UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිවට වැඩම කළ සේක

මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිවට වැඩම කළ සේක

පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ හිටපු සහකාර
පුරාවිද්‍යා අධ්‍යක්ෂ 
සිරිසමන් විජේතුංග 
පුරාවිද්‍යා Msc පර්යේෂණ


ආරාම පිළිබඳ සඳහන්වන පුවරුලිපි දෙක මිහින්තලයෙන් හමුවී ඇත

මිහිඳු මහරහතන් වහන්සේ අප රටට වැඩම කළ ඓතිහාසික පුවත අපේ පැරණි වංසකතාවල සඳහන් වන කරුණකි. මිහිඳු මහරහතන් වහන්සේ ගිහිකල අසෝක මහ අධිරාජයාගේ (ක්‍රි.පූ. 272-232) පුතනුවන්ය.

රජුගේ දියණිය සංඝමිත්තා කුමරියයි. අප රටේ බෞද්ධ සම්ප්‍රදාය අනුව දීපවංසය, මහාවංසය හා සමන්ත පාසාදිකා යන පුරාණ ග්‍රන්ථවල මෙම කරුණු සඳහන් වේ.

මෙම කරුණ මහාවංශයේ සඳහන් වී ඇත්තේ මෙසේය. ස්ථවිර තෙමේ (මිහිඳු හිමියන්) අප බොහෝ දෙනා දුටු කල වැඩියක්ම වානේ යැයි (බිය වන්නේ යැයි) සිතා තමන් පමණක් දැක් වූ සේක. රජතෙමේ (තිස්ස රජ පසුව දේවානම්පියතිස්ස) ඒ තෙරහු දැක බියපත්ව සිටියේය. ස්ථිවිර තෙමේ ඔහුට (රජුට) ‘එව තිස්ස’ යැයි වදාළ සේක. තිස්සයැයි යන බසින්ම රජතෙමේ යක්ෂයෙකැයි සිතීය. ස්ථවිර තෙමේ (මිහිඳු මහ රහතන් වහන්සේ)

“මහ රජාණනි අපි ධර්මරාජයාණන් වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රමණයෝ වම්හ. තොපට අනුකම්පා පිණිස දඹදිවින් මෙහි ආම්හ යි වදාළ සේක. ඒ අසා රජ තෙමේ පහවූ බිය ඇත්තේ වී යහළුවාගේ (අසෝක රජුගේ) හසුන් මෙනෙහි කොට ශ්‍රමණයෝ යැයි නිශ්චිත කොට දුණුහී දමා ඒ තෙරුන් (මිහිඳු හිමි) වෙත එළඹ ඒ තෙරුන් හා සමඟ සතුටු වනුයේ උන්වහන්සේ වෙත හිඳගත (මහාවංසය 5. 1 වැනි කොටස පි. 14 වැනි පරිච්ඡේදය පි.1සිංහල පරිවර්තනය

අතිපූජ්‍ය හික්කඩුවේ සුමංගල නාහිමි හා බටුවන්තුඩාවේ පඩිතුමා)

අප මෙහිදී විශේෂ අවධානය යොමු කරන්නේ මිහිඳු මහ රහතන් වහන්සේ වරප්‍රමුඛ ධර්මදූත පිරිස ලංකාවට මෙයට වසර 2325 කට ඉහත දී අප රටට වැඩම කළ බව ඓතිහාසික ලෙසින් ග්‍රන්ථවල ලියැවී ඇති කරුණු පුරාවිද්‍යාත්මකව තහවුරු කිරීම සඳහා ලැබී ඇති ශිලා ලේඛනයන් පිළිබඳ විමසා බැලීමටය.


මිහින්තලේ කණ්ඨක චේතියේ මූර්ති කැටයම්

මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කළ බව සඳහන් වන ශිලාලේඛනය හමුවී ඇත්තේ මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයාටය. එය මෙකල අම්පාර දිස්ත්‍රික්කයේ රජගල නමින් හැඳින්වෙන පුදබිමෙහි ඇති ගිරි ලිපියකි.

