UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී ලාංකේය ඉතිහාසයේ මිහිදු සලකුණ

ශ්‍රී ලාංකේය ඉතිහාසයේ මිහිදු සලකුණ

සමණාමයං මහාරාජ ධම්මරාජස්ස සාවකා තමේව අනුකම්පාය ජම්බුදීපා ඉධාගතා ලෝක ආගමික ඉතිහාසයෙහි සිදුවු වඩාත් සංවිධානාත්මක හා කාලීන ධර්ම දුත සංචාරය මහින්දාගමනයයි. බුද්ධ පරිනිර්වාණයෙන් වසර දෙසිය තිස්හයකට පසුව ධර්මාශෝක අධිරාජ්‍යාගේ මෙහෙය වීමෙන් දෙවන පෑතිස් රජු දවස මිහිදු මහරහතුන් වහන්සේ ප්‍රමුඛ හත් දෙනෙකුගෙන් යුත් ධර්ම දූත කණ්ඩායම මෙරටට පැමිණිම හුදු ධර්මදූත සංචාරයක් ලෙස විග්‍රහ කළ නොහැක.

මෙරට ප්‍රෞඩ ඉතිහාසයයෙහි මහින්දාගමනය සුවිශේෂි සන්ධිස්ථානයකි.මෙරට ආගමික සංස්කෘතික,ආර්ථික සාමාජීය මුහුණුවර නව දිශාවකට යොමු වූුයේ මහින්දාගමනයෙනි. මහරහත් යතිවරයකු තරුණ බුද්ධිමත් රජකු සමඟ එක්වී ලෝක ඉතිහාසයෙහි සිදුකළ මහා පරිවර්තනයකි.මහින්දාගමනයෙන් මහා සමුද්‍රයක් හා සමාන මහවැව් ඉදිකළ වාරි තාක්ෂණයත් ලොවක් මවිත කළ අහස් කුස සිපගන්නා මහා දාගැබ් නිර්මාණයත් ආදී විශ්මිත බෝහෝ දෑ ආදී සිංහලයෝ සිදුකළහ. ඒ සියල්ලේ පදනම මහින්දාගමනයයි. මහින්දාගමනයෙන් මෙරට සිදු වු අද්විතීය පරිවර්තනය අංශ කිහිපයක් ඔස්සේ විග්‍රහ කළ හැකිය. ආගමික පුනර්ජීවනය සාමාජික විපර්යාස ආර්ථික නවෝදය කලාව හා සංස්කෘතිය යනුවෙනි. ප්‍රාග් මහින්ද යුගයේ ශ්‍රී ලාංකිකයෝ විවිධ ආගම් හා දර්ශන ඇද හූ බවට පිළිගත හැකි පුරාවිද්‍යාත්මක සාහිත්‍ය මුලාශ්‍ර දුර්ලභ නොවේ. ඓතිහාසික වාර්තාවන්ට අනුව බුදු දහම ද ඒ අතර තිබෙන්නට ඇත. නමුත් එය වඩාත් සංවිධිත වු ඇදහීමක් නොවුනි. සමාජ ප්‍රගමනයෙහි ආගම සුවිශේෂි සංකල්පයක් වන අතර, මහින්දාගමනයෙන් පසුව ශ්‍රී ලාංකිකයෝ ස්ථීර ප්‍රධාන ආගමක හිමිකරුවෝ වූහ.

