UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අවිහිංසාවේ පණිවුඩයෙන්: ළමා ලෝකය පුබුදු වන්න

අවිහිංසාවේ පණිවුඩයෙන්:

ළමා ලෝකය පුබුදු වන්න

මිහිඳු මාහිමියන් දායාද කර දුන් අවිහිංසාවේ පණිවුඩය හා බාල පරපුරේ වගකීම මිහිඳු මහරහතන් වහන්සේ තමන්වහන්සේගේ පියමහ රජතුමාගේ මෙහෙයවීමෙන් ධර්මදූත කණ්ඩායමක් ද සමඟ සිරිලකට වැඩමවන අවස්ථාව වන විට මෙරට විවිධ ආගමික මතවාද විශ්වාස කළ පිරිසක් විසු බව අපි පැහැදිලිව දන්නා කරුණක්. යහපත, අයහපත පිළිබඳ පැහැදිලි දැක්මක් එදා පැවති කිසිම දහමකින් ජනතාවට කියා දී තිබුණේ නැහැ.

ජීවිතයේ විවිධ තැතිගැනිම්, බියවීම්, අසරණවීම් වැනි අවස්ථාවල දී අන්ධ භක්තියෙන් එදා පැවති ආගමික මතවාද අදහමින් යාග හෝම බලි බිිලි පූජා පවත්වමින් ඔවුන් ඒ ඒ වෙලාවට අවශ්‍ය කරන තාවකාලික අස්වැසිල්ලක් පමණක් ලබා ගත්තා. එහි භයානකකම නම් ඒ තාවකාලික අස්වැසිල්ලත් සමඟ ම ඇති වන සදාකාලික පසුතැවිල්ල යි. ඒ කිසිම දහමකින් දුකින් පෙළෙන සත්වයාට එයින් මිදීමට පිළිසරණක් හෝ මගක් කියා දුන්නේ නැහැ. එසේ කියා දී තිබුණා නම් මුල දී පෙන්වා දුන් පරිදි රජතුමා ඇතුළු රාජකිය පිරිස නැකත් ක්‍රීඩා දිනයක් ලෙස සැලකුණු පොසොන් පොහෝ දින හිංසක විනෝද ක්‍රීඩාවක යෙදීමට ඉඩක් නැහැ. එසේ නම් ඒ තත්ත්වයෙන් මුදවා මේ නවතම දහම අනුව ජීවිත ගොඩ නගා ගැනීමට නම් ලක්වැසි ජනතාවට ධාර්මික ජීවන ප්‍රතිපදාව කුමක්දැ යි පෙන්වා දීමට උන්වහන්සේ උනන්දු වූ බව පෙනෙනවා. තවත් සතෙකුට, ප්‍රාණියෙකුට හිංසාවක් කර ලබන සතුට ප්‍රීතිය මෙලොවට පරලොවට අවැඩ ගෙන දෙන ක්‍රියාවක් බැවින් ඊට හුරුව සිටි ලක්වැසි ජනතාව එයින් මුදවා ගැනීමට මේ නවතම දහම හේතු වුණා. එය අහම්බෙන් සිදු වූවක් නොව මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවේ ආරම්භයේ දීම දේශනා කළ ධර්මදේශනා මගින් ජන හදවත්වලට එය ඇතුළු කිරීමට ගත් උත්සාහය නිස යි. මිහිඳු මාහිමියන් විසින් මාතෘකා කොටගත් සූත්‍ර දේශනා කීපයක් ද මෙම අවිහිංසාවේ ආශීර්වාදය ඉස්මතු කොට දැක්වීමක් වුණා. මේ කාරණයේ දී අවිහිංසාව කියා කියන්නේ සත්වහිංසාව පමණක් ම නොවෙයි. අපේ ජීවන පැවැත්මේ දී යම් කිසියම් ක්‍රියාවකින් තවත් අයෙකුට හිංසනයක් වෙනවා නම් ඒ හැම ක්‍රියාවක් ම හිංසක ක්‍රියාවක් වෙනවා. එහෙම නම් පන්සිල් පදවලින් කියැවෙන දුසිරිත්වලින් තොර ජිවිතයක් ගත කිරීම ම අවිහිංසක පැවැත්මක් බවට පත් වෙනවා. ජීවත් වන මිනිසා නිසා තවත් අයෙකුට යම් හිංසාවක් වෙනවා නම් එය සාපරාධී ක්‍රියාවක් බවට පත් වෙනවා වගේ ම ඔවුන් දුක සේ රැස්කරගන්නා දේපොළවලට යම් අගතියක්, පැහැර ගැනීමක්, විනාශයක් වෙනවා නම් එය ද බරපතල හිංසනයක් බවට පත් වෙනවා. මේ තත්වය වෙනස් කරලීමට යි මිහිඳු මාහිමියන් දැහැමි පන්සිල් සුරකින සමාජයක් නිර්මාණය කිරීමට තම දේශනා යොදා ගත්තේ. අද අපේ බෞද්ධ සමාජයේ තහවුරුව පවතින මළගිය මව්පිය, ඥාතිමිත්‍රාදීන්ට පින් පැමිණ වීමේ චාරිත්‍රය තහවුරු වීමට බලපෑවේ උන්වහන්සේ දේශනා කළ “පේතවත්ථු දේශනාවේ” දැක්වෙන “තිරොකුඩ්ඪ” සූත්‍ර දේශනාව යි.