අනෙක් ගිරිලිපිය හමුවී ඇත්තේ මිහින්තලයෙනි. එහි ඇත්තේ මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ අනෙකුත් ධර්මදූතයන් වහන්සේලාගේ නාමයන්ය. අපි පළමුව රජගල පුදබිමෙන් හමුවූ රජගල ගිරිලිපිය පිළිබඳ විමසා බලමු.

එම ගිරි ලිපියෙහි (Rock Inscription) මෙසේ බ්‍රාහ්මී අක්ෂරවලින් ලියා ඇත. පේළි දෙකකි.

“යෙ ඉමදිප පටමය අගතන
ඉඩික තෙර මහිද තෙරහ තුබෙ

මෙහි සිංහල අදහස මෙසේය

මෙහි දිවයිනට එහි වාසනා මහිමය නිසා පැමිණි ඉට්ඨිය සහ මහින්ද තෙරුන්ගේ ස්තූපයයි”.

මෙම ශිලාලිපිය කොටා ඇත්තේ රජගල කඳු මුදුනේ පිහිටි පර්වතයකය. එම ස්තූපය දැනට විනාශ වී තිබේ. මෙම ගිිරි මහ ලිපියෙහි මහිද තෙර යනු මිහිඳු මහ රහතන් වහන්සේ ගේ නම බවද ඉඩික තෙර යනු මිහිඳු මහරහතන් වහන්සේ සමඟ වැඩම කළ ඉට්ඨිය තෙරුන් වහන්සේ බවද මහාචාර්ය සෙනරත් පරණවිතාන පඩිවරයා සඳහන් කරයි. (Inscriptions of Ceylon Nol I P’ 35 inscription No 468 Dept of Archaeology -1970 Dr. Senrat ParanaVitana)  වල්ලිපුරම් රන් සන්නස සහ හෙළ උරුමය – සිරිසමන් විජේතුංග පි. 84 -2003)

දේවානම්පියතිස්ස රජතුමාට පසුව රාජ්‍යත්වයට වූයේ එතුමා ගේ බාල සහෝදරයෙකු වන උත්තිය රජුය. (ක්‍රි.පූ. 367- 257) එම රජුගේ රාජ කාලයේදී මිහිඳු මහ රහතන්වහන්සේ පිරිනිවන් පෑ බව මහාවංසයේ සඳහන් වන්නේය. (මහා වංසය 1 කොටස 20 පරිච්ඡේදය පි. 64)

මිහිඳු මහරහතන් වහන්සේ පිරනිවන් පෑමෙන් පසුව ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජාව සිදු කළේ එම රජුගේ මූලිකත්වයෙනි. ආදාහන පූජාවෙන් පසු ඉතිරි වූ මිහිඳු මහ රහතන් වහන්සේගේ ධාතූන් වහන්සේලා අනුරාධපුරයෙහි සෑගිරියෙහි (මිහින්තලේ) ද ලංකාවේ තවත් පුදබිම් කීපයකද චෛත්‍යයන් කරවා ධාතුන් වහන්සේලා නිධන් කළ බවද මහාවංසයේම සඳහන් වන කරුණකි. එය මිහිඳු මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා රජගල වැනි නැගෙනහිර පළාතේ නිධන් කළේ කුමක් නිසාද යන්නට පිළිතුරකි.

