UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලෝකයේ ධර්ම ප්‍රචාරයට හොඳම අවස්ථාවක්

ලෝකයේ ධර්ම ප්‍රචාරයට හොඳම අවස්ථාවක්

මෙවර වෙසක් උත්සවය විශේෂත්වයකින් සැමරීමට රජය කටයුතු සූදානම් කරමින් සිටී. බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහිකරමින් උන්වහන්සේගේ අනුගාමික පිරිස සමරන උත්සවය වෙසක් උත්සවය යි.සිද්ධාර්ථකුමාරෝත්පත්තිය, බුදුවු බුද්ධෝ්ත්පත්තිය , මහා පරිනිර්වාණය යන තෙමඟුල සමරන උළෙල සෑම අවුරුද්දකම බෞද්ධයන් උත්සවාකාරයෙන් සමරන ස්වභාවයක් දක්නට ලැබෙයි. පුද්ගලික වශයෙන්ද, ග්‍රාමීය වශයෙන්ද,නාගරික වශයෙන්ද, රාජ්‍ය මට්ටමින්ද වෙසක් උත්සවය සමරන ස්වභාවය දක්නට ලැබෙයි. බුදුරජාණන් වහන්සේ මෙම සමාජයට බිහිවුණ විශිෂ්ටතම දාර්ශනික ආගමික නායකයෙක් ලෙස සැළකේ.ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ අනුගාමික පිරිස්, උතුම් වූ ශ්‍රී සද්ධර්මය පිළිබඳ වැටහීමක් ඇති පිරිස් සහ එබඳු වැටහීමක් නැති පිරිස් සියලු දෙනාම ඇති හැකි ආකාරයෙන් මෙම උත්සවය සමරයි. එම නිසා මෙම උත්සවය අපේ බෞද්ධ සමාජයෙහි ජීවත්වන සෑම දෙනාගේම හදවත් තුළ පවතින උත්සවයක්.

මෙවර එම උත්සවය ජාතික මට්ටමින්, ජාත්ත්‍යන්තර මට්ටමින් පවත්වන්නට කටයුතු සූදානම් කර තිබීමත් ඉතා වැදගත් කාරණාවක් ලෙස සිහිපත් කළ යුතුයි.

