UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අනුරාධපුර ඉපැරැණි වත ගොත

අනුරාධපුර ඉපැරැණි වත ගොත

අනුරාධපුර (නුවර කලාපය) පොළොන්නරුව (තමන්කඩුව) දිස්ත්‍රික්කවලින් සමන්විත උතුරු මැද පළාත පිහිටුවනු ලැබුවේ 1873.09.01 වන දින ශ්‍රී ලංකා බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයාව සිටි සර් විලියම් ගෙගරි නම් ආණ්ඩුකාරවරයා මෙම ප්‍රදේශයේ කරන ලද සංචාරයකින් අනතුරුවය. 1833 දෙමළ ජනයා බහුල උතුරු නැගෙනහිර පළාත් වල ප්‍රත්‍යන්ත ප්‍රදේශ වශයෙන් පාලනය වීම මඟින් බෞද්ධ හා උඩරට සිංහලයන් ජීවත් වූ මෙම ප්‍රදේශ නොසලකා හැර තිබූ බව ගෙගරි ආණ්ඩුකාරවයාට පෙනී ගොස් තිබේ.

ඒ අනුව එතෙක් තිබුණු ජ්‍යෙෂ්ඨ සිවිල් නිලධාරියකු පත් කිරීමේ න්‍යාය පසෙකලා එම නීතිය කඩ කරමින් මෙම ප්‍රදේශ පාලනය කිරීම සඳහා තරුණ ඒජන්තවරයෙක් වශයෙන් ජේ.එස්.ඩික්සන් මහතා පත් කළේ ය. ගෙගරි ආණ්ඩුකාරයාගේ බලාපොරොත්තු ඉටු කරමින් එතෙක් නොසලකා හැර සිටි සාමාන්‍ය පුරවැසියන්ගේ අවශ්‍යතා සොයා බලමින් අනුරාධපුරයේ වැව ප්‍රතිසංස්කරණය කිරීමට පටන් ගැනීම ඩික්සන් ආණ්ඩුකාරවයාගේ සුවිශේෂී ලක්ෂණයකි. මේ ආකාරයෙන් කුඩා වැව් පමණක් නොව මහා වැව්ද ප්‍රතිසංස්කරණය කිරීමට පටන් ගත් බව විවිධ ලිපි මගින් පැහැදිලි වේ. ඒ අතර 1886 දී ගෝර්ඩ් ආණ්ඩුකාරවරයා විසින් කලාවැව ප්‍රතිසංස්කරණය කරන ලද බව පොත පතේ සඳහන් වේ. උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා වූ ආර්.ඩබ්ලිව්. සිව්රස් මහතා යටතේ කලාවැවත්, තවත් ඒජන්තවරයෙක් වූ පි‍්‍රමන් මහතා යටතේ නාච්චාදූව වැව මූලික කරගෙන ගොවිජනපද පිහිටුවීම විශේෂ ලක්ෂණයකි. උතුරු මැද පළාතේ තවත් විශේෂ කාරණයක් වූයේ එම් ඒජන්තවරුන් සමයේ අනුරාධපුරයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සුවිශේෂී තැනක් ද තිබීමයි. මෙහිදි ඉංගී‍්‍රසි පාසල් කීපයක් ආරම්භ කළ අතර, කැකිරාව මධ්‍ය විද්‍යාලය හා අනුරාධපුර මධ්‍ය විදුහල ප්‍රධාන විය. තවද අනුරාධපුරයේ උසාවි පිහිටුවීම ද වේ. විශාල පළාතක ග්‍රාමීය පාලනය හා සාමය ආරක්ෂා කිරීම සඳහා මූලික වශයෙන් මුලාදෑණි පන්තියෙන් හා ගම්සභා ව මඟින් කිසිදු වියදමක් නැතිව සරලව ජන ජීවිතයේ ගැටලු විසඳා ගැනීමට ඉඩකඩ සලසන ලදී.

