UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අපි භාවනා කරමු - 04:    ඉගෙනීමට අසීරු නම් දරුවනේ , බුදු ගුණ මෙනෙහි කරන්න

ඉගෙනීමට අසීරු නම් දරුවනේ , බුදු ගුණ මෙනෙහි කරන්න

ගෞරව බහුමානයෙන් තෙරුවන් නැමැඳ බුදු ගුණ භාවනාව මෙනෙහි කළොත් තමන්ට ලැබෙන්නේ පුදුම ශක්තියක්. මව් පියන් ,වැඩිහිටියන් වූ ඔබ ඉගෙන ගන්න අසීරු දරුවන්ට මේ ගැන කියලා දෙන්න. දරුවා එදිනෙදා කරන ක්‍රියාකාරකම්වල දී දවස පුරාම සෝ භගවා ඉතිපි අරහං ගුණය මෙනෙහි කරන්නැ’යි පවසන්න. සිව් ඉරියව්වෙන්ම මෙනෙහි කළ හැකි එය දවසට වාර දාහක් , දෙදාහක් මෙනෙහි කළොත් සිතට දැනෙන්නේ අපමණ සවියක්. මෙමඟින් සිතට දැනෙන තැන්පත්කම දරුවාගේ අධ්‍යාපනයට ඉමහත් රුකුලක්. මේ නිසා දරුවාට හොඳින් ඉගෙන ගන්න පුළුවන්. පැවිදි උතුමන්ට, නිවසේ විවේකීව වාසය කරන පින්වතුන්ට, රැකී රක්ෂාවල නිරත අයට, සිහි කල්පනාව මදි අයට කල්පනාව දියුණු කරගැනීමට බුදු ගුණ භාවනාව හොඳින් දියුණු කළ යුතුයි. මෙහි සඳහන් කරන දේ නිවැරැදිදැ’යි අත්හදා බලන්න.

තමන් මේ පාඩම හරි හැටි මෙනෙහි කළොත් ලැබෙන පින අපමණයි. අපට මේ දේට වේලාවක් නැහැ’යි සිතන්න එපා. අපේ ආරක්ෂාව අප විසින්ම සකස් කර ගත යුතු බව බුදු ගුණ භාවනාවෙන් සඳහන් වෙයි. එසේනම්, සෑම කෙනෙකුම නිර්භීතව මෙනෙහි කළ යුත්තේ බුදු ගුණ භාවනාවයි.

සෝ භගවා ඉතිපි අරහං යනුවෙන් බුදු ගුණ මෙනෙහි කළොත් දෛනික වැඩ කටයුතුවලටත් අගෙයි. මෙලොව ජීවිතයටත් පරලොව ජීවිතයටත් ලැබෙන්නේ විශාල පිනක්. නිවන් සම්පත් ලබන්නත් හේතුවන මේ භාවනාව සිහි කල්පනාවෙන් මෙනෙහි කර පින වැඩි කරගත යුතුයි. මේ මඟින් ශක්තිය , බලය වඩා වර්ධනය කළ යුතුයි. සෑම සත්ත්වයෙක්ම මිය යති. මේ සිටින පුද්ගලයා තව සුළු මොහොතකින් මිය යයි. එබඳු පුද්ගලයාට පමණක් නොවෙයි සැමටම අවශ්‍ය කරන්නේ පිනයි. එය උසස් අයුරින් ලබන්න බුදු ගුණ භාවනාව කළ යුතුයි.

