UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පොසොන් පොහොයයි සාරධර්මයි

පොසොන් පොහොයයි සාරධර්මයි

සීහල දීප යන්නෙහි තේරුම සිංහලයන් ගේ දිවයින යන්නයි. එකල මෙහි වාසය කළේ යක්ෂ, රාක්ෂ , දිව්‍ය, නාග යන හෙළයන් වර්ග සතරකි. සිවු හෙළයින් විසූ බැවින්ම සිංහල නමින් මෙ රට හැඳින් වූ බව ඉතිහාස යේ පිළිගැනීම යි. සිංහයකුට දාව උපන් සිංහබාහු විසින් සිංහයා වැනසූ හෙයින් සිංහල නම් වූ බව සාහිත්‍ය තවත් නිර්වචනයකි.

එකල මෙහි විසූ යකඩ හා තඹ ඇතුළු ලෝකුරු කර්මාන්තයෙහි නිරත වූ දක්ෂයින් යක්ෂ නමින් හඳුන්වා ඇත. ඔවුන් යක්ෂයන් ඇදහූ නිසා හෝ යක්ෂ යන නමින් හඳුන්වන්නට ඇතැයි පවසති. අප රටේ වසන සිංහලයන්ට ලොව වෙසෙන කිසිවකුට දෙවෙනි නොවන පරිදි අනබිභවනීය ඉතිහාසයක් උරුම වී ඇත. එය සියවස් ගණනාවක් ඈතට විහිදී යයි. ක්‍රි.පූ. 236 දී උදාවූ පොසොන් පුන් පොහෝ දිනයක සිරිලකට වැඩම කළ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ විසින් බුදුදහම අප රටට හඳුන්වා දෙන ලදී. ඉන්පසු මෙහි විසූ මහා සංඝරත්නය ඇතුළු රාජරාජමහාමාත්‍යාදී අපේ අතීත මුතුන් මිත්තන් විසින් පරපුරෙන් පරපුරට සිය දිවි දෙවෙනි කොට රැකගත් සුපිරිසුදු බුදුදහම දැන් අප රටේ හොඳින් ස්ථාවර වී පවතී. අනුරාධපුර රුවන්වැලි මහා සෑය, ජේතවනාරාමය, අභයගිරිය, මිරිසවැටිය වැනි අහස උසට විහිදී ගිය මහා දාගැබ්, මහරජදරුවන් ඇතුළු අපේ මුතුන් මිත්තන්ගේ සුරුවිරු දස්කම් විස්කම් විදහා පෙන්වන පොළොන්රුවේ ගල් විහාරය, අව්කන, මාලිගාවිල, තොලුවිල වැනි ශෛලමය බුදු පිළිම අප රටේ ශ්‍රේෂ්ඨ ප්‍රෞඪත්වය ලොවට හඬගා කියයි.

බෞද්ධ දර්ශනය අනුව සාරධර්ම ලෙස මෙහි දී අදහස් කරනුයේ උතුම් කෙනෙකු ලෙස අන්‍යයනට කරදරයක් හිංසාවක් නොවන පරිදි සමාජයේ ජීවත්වීම සඳහා බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දී ඇති ගුණධර්ම රාශිය යි. ඒ අනුව ජීවිතයකට වටිනාකමක් ලබාදීමට සමත් කරුණු සියල්ල සාරධර්ම ලෙස හැඳින්විය හැකිය. පන්සාලිස් වසරක් මුළුල්ලෙහි උන්වහන්සේ විසින් දේශනා කොට වදාළ ධර්මය තුළ ජාති, ආගම්, කුලමල භේද කිසිවක් නොසලකා පොදුවේ සෑම දෙනෙකුටම සාධාරණ වූ උසස් සමාජයක් බිහිකිරීම සඳහා සැමදෙනා විසින්ම පිළිපැදීමට අවශ්‍ය වන සාරධර්ම රැසක් අන්තර්ගත වෙයි. විශේෂයෙන්ම මෙලොව හා පරලොව යහපත උදාරක දීම සඳහා හේතුවන කරුණ මොනවාදැයි එක්තරා දෙවියකු විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් දෙව්රම් විහාරයෙහි වැඩ සිටි බුදුරජාණන් වහන්සේ විසින් වදාළ මංගල සූත්‍රයෙහි සාරධර්ම රැසක් අන්තර්ගතය.

