UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සම්බුද්ධ දේශනාවේ පරිසර හිතකාමී ආකල්ප

සම්බුද්ධ දේශනාවේ පරිසර හිතකාමී ආකල්ප

පැවිදි බව ලබන භික්ෂූන් වහන්සේලා පවා බුදුරදුන් වෙතින් කර්මස්ථාන ලබාගෙන ධ්‍යාන භාවනා සඳහා වැඩම කරන ලද්දේ එබඳු සුන්දර වනගත ප්‍රදේශවලටය. එසේ විවේක තැන් ඇසුරු කරගෙන මාර්ගඵල ලැබූ උතුමන් සිය ජීවිත කාලය පුරා ම පරිසර සෞන්දර්යයෙන් අනූන වූ ස්ථානවල සිය විවේකය ගත කළ අයුරු ත්‍රිපිටකයේ විවිධ සූත්‍ර දේශනාවල ඇතුළත් වේ.

බුද්ධ චරිතයත් සම්බුද්ධ දේශනාවත් පරිසරයත් අතර දැඩි සම්බන්ධයක් පවතින බව ත්‍රිපිටක දේශනාවලින් අනාවරණය වේ. සම්බුද්ධ චරිත කතාව අනුව සිද්ධාර්ථ කුමරු උපත ලැබුවේ සල් උයනක දී ය. ගිහි සැප හැර දමා ගොස් සත්‍ය ගවේෂණය සඳහා තෝරාගත්තේ සුන්දර වන පියසක් සහිත නේරංජරා නදී තීරයේය.

සය වසරක පමණ කාලයක් ධ්‍යාන භාවනාවෙහි යෙදුණු සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වූයේ ද ඇසතු බෝරුක් සෙවණ ඇසුරු කර ගෙනය. ලුම්බිණි සල්වනයෙහි දී සිදුහත් කුමරු බිහිවීම හා කුසිනාරා නුවර සල් වනයෙහි දී සම්බුද්ධ පරිනිර්වාණය සිදුවීම බුද්ධ චරිතයත් පරිසරයත් අතර දැඩි සම්බන්ධය දක්වන සුවිශේෂ කාරණයකි.

පිරිනිවන් පෑමේ අපේක්ෂාවෙන් ආයු සංස්කාරය හැරීමට තීරණය කළ බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන් අමතා “රමණීයා ආනන්ද වේසාලී, රමණීයං උදේනං වේතියං, රමණීයං ගෝතමක චේතියං, රමණීයං චපාල චේතියං” යනුවෙන් වදාළ බව මහා පරිනිර්වාණ සූත්‍රයේ දැක්වේ. මෙහි විශේෂත්වය වන්නේ විශාලා මහනුවර මහාවනය, උදේන චෛත්‍ය, ගෝතමක චෛත්‍ය, බහුපුත්තක චෛත්‍යය, සත්තම්භ චෛත්‍යය, සාරන්දද චෛත්‍යය, චාපාල චෛත්‍යය යනාදී ස්ථානවල පරිසරයේ රමණීය බව ප්‍රකාශ කර ඉන් අනතුරු ව ආයු සංස්කරණය අත්හැරීම පිළිබඳ කරුණු දැක්වීමයි. ස්වකීය ශාසනය, හෝ ශ්‍රාවක සංඝයා හෝ වෙනත් කිසිවක් පිළිබඳව සඳහන් නොකර පරිසරයේ රමණීය බව පමණක් ආනන්ද හිමියන් අමතා ප්‍රකාශ කළේ කවර කරුණක් නිසා ද යන්න අපගේ අවධානයට යොමුවිය යුත්තකි.

බුදු දහමේ අධ්‍යාත්මික පරමාර්ථ ඉටුකර ගැනීම සඳහා බෙහෙවින් යෝග්‍ය ස්ථාන ලෙස තෝරාගෙන ඇත්තේ පර්වත, ගිරි ගුහා සහිත වනගත පරිසරයයි. ශරීර සෞඛ්‍යය මැනවින් පවත්වාගෙන යාමටත් සිත තැන්පත් කර ගැනීමටත් පරිසරය ඇසුරින් සිතිය නොහැකි තරමේ ආකර්ෂණයක් ලැබෙන බව මෙයින් තහවුරු වේ. මෙම කරුණු සලකා බුදුරජාණන් වහන්සේ ඇතුළු පැවිදි ශ්‍රාවක පිරිස පර්වත ගිරි ගුහා, ගංගා, ඇළ - දොළ සහිත වනගත පරිසරය බෙහෙවින් ඇලුම් කරන්නට ඇතැයි සිතිය හැකිය. බුදුරජාණන් වහන්සේ සහ ශ්‍රාවක සංඝරත්නය වඩාත් ප්‍රියකළ ස්ථාන අතර විශාලා මහ නුවර මහා වනය, වේළුවනය, අනුපිය අඹවනය, භේසකලා වනය, ජීවක අඹවනය, චාපාල චේතිය, සාරන්දද චේතිය, මද්දකුච්චි මුවවනය, ශීත වනය, සප්පිනිකා නදී තීරය, සුන්දරිකා නදී තීරය, අජකරණී නදී තීරය වැනි පරිසර සෞන්දර්යයෙන් සෝභමාන වූ ස්ථාන ප්‍රධාන තැනක් ගනියි. බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ දිනචරියාව අනුව දිවා විහරණය සඳහා තෝරාගෙන ඇත්තේ ද රුක්ගොමු තුරුලතාවලින් සෝභමාන පරිසරයම ය.