උතුරු මැද පළාතේ අගනුවර වූ අනුරාධපුරය ගැන සඳහන් කරන විට ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඇතුළු අටමස්ථානය කිසිදු කෙනෙකුට අමතක කළ නොහැකි ය. අගනුවර අනුරාධපුරයෙන් මාරු වී යන තෙක් මෙරට බෞද්ධයන්ගේ ආයතන අතර, මුදුන් මල්කඩ වූයේ ශ්‍රී මහා බෝධියයි. අසරණ සරණ සරණංකර නාහිමියන්ගේ අනුශාසනා පරිදි කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේ අටමස්ථානාධිපති තනතුරක් පිහිටුවනු ලැබීය. එම තනතුර දෙවැනි වූයේ සංඝපීතෘන්වහන්සේ අතරින් දෙවැනි තැනටයි. නැවත ඉතිහාසයේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩමවා ගෙන ආ අවස්ථාවේ පැමිණි බෝධිගුප්ත කුමාරයාගෙන් පැවැත එන නුවරවැව පවුල ශ්‍රී මහා බෝධියේ භාරකාරිත්වය පුරාණයේ පටන් දරන හෙයින් අටමස්ථාන කමිටුව මහනුවර රජ දවසේ පිහිට වූ අවස්ථාවේද නුවර වැව පවුලේ ප්‍රධානියාට අටමස්ථානය සම්බන්ධ මෙම වගකීම පවරන ලදී. එම චාරිත්‍රය අද දක්වාම පවතී.

වර්තමානයේ අටමස්ථාන ලෙස සලකන ස්ථාන අට පිළිබඳව නීත්‍යානුකූල පිළිගැනීම සිදු වූයේ 1908 දී ය. පූජ්‍ය භූමිය සංරක්ෂණ වැඩසටහන යටතේ විශේෂ මෙහෙවරක් කළ බ්‍රහ්මචාරී වලිසිංහ හරිස්චන්ද්‍ර මහතාගේ මෙහෙයවීම යටතේ විවිධ කොමිසම් සභා වලින් පන්සල් සඳහා වෙන් කර තිබූ ඉඩම් අහිමි කර තිබූ ඉඩම් නැවතලබා ගැනීමට කටයුතු කළේ ය. ඒ අනුව 1910 දී පන්සල් ඉදි කිරීම සඳහා ඉඩම් ලබාදීමට ආණ්ඩුව ක්‍රියා කිරීමත් සමඟ ඉහත කී අටමස්ථානයට අයත් සෙසු පූජනීය ස්ථාන ආශි‍්‍රතව පන්සල් පිහිටුවනු ලැබීය. මේ ආකාරයෙන් පොසොන් පෝය වර්තමානයේ දී මිහිඳු මාහිමිපාණන් වහන්සේගේ වැඩම කරවීම ජාතික උත්සවශ්‍රීයක් ගනු ලැබීය.

මුල් යුගයේ මිස්සක පින් බිමේ වැඩ විසූ නාහිමිපාණන් වහන්සේලා අනෙකුත් හිමිවරු අපමණ දුක් පීඩා මෙන්ම අගහිඟතා මැද්දේ මේ පින්බිම රැක ගත් බව ගැමියෝ පවසති. රාත්‍රී කාලයට ගිරි හිසින් ඇසෙන වනසිව්පාවුන්ගේ කඨෝර හඬවල් මෙන්ම සතා සිව්පාවන්ගේ මරු ඉලක්කයන්ගෙන් බේරී පොල්තෙල් පහනේ එළියෙන් මේ පින්බිම රැකගත් බව පුරා වෘත්තයන් පවසයි. සුදු අධිරාජ්‍යවාදීන් පැනවූ විහාර දේවාලගම් පනත තුළින් බුදුසසුනට සිදුවන පරිහානිය දැක පෙරට ආ හිමිවරුන් අතර එදවස සෑගිර නාහිමිවරු වූහ. මෙහිදී වලිසිංහ හරිස්චන්ද්‍ර මහතා කළ මෙහෙය අති උත්කෘෂ්ඨය.