දුර අතීතයේ සිට වර්තමානය දක්වාම ශ්‍රී ලාංකිය සමාජය හා බුදු දහම අතර,ඇත්තේ අවියෝජනීය වු බැඳීමකි. මිහිදු මහරහතන් වහන්සේ ඇතිකළ ආගමික නවෝදය ශ්‍රී ලාංකිකයා වඩාත් සාරවත් ජාතියක් ලෙස ලෝක ඉතිහාසයේ ඔසවා තැබීය.විමාන වත්ථු ප්‍රේත වත්ථු දේශනා තුළින් කර්මය හා කර්ම ඵලය ද චුල්ලහත්ථි මහා හත්ථි පදෝපම සුත්‍ර මගින් බෞද්ධ ඤාණ මාර්ගය ද වඩාත් හොඳීන් පැහැදිලි කර දීමට මිහිඳු මහරහතන් වහන්සේ සමත් වූහ. ශ්‍රී ලාංකිකයෝ වඩාත් උත්කෘෂ්ඨ ජාතියක් බවට පත් කරනු වස් උන්වහන්සේ පහදා දුන් ධර්ම මාර්ගය හේතුවිය.ශ්‍රද්ධාවෙන් මෙන්ම ප්‍රඥාවෙන් ද පිරීගිය සාරවත් සමාජයක පදනම මහින්දාගමනයෙන් සිදු වු ආගමික නවෝදයෙහි අද්විතීය ප්‍රතිඵලයකි.ශ්‍රී ලංකාව පුරාවට විසිරි ඇති ආගමික නටබුන් හා බෞද්ධාගමික අසහාය නිර්මාණ තවදුරටත් අපගේ අදහස් සනාථ කරනු ඇත.සංවර්ධිත යැයි පිළිගන්නා ලෝකයේ ඇතැම් රටවල් ප්‍රාථමික ගෝත්‍රික සමාජ ලෙස ජීවත් වන වකවානුවෙහි මහා දාගැබ් මහ වැව් තැනීමට තරම් අපගේ ආගමික නවෝදය ශක්තිමත් විය. හිත්පිත් නොමැති මහා ගල්කුලකට බුදුරදුන්ගේ මහා ගුණයන් ඇතුළත් කිරීමට සමර්ථ වු අනුරාධපුර මහමෙව්නාවෙහි වැඩ සිටින සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ පමණක්ම මහින්දාගමනයෙන් සිදු වු ආගමික ප්‍රබෝදයට කදිම නිදසුනකි. අප ඉහතින් ද සඳහන් කළ පරිදි මහින්දාගමනය යනු හුදු ධර්මදූත සංචාරයක් පමණක් ම නොවේ.මහින්දාගමනයෙන් අනතුරුව මෙරට සිදු වු සාමාජික විපර්යාස ඒ බව අපට වඩාත් හොඳීන් ප්‍රත්‍යක්ෂ කරයි.සමාජ විද්‍යාඥයන්ට අනුව අන්තර් පුද්ගල සබඳතා සහිත පුද්ගලයන් දෙදෙනකුට වැඩි පිරිසකගේ එකතුව සමාජයක් ලෙස හඳුනා ගැනේ.මහින්දාගමනයෙන් පසුව මෙරට පුද්ගල ජීවිතයෙහි විශාල විපර්යාසයක් සිදුවිය.එය ආරම්භ වූයේ පාලකයාගෙනි. පාලකයාගේ ධර්මිකත්වය සෑම විටම පාලිත සමාජය වෙත ගලා යන්නකි. “රජුන් අදමිටු වත් මැති මැතිඳෝ ද එගනිත් දැක උන්ගේ පවත් බමුණු ගහපතියෝ ද එගනිත්” යනුවෙන් පුරාතන සාහිත්‍ය ග්‍රන්ථයන්ද ඒ බව අවධාරණය කරයි.