භික්ෂූන් වහන්සේලාට යෝග්‍ය කර්මස්ථාන උගන්වා මාර්ග ඵල සාක්ෂාත් කර ගැනීමට යොමු කර ඇත්තේ ද ස්වභාවික පරිසරයේ චමත්කාරය විඳගැනීමට හැකි තැන්වලටය. ‘අරඤ්ඤ ගතෝ වා රුක්ඛමූල ගතෝවා සුඤ්ඤාගාර ගතෝවා’ යනුවෙන් දැක්වෙන්නේ ඒ සඳහා නියම කළ වනාන්තර, පර්වත ගිරි ශිඛර, වෘක්ෂලතා සහිත ජනශුන්‍ය ස්ථානයන් ය. මේ අනුව සැවැත්නුවර ජේතවනාරාමය වැනි නාගරික විහාරස්ථානයක පැවිදි බව ලබන භික්ෂූන් වහන්සේලා පවා බුදුරදුන් වෙතින් කර්මස්ථාන ලබාගෙන ධ්‍යාන භාවනා සඳහා වැඩම කරන ලද්දේ එබඳු සුන්දර වනගත ප්‍රදේශවලටය. එසේ විවේක තැන් ඇසුරු කරගෙන මාර්ගඵල ලැබූ උතුමන් සිය ජීවිත කාලය පුරා ම පරිසර සෞන්දර්යයෙන් අනූන වූ ස්ථානවල සිය විවේකය ගත කළ අයුරු ත්‍රිපිටකයේ විවිධ සූත්‍ර දේශනාවල ඇතුළත් වේ. “ථෙර ගාථා හා ථෙරි ගාථා” යනුවෙන් හඳුන්වන ත්‍රිපිටක ග්‍රන්ථයන්හි එක් එක් තෙරවරුන් හා තෙරිණියන් විසින් කරන ලද උදාන වාක්‍ය රැසක් දක්නට ලැබේ. පරිසරයේ සුන්දරත්වය මඟින් ධ්‍යාන වඩන තැනැත්තාට සුව සැලසෙන බව සඳහන් කරන චූළක තෙරුණුවෝ මෙසේ ප්‍රකාශ කරති.

“නදන්ති මෝරා සුසිඛා සුපෙඛුණා
සුනීල ගීවා සුමුඛා සුගජ්ජිනො
සුසද්දලා චාපි මහා මහී අයං
සුඛ්‍යාපිතම්බු සුවලාහකං නභං”

චූළක තෙරුන් වහන්සේ මෙයින් ප්‍රකාශ කරන්නේ අලංකාර වූ සිළු සහිත හිස් ඇති, දැකුම්කලු පිල් කලඹ ඇති, මොනරුන්ගෙන් ගැවසීගත්තා වූ, නිල් තණ සහිත පොළොව මත නිල් දිය දහර ගලා යන බවත්, සුන්දර වලාකුළු අහස පුරා පැතිර ඇති බවත් එම පරිසරය ධ්‍යාන වැඩීමට වෙර දරන්නෙකුට යෝග්‍ය බවත් ය. රහතන් වහන්සේ පවා පරිසර චමත්කාරයෙන් අපූරු ආස්වාදයක් ලැබූ බව මෙබඳු නිදර්ශනවලින් තහවුරු වේ.

