UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනීයානං

පහළවිටියල ජනානන්ද මා හිමි

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙහි ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවෙහි වත්මන් ප්‍රධාන අනුශාසක වූ පහළවිටියල ජනානන්ද මා හිමිපාණන් වහන්සේට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙ හි මහානායක මා හිමි වරප්‍රමුඛ කාරක – පාලක සංඝ සභාව විසින් මහෝපාධ්‍යාය ධුරය, ශාසන කීර්ති ශ්‍රී පටිපත්ති සෝභන යන ගෞරව නාම සම්මුතිය සහිත ව ප්‍රදානය කරනු ලබයි. අසූ වන වියට පා තබන ජනානන්ද මා හිමිපාණන් වහන්සේ ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවෙ හි ප්‍රධානාචාර්යයන් වහන්සේ පිළිබඳව කෙරෙන සංක්ෂිප්ත චරිතාවලෝකනයයි.

1938 මැයි මස 06 වන දින ජනානන්ද නා හිමිපාණන් ගේ ජන්ම ලාභය සිදු වූයේ ද, මාතර තිහගොඩ පහළවිටිගල නම් ග්‍රාමයෙහි ය. කිතලගම පාඨශාලාවෙහි අධ්‍යාපනය ලැබීය. ශ්‍රී ලංකා රාමඤ්ඤා මහා නිකායෙහි ආදි කර්තෘ අඹගහවත්තේ ඉන්ද්‍රාසභවරඤාණසාමි මහානා හිමියන් සමඟ අත්වැල් බැඳගත් විදර්ශනාචාර්ය පුවක්දණ්ඩාවේ පඤ්ඤානන්ද මා හිමියන්ගෙන් රාමඤ්ඤ නිකායෙහි ආරණ්‍යවාසී සඟ පරපුර ආරම්භ විය. එම ආරණ්‍ය සඟ පරපුර නිසා දකුණු ලක සිල් සුවඳින් ඒක සුගන්ධිත වූයේ ය. පඤ්ඤානන්ද මා හිමිපාණන් වහන්සේගේ ශිෂ්‍ය වූ ධුතාංගධාරී රන්සෑගොඩ සිරිසුමන මා හිමිපාණන් වහන්සේගේ ගුණ කදම්බය මුළු ලක්දිව ම ප්‍රකට විය. මාතර කිරින්ද ආරණ්‍යය, බටුවිට ආරණ්‍යය, අම්බලන්ගොඩ දෙල්දූව විවේකාරණ්‍යය යනාදී ආරණ්‍යායතන බිහි වූයේ මේ මා හිමිපාණන් වහන්සේලා නිසා ය. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙහි පස්වන මහානායක පදවිප්‍රාප්ත පණ්ඩිත ශිරෝමණී කෝදාගොඩ උපසේන මහ නා හිමිපාණන් වහන්සේ, රන් සෑගොඩ සිරිසුමන මාහිමිපාණන්ගේ ශිෂ්‍ය රත්නයකි. උපසේන මහ නා හිමිපාණන් වහන්සේ ගේ ධර්මාන්තේවාසික වූ කැකුණේවෙල ඉන්දගුත්ත මහෝපාධ්‍යාය මා හිමිපාණන් වහන්සේ විසින් 1961 දෙසැම්බර් 22 වන දින, මේ පින්වත් තරුණයා පැවිදි කරන ලදී. එහි දී ආචාර්ය වූයේ ගොඩගම විජයපාල හිමියන්ය.

උන්වහන්සේගේ උපසම්පදාව සිදු වූයේ ද ඉන්දගුප්ත මා හිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් 1964 අගෝස්තු මස 20 වන දින දෙල්දූව විවේකාරාමාසන්න මාදම්පා නදී උදකුක්ඛේප සීමා මාලකයේ දී ය.

රාජකීය පණ්ඩිත මාතර ඤාණාරාම මහෝපාධ්‍යාය මා හිමියන්ගේ ප්‍රධානාචාර්යත්වයෙන් හා රාජකීය පණ්ඩිත කඩවැද්දුවේ ජිනවංස මහෝපාධ්‍යාය මා හිමියන්ගේ ආදිකර්තෘත්වයෙන් 1951 ජූනි 18 වන දිනට යෙදුණු පොසොන් පොහෝ දින, දෙල්දූව විවේකාරණ්‍යයයේ දී ආරම්භ කරන ලද ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාව, ආරණ්‍ය සඟ පරපුරෙන් ම බිහි වූ ශ්‍රේෂ්ඨ ශාසනික වැඩපිළිවෙළකි. කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාව සමඟ අත්වැල් බැඳගත් ජනානන්ද ස්වාමීන් වහන්සේ අද දක්වා ම සිල්වත් ව ගුණවත්ව සම්බුදු සසුනෙහි ප්‍රතිපත්ති පුරණය කරති.

ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවෙහි අනුශාසකව වැඩ සිටි ත්‍රිපිටකධර, මහා කම්මට්ඨානාචාර්ය නා උයනේ අරියධම්ම අනුනායක මා හිමියන් ගේ අපවත්වීමෙන් අනතුරුව යෝගාශ්‍රම කාරක සංඝ සභාවේ ඒකච්ඡන්දයෙන් ජනානන්ද මා හිමිපාණන් වහන්සේ ප්‍රධාන අනුශාසක වශයෙන් පත් කරන ලදී.

පහළවිටියල ජනානන්ද මා හිමිපාණන් වහන්සේට සසුන් වැඩ වැඩුමට නිදුක් නිරෝගි සුව දිගාසිරි ලැබේවා!


අපරැක්කේ හිමරතන නා හිමි

මාතර හම්බන්තර දෙදිසාවේ අධිකරණ සංඝ නායක, පුහුල්වැල්ල, කිරින්ද පූර්වාරාම පිරිවෙන් විහාරාධිපති, විශ්‍රාමලත් පරිවේණාධිපති, ප්‍රවීණාචාර්ය, ශාස්ත්‍රවේදී, අපරැක්කේ හිමරතනාභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සැත්තෑ අටවන ජන්ම දිනය අප්‍රේල් මස 25 වන දිනට යෙදී තිබිණි. උඩඅපරැක්ක ගම්පියසේ, එච්. බී. එම් රණධීර සහ පී.එම්. ගජනායක දම්පතීන්ගේ පුත් රුවන පියදාස රණධීර නම්විය.

මාර / කොකාවෙල විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබූ රණධීර කුමරුවා 1952 දී පැවිදි බිමට පත්වන්නේ එකල කිරින්ද පූර්වාරාම පරිවෙණාධිපතිව වැඩ විසූ අපවත්වී වදාළ රාජකීය පණ්ඩිත අපරැක්කේ දේවානන්ද මාහිමියන්ගේ සහ පූර්වාරාම පිරිවෙන් විහාරාධිපතිව වැඩ සිට අපවත්වී වදාළ ගැටමාන්නේ පියරතනාභිධාන මාතර හම්බන්තර දෙදිසාවේ අධිකරණ සංඝ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යරත්නය ලෙසටය. උගතයුතු මූලික බණදහම් හා ශාසනික අධ්‍යාපනය ලද උන්වහන්සේ උපසම්පදාව ලබන්නේ 1959 දී මල්වතු මහාවිහාරයීය උපෝෂථාගාරයේදී ය.

ප්‍රාචීන, ප්‍රාරම්භ පරීක්ෂණයෙන් සමත්ව ගාල්ල, විද්‍යාලෝක පිරිවෙනට ඇතුළත් වු උන්වහන්සේ එහිදී ප්‍රාචීන මධ්‍යම පරීක්ෂණයෙන් සමත්වන්නේ දිවයිනේ ප්‍රථමයා වී ඤාණතිලක සම්මානය ද හිමිකර ගනිමිනි. විශ්වවිද්‍යාලයට ඇතුළත්ව 1964 දී ශාස්ත්‍රවේදී උපාධිය ද හිමිකරගත්හ. 1965 දී රජයේ ගුරු සේවයට ඇතුළත්වන නාහිමියෝ හ/පලපොත මහ විද්‍යාලය, හ/ ගැටමාන්න මධ්‍ය මහා විද්‍යාලය, මාර / පුහුල්වැල්ල මධ්‍ය මහා විද්‍යාලය යන විද්‍යාලයන්හි දැඩි කැපවීමකින් ඉගැන්වීම් කටයුතු සිදු කළහ.

1990 දී ගුරුසේවයෙන් බැහැරවන නා හිමියෝ එතැන් පටන් පූර්වාරාම පිරිවෙනේ අධිපතිත්වය භාරගෙන එහි අභිවෘද්ධිය පිණිස පුරා වසර දහයක් ක්‍රියා කළහ. තම ගුරුදේව නාහිමිපාණන් වහන්සේගේ අපවත්වීමෙන් පසු පූර්වාරාම පිරිවෙන් විහාරස්ථානයේ අධිපතිත්වයට ද පත් වූ උන්වහන්සේ විහාරස්ථානයේ දියුණුව වෙනුවෙන් විහාරාංගයන්ගෙන් සම්පූර්ණ කළහ.

