UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තරුණ ජීවිතයක සාර්ථක බව

තරුණ ජීවිතයක සාර්ථක බව

මනුෂ්‍යය ජීවිතයෙහි මුල,මැද,අග යන සියලු තැන්හි වියවුල් ගැටලු ස්වභාවයක් දක්නට ලැබුණත් , තරුණ කණ්ඩායම් අතර එම ප්‍රවණතාවය වැඩි වශයෙන් දක්නට ලැබෙයි.

අන්තෝජටා බහී ජටා
ජටාය ජටිතා පජා

ජීවිතය පුරාම ගැටුම් නිර්මාණය වන බව එයින් හැඟෙයි. ජීවිතයට බලපානු ලබන ගැටලු, ප්‍රශ්න, සැක, අවදානම් අනතුරු යන ස්වභාවයන් විසඳාගනු ලබන්නේ කෙසේද? යනුවෙන් බුදුරජාණන් වහන්සේගෙන් පැනයක්ද විමසා සිටිනු ලැබුවා. සීලේ පතිට්ඨා නරෝ සපඤ්ඤො . ශීලවන්තයා ප්‍රඥාාවන්තයා බවයි.විනයගරුක , නීති ගරුක , ගුණ නුවණින් යුක්ත ප්‍රඥාවන්ත පුද්ගලයන් මේ තත්ත්වය ලිහා ගන්නා බවයි. ජීවිතයෙහි උපත, වැඩි විය පැමිණීම, විවාහය, මරණය යන දොරටු හතරක් වශයෙන් ද්වාරකර්ම අවස්ථා පවතී. විවිධ සමාජයන්හි විවිධ සිරිත් විරිත් ඇවතුම් පැවතුම් සැමරීම් කරනු ලබයි. එම නිසා අප ලාංකික සමාජයෙහි උපතෙහි සිට මරණය දක්වා බෞද්ධ සිංහලයන් නම තබන අවස්ථාවෙහි සිට මරණය දක්වා එම දොරටු හතරෙහි ක්‍රියාත්මක වන ආකාරය අධ්‍යයනය කළ හැකි අතර එම ස්වභාවය අධ්‍යයනය කර තිබෙනවා. අණන සුඛය නැහැ.ණය තුරුස්වලින් පීඩාවට පත්ව සිටී.බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙන අන්ත දෙකට අයත්ව බොහෝ දෙනෙක් ජීවත් වන බව දක්නට ලැබෙයි.

ධම්මචක්කපවත්වන සූත්‍රය මුලින්ම දේශනා කරනු ලැබුවේ අත්තකිලමතානු යෝගයත්, කාමසුඛල්ලිකානු යෝගයත් යන අන්ත දෙකට මැදි නොවී මධ්‍යම ප්‍රතිපදාව අනුව ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි ගමන් කළ යුතු බව වුවත් බොහෝ දෙනා එය පිළිපදින බවක් දක්නට නැති අතරම ඇතැම් තරුණ කණ්ඩායමි එම කරුණු කාරණා පිළිබඳව අඩුම වශයෙන් සිතනවාද? යන ප්‍රශ්නය පැන නගී.තරුණ පිරිස්වල චාම් බව ,සරල බව ඇවතුම් , පැවතුම් වල, විශාල ප්‍රශ්නයක් තිබෙන බව දක්නට ලැබෙන කාරණාවක්. ජීවිතයෙහි කාල සටහනක් තිබිය යුතුයි.ජීවිතයෙහි විවිධ අවස්ථා පිළිබඳව විසුද්ධි මාර්ගයෙහි සඳහන් පරිදි අවුරුදු දහයෙන් දහයට අවුරුදු සියය දක්වා සඳහන්ව තිබෙන බව දක්නට ලැබෙයි. බුදුරජාණන් වහන්සේට දින චරියාවක් තිබුණ බව සඳහන් වෙයි.නමුත් ජීවිතයට අදාළ වන කාල සටහන පිළිවෙළට නොයන බව තරුණ ජීවිත දෙස බලන විට අපට දක්නට ලැබෙන කාරණාවක්.එම නිසාම ජීවත්වීමේ කලාව, ශිල්පය බිඳ වැටී තිබෙනවා.විශේෂයෙන්ම තරුණ කණ්ඩායම් බොහෝ අය අයාලේ යන ස්වභාවයක් දක්නට ලැබෙයි. ඉලක්කයට, අරමුණට ගමන් කිරීමක් සිදුවන්නේ නැහැ. ඒ සඳහා විවිධ සමාජ සංස්කෘතික හේතු, ප්‍රධාන වශයෙන් ආර්ථික ගැටලු,අධ්‍යාපනික ගැටලු පවතී. බොහෝ ලක්ෂ සංඛ්‍යාත දරුවන් අවුරුදු පහේ සිට අවුරුදු දහතුන දක්වා ඉගෙන ගන්නා පාසල් අවධිය ගතකරන තරුණ වයසේ සිටින දරුවන් නව යෞවනභාවයට පත්වෙයි.යෞවනභාවය යනු දැඩි ක්‍රියාශීලී , ආවේග ශීලී,භාවතිශය සියල්ලම වැඩී අවසන් කාල පරාසයයි. එම ජවය සහිත කාලය අධ්‍යාපන කාලය වෙයි. එම පාසල් අධ්‍යාපනයෙහි පහේ ශිෂ්‍යත්ව විභාගය, අපොස සා/පෙළ , අපොස උ/පෙළ යන කඩඉම් විභාග විශාල පීඩනයක් එල්ල කරයි. සාමාන්‍ය අධ්‍යාපන ක්‍රමයෙහි විශාල ගැටලු පවතී. ජාතික ප්‍රතිපත්තියක් නිවැරැදිව නැතිකමත්, නිතර අත්හදා බැලීම් කරන නිසාත් කිසිදු පිළිවෙළක් නැති බව දක්නට ලැබෙයි. එම විභාග දහරාවෙන් සමත් වන පිරිසට වඩා අසමත් වන පිරිස වැඩි වෙන නිසාම එවැනි පරිසරයෙහි ආවේග වැඩි වන නිසාම තරුණ ගැටලු, ප්‍රශ්න, ගැටුම්කාරී ස්වභාවයක් දක්වා නිර්මාණය වෙයි. ඔවුන්ට දරාගැනීමේ ශක්තිය නැතිව යයි.