ලෝකයේ තිබෙන බෞද්ධ රටවල් අතර ශ්‍රී ලංකාව සුවිශේෂයි.ශ්‍රී ලංකාව තුළ තවමත් නිර්මල ථේරවාදී බුදුදහම පවතිනවාය යන විශ්වාසයක් ලෝකයෙහි බොහෝ රටවල පවතී. ඒ වගේම ථේරවාදී උතුම් සද්ධර්මය ලංකාව තුළ පවතින බවට ඔවුන් පිළිගනිති. එම නිසාම ථේරවාදී රටක මෙම උත්සවය පැවැත්වීම ලෝකය තුළ විශේෂ අවධානයක් මතුවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය ථේරවාදී ධර්මය ලංකාව තුළ පවතිනවාය කියන විශ්වාසය නිසාම ශ්‍රී ලංකාව ලෝකය තුළ අවධානයට ලක්වෙයි. එවැනි ආකාරයෙන් රටවල් අතර අවධානයට ලක්වීම එක්තරා ආකාරයකින් ශ්‍රී ලංකාව තුළ ආගමික සහජීවනය ඇතිවීමට හේතුවක් වෙයි. ඒ වගේම මෙම උත්සවාකාර ස්වභාවය ශ්‍රී ලංකාවෙහි පවතින ආර්ථික තත්ත්වය වඩා වර්ධනය වීමට ඇතැම් අවස්ථාවක හේතුවිය හැකියි. ලෝකයෙහි බොහෝ ධනවත්, බලවත් රටවල් ලංකාව පිළිබඳ අවධානයක් දැක්වීම එයට හේතු වෙයි. එම කාරණාව ශ්‍රී ලංකාව වශයෙන් ගත් විට සුබදායක තත්ත්වයක් ලෙස සිහිපත් කළ හැකි වෙයි. ශ්‍රී ලංකාව තුළ දැනට පවතින ථේරවාදී බුදුදහම පිළිබඳව ක්‍රමවත් සැළැස්මක් ,වැඩපිළිවෙළක් පිළිබඳව යෝජනාවක්, ලෝකයෙහි අනුදැනුම ඇතිව ජාත්‍යන්තර වශයෙන් ගොඩනැඟුන අලුත් ක්‍රම සමඟ ඉදිරිපත් වීමේ හැකියාවක් තිබිය හැකියි. මේ ආකාරයෙන් විමසා බලන විට මෙබඳු උත්සවයක් ශ්‍රී ලංකාවෙහි පැවැත්වීම ලංකාව නමැති කුඩා රට ලෝකය තුළ අවධානයට ලක්වීම, වගේම ලංකාව යන රට විශේෂතා පිරුණ රටක් ලෙසට ලෝකයෙහි පිළිගැනීම යන කාරණාව සිදු විය හැකියි. ඒ වගේම බුදුදහම බටහිර රටවලට සම්පූර්ණයෙන්ම සංක්‍රමණය වීමක් සිදුවී නැහැ. බටහිර ජාතිකයන් බුදුදහම පිළිබඳව විශිෂ්ටතම පොතපත ලියා තිබුණත්, බටහිර සාමාන්‍ය ජනයා අතර බුදුදහම තවමත් ප්‍රචලිත නැහැ. බුදුදහම තවමත් ප්‍රචලිත නොවිමට එක් හේතුවක් වශයෙන් බුදු දහම තුළ පවතින අප්‍රකට බව දැක්විය හැකිය.ධර්මය නිවැරැදි වුවද, සත්‍ය වුවද, එය අප්‍රකටයි. වෙනත් ආගම් තරම් බුදු දහම බටහිර රටවල ප්‍රකට දහමක් බවට පත්වෙලා නැති නිසා එම කාරණාවත් සිදු විය යුතුයි. දහම ප්‍රචාරාත්මක බව වැඩි විය යුතුයි. දහම ප්‍රචාරය කරනවා කියා ලංකාවෙන් වැඩම කරන ඇතැම් තෙරවරු පවා එම කටයුතු නිසියාකාරයෙන් සිදුකරන බවක් දක්නට නැහැ.අපේක්ෂිත ප්‍රතිපල අඩුවීමට එයත් හේතුවක් වෙයි.

