහත්භාවයයි. ශ්‍රී ලාංකික මනුෂ්‍යයන් එම තත්ත්වය දක්වා අධ්‍යාත්මික වශයෙන් දියුණුවක් ලබන්නේ මහින්දාගමනයෙන් පසුවයි. මහින්දාගමනයෙන් පසු ඇතිවුණ තත්ත්වය එයට හේතුවෙයි. එම නිසාම මහින්දාගමනයෙන් පසු සිංහල සංස්කෘතියෙහි අධ්‍යාත්මික පාර්ශවය වර්ධනය වූ බව පැහැදිලිව පෙනෙන කාරණාවක් බව සඳහන් කළ හැකියි. දෙවන කාරණය ලෙස මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළාට පසු සිංහලයන්ට අක්ෂර කලාවක් බිහිවීම සඳහන් කළ හැකියි. සාමාන්‍යයෙන් කඩදාසිය සොයාගැනීමත් , ලේඛනය සොයාගැනීමත්, ලේඛනය සඳහා අක්ෂර මාලාවක් සොයාගැනීමත් ඕනෑම මානව සංස්කෘතියක වර්ධනයක් ලෙසත්, දියුණුවේ උපරිමයත් ලෙස සැලකිය හැකියි. දියුණුවේ උපරිමය එය නොවුණත් මිනිසාගේ සිතිවිලි වචන බවට පත්කර අනෙකාට කියවා තේරුම් ගැනීමට අවස්ථාව සැලසීම අක්ෂර කලාවේ අවශ්‍යතාවය වෙයි.අක්ෂර කලාව බිහිවීම සිදුවූයේත් මහින්දාගමනයෙන් පසුවයි. ඒ නිසා එය තවදුරටත් වර්ධනය කරගැනීම හා ඒ සඳහා උත්සාහ වීම ගිහි පැවිදි පිරිසගේ යුතුකමයි.

තුන්වන කාරණාව ලෙස මහින්දාගමනයෙන් පසුව සිංහල රට සිංහල සංස්කෘතික රටක් බවට පරිවර්තනය වීමයි. මහින්දාගමනයට පෙර සිංහල රට තිබුණත් , සිංහල සංස්කෘතික රටක් බවට පරිවර්තනය වූයේ මහින්දාගමනයත් සමඟයි. සංස්කෘතික යන වචනයෙන් අදහස් කරන්නේ නිවැරැදි පිළිවෙළකට සකස්කළ , නිවැරැදි පිළිවෙළකට සකස්වුණ,නිවැරැදි පිළිවෙළකට ගමන් කළ යන අදහසයි. ඒ අනුව සිංහල සංස්කෘතික රට සිංහල සංස්කෘතික උරුමය සිංහල සංස්කෘතික හරධර්ම හා සාරධර්ම ගුණධර්ම ආරම්භවන්නේ මහින්දාගමනයෙන් පසුවයි. මහින්දාගමනයෙන් පසුව ඇතිවුණ ගුණ ධර්මවල උපරිමය මහරහත් දක්වා ගමන් කිරීමයි.

අනෙක් කාරණාව ලෙස සිංහල කලාව දැක්විය හැකියි. කැටයම් කලාව මූර්ති කලාව බුදුපිළිම නෙළීම ආදී කලාංග නිර්මාණාත්මක දක්ෂතාවලින් පිරිපුන් පුද්ගලයන් සහිතව සකස්වීම මහින්දාගමනයෙන් පසුව සිදුවුණ කාරණාවක්. මේ අනුව බලන විට එදා පැවැති ඒ ප්‍රභාවිත සුභාවිත සිංහල සංස්කෘතික ආර වර්තමානය වන විට යම් යම් අතපසුවීම් කඩතොළු බවට පත්ව ඇති බවට මතයක් සමාජයේ ඇතැම් පිරිස්වල පවතී. මිහිඳු සංස්කෘතිය වර්තමානයෙහි නැති බවත් වර්තමානයෙහි පවතින්නේ ඒ සංස්කෘතියට වඩා වෙනස් බටහිර සංස්කෘතියෙහි අදහස් බවත්,ඒවායෙහි සංස්කෘතියක් නැති බවත්, සංස්කෘතිය සංස්කෘතියක් නොවන බවත්, එය සංකර සංස්කෘතියක්ය යන අදහසත් බොහෝ පිරිස් සාකච්ඡා කරන බව දක්නට ලැබෙන කාරණාවක්.එමනිසා එම අදහස් පිළිබඳව වර්තමාන සමාජයෙහි ගිහි පැවිදි විද්වත් සංස්කෘතික මනුෂ්‍යයන් ඉදිරිපත් වීම වැදගත් වෙයි. සංස්කෘතික මනුෂ්‍යයන් නැවතත් මිහිඳු සංස්කෘතිය රටේ ජනිත කරවීමට උත්සාහ කිරීම වැදගත්. එම උත්සාහ ධර්ම සන්නිවේදනය තුළින් කළ හැකියි. එම උත්සාහය කැපවීමෙන්, ශ්‍රමය විය පැහැදම් කිරීම තුළින් වැඩ කිරීම තුළින්, ලබා ගත හැකියි. තමන් සතු දෙය අනුන්ට පරිත්‍යාග කිරීම යන කාරණාව ඇතිකර ගතහැකියි. මේ අනුව උගන්වන ධර්ම දානය, ශ්‍රම දානය ,ආමිස දානය යන පාරමිතා සංකල්පය තුළින් ගිහි පැවිදි උතුමන් කටයුතු කළ යුතු වෙයි. එසේ කටයුතු කිරීම සඳහා සමාජමය වශයෙන් එම අවශ්‍යතාවය පෙරදැරි කරගත් සමාජ කතිකාවතක් අවශ්‍ය වෙයි. එබඳු කතිකාවතක් ඇරඹීමට මුල පිරීමට හැකි උචිත දවසක් ලෙස පොසොන් පුර පොහොය දවස සඳහන් කළ හැකියි. එම මුල පිරීම රාජ්‍ය තන්ත්‍රයේ අනුග්‍රහය යටතේ සිදුකළ හැකිවෙයි. ශාසනමාමක විද්වත් පිරිස මැදිහත්වීමෙන් එය කළ හැකිවෙයි. මිහිඳු සංස්කෘතිය අගයන සාමාන්‍ය ජනතාව තුළින් මෙම නැගිටීම කළ හැකි වෙයි. මිහිඳු සංස්කෘතියක් නැවත ස්ථාපනය කිරීම සඳහා සිංහල රටට නැවත අවශ්‍යතාවයක් තිබිය යුතුයි. මිහිඳු සංස්කෘතිය නැවත ආරම්භකිරීම සඳහා එය ඉහත දැක්වූ අංශ තුනෙන් හෝ එකකින් හෝ දෙකකින් සංවිධාන ශක්තිය මත සිදුකිරීම වැදගත්.