“මහරජ ඔබ මෙම පොළොවෙහි අයිතිකරුවා නොව ආරක්ෂකයාය” යනුවෙන් මිහිඳු මහ රහතන් වහන්සේ දෙවන පෑතිස් රජුට දුන් අවවාදය ලෝක දේශපාලන ඉතිහාසයෙහි ස්වර්ණමය නීතියක් ලෙස සැලකිය යුත්තකි. කන්ද උඩරට ගිවිසුමෙන් අප බ්‍රිතාන්‍ය කොළනියක් බවට පත්වන තුරු මෙරට පාලනය කළ දේශීය පාලකයෝ සෑම විටම උක්ත ස්වර්ණමය පාඨය තම මතකයෙහි රඳවා කටයුතු කළ බවට සාක්ෂි ලැබේ.මහා දුටුගැමුණු, වළගම්බා,මහා පරාක්‍රමබාහු වැනි රජවරු ඒ සඳහා කදිම නිදසුන්ය. පාලකයාගේ විපර්යාසයන් සමඟම ශ්‍රී ලාංකීය සමාජ විපර්යාසයද සිදුවිය. ලාංකික බෞද්ධ සමාජය අංගුලිමාල පිරිතේ සිට අනිච්චාවත සංඛාරා එනම් උපතේ සිට මරණය දක්වා තම ජීවිතයේ සෑම කාර්යයක්ම බුද්ධාගම සමඟින් සම්බන්ධ කර ගත්හ. ගම,පන්සල,වැව,දාගැබ යන සංකල්ප හතර මෙරට සමාජ විපර්යාසයෙහි පදනම විය.ආර්ථික,සාමාජික සියලු කාර්යයන්හිදී ධාර්මිකත්වය ප්‍රමුඛ වීම සුවිශේෂි තත්ත්වයක් විය.ධනෝත්පාදනය, ජීවන රටාව ආදී සියල්ලක් ඒ මත පදනම් විය. ආගමානුකූල ජිවිතයක් ගත කිරීම සේම ආගමෙහි පැවැත්ම ආරක්ෂා කිරිමටද ශ්‍රී ලාංකිකයන් හුරුවිය.මහින්දාගමනයෙන් පසුව අපට හිමිවූ උතුම් ශ්‍රී මහා බෝධීන් වහන්සේ දෙදහස් වසරකට අධික කාලයක් ආරක්ෂා කර ගැනීමට පුද්ගල සමාජ ජීවිතය හා බුදුදහම අතර ඇතිවූ බැඳීමට කදිම නිදසුනකි. ශ්‍රී ලාංකීය සමාජය තුළ ප්‍රධාන වශයෙන් ඇතිවූ විපර්යාස රාශියකට මහින්දාගමනය හේතු විය.එනම් අන්‍යෝන්‍ය ගරුත්වය අන්තර් පුද්ගල සබඳතා පුද්ගල සදාචාර නිර්ණායක ශීලය මත පදනම් වූ පුද්ගල චර්්යා රටා අල්පේච්ඡතාව බෞද්ධ අධ්‍යාපනය ආගමික ශ්‍රද්ධාව ආගම මත පදනම් වූ චින්තනය වැනි අංග මෙහිදි ඉතා වැදගත් වේ.රටක ආර්ථිකය ශක්තිමත් ජාතියක් ලෙස ලෝකයේ නැගී සිටින්නට මහෝපකාරී වන්නකි.ලෞකික සාර්ථකත්වය ලෝකෝත්තර සුඛය වෙත පුද්ගලයා මෙහෙය වීම සඳහා යම් මෙහෙයක් ඉටු කරයි. මානව අවශතා ඉටු කර ගැනීමට ධාර්මික ආර්ථිකයක් වෙත බුදු දහම පුද්ගලයා මෙහෙයවයි. බෞද්ධ දර්ශනයේ හරය වඩාත් හො¼දින් ප්‍රත්‍යක්ෂ කළ මිහිඳු මහ රහතන් වහන්සේ සංඝමිත්තා තෙරණියගේ ආගමනයත් සමඟ පැමිණි විවිධ ධනෝපායන සාමාජිකයන් සමඟ කෘෂි කර්මාන්තය ප්‍රමුඛ කොටගත් නව ආර්ථික රටාවක් රට තුළ ව්‍යාප්ත කිරීමට සමත් විය.මහින්දාගමනයෙන් පසුව මෙරට ඇතිවූ නව ආර්ථික ප්‍රබෝධයෙහි පදනම වූයේ ධාර්මිකත්වයයි. එනම් සාධාරණ වූ ද නිවැරදි වූ ද ක්‍රමවේදයකට මුදල් ඉපයීමයි.රාජ්‍ය සෑම විටම ධාර්මික ආර්ථික නවෝත්පාදනයන් සඳහා මහජනතාව වෙත උපකාර කළේය.

