UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සේරුවාවිල සරණකිත්ති නා හිමි

සේරුවාවිල සරණකිත්ති නා හිමි

සේරුවාවිල සරණකිත්ති අනු නා හිමියන් අපවත්වී මෙම මැයි මස 02 දිනට වසරක් සපිරිණි. ඒ නිමිත්තෙන් පළවන ලිපියකි.

පුරා දසක තුනක් තිස්සේ පැතිර පැවැති එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී භීෂණයට නොසැලී මුහුණ දෙමින් මෙම පින්බිම ආරක්ෂා කර ගනිමින් රැකබලා ගන්නා ලද්දේ සේරුවාවිල සරණකිත්ති අනු නා හිමියන්ය. ත්‍රස්තවාදී තර්ජන මැද්දේ නොසැලී සිට බොහෝ දුෂ්කරතා විඳදරා ගනිමින් සේරුවාවිල පින්බිම රැක ගැනීම සඳහා සරණකිත්ති හිමියන් විසින් සිදුකරනු ලද්දේ අතිශය මහඟු මෙහෙවරකි. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පිහිටි සේරුවාවිල පුද බිම ශත වර්ෂ 07, 08 ක තරම්වූ දීර්ඝ කාලයක් ඝණ වනයෙන් වැසී තිබූ මෙම පින්බිම නැවත සොයා ගනිමින් එය තහවුරු කරන ලද්දේ ශ්‍රී කල්‍යාණි වංශ මහා නිකායේ මහා නායක මංගල ධර්මකීර්ති ශ්‍රී දඹගස්ආරේ ශ්‍රී සුමේධංකර නා හිමියන් විසිනි. පුරා 47 වසරකට අධික කාලයක් සේරුවාවිල මංගල රාජ මහා විහාරස්ථානයෙහි වැඩ වෙසෙමින් උන්වහන්සේ විසින් කර ඇති ආගමික සේවය මෙන්ම සාමාජික මෙහෙවරද අති විශාලය. පොදුජන මෙහෙවර තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් උපරිම ආකාරයෙන් සිදුකර ඇති උන්වහන්සේ සේරුවාවිල පූජනීය පුදබිම ලෝක උරුමයක් බවට පත් කරන්නට දායක වී තිබේ.

1940 මාර්තු 26 වන දින මුදන්නායක අප්පුහාමිලාගේ පියදාස සහ ජුවන් පුල්ලේලාගේ මිසි නෝනා නම් වූ දෙමව්පියන්ගේ පස්වන දරුවා වශයෙන් ජන්ම ලාභය ලැබූ සේරුවාවිල සරණකිත්ති නා හිමියෝ උඩුගම්පොල බාඳුරාගොඩ පාසල්වලට ඇතුළත්ව අධ්‍යාපනය ලැබූහ. 1948 දී තම දෙමව්පියන් සමඟ සේරුවිල පදිංචියට පැමිණි නා හිමියන් වඩුමුල්ලේ මේධානන්ද ලොකු හාමුදුරුවරුන්ගේ සෙවනේ අකුරු කිරීමට භාග්‍ය ලැබූහ. 1952 නොවැම්බර් මස 03 දින සේරුවාවිල සරණකිත්ති නමින් පැවිදිබිමට ඇතුළත් වූ උන්වහන්සේගේ පැවිදි ගුරුවරයා වශයෙන් කටයුතු කළේ දඹගස්ආරේ ශ්‍රී සුමේධංකර නා හිමියන්ය. එවකට අතිශය දුෂ්කර පළාතක්ව පැවැති සේරුවාවිල ප්‍රදේශයට වී නා හිමියන් ගත කරන කටුක ජීවිතය දුටු සරණ කිත්ති හිමියන්ට එවකට අධ්‍යාපනය ලැබූ දොඩංදූවෙන් සේරුවාවිලට පැමිණි සුමේධංකර නා හිමියන්ගේ වැඩ කටයුතුවලට සම්බන්ධ වී උන්වහන්සේට ශක්තියක් වන්නට සරණකිත්ති නා හිමියන් තීරණය කරන ලදී. නා හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථානයේ සියලු වගකීම් ඉටුකරනු ලැබූ නා හිමියන් ගරා වැටී තිබුණු විශ්‍රාම ශාලා හා සංඝාවාසය අලුත්වැඩියා කටයුතු ආරම්භ කරන ලදී. සේරුවාවිල මංගල රාජ මහා විහාරයේ නිකිණි මහා පෙරහර ඒ වන විට පවත්වාගෙන යනු ලැබුවේ සුළු වශයෙනි.