ඤාතී ප්‍රේතයන් ඒ පින් අනුමෝදන් වී සැපවත් වනවා වගේම දැහැමි සමාජයට අවශ්‍ය කරන මිනිස් හදවත්වල කරුණාව ජනිත කරවීම, කළගුණ සැලකීම වැනි ගුණධර්ම ප්‍රගුණ කරවීම, දුකට පත්වන අයට පිහිට වීමෙන් ඒ අය මුදවා ගැනීම වැනි සමාජ සාරධර්ම රාශියක් ද සමාජයට හුරු කිරීමට හේතු වෙනවා. මෙහිදී හැදෙන වැඩෙන බාල පරපුර තේරුම් ගත යුතු ඉතා වැදගත් කරුණක් වන්නේ ළමා අවදියේ සිටම සුචරිවත් දැහැමි මග කුමක් ද යන්න අවබෝධ කර ගැනිමට පෙළඹීම යි. හිංසාව හැම විටම තමන්ටත්, අනුන්නටත් වධ දෙන කරුණක් වෙනවා. මේ පේතවත්ථු බුද්ධ දේශනාවේ හා අට්ඨකථාවේ එන විස්තරයට අනුව කෙනෙක් මිය ගිය පසු ප්‍රේතාතාත්ම භාවයක් ලබන්නට හේතුන් වන්නේ මෙලොවට පරලොවට දුක පිණිස හේතු වන අකුසල කර්ම කිරිම යි.