ජාත්‍යන්තර වශයෙන් මෙම වෙසක් උත්සවය පැවැත්වීමේ අතුරු ඵලයක් ලෙස බුදු දහමේ අනර්ඝ පණිවුඩය ලෝක ප්‍රජාව තුළ ව්‍යාප්ත කරවීමට කිසියම් නියෝජිත වැඩ පිළිවෙළක් ඇතිවෙනවා නම්, එයත් හොඳ ප්‍රතිපලදායක වැඩ පිළිවෙළක් ලෙස සැළකිය හැකි අතර, එය ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාල හරහා සිදුකළ හැකි වෙයි. ලංකාවේ තානාපති කාර්යාල ලෝකයෙහි ඇතැම් රටවල තිබුණත් එම තානාපති කාර්යාල හරහා මේ රට ලෝකය තුළ ප්‍රචාරය කිරීමේ වුවමනාව තිබෙනවාද ? කියන ප්‍රශ්නය දක්නට ලැබෙයි. එම නිසා තානාපති කාර්යාල හරහා මෙම උදාර කටයුත්ත සිදුවනවා නම්,එහි ප්‍රතිඵලක් ලෙස ඉතාම වැදගත් කාලෝචිතව සිදුවිය යුතු කාරණාවක් ලෙස දැක්විය හැකියි.එවිට බුදු දහමෙහි පවතින අප්‍රකට බව නැතිව යයි. අප්‍රකට බව නැතිව යාම පමණක් නොවෙයි දහම ප්‍රකට වීමක්ද සිදුවෙයි. ධර්මය තුළ කරුණු කාරණා තිබෙන නිසාම දහම ප්‍රකට කිරීම අවශ්‍ය නැතත් එබදු ධර්මයක් ලෝකයෙහි තිබෙනවාය කියන කාරණාව ප්‍රචලිත කළ යුතුයි. ඒ සඳහා ධර්මය සන්නිවේදනය කළ යුතුයි. බුදුරජාණන් වහන්සේ පළමු රහත් සැට නමට ලබාදුන් පණිවුඩය එයයි. එක පාරෙන් දෙදෙනෙක් වැඩම නොකර මුල මැද අග පිරිසුදු නිර්මල උතුම් ධර්මය ජනතාවට ප්‍රචාරය කළ යුතුය යන අදහස බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ බුද්ධ වචනයක්. මේ ධර්මය විවෘත වෙන්න විවෘත වෙන්න බබළයි.අප්‍රකට තිබෙන විට බැබළීම අඩුවෙයි. එම නිසා ජාත්‍යන්තර වෙසක් උත්සවය මඟින් විශේෂයෙන්ම බටහිර රටවල දහම ප්‍රචාරය කිරීමේ වැඩ පිළිවෙළක් ශ්‍රී ලංකාවෙහි තානාපති කාර්යාල හරහා ආරම්භ කරනවා නම්, එයත් ඉතාමත් උතුම් කාර්යයක් ලෙස සැළකිය හැකි කාරණාවක් . මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට එම අදහස පමණක් ලබාගත්තත් එය ඉතාම වටිනා වැඩ පිළිවෙළක් ලෙස ක්‍රියාත්මක කළ හැකි වෙයි.තානාපති කාර්යාල හරහා එම කටයුත්ත කිරීමේ අපහසුවක් නැහැ. එක් රටකින් බුදු දහම සඳහා පනස් දහසක් හෝ ලක්ෂයක් වැනි පිරිසක් ඒකරාශී කරගන්නා වැඩ පිළිවෙළක් නිර්මාණය වුවහොත් බෞද්ධයා සිංහලයා යන පුද්ගලයා ලෝකව්‍යාප්ත පිරිසක් බවට පත්වෙයි.මේ දූපත ඇතුළත සිටින කිහිප දෙනා පමණක් සිංහලයන් වන නිසා ලෝක ප්‍රජාව අතර පවතින දහමක් බවට පත්කිරීමට මෙම වෙසක් කාලය තුළ සිදුවනවා නම් ඉතා කැමැත්තෙන් සිහිපත් කළ යුතු කාරණාවක් වෙයි.

මෙම උත්සවය ශ්‍රී ලංකාව තුළ පැවතෙන්නේ ප්‍රථම වතාවට බව සිතිය හැකිය.බුදුරජාණන් වහන්සේ ලෝකයෙහි පහළ වූ ශ්‍රේෂ්ඨ දාර්ශනිකයන් අතර ප්‍රකට වුවත්, උන්වහන්සේගේ දහම බටහිර රටවල සාමාන්‍ය ජනතාව අතරට ගියා අඩුයි. වෙහෙර විහාර , ආගමික නියෝජිතයන්, ලෝකයෙහි රටවල් අතරට සම්බන්ධ වුණා අඩුයි. එම උදාර වගකීම ශ්‍රී ලාංකික මහතෙරවරු කළ යුතු වුවත්, ශ්‍රී ලංකාව බුදු දහමට මූලිකත්වය ලබාදීමත් සමඟ රාජ්‍ය තාන්ත්‍රීය මැදිහත් වීමක් මේ කාර්ය හරහා කළ හැකි වෙයි.එම මැදිහත් වීම පරාර්ථචර්යාව මුදුන් පමුණුවාගෙන කළ යුතුයි. බුදු දහම ප්‍රචාරය කරනවා යනු ධර්ම දානමය පින්කමක්. ඒ ධර්ම දානමය පින්කම කරගැනීමේ අවස්ථාව ජානාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ලැබී තිබෙන කාලයක්.ශ්‍රී ලාංකික සුවහසක් බෞද්ධ ජනතාව වෙනුවෙන් එතුමා නායකයා වීම නිසාම එම උත්තුංග කාර්යභාරය එතුමාට බාරවෙයි. එතුමා නිවැරැදිව එම කටයුත්ත සිදුකළ හොත් එතුමා යහපත් නායකයෙක් ලෙසට මේ රටෙහි පූජනීය ත්ත්ත්වයක් උදාවෙයි.