උසස් අධ්‍යාපනය කරා ගමන් කළ නොහැකිව පිටතට විසිවෙන පිරිස ආර්ථික හේතු, දුප්පත්කම, යහපත් පෝෂණයක් නොලැබීම , රෝගාබාධ වැළඳීම, මනස නිවැරැදිව කේන්ද්‍රීය ස්ථානයකට අවධාරණය කරගැනීමට නොහැකිවීම යන බහුවිධ හේතු නිසාම අධ්‍යාපනය බිඳ වැටෙයි. ඈත පළාත්වල කොළඹ පාසල්වල තිබෙන පහසුකම් නැහැ.

කෙසේ වුවත්,සම්මත සමාජයෙහි ලෞකික ජීවිතයක් ගත කරන නිසා ගුරුවරුන්ගේ හිඟය , දෙමවුපියන්ගේ ප්‍රශ්න නිසා තරුණ දරුවන් වෙත නිවැරැදි සමාජානුයෝජනයක් සිදුවන්නේ නැහැ. නිවැරැදි සමාජානුයෝජනය පෞරුෂත්වය ගොඩනැඟීමට සෘජුව බලපායි. සිංහල පවුලක දරුවෙක් බෞද්ධ ආගම ධර්මයත් සමඟ සමාජානුයෝජනය වීමේදී ගෙදර පරිසරයත් , තමන්ගේ පාසල් පරිසරයත්, දහම් පාසල් පරිසරයත් බලපායි. බොහෝ දෙනා බෞද්ධ යනුවෙන් ප්‍රකාශ කළත්, අඩුම වශයෙන් වෙසක් පොහොයට වත් සිල් ගන්නේ නැහැ. එසේ නැතිව සුබවාදීව ක්‍රියාකිරීමෙන් ජීවිතයෙහි අධ්‍යාත්ම්ක තලය දියුණු වෙයි.

අධ්‍යාත්මික තලය වර්ධනය වීමෙන් තරුණ පිරිසට දියුණු මනසක් නිර්මාණය කරගැනීමේ අවස්ථාව උදාවෙයි. ි උසස් මනසක් ඇතිකර ගැනීම පිළිබඳව බුදුදහමෙහි බොහෝ කරුණු ඉදිරිපත් වෙයි. වචනය , සිතිවිල්ල සංවර කරගත යුතුයි. එම කරුණු පොත්වල තිබුණාට පමණක් වැඩක් නැහැ. හැසීරීම තුළින් ජීවිතයට රැගෙන යා යුතුයි.

දෙවන තලය වන බුද්ධිමය තලයෙහිදී බොහෝ පොතපත පරිශීලනය කළ යුතුයි. ඇතැම් තරුණ පිරිස් සාහිත්‍ය, සෞන්දර්ය කලාව තුළින් ඉවත් වුණ ස්වභාවයක් දක්නට ලැබෙයි.සාහිත්‍ය සෞන්දර්ය කලාව එක පැත්තක් බව සොක්‍රටීස් පවා ප්‍රකාශ කළ කාරණාවක්. සාහිත්‍යයෙන් , ක්‍රීඩාවෙන් පෝෂණය වූණ තරමට පරිපූර්ණව නිරෝගීව වැඩෙයි. බුද්ධිමය තලයට අවශ්‍ය කරන උපාංග සම්පුර්ණ කරගැනීම තරුණ කණ්ඩායම් තුළ අඩු බවක් දක්නට ලැබෙයි.