සඟසතු දේ අයථා පරිහරණය, සත්ව හිංසාව, බොරුව, ලෝභය, ඊර්ෂ්‍යාව හා වෛරය,වැරදි කාම සේවනය දැහැමි සමාජයක් ශක්තිමත් කිරීමට විශේෂයෙන් බාල පරපුර යහමඟට යොමු කරවීමේ අවශ්‍යතාව අද වෙන කවරදාටත් වඩා ඉස්මතු ව තිබෙනවා. සුරාව, සූදුව අල්ලස, සමාජ දූෂණ ක්‍රියා, සල්ලාල ජිවිත මේ හැම දෙයක්ම අද අප සමාජයේ විශේෂයෙන් ළමා පරපුර ගිලගනිමින් තිබෙනවා. එතකොට හැදෙන වැඩෙන දරුවන්ට වැදගත් වන්නේ අප අයහපත් ක්‍රියාවන්හි හෙවත් මේ පස්පව් ආදියෙහි ඇලී ගැලී ජිවත් වීමෙන් සසර දුක් විඳීනවා යන්න අවබෝධ කරලීමට පියවර ගැනීමයි. ඒ වගේම මිහිඳු මහරහතන් වහන්සේ එසේ වූ ජනතාවට හොඳ යහපත් ක්‍රියාවන්හි යෙදීමෙන් සසර සැප විඳීමට හේතුවන ආකාරය පෙන්වා දිමට විමානවත්ථු දේශනාව ඉදිරිපත් කළා. මේ ලෝකයේ ජීවත්වන මිනිසුන් විසින් එසේ කරනු ලබන කුසල පක්ෂයේ ක්‍රියාවන් නිසා ඔවුන් දිව්‍ය විමානවල පහළ වී මෙසේ මහත් සැප සම්පත් විඳීන ආකාරය දිව්‍ය ලෝකයට වැඩම කොට කළ පින්කම්වල විපාක පිළිබඳ ඒ ඒ දෙවිවරුන් සමඟ ප්‍රශ්න කර එසේ දිව්‍ය සම්පත් විඳීමට තරම් හේතු වූ කාරණා පිළිබඳ දෙවවිරුන් විසින්ම බුදුරජාණන් වහන්සේට, මුගලන් මහරහතන් වහන්සේට ශක්‍ර දෙවියන්ට කරන ලද ප්‍රකාශ විමානවත්ථුවේ එක්තැන් කර තිබෙනවවා. එවැනි දේශනා සමාජයේ අවිහිංසාව, සමාජ සාධාරණත්වය වැනි ගුණාංග වැඩි දියුණු කිරීමට හේතු වෙනවා. මේවා ළමා මනසට කාවැද්දීම පෙර පාසල් අවදියේ සිටම කළයුතු වෙනවා. එපමණක් නොව මිහිඳු මහරහතන් වහන්සේ විසින් දේශනාවක් වශයෙන් ඉදිරිපත් කරන ලද “බාලපණ්ඩිත සූත්‍රයෙන්” උන්වහන්සේ ඉස්මතු කර දක්වන්නේ බාල අසජ්ජනයන්ගේ ඇසුරෙන් පුද්ගලයා පස්පවට යොමු වන ආකාරය මෙන් ම නුවණැති සත් පුරුෂ සේවනයෙන් ජිවිතය උසස් තත්වයට පත් කරගත හැකි ආකාරය යි. එදා බුදුදහම නිසා බෞද්ධ ධාර්මික ජීවනෝපාය වශයෙන් සැලකෙන කෘෂිකර්මාන්තයට ජනතාව යොමු වුණා. මත්ස්‍ය මාංස භක්ෂණයෙන් ජනතාව ක්‍රමයෙන් ඈත් වුණා. සත්ව දඩයම සමාජයේ පිළිකුළට ලක් වුණා. සත්වහිංසනය නීතියෙන් ම තහනම් කිරිමට තරම් පසුකාලයේ ඇතැම් රජවරු ක්‍රියා කළා. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් “මාඝාත ආඥාව” පැනවීමට තරම් ඉදිරිපත් වුණා. මහාවංසයේ සඳහන් වන ආකාරයට අනුරාධපුර රාජධානියෙහි රජකම් කළ ආමණ්ඩගාමිණී(ක්‍රි.ව.79-89), වෝහාරික තිස්ස(ක්‍රි.ව.269-291),සිලාකාල(ක්‍රි.ව.524-537)(4 වන අග්ගබෝධි(ක්‍රි.ව.658-674),(3 වන කස්සප(ක්‍රි.ව.717-724) යන රජවරු මේ ආකාරයෙන් රජයේ නීතියක් විදියට ම සත්ව ඝාතනය මුළු දිවයිනෙහි ම තහනම් කොට රාජාඥා නිකුත් කළා. එවැනි දැඩි පිළිවෙත් අනුගමනය කිරීමට රජවරුන් ක්‍රියා කළේ අවිහිංසාව බුදුදහමේ මූලික පදනම බව ජනතාවට හුවා දක්වා ජනතාව දහමට යොමු කිරීමට යි. මෙවැනි ඉතිහාස ගත තොරතුරු ළමා මනසට කාවැද්දීම ද මිහිඳු මාහිමියන් අපට දුන් පණිවුඩය බාලපරපුරට යොමු කිරිමක් වෙනවා. මෙහිදී අපේ පාසල් දහම් පොතපත පවා මෙවැනි කරුණු ඇතුළත් කර ළමා පරපුරට ඉදිරිපත් කළයුතු වෙනවා. ඒ තුළින් බාලපරපුර වෙත අවිහිංසක ආකල්ප ලබා දීමේ ශක්තිය ලැබෙනවා.


 

පොසොන් පුර පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පෝය ජුනි 08 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 04.16 ට ලබයි.9 වනදා සිකුරාදා අපරභාග 06.39 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 8 වනදා බ්‍රහස්පතින්දාය.
 

මීළඟ පෝය ජුනි 17 වනදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 08

Second Quarterඅව අටවක

ජූනි 17

Full Moonඅමාවක

ජූනි 23

First Quarterපුර අටවක

ජූලි 01


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]