සුදු අධිරාජ්‍යවාදීන් කුමක් කළත් මේ සුපින්බිමට පැමිණි වන්දනා නඩ සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට රාජ්‍ය නිලධාරීන් කටයුතු කිරීම සම්බන්ධයෙන් 1870 දී එවකට සිටි අනුරාධපුර මහේස්ත්‍රාත්වරයෙක් වන ලිසින්ග් මහතා විසින් එවන ලද ස්තූති ලිපියක මෙසේ සඳහන් වේ. “අනුරාධපුරයට එක්රොක් වන” වන්දනාමාන සඳහා පැමිණෙන බැතිමතුන්ගේ ඉතා හොඳ හැසිරීමක් ඇති බවත් ඒ සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් පසසන බවත් සඳහන් වේ. එහි ලීසින්ග් මහතා විසින් විස්තර ලියන ලිපියේ මෙසේ සඳහන් වේ.

පූජනීය ස්ථාන වැඳ පුදා ගැනීම සඳහා දිවයිනේ සෑම ප්‍රදේශයක සිටම ජනයා වාර්ෂිකව අනුරාධපුරයට එක් රොක් වන උත්සවයක් ඇත. මම සිතන්නේ විසිදාහක පමණ පිරිස් මෙහි පැමිණ නැවතී සිට ආපසු යන බවය. ඔවුන් පිළිගැනීමට කිසිවෙකුවත්, ඔවුන්ට නැවතීමට නිවාස වත් මෙහි නැත. එබැවින් ඔවුන් මෙහි ඇති එළිමහන් පිට්ටනිවල රූස්ස ගස් සෙවනේ තාවකාලික ආවරණවල් හෝ කූඩාරම් තනා ඒවායේ ගිමන් හරිති. ප්‍රමාද වී පැමිණෙන්නට නැවතීමට තැන් නොමැති වූ විට සියලුම ආණ්ඩුවේ ගොඩනැගිලි ඉස්තෝප්පුවල ඔවුහු ලැඟුම් ගනිති, ඔවුහු කෙතරම් සංයමයෙන් යුතුව හැසිරේදැයි කිවහොත් එකිනෙකාට බාධා නොවන පැවැත්වූ හැසිරීම් රටාව පෙන්වා දිය හැකිය.

අවුරුදු පතාම දිවයිනේ නන්දෙසින් මෙහි පැමිණ ආපසු යන විසි දාහක් පමණ ජනයා හැසිරවීමට එකම පොලිස් කොස්තාපල්වරයෙක් ද සිටියේ නැත. දිස්ත්‍රික් මහෝස්ත්‍රාත් වශයෙන් මට කිව හැක්කේ ඔවුන්ගේ නිවුණු සහ ප්‍රසංශනීය හැසිරීමට සමාන හෝ එය අභිබවා ගිය හැසිරීමක් හෝ මා තවම දැක නැති බවය. අරගලයක් ගැන අසන්නටත් නොතිබුණි.

මෙයින් වසර දෙදහස් ගණනකට වැඩි කාලයක් බෞද්ධ උරුමයේ තිඹිරිගෙය වූ අනුරාධපුර මහා අනුබුද්ධ භූමියේ වසරින් වසර බොදු සිරියෙන් වර්ණවත් වෙද්දී සාදු නාදයෙන් පිරී ඉතිරෙද්දී සාදු ජන හදවත් සහස් සුවහස් ගණනින් නිවී පහන් වූයේ අනුබුද්ධ අනුහසිනි. දේශය සුපහන් කළ දිවයින දහම් දිවයින කළ ජාතියක් බුදු දහමින්, ඥානය කළ මේ අති උතුම් බුද්ධ භූමිය රැක බලා ගැනීම සමස්ත ජාතියේම යුතුකමක් වන්නේ ය.


 

පොසොන් පුර පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පෝය ජුනි 08 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 04.16 ට ලබයි.9 වනදා සිකුරාදා අපරභාග 06.39 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 8 වනදා බ්‍රහස්පතින්දාය.
 

මීළඟ පෝය ජුනි 17 වනදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 08

Second Quarterඅව අටවක

ජූනි 17

Full Moonඅමාවක

ජූනි 23

First Quarterපුර අටවක

ජූලි 01


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]