බුදු සසුනක් නොමැති කලෙක බුදු ගුණ මෙනෙහි කරන්න අපට පුළුවන්කමක් නැහැ. සංසාරෙවත් කරන්න අපහසු භාවනාවක් බුදුන් වහන්සේ ලොවේ පහළ වී දේශනා කර වදාළා. කරණීය මෙත්ත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළා. ඔබ සැවොම සිටගෙන සිටියදී, ඇවිද යාමේදී, ඉඳගෙන සිටියදී , නිදන ඉරියව්වෙන් සහ නිදිවර්ජිතව සිටියදී මනා සිහියෙන් වාසය කළ යුතුයි. එසේනම්, ඕනෑම කෙනෙකු නිදහස් වේලාවක දවසට එක බුදු ගුණයක් හෝ මෙනෙහි කරන්න ඉටා ගන්න. අප මහා සම්මා සම්බුදුපියාණෝ පෘතුවි තලය කම්පා කරමින් ආලකාරාම සූත්‍ර දේශනාවෙන් අපමණ බුදුගුණ වදාළා. එසේම තවත් අවස්ථාවලදී තමන් වහන්සේ ගුණ කථන පැවැත්වූවා. හැබැයි, මේ ගුණ කථන පැවැත්වූයේ අවශ්‍ය වේලාවට පමණයි. නැත්නම් නික්ලේෂී බුදු හිමියන් තමන්ගේ ගුණ ප්‍රකාශ කළේ නැහැ. තමන් වහන්සේ සර්වඥ බවත්, තමන් වහන්සේ බුදු බවට පත් වූ බවත්, තමන් වහන්සේ නික්ලේෂී අර්හත් බවත් ප්‍රකාශ කරන ආලකාරාම සූත්‍රය මනාකොට දේශනා කර වදාළා. මේ ගැන සොයා බලා අපට හොඳ අවබෝධයක් ඇති කරගන්න පුළුවන් .

බුද්ධානුස්සති භාවනාව නොහොත් බුදු ගුණ භාවනාව ගැන විශුද්ධි මාර්ග අට්ඨ කථාව සහ තවත් සුවිශේෂී ග්‍රන්ථවල විශේෂයෙන් සඳහන් වෙයි.

සැරියුත් මහ රහතන් වහන්සේ බුදුරදුන් පිළිබඳ ගුණ දේශනාවන් පවත්වා බුද්ධ ඥාන පිළිබඳව විග්‍රහ කළ අර්ථ අපමණයි. එකල ලක්දිව වැඩ සිටි කාල බුද්ධරක්ඛිත මහ රහතන් වහන්සේ බුදු ගුණ ගැන දොළොස් පැයේ ධර්ම දේශනාවක් වදාළා. සවස පටන් ගන්නා දේශනය අවසන් වෙන්නේ උදෑසනයි. මේ දොළොස් පැයේ බුදු ගුණ දේශනාවෙන් කෙතරම් පිරිසක් සැනසීමට පත් වුණාද? බුදුන් වහන්සේ අතීත භව ගමනේ භාවිත සිතින් බුදු ගුණ දේශනා දක්ෂව විචිත්‍රව වදාළා.

වරදින්නේ නැතිව ඍජුවම ආර්ය අෂ්ඨාංගික මග ගමන් කරන සුවිශේෂී භාවනාව බුද්ධානුස්සතියයි. මේ ගැන හසල දැනුමකින් අදට වඩා හෙට ,හෙටට වඩා අනිද්දා සිතේ දියුණුවෙන් පාරමී ගුණ සම්පත් දියුණුවෙන් බුද්ධානුස්සති භාවනාවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධකර ශාන්ති ලක්ෂණ සහිත අමා මහා නිවන් සුව අවබෝධ කරන්නට ලැබේවා’යි පතමු.

 

මැදින් පුර අටවක පෝය

මැදින් පුර අටවක පෝය මාර්තු 05 වන දා ඉරිදා පූර්ව භාග 06.07 ට ලබයි.
6 වන දා සඳුදා, පූර්ව භාග 03.39 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 05 වන දා ඉරිදාය.

 

මීළඟ පෝය මාර්තු 12 වන දා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 05

Full Moonපසෙලාස්වක

මාර්තු 12

Second Quarterඅව අටවක

මාර්තු 20

Full Moonඅමාවක

මාර්තු 27


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]