දියෙන් ප්‍රයෝජන ගන්නා අය තමාට අවශ්‍ය තැනට දිය පමුණුවා ගනි. දුන්නෙන් ප්‍රයෝජන ගන්නා අය දුනුදිය අවශ්‍ය පරිදි නවා ගනිති. දැවයෙන් ප්‍රයෝජන ගන්නා අය අවශ්‍ය පරිදි දැව නවා ගනිති. එමෙන්ම නුවණැත්තෝද තම සිතට වහල් නොවී තමන්හට අවශ්‍ය පරිදි සිත සංවර කර ගනිති. සිත අසංවර වුවහොත් තිදොරින්ම දුසිරිත් සිදු වේ. සාරධර්ම සම්පූර්ණ කිරීමට අවශ්‍ය කායික හා මානසික ශක්තීන් ප්‍රවර්ධනය කරගත නොහැකියි. එබවැන් යම් කෙනෙකු තුළ සාරධර්ම දියුණු කර ගැනීමට නම් කයෙන් සිදුවන ප්‍රාණඝාතය, සොරකම සහ වැරැදිකාම සේවනයෙන් වැළැකී ජීවත්වීම අත්‍යවශය වේ. එම වැරැදි තුනෙන් වෙන් වුවහොත් ඔහුගේ හෝ ඇයගේ කය සංවර වෙයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි සම්මා කම්මන්ත යනුවෙන් දැක්වෙන්නේ එම සාරධර්මය යි.

මව්පියන්ට සැලකීම බුදුදහෙමි ඉගැන්වෙන උතුම් සාරධර්මයකි. සිඟාලෝවාද සූත්‍රයෙහි දෙමව්පියන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් දැක්වෙන තැන “පාපා නිවාරෙන්ති – කල්‍යාණෙ නිවෙසෙන්ති” යනුවෙන් පවින් වැළකී සිටීම යහපත් දෙය පුරුදු වීමට අවශ්‍ය බව අවධාණය කරයි. ඒ වගේම කුල සිරිත් විරිත් රකිමින් සාරධර්ම ගුණධර්ම තුළින් ජීවිතයේ ගුණ වගාවන් වැඩිකර ගැනීමට මව්පියන්ට සැලකීම උපකාරයක් වෙයි. යම්කිසි ගොඩනැගිල්ලක අත්තිවාරම පිළිබඳව නොසැලකිලිමත්ව අසාර්ථක අත්තිවාරමක් දැමුවොත් එම ගොඩනැගිල්ල ක්‍රම ක්‍රමයෙන් විනාශයට පැමිණේ. යම් ගොඩනැගිල්ලක අත්තිවාරම ශක්තිමත් නම් ඒ ගොඩනැගිල්ලද ශක්තිමත් වන්නා සේ ශ්‍රී ලාංකික දරුවන් ද උත්තම සාරධර්ම වලින් යුතු වුවහොත් ගුණනැණ බලෙන් ශක්තිමත් වෙයි.

මත්වතුර බීම, දුම් බීම හා මත්ද්‍රව්‍ය භාවිතයද දුරාචාරයන්ය. සියලු සාරධර්ම විනාශ වීමට මෙය ප්‍රධාන හේතුවකි. මතින් තොර ලොවක් බිහිවනු දැකීම අප සැමගේ එකම බලාපොරොත්තුවයි. එහෙත් එදිනෙදා අසන්නට ලැබෙන්නේ රටේ විවිධ පිරිස් මත් රකුසාගේ ගොදුරක් බවට පත් වී ඇති සැටියි. ඇතැම් පාසල් දරු දැරියන්ද තමාට ලැබෙන මුදල් වලින් ඒවා මිලදී ගැනීමට පෙළඹී ඇත. මත්ද්‍රව්‍ය භාවිතය වූ කලී සිහිවිකල් වීමෙන් සමාජ හා පුද්ගල ජීවිතය නොමඟ යාමට හේතුවන ප්‍රධාන හේතුවකි. එබැවින් මෙලොව හා පරලොව දියුණුව බලාපොරොත්තු වන සැමදෙනා විසින්ම එම සිරිත්වලින් සම්පූර්ණයෙන්ම වැළකිය යුතුය.

යහපත් සමාජයක් බිහිකර ගැනීමේදී පඤ්චසීල ප්‍රතිපදාවට හිමි වන්නේ ප්‍රමුඛස්ථානයකි. ආගම, ජාතිය, රට වෙනුවෙන් සේවය කිරීමේ අනාගතයක් ඇති උද්‍යෝගිමත් තරුණයකු ලෙස මම පඤ්චශීලය නමැති උතුම් මනුෂ්‍ය ධර්ම පහ සමාදන්ව දිවි හිමියෙන් ආරක්ෂා කිරීමටත්, එමඟින් ආදර්ශවත්ව සමාජයේ සාමය හා ශාන්තිය ඇති කිරීමටත්, උත්සාහවත් වෙමි’යි අධිෂ්ඨාන කරගත යුතුයිි. එවිට ඔහු ධන හානියටද නින්දාවට ලක් නොවේ.


 

පොසොන් පුර පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පෝය ජුනි 08 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 04.16 ට ලබයි.9 වනදා සිකුරාදා අපරභාග 06.39 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 8 වනදා බ්‍රහස්පතින්දාය.
 

මීළඟ පෝය ජුනි 17 වනදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 08

Second Quarterඅව අටවක

ජූනි 17

Full Moonඅමාවක

ජූනි 23

First Quarterපුර අටවක

ජූලි 01


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]