බුදුරජාණන් වහන්සේ ස්වකීය ශ්‍රාවක භික්ෂූ - භික්ෂුණී ශ්‍රාවක ශ්‍රාවිකාවන් උදෙසා පැනවූ නීති රීති මාලාවක් විනය පිටකයට අයත් පාචිත්තිය පාලියෙහි දක්නට ලැබේ. පරිසර සුරක්ෂිතතාව කෙරෙහි බෞද්ධ ආකල්පය කෙබඳුද යන කරුණ මෙම විනය නීති රීති පරීක්ෂාකිරීමෙන් වටහාගත හැකිය. අප වසන මහ පොළව පරිසර සාධක අතර මුල්තැනක් ගනියි. පොළව විනාශ වූ විට ජීව අජීව කිසිවකට ප්‍රතිෂ්ඨාවක් නොමැත. මහ පොළව මිනිසාට මෙන්ම සතුන්ට ද හිත කර තත්ත්වයක පවත්වා ගැනීමට බෙහෙවින් උපකාර වන්නේ තෘණ පැළෑටි වර්ගයන් ය. හිරු රශ්මිය උරාගෙන පොළව සිසිල් කිරීමට මෙන් ම ඇසට ප්‍රිය උපදවන නිල් පැහැයෙන් පරිසරය වර්ණවත් කර පවත්වා ගැනීමට මෙමඟින් ලැබෙන පිටුබලය ඉමහත් ය. සේඛියා ශික්ෂා පද අතර “න හරිතෙ අගිලානො උච්චාරංවා පස්සාවංවා ඛේලංවා කරිස්සාමීති සික්ඛා කරණියා” යනුවෙන් ගිලන් නොවන අයෙකු නිල් තණකොළ මතුපිට මල මුත්‍රා කිරීම හෝ කෙළ ගැසීම නොකළ යුතු බවට පනවා ඇති ශික්ෂා පදය තෘණ පැළෑටි සංරක්ෂණයට බෙහෙවින් උපකාර වන්නකි. වර්තමාන වාණිජ රැල්ලට හසුව ඇති සමාජ පරිසරයන්හි වෘක්ෂ ලතා සහිත වනාන්තර සිඳ දමන්නේ, සිත් පිත් නැති මන්ද මානසික පුද්ගලයන් ලෙසිනි. එයින් ලැබෙන අනාගත ප්‍රතිවිපාක ගැන විනිශ්චය කිරීමට තරම් මානසික තත්ත්වයක් ඔවුන් තුළ නොමැත.

ජීවි පරිසරයේ පැවැත්මට අත්‍යවශ්‍ය සාධකය වන්නේ ජල සම්පතයි. ජල සම්පත අපවිත්‍ර වුවහොත් හෝ විනාශ වුවහොත් ගල් පර්වත හා වියළි පස් සහිත මහ පොළව හැර පරිසරයට සම්බන්ධ සියල්ල විනාශ වනු ඇත. එබැවින් බුදුරජාණන් වහන්සේ විසින් පනවා වදාළ විනය ශික්ෂාපද අතර ජලය සුරක්ෂිතව පවත්වාගෙන යාමට අවශ්‍ය සේඛියා ශික්ෂාපදයක් ් ජලයට මල මුත්‍රා කිරීම හා කෙළ ගැසීම නොකළ යුතු බවයි. වර්තමාන ලෝකයේ කවර පරිසර වේදියෙකුගේ වුව ද අවධානය යොමු නොවන තරම් පරිසර හිතකාමී ආකල්ප සම්බුද්ධ දේශනාවේ අඩංගු වන බව මෙයින් අනාවරණය වෙයි. ජලය ජීවියෙකුගේ පැවැත්මට අතිශයින් අත්‍යවශ්‍ය සම්පතකි. එහෙත් ඒ පිළිබඳ කිසිදු තැකීමකින් තොරව ක්‍රියා කරන සමාජ වටපිටාවක් ගොඩ නැගී තිබේ.

බෞද්ධ පිළිවෙත් මඟින් ප්‍රාණියෙකුට තබා පරිසරය සම්බන්ධ කිසිවකට හානි පැමිණවීම අනුමත කර නැති බව හා බුදු දහම පරිසරය හා ආත්මීය වශයෙන් බැඳී ගමන් කරන බව ඉහත දක්වා ඇති තොරතුරුවලින් පැහැදිලි වනු ඇත. මේ ලෝකයේ ජීවත්වන බෞද්ධ – අබෞද්ධ කවර අයෙකුට වුව ද පරිසරය විනාශ වුවහොත් ම ුහුණ දීමට සිදුවන්නේ එක සමාන අනතුරකටය. සියලු මිනිස් වර්ගයා ද, සියලු සවිඤ්ඤාණ අපා දෙපා සිව්පා ආදී සියලු සත්ත්වයන් ද, වෘක්ෂලතා, ඇළ දොළ, ගංගා, සමුද්‍ර, පර්වත කඳු හෙල්, ගිරි ශිඛර සියල්ල ද අප ආශ්වාස කරන වාතය ද යන සියල්ල පරිසරයට අයත් ය. එබැවින් ජාති ආගම් බේදයකින් තොරව තම ජීවිතයේ ම කොටසක් ලෙස සලකා පරිසර සුරැකීමට ඇප කැප නොවන්නේ නම් මානව වර්ගයා මෙන් ම සියලු ජීවින් මිහිතලයෙන් තුරන් වන දවස වැඩි ඈතක නොවනු ඇත.


 

පොසොන් පුර පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පෝය ජුනි 08 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 04.16 ට ලබයි.9 වනදා සිකුරාදා අපරභාග 06.39 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 8 වනදා බ්‍රහස්පතින්දාය.
 

මීළඟ පෝය ජුනි 17 වනදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 08

Second Quarterඅව අටවක

ජූනි 17

Full Moonඅමාවක

ජූනි 23

First Quarterපුර අටවක

ජූලි 01


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]