එවැනි කාර්යයක් ඇරඹීම පොසොන් පුර පසළොස්වක දිනයක හෝ පොසොන් සතිය මුල්කරගෙන මහින්දාගමනය නිමිති කරගෙන ඇතිකිරීම ඉතා වැදගත් වෙයි. ඒ සඳහා ගිහි පැවිදි දෙපාර්ශවයේම කැප කිරීම අත්‍යවශ්‍ය වෙයි. එවැනි උතුම් කාර්යයක් සඳහා මුලපිරීම වැදගත්. එබඳු පිරිසක් එම කාර්යභාරය ආරම්භකරන විට ගැටලුව කුමක්ද? යන්න නිවැරැදිව තේරුම්ගත යුතුයි. සමාජ සුචරිතවාදය සඳහා මිහිඳු සංස්කෘතිය නැවත ඇතිකිරීම සඳහා උනන්දුවක් දක්වන පිරිස් පළමුව ගැටලුව කුමක්ද? යන්න වටහාගත යුතුයි. මිහිඳු මහරහතන් වහන්සේ ඇතිකළ ආගමික ප්‍රබෝධය කුමක්ද? ආගමික ප්‍රබෝධයේ ස්වභාවය කෙබඳුද? එම ආගමික ප්‍රබෝධයත් සමඟ සිංහල සංස්කෘතියෙහි ඇතිවුණ වෙනස්වීම් මොනවාද? වර්තමාන සිංහල සංස්කෘතිය පිරිහීමට පත්ව ඇත්තේ කුමන අංශයන්ගෙන්ද?යන්න ගැටලු වෙයි.ඒ ඒ අංශවලින් පිරිහී ඇත්නම් ඒ සඳහා පිරිහීම නැතිකිරීමට ගත යුතු ක්‍රියාමාර්ග ගත යුත්තේ කුමන අංශවලින්ද?ඒ සඳහා කෙබඳු ආකාරයේ දක්ෂතා අවශ්‍ය වෙනවාද?ආදී වශයෙන් ගැටලුව තේරුම් ගැනීම විසඳුම් ලබාදීමට අවශ්‍ය වෙයි. ගැටලුව තේරුම් නොගෙන ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට යන රටක් ලෙස ශ්‍රී ලංකාව දැක්විය හැකියි. ගැටලුවක් තේරුම් නොගෙන එයට විසඳුම් ලබාදිය හැක්කේ කුමන ආකාරයෙන්ද?එමනිසා මිහිඳු සංස්කෘතික භාවිතය නිවැරැදිව හඳුනාගෙන මිහිදු සංස්කෘතියෙහි වර්තමාන සමාජ භාවිතයෙහි පිරිහුණ කොටස් කුමන අංශවලින් පිරිහුණාද යන්න නිවැරැදිව වටහාගෙන මේ කාරණාවට අතගැසීම වඩාත් වැදගත් වෙයි. ඒ සඳහා ාසුදුසු කාලය දැන් පැමිණ තිබෙන බවට අදහස් කළ හැකියි.


 

පොසොන් පුර පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පෝය ජුනි 08 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 04.16 ට ලබයි.9 වනදා සිකුරාදා අපරභාග 06.39 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 8 වනදා බ්‍රහස්පතින්දාය.
 

මීළඟ පෝය ජුනි 17 වනදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 08

Second Quarterඅව අටවක

ජූනි 17

Full Moonඅමාවක

ජූනි 23

First Quarterපුර අටවක

ජූලි 01


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]