අතීතයේදී බෞද්ධ දරුවන් සමාජානුයෝජනය කිරීමේදී බෞද්ධ සාහිත්‍ය වශයෙන් , ලෝවැඩ සඟරාව, ලෝකෝපකාරය සුභාෂිතය යනාදිය පිළිබඳව උපදේශාත්මක සාහිත්‍ය පරිශීලනය කළත්, වර්තමානය වන විට එම බෞද්ධ සාහිත්‍ය තුළින් තරුණ පිරිස් ඈත්වීමක් දක්නට ලැබෙයි. පන්සලේ ස්වාමීන් වහන්සේ අකුරු කියෙව්වත්, වර්තමාන පරිසරයට අනුව හැඩගැසෙන ඇතැම් දරුවන්ට නිවැරැදිව අකුරු උච්චාරණය කිරීමේ හැකියාවවත් ඇතැම්විට දක්නට නැහැ. සිංහල එල කියුෂන් වශයෙන් අකුරු පිළිබඳව, වාක්‍ය පිළිබඳව අතීතයෙහි පැවතුණා.ඒවායෙහි තනිකර බෞද්ධ සාහත්‍ය සංස්කෘතියක් අන්තර්ගත වුණා. නම් පොතෙහි බෞද්ධ සිද්ධස්ථාන ගම්වල නම්,කියවීමෙන් අකුරු ඉගෙන ගැනීම පමණක් නොවෙයි, දරුවන් තුළ ශ්‍රද්ධාවත් වර්ධනය වුණා. එම පරිසරයෙන් නුවණ කරා ප්‍රඥාාව කරා ගමන් කළා. වර්තමානයෙහි එය බිඳ වැටී තිබිමත් තරුණ ගැටලුවලට හේතුවක් බව ප්‍රකාශ කළ හැකියි.හීතෝපදේශ, ධම්මපදය වැනි පොත් නිතර පරිශීලනය කර තිබෙනවා නම්, ගැටලු ඇතිවන අවස්ථාවල එය කළමනාකරණය කරගැනීමේ හැකියාව නිරායාසයෙන්ම තරුණ පිරිසට ලැබෙයි. එම කොටස සම්පූර්ණ වු විට බුද්ධිමය තලය සම්පූර්ණ වෙයි.

හැඟීම හෝ ච්ත්තාෙවිගයන් සඳහා සාහිත්‍ය, කවි ගායනා,සෟන්දර්ය කලා චිත්‍ර, මූර්ති , කැටයම් කලාව,අපාය සංකල්ප,දිව්‍ය ලෝක සංකල්ප වැනි කාරණා තුළින් ගුණ ධර්ම වර්ධනය කරගැනීම සඳහා එක්තරා ආකාරයක සංදේශයක් හෙවත් පණිවුඩයක් ඇතිකරීම චරිතවත් වීමට හේතුවක් වුණා. පෙදෙන් බුදුසිරිත යන බුද්ධ චරිතයෙන් ඉතිහාසයෙහි කවි ලිවීමත්, හැඟීම් පැත්ත වර්ධනය වීමට ජාතක කතා, සද්ධර්ම රත්නාවලිය වගේ ලස්සන කව් විවිධ සිද්ධස්ථාන , බුදුරජාණන් වහන්සේ පිළිබඳව පොත්පත් කියවන බවක් එදා සමාජයෙහි දක්නට ලැබුණත් වර්තමාන තරුණ පරම්පරාව තුළින් එබදු පරිසරයක් පෙන්නුම් කෙරෙන්නේ නැහැ. දහම් පාසල් අධ්‍යාපන ඇතුළෙහි තරඟකාරි බවක් ගැබ්ව පවතී. දහම් අධ්‍යාපන යනු, හැඟීම පැත්ත වර්ධනය වන ආකාරයට භාවාතිශය විය යුතුයි.

තරුණ ජීවිතයෙහි ශාරීරක පැත්ත හෙවත් භෞතික පැත්ත සමබරව නිරෝගීි විය යුතුයි. එම තල හතර සමබර වූ තරමට තරුණ ජීවිත සමබර වෙයි.

බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති පැවිදි උතුමන්ට සක්මන් භාවනාවත්, ගිහි පිරිසට සිඟාලෝවාද සූත්‍රය , පරාභව, මංගල වැනි සූත්‍රයන් පිළිබඳව මඩිහේ නායක හිමියන්, බලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමියන් වැනි ස්වාමීන් වහන්සේලාත් අනගාරික ධර්මපාල වැනි වියතුන්ද නිතරම එම සූත්‍ර තරුණ පිරිසට අනුගමනය කළ යුතු බවත්, තරුණ ජීවියට එය ඉතා වැදගත් බවත්, නිතර ප්‍රකාශ කර තිබෙන කාරණාවක්.ඒ තුළින් තරුණ පිරිසගේ විචාරශීලිබව වර්ධනය කරයි. මෙම ධර්මයෙහි සම්පුර්ණ ත්‍රිපිටකයම කියවීම අපහසු වුවත්, සම්පුර්ණ තරුණ ජීවිතයම කාල සටහනකට අනුව හැඩගස්වා ගත හැකි සූත්‍ර තිබුණත්, එයින් බැහැර වීමක් දක්නට ලැබෙයි. ක්ලේෂ, කාමාශක්ත, ප්‍රචණ්ඩකාරී දේ් ලෝකයෙහි වැඩියෙන් අලෙවි වෙයි. කාමුක බව, රාගය හා ප්‍රචණ්ඩත්වය විකීණීම සිදු නොවිය යුතුයි.විශේෂයෙන්ම තරුණ කණ්ඩායම් ඒ තුළින් විනිර්මුක්ත විය යුතුයි.එසේ නැත හොත් ජීවිතය හැඩගස්වන ක්‍රියාවලියෙහි බිඳ වැටීමක් දක්නට ලැබෙයි.

තරුණ පිරිමි දරුවන් අධ්‍යාපනය ලැබීම අඩු බවක් වර්තමානයෙහි දක්නට ලැබෙන ප්‍රවනතාවයක්.ජීවිතය ජයගන්න අරමුණක් නැතිව, අනවශ්‍ය ආකාරයෙන් කාලය, ධනය, ශ්‍රමය නාස්ති කරනවා මිස ප්‍රඥාාව වර්ධනය කරගෙන සංවරභාවයට ගමන් කරන දියුණුවන ලක්ෂණ බිඳ වැටී ඇති බව දක්නට ලැබෙයි. ඉහළ සිට පහළට සමාජ ආදර්ශ සපයන පරමාදර්ශී බාවය අඩුවීමක් දක්නට ලැබෙයි. වංචාව, දූෂණය , මගඩි වැඩ, හොරකම, කපට් කම සෑම පැත්තේන්ම ඇසෙන්න ලැබෙයි. එවැනි වරැදි කළමනාකරණය දක්නට ලැබෙයි . තරුණ පිරිස ජීවිත කතා, අපදාන සාහිත්‍ය නිතර කියවිය යුතුයි . වෙසක් උත්සවයට වට්ටාරම පිළිබඳව කියවුණත්, ඇතැමුන් ඒ පිළිබඳව දැනුවත් නැහැ. බුද්ධිමත් තරුණ දරුවෙකුට වට්ටාරම යනු කුමක්ද? වෙසක් උත්සවය එතැන පවත්වන්නේ ඇයි? මලියදේව මහ රහතන් වහන්සේ ලංකා ඉතිහාසයෙහි අවසානයට වැඩ සිටි බව පිළිගන්න ස්ථානය යන බවට කරුණු කාරණා සොයාගෙන යා යුතුයි.ඒ පිළිබඳව පොතපත ලියවී තිබෙනවා. තරුණ පිරිස් තුළ එවැනි බවක් දක්නට නැහැ . ඊට වඩා රැචිකත්වයක් දක්වන්නේ අවන්හල්වලට යාමට ,දිය ඇලිවල නෑමට යාමයි. ජීවිත හානි කරගන්නවා මිස ජීවිතයෙහි සාරධර්ම පද්ධතිය ධර්මතා පද්ධතිය හදාගැනීමේ අවශ්‍යතාවය අඩුයි . නිසරු අදහස් වලින් තොරව සරු අදහස්වලින් සිත පුරවාගෙන පැවතෙනවා නම්, දෛනික ජීවිතයෙහි කාල සටහන නිවැරැදි නම්, තරුණ ජීවිතය දියුණු මඟකට ගමන් කළ හැකි වෙයි.

 

වෙසක් පුර අටවක පෝය

 

වෙසක් පුර අටවක පෝය මැයි මස 02 වන දා අඟහරුවාදා අපරභාග 08.51 ට ලබයි. 03 වන දා බදාදා අපරභාග 07.51 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 3 වන දා බදාදාය.
 

මීළඟ පෝය මැයි මස 10 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 03

Full Moonපසෙලාස්වක

මැයි 10

Second Quarterඅව අටවක

මැයි 18

Full Moonඅමාවක

මැයි 25


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]