ලෝකය පුරාම බුදුදහමේ අනර්ඝ පණිවුඩය රැගෙන යාමේ අවස්ථාව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට ලැබී තිබෙන අවස්ථාවක්. ඒ වගේම මෙම අවස්ථාව ප්‍රවෘත්තිමය තත්ත්වයක් බවට පත්කරගෙන ජනාධිපති තුමන් රටවල සංචාරය කරන අවස්ථාවල ජාත්‍යන්තර රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්ත බවට පත්කරගෙන ජනාධිපතිතුමා එම රටවල් අමතන අවස්ථාවල ධම්ම පදයෙන් ගාථාවක් හෝ බණ ධර්මයෙන් කතාවක් ඇසුරු කරගෙන කතාව ආරම්භ කරමින් කතාව ඉදිරියට රැගෙන යනවා නම්, මෙම උත්සවයෙහි තවත් අරමුණක් සාර්ථක වුණා වෙයි. ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවෙහි නායකයා ලෙස ලෝකයෙහි කතා කරන විට එතුමාට විශේෂත්වයක් තිබෙනවා. මහ ජනතාවගේ පොදු භික්ෂුව හඳුනාගෙන ඒ ස්වාමීන් වහන්සේලාගේ උපදෙස් ලබාගෙන ජනාධිපතිවරයා ලෙස ලෝකයේ රටවල ජනතාව අමතන අවස්ථාවල ජාතත්‍යන්තර රාජ්‍ය වෙසක් උත්සවය නිමිති කරගෙන බුදු දහමේ පණිවුඩයක් කාරණාවක් ඇතිව කතා කිරීම වැදගත් වෙයි. දෙවැනි ලෝක සංග්‍රාමයත් සමඟ විනාශ වූ ජපානයට එවකට ජනාධිපතිව සිටි ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා ප්‍රකාශ කළ නහි වේරේණ වේරාණී සම්මන්තීධ කුධාචනං අවේරේණච සම්මන්ති ඒස ධම්මෝ සනන්ථනෝ කියන ධම්ම පදයේ සඳහන් ගාථාව බොහෝ ප්‍රයෝජනවත් වුණා. ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා ජපානයේ ජනතාවට පහදා දුන් වෛරයෙන් වෛරය සන්සිදෙන්නේ නැහැ යන අදහසත් සමඟ ගොස් ඔවුන් දියුණු වූ නිසා 'ජේ. ආර් . ජයවර්ධන' යන නාමයට අද පවා ජපානය තුළ විශේෂ සැළකීමක් දක්නට ලැබෙයි.

ලෝකයේ රටක් වැටෙන විට එම රට කායිකව වැටුණත් මානසිකව ශක්තිමත් කළ හැකි ධර්මාවවාද බුදු දහම තුළ ඕනෑ තරම් දක්නට ලැබෙයි. ජනාධිපතිතුමා වුණත් කතා කරන විට මෙම රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්ත ලෙස තබාගෙන කතා කිරීම වැදගත් වෙයි.ජාත්‍යන්තර වෙසක් උත්සවය නිමිති කරගෙන මහා තථාගතයන් වහන්සේගේ ධර්මයේ කොටසක් ගාථා පාඨයක් යොදාගත් බවට කාරණාව ප්‍රකාශ කරමින් දේශනාව ආරම්භ කළ යුතුයි.

 

වෙසක් පුර අටවක පෝය

 

වෙසක් පුර අටවක පෝය මැයි මස 02 වන දා අඟහරුවාදා අපරභාග 08.51 ට ලබයි. 03 වන දා බදාදා අපරභාග 07.51 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 3 වන දා බදාදාය.
 

මීළඟ පෝය මැයි මස 10 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 03

Full Moonපසෙලාස්වක

මැයි 10

Second Quarterඅව අටවක

මැයි 18

Full Moonඅමාවක

මැයි 25


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]