සරණකිත්ති නා හිමියන්ගේ මෙහෙයවීමෙන් නිකිණි මහා පෙරහර අත්‍යලංකාර පෙරහරක් බවට පත්විය හිටපු ජනාධිපති ජේ ආර් ජයවර්ධන හා හිටපු අග්‍රාමාත්‍ය ආර්. ප්‍රේමදාස මහත්වරුන්ගේ මූලිකත්වයෙන් සේරුවාවිල පූජා නගර සංවර්ධන වැඩ පිළිවෙල 1979 දී ඇරඹුණු අතර, විහාරස්ථානය ආශ්‍රිත මහා මාර්ග දියුණු කිරීම ජල යෝජනා ක්‍රම වැඩිදියුණු කිරීම, බෝධි ප්‍රාකාරය ඉදි කිරීම සහ නව විහාර මන්දිරයක් විශ්‍රාම ශාලාවක් නේවාසික සංඝාවාසයක් ඉදි කරන්නට මුල් වූ සරණකිත්ති නා හිමියෝ විදුලිය ලබා ගැනීමට ද පියවර ගත්හ. දඹගස්ආරේ ශ්‍රී සුමේධංකර මහා නා හිමියන්ගේ අපවත්වීමත් සමඟ සේරුවාවිල මංගල රාජ මහා විහාරස්ථානයේ අධිපතිත්වයට පත් සේරුවාවිල සරණකිත්ති අනු නා හිමියෝ ප්‍රදේශයේ උද්ගත වූ ත්‍රස්තවාදී තර්ජනවලට මුහුණ පෑහ. කොටි ත්‍රස්තවාදීන් මාවිල්ආරු අමුණ වසා දැමීම නිසා ගොවිතැන් කරගත නොහැකිව දුකට පත් වූ ගොවි ජනතාවට සහනයක් ලබාදීමේ අරමුණෙන් උපවාසයක් ඇරඹූ උන්වහන්සේ මාවිල්ආරු ප්‍රශ්නයේදී සුවිශේෂ වැඩ කොටසක් ඉටු කළහ. සේරුවාවිල පුද බිම ලෝක උරුමයක් බවට පත් කිරීමේ වැඩ පිළිවෙලක් මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවති. අප ගුරුදේවෝත්තම සේරුවාවිල සරණකිත්ති නා හිමියන්ගේ උපදෙස් මග පෙන්වීම් හා මූලිකත්වය යටතේ සේරුවාවිල මේ වන විට අති විශාල දියුණුවක් ලබා තිබේ. උන්වහන්සේගේ මෙහෙයවීමත් මාගේ දැඩි කැපවීමත් මත ඓතිහාසික සේරුවාවිල පුද බිම ලෝක උරුමයක් ලෙස නම් කරන්නට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබේ. සේරුවාවිල සරණකිත්ති අනු නා හිමියන් සහ වත්මන් දායක සභාව සමඟ එක්වී මා විසින් සේරුවාවිල පුද බිම ලෝක උරුමයක් බවට පත් කිරීමට ගන්නා උත්සාහය දඹගස්ආරේ ශ්‍රී සුමේධංකර නා හිමියන්ගේ ප්‍රාර්ථනාවක් මල්පල ගැන්වීමක් ලෙස සැලකිය හැකිය. සේරුවාවිල සරණකිත්ති නා හිමියන්ගේ අපවත් වීමෙන් පළමු වසර සැමරෙන මැයි 02 දින සේරුවාවිල ජනතාවගේ සහ දොම්පේ භාවනා අසපුව වාසි දායක මහත්වරුන්ගේද සහභාගිත්වයෙන් සේරුවාවිල මංගල රාජමහා විහාරයේ දී ශතාධික මහා සංඝීක දානයක්ද සම්බුද්ධ පූජාව කිරිපිඬු දානය ඖෂධ ගිලන් පස පූජාව හේවිසි පූජාව සහ පැවිදි කිරීමේ පින්කමත් පවත්වනු ලැබේ. නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝ නායක සේරුවාවිල සරණකිත්ති කල්‍යාණි වංශ මහා නිකායේ අනුනායක මා හිමිපාණන් වහන්සේට මෙම සියලු පින්කම් බලයෙන් අමා මහ නිවන් සුව ලැබේවායි ප්‍රාර්ථනා කරමු.

සේරුවාවිල මංගල රජමහා විහාරාධිපති දොම්පේ භාවනා අසපුව අනුසාසක කථිකාචාර්ය ශාස්ත්‍රපති පණ්ඩිත

 

වෙසක් පුර අටවක පෝය

 

වෙසක් පුර අටවක පෝය මැයි මස 02 වන දා අඟහරුවාදා අපරභාග 08.51 ට ලබයි. 03 වන දා බදාදා අපරභාග 07.51 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 3 වන දා බදාදාය.
 

මීළඟ පෝය මැයි මස 10 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 03

Full Moonපසෙලාස්වක

මැයි 10

Second Quarterඅව අටවක

මැයි 18

Full Moonඅමාවක

මැයි 25


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]