UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අනුබුදු මිහිඳු සිරිපා පොසොන් පෝදා කරමු පිණිපා

අනුබුදු මිහිඳු සිරිපා පොසොන් පෝදා කරමු පිණිපා

ලක්දිව වැසියන් වඩාත් විධිමත් හා ගුණගරුක පිරිසක් බවට පත් වී බලවත් ජාතියක් ලෙස ලොව සුපතල වීමට හේතු වූ ප්‍රධාන කාරණය නම් මිහිඳු මහරහතන් වහන්සේ ලංකාද්වීපයට වැඩම කොට උතුම් සදහම් මගත්, දියුණවේ රන් දොරටුවත් ලක්වැසි ජනතාවට පෙන්වා දීමයි.

අශෝක රජතුමාගේ අභිශේකයෙන් දහඅටවන අවුරුද්දේ එනම් සම්බුද්ධ පරිනිර්වාණයෙන් දෙසිය තිස්හයවන අවුරුද්දේ පොසොන් පෝදා මිහිඳු මාහිමියෝ ලක්දිවට වැඩම කළහ. එදින ලක්දිව මුල් නැකැත් දින නම් වූ සුවිශේෂ උත්සව දවසක් වූ අතර දෙවනපෑතිස් රජු හතළිස් දහසක් පිරිවර සමඟ නැකැත් කෙළියට ගොස් මිහිඳු මාහිමියන් දැක චුල්ලහත්ථි පදෝපම සූත්‍රයෙන් බණ අසා දහම් සතුටට පත්ව දෙවැනි දින දවල් දානයට ආරාධනා කොට වැඳ නමස්කාර කර නගරය බලා පිටත් විය. භණ්ඩුක කුමරු පැවිදි කෙරිණි. මිහිඳු මාහිමියෝද රජු නික්ම ගොස් නොබෝ වේලාවකින් සුමන සාමණේරයන්ට ධර්ම දේශනාව පිණිස මුළු තම්බපණ්ණි දිවයිනේ ම සිටින දෙවිවරුන්ට කාල ඝෝෂා කරන ලෙස දැන්වූ බැවින් එම සාමණේරයන් අභිඥා පාදක චතුර්ථ ධ්‍යානයට සමවැද කාල ඝෝෂා කළ අතර කලාටු බුමාටු දෙවිවරුන්ගේ පටන් බ්‍රහ්ම ලෝකය දක්වා වූ විවිධ දෙවිවරුන් රැස් වූ විට ධර්ම දේශනාව ආරම්භ කළහ. මෙහිදී මිහිඳු මහරහතන් වහන්සේ සමචිත්ත පරියාය සූත්‍රයෙන් ධර්මය දේශනා කළ සේක. මෙම සූත්‍රය මුල්වරට දේශනා කරන ලද්දේ සැරියුත් තෙරුන් විසින් පූර්වාරාමයේදී ය. උන්වහන්සේ එක් දිනක් භික්ෂූන් වහන්සේලා අමතා මෙසේ දේශනා කළ සේක.

“මේ සසුනෙහි ඇතැම් භික්ෂුවක් ප්‍රාතිමෝක්ෂ සීලයෙන් සිල්වත් ව, පැවැත්මෙහි හා ආහාරයෙහි හික්මීමෙන් යුතුව, කුඩා අකුසලයක වුව වරද දැනගෙන සිල්පදමනාව රකියි. හේ මරණින් පසු එක්තරා දේව නිකායක උපත ලබා එයින් චුත ව මෙම ආත්මභාවයට ම එන අතර අනාගාමී වෙයි. මේ අධ්‍යාත්මයේ කාමාශාව පිළිබඳ ඡන්ද රාගය ඇති පුද්ගලයා අනාගාමී වන ආකාරයයි. තවද මේ සසුනෙහි ඇතැම් භික්ෂුවක් ප්‍රාතිමෝක්ෂ සීලයෙන් සිල්වත් ව, පැවැත්වෙයි. හා ආහාරයෙහි හික්මීමෙන් යුතුව කුඩා අකුසලයක් වුව වරද දැනගෙන සිල්පද මනාව රකියි. මේ ආත්මයේ දීම ධ්‍යානයකට පැමිණ මරණින් පසු පංච සුද්ධාවාසවලින් එකක උපත ලබා එයින් චුතව අනාගාමී පුද්ගලයෙක් වෙයි. මේ අනාගාමී වූ බාහිර සංයෝජන ඇති පුද්ගලයාගේ ස්වභාවයයි.”

මේ දේශනාව මිහිඳු මහරහතන් වහන්සේ මිහින්තලයේ දී දේශනා කරන මොහොතේ එදා සැරියුත් මහරහත් උත්තමයාණන් විසින් දහම් දෙසන විට උසස් වූ දෙව් පිරිස හා සමාන පිරිසක් රැස්ව ඇසූ බව අටුවාවේ සඳන්වී තිබේ.

පසු දින දනට වැඩමවීමට රාජකීය රථය පැමිණිවිට එය පිටත් කොට යවා පසුව වඩිමියි මිහිඳු මාහිමියන් පැවසූ අතර උන්වහන්සේ රථයට පෙරම නුවර දොරටුව ළඟට වැඩි සේක. මෙදින දන් වළඳා අවසන් වීමෙන් පසු මිහිඳු මහරහතන් වහන්සේ විමාන වත්ථු, පේතවත්ථු, සච්ච සංයුක්ත ආදී කොටස්වලින් ධර්මය දේශනා කළ සේක. මේ ධර්ම දේශනා කෙළවර අනුලා දේවිය ඇතුළු පන්සියයක් දේවීහු සෝවාන් මාර්ගඵල ප්‍රත්‍යක්ෂ කළහ. මීට අමතරව උන්වහන්සේ වරින්වර දේවදූත සූත්‍රය ආසිවි සෝපම සූත්‍රය, අනමතග්ගීය සංයුක්තය, අග්ගික්ඛන්ධෝපම සූත්‍රය හා අප්පමාද සූත්‍රයද දේශනා කළ සේක.


 

පොසොන් පුර පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පෝය ජුනි 08 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 04.16 ට ලබයි.9 වනදා සිකුරාදා අපරභාග 06.39 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 8 වනදා බ්‍රහස්පතින්දාය.
 

මීළඟ පෝය ජුනි 17 වනදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 08

Second Quarterඅව අටවක

ජූනි 17

Full Moonඅමාවක

ජූනි 23

First Quarterපුර අටවක

ජූලි 01


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]