මිහිඳු මහරහතන් වහන්සේගේ ධාතූන් වහන්සේලා සමඟ රජගල මෙම දාගැබෙහි ඉට්ඨිය තෙරුන්ගේ ධාතුන් වහන්සේලා ද නිධන් කළේ කුමක් නිසාද යන්නට මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා සඳහන් කරන්නේ ඒ හිමියන් මිහිඳු මහ රහතන් වහන්සේගේ ධර්ම ප්‍රචාරක කටයුතුවලදී මෙකල නැගෙනහිර පළාත භාරව සිටියේ ඉට්ඨිය තෙරුන් වහන්සේ බවය. (වල්ලිපුරම් රන්සන්නස – හා හෙළ උරුමය සිරිසමන් විජේතුංග පි. 85-2003)

මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ධර්මදූත පිරිස ලංකාවට වැඩම කළේ දඹදිව වේදිස ගිරියේ සිට බැව් වංසකතාවල සඳහන් වන කරුණකි. ඉහත සඳහන් රජගල ගිරි ලිපියේ ‘ඉදිය’ යනු මිහිඳු මහරහතන් වහන්සේ ඍද්ධියෙන් වැඩම කළහ . ඉදිය යනු මේ දිවයිනේ සමුර්දිය,සෞභාග්‍ය ගෙනා බවක් එයින් සඳහන් වන්නේ යැයි මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා ගේ මතය වේ. මේ අනුව මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළ බව ඓතිහාසිකව මෙන්ම පුරාවිද්‍යාත්මකවද සනාථ වී ඇත.

(රජගල තැන්න – සිරි සමන් විජේතුංග පි. 12 2005 මධ්‍යම සංස්කෘතික අරමුදල)

මිහින්තලේ ගිරිලිපිය

මිහිඳු මහ රහතන් වහන්සේ සහ එම ධර්මදූත පිරිසට අයත් භික්ෂූන් වහන්සේලාගේ ප්‍රතිමා නිර්මාණය කර පෙරහරක වැඩමවා ගෙන ගියේ යැයි සඳහන් කරන ගිරිලිපියක් මිහින්තලෙන් හමුවී ඇත. එම ශිලා ලේඛනය පර්වතයක බ්‍රාහ්මී අක්ෂරයෙන් ලියා තිබේ. මෙම ගිරිලිපිය සඳහන් කරන අන්දමට මහින්ද, ඉට්ඨිය, උත්තිය හා භද්දසාල යන භික්ෂූන් වහන්සේලාගේ මූර්ති නිර්මාණය කර ඒවාට පුද පූජාව පවත්වා ඇත. මෙය රජගල ගිරිලිපිය මෙන් සමකාලීන වූවක් නොව මහාදාඨික මහානාග රාජ යුගයේදි (ක්‍රි.ව. 67-79) සිදුකරන ලද බව එම ගිරිලිපියේ සඳහන් කර ඇත. මෙහි මිහිඳු මහ රහතන් වහන්සේගේ නාමය පමණක් නොව ඒ සමඟ වැඩම කළ අනෙකුත් භික්ෂුන් වහන්සේලාගේ නාමයන්ද සඳහන් කර තිබීම ඉතා වැදගත් වන්නේය. මෙම ගිරිලිපිය සමහර කොටස් වියැකී ගොස් ඇති බවද මෙහිදී සඳහන් කළ යුතුව ඇත. (Ancient Inscription of Ceylon ED E.Muller London No 20-P 30 -31) Ancient Inscriptions of ceylon Ed.E.Muller (1883) No 20 p.p.30-31)

මේ කරුණු අනුව මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කරවීම ඓතිහාසික වශයෙන් මෙන්ම පුරාවිද්‍යාත්මකව ද සනාථ වන බව බවද මෙහිදී අවධාරණය කළ යුතුව ඇත.


 

පොසොන් පුර පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පෝය ජුනි 08 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 04.16 ට ලබයි.9 වනදා සිකුරාදා අපරභාග 06.39 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 8 වනදා බ්‍රහස්පතින්දාය.
 

මීළඟ පෝය ජුනි 17 වනදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 08

Second Quarterඅව අටවක

ජූනි 17

Full Moonඅමාවක

ජූනි 23

First Quarterපුර අටවක

ජූලි 01


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]