උන්වහන්සේගේ ආගමික, ශාසනික හා ජාතික සේවාවන් අගයමින් 1994 දී මහනුවර මල්වතු පාර්ශ්වයේ මහා නායක ස්වාමීන්ද්‍රවරප්‍රමුඛ විංශද්වර්ගික කාරක සංඝ සභාව විසින් මාතර හම්බන්තර දෙදිසාවේ අධිකරණ සංඝ නා යක පදවියෙන්ද සම්භාවනාවට පත් කරන ලදී.

ශාස්ත්‍රීය කටයුතුවලට මහත් රුචිකත්වයක් දක්වන නාහිමියෝ විවිධ ශාස්ත්‍රීය සඟරා හා පුවත්පත්වලට ශාස්ත්‍රීය ලිපි එක්කළ අතර ඉපැරණි ග්‍රන්ථ හා පුස්කොළපොත් සංරක්ෂණය කර තැබීමට දවෙහෙසී ක්‍රියා කළහ.

ප්‍රදේශයේ සිසු දරුවන් දහස් ගණනකට දහම් දැනුම ලබාදෙන ශ්‍රී සිද්ධාර්ථ දහම් පාසල හා සිරි සිදුහත් ළදරු පාසල උන්වහන්සේගේ පූර්ණ අධීක්ෂණය හා අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වේ. කිරින්ද පුහුල්වැල්ල ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපතීන් වහන්සේ ලෙස විශාල සේවාවක් සිදුකරන උන්වහන්සේ ප්‍රදේශයේ සිදුවන සමාජ විරෝධී ක්‍රියා වැළැක්වීම සඳහා අමිල සේවාවක් ඉටුකරති. 1971 වසරේ සිට කිරින්ද නගරයේ පවත්වාගෙන ගිය ගව මස් කඩය වසා දැමීමට කටයුතු කිරීම, කිරින්ද නගරයේ සුරාසැලක් ආරම්භ කිරීමට ඉදිරිපත් වූ සැලසුම ප්‍රදේශවාසීන් හා එක්ව නිශ්ප්‍රභ කිරීම ඒ අතර ප්‍රධාන තැන් ගනී.

පරිපාලන කටයුතු ඉතා දුෂ්කර ලෙස කර ගැනීමට සිදු වූ කිරින්ද පුහුල්වැල්ල ප්‍රදේශවාසීන්ට තම අවශ්‍යතා පහසුවෙන් ඉටුකර ගැනීමට හැකිවන සේ නව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ලබාගැනීමට මූලිකත්වය ගත්තේ ද නාහිමියෝමය.

සුනාමි ව්‍යසනයෙන් විපතට පත් වූවන් සඳහා ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව ආහාරපාන, ඖෂධ, රෙදිපිළි ආදිය සපයා දුන් උන්වහන්සේ ප්‍රදේශයේ මහා සංඝරත්නයත්, දායක පිරිසත් සමඟ එක්ව පූර්වාරාම විහාරයට අයත් ඉඩමක අංග සම්පූර්ණ නිවාස දෙකක් සාදවා පරිත්‍යාග කිරීම අනුස්මරණීය සුවිශේෂ සිද්ධියකි.

මෙවන් උදාර ආගමික, ශාසනික, ජාතික මෙහෙවරක් ඉටු කරන අපරැක්කේ හිමරතන නාහිමියන්ගේ සැත්තෑ අටවැනි ජන්ම දිනය නිමිත්තෙන් විහාරස්ථ දායක සභාව සහ ශිෂ්‍ය සමූහයා විසින් විශේෂ පින්කම් මාලාවක් සංවිධානය කර තිබිණි.