කෘෂිකර්මාන්තය සහළින් සහ වෙනත් ආර්ථික ක්‍රමෝපායන්ගෙන් රට ස්වයංපෝෂිත කිරීම මිහිඳු චින්තනයෙහි අභිප්‍රාය විය. මහා සමුදුරු පරදවන මහ වැව් තැනුනේද එම අරමුණෙනි. එමඟින් ශ්‍රී ලාංකිකයෝ ලෝකයේ විශිෂ්ඨතම වාරි තාක්ෂණයේ හා ජල කළමනාකාරණයේ උරුමකරුවෝ වූහ. කෘෂිකර්මාන්තය කේන්ද්‍ර කරගත් ආර්ථිකය ලක්දිව ස්වයංපෝෂිත රාජ්‍යක් බවට පත් කළේය.විදේශ රාජ්‍යයන්ට පවා සහල් අපනයනය කළ හැකි ශක්තිමත් කෘෂිකාර්මික ආර්ථික පදනම මහින්දාගමනයෙන් පසුව ඇතිවූ සුවිශේෂි තත්ත්වයකි.“ අහසින් වැටෙන එක ජල බිඳක් හෝ ප්‍රයෝජනයට නොගෙන මුහුදට නොයැවිය යුතුය” යන මහා පරාක්‍රමබාහු චින්තනය මහින්දාගමනයෙන් පසුව මෙරට බිහිවූ ආර්ථික ශක්තියෙහි තරම වඩාත් හො¼දින් ප්‍රකට කරවයි.සංඝමිත්තා ගමනයත් සමඟ මෙරටට පැමිණි විවිධ දක්ෂතා ඇති දහඅට කුල නියෝජිතයන්ගෙන් ඇතිවූ ස්වයං රැකියා පරපුරද මෙරට ආර්ථිකයෙහි ප්‍රධාන කොටස්කරුවෝ වූහ. මහින්දාගමනයෙන් පසුව විකසිත වූ ශ්‍රී ලාංකීය කලාවේ ගමන් මඟ ලෝක සම්භාවනාවට පාත්‍ර වු සුවිසල් නිර්මාණ රාශියක් බිහි කළහ.අනුරාධපුර සමාධි බුද්ධ ප්‍රතිමාව, රුවන්වැලි මහා සෑය,ජේතවන දාගැබ,අභයගිරි දාගැබ,ලෝවාමහා ප්‍රාසාදය,සීගිරිය,පොළොන්නරු ගල් විහාරය ආදී ඓතිහාසික ප්‍රදේශ පුරාවට විසිරී ඇති නටබුන් අපට පැහැදිලි කරනුයේ ශ්‍රී ලාංකික කලාකරුවාගේ විශිෂ්ඨත්වයයි.සෑම නිර්මාණයක්ම සියුම් කලා කෞෂල්‍යන්ගෙන් මෙන්ම ගැඹුරු දාර්ශනික හා ආගමික පදනමකින් යුක්ත විය.මානව ප්‍රඥා ආකෘතිය විකසිත කිරීමට තරම් සෑම නිර්මාණයක්ම සමත් විය.


 

පොසොන් පුර පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පෝය ජුනි 08 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 04.16 ට ලබයි.9 වනදා සිකුරාදා අපරභාග 06.39 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 8 වනදා බ්‍රහස්පතින්දාය.
 

මීළඟ පෝය ජුනි 17 වනදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 08

Second Quarterඅව අටවක

ජූනි 17

Full Moonඅමාවක

ජූනි 23

First Quarterපුර අටවක

ජූලි 01


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]