උඩවත්තේ නන්ද නා හිමි

මහනුවර වටපුළුව පුරාණ බෝධිමළු විහාරය අරුප්පල අප්ලන්ඩ් ශ්‍රී සුමන විවේකාශ්‍රමය හාරගම ශ්‍රී ජයසුමනාරාමය, අම්පිටිය, මීකණුව ශ්‍රී විමලරතනාරාමය යන විහාරයන්හි අධිපති වලපනේ වටරක් ගොඩඵුස්ස දේව රජමහා විහාරාධිකාරි කර්මාචාර්ය සද්ධර්ම කීර්ති ශ්‍රී වෛශාරද විචිත්‍රාභාණි හිටපු මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාමවිනිසුරු උඩවත්තේ නන්ද හිමියන් වෙත අස්ගිරිය මහාවිහාරයීය කාරක මහා සංඝ සභාව විසින් පත්කරන ලද උපාධ්‍යාය තනතුර සහිත ශාසන සෝභන විමලකීර්ති ශ්‍රී සෝමානන්ද යන ගෞරව නාමය සහිත විශේෂ නායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය නන්ද නාහිමි වෙත අස්ගිරිය මහා විහාරයීය මංගල උපෝෂථාගාරයේදී පවත්වන ලද ප්‍රසාද පූජා උත්සවයේදී අස්ගිරිය මහා විහාර පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහා නායක මාහිමිපාණන් වහන්සේ විසින් පිළිගන්වන ලදී.

1954 ජුනි 22 වෙනි දින උතුම් පැවිදි බිමට දොඩම් කුඹුරේ ශ්‍රී සෝමානන්ද නාහිමිපාණන්ගේ ශිෂ්‍ය රත්නයක් ලෙස ඇතුළත්ව මූලික ධර්ම අධ්‍යාපන දැනුම නුවරඑළිය මැදවල ශ්‍රී විමලාරාමයෙන් ලබාගෙන සිය ධර්ම ඥානය මහනුවර සංඝරාජ පිරිවෙනින්, ප්‍රගුණ කරගත් නන්ද හිමියෝ 1960 දී උපසම්පදාව අස්ගිරිය මහා විහාරයේදී ලබා ගත්හ. 1972 දී කර්මාචාර්ය තෙරනම් ලෙස පත්වී වසර 45 ක පමණ කාලයක් කර්මාචාර්ය හිමිනමක් ලෙසත් වසර 56 පමණ කාලයක් උපසපන් භික්ෂුවක් ලෙසත් සම්බුද්ධ ශාසනික ජාතික ආගමික හා සාමාජික සේවාවන්හි නිරතව සිටින උඩවත්තේ නන්ද හිමියෝ 2016 දී අස්ගිරිය මහා විහාරයේ මහෝපාධ්‍යාය පදවියෙන් පිදුම් ලැබූහ. පෙර අපර දෙදිග බෞද්ධ රටවල් ගණනාවකම ධර්මදූත මෙහෙවර සිදුකළේය. විශේෂයෙන් නන්ද නාහිමිපාණන්ගේ එම ධර්ම සේවාවන් අප රටට මහත් ගෞරවයක් ලබා දුන්හ. ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩල අතර ධර්ම අධ්‍යාපන කටයුතුවලට මුල්තැනක් දුන් අතර ගඟවට කෝරලයේ ශාසනාරක්ෂක මණ්ඩල තනතුරු ගණනාවක් දරමින් උසස් ප්‍රතිඵල ලබාගැනීමට මූලික වූ නන්ද හිමියෝ 2001 දී මහනුවර මහනගර සභා ඡන්දයෙන් නාගරික මන්ත්‍රිවරයෙකු වශයෙන් ද 2004 දී පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු වශයෙන්ද පත්වී රාජ්‍ය තන්ත්‍රයට සම්බන්ධව ගිහි පැවිදි සම්බන්ධතාවයන් මුල්කරගෙන විශාල සමාජ සද්කාර සේවාවක් ඉටුකළ ධර්මධර, විනයධර, ංතෙරනමකි. උඩවත්තේ නන්ද නාහිමිපාණන්ට තව තවත් ශාසනික, ආගමික, සාමාජික සේවාවන් ඉටුකිරීමට ශ්‍රී දළදා සමිදුන්ගේ ආශිර්වාදය තිසරණ සරණින් ලැබේවා යැයි ප්‍රාර්ථනා කරමු!

 

වෙසක් පුර අටවක පෝය

 

වෙසක් පුර අටවක පෝය මැයි මස 02 වන දා අඟහරුවාදා අපරභාග 08.51 ට ලබයි. 03 වන දා බදාදා අපරභාග 07.51 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 3 වන දා බදාදාය.
 

මීළඟ පෝය මැයි මස 10 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 03

Full Moonපසෙලාස්වක

මැයි 10

Second Quarterඅව අටවක

මැයි 18

Full Moonඅමාවක

මැයි 25


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]