UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තිස් එක්වන වරටත් පවත්වන බෝතලේ මහ පෙරහර

තිස් එක්වන වරටත් පවත්වන බෝතලේ මහ පෙරහර

ඓතිහාසික බෝතලේ ශ්‍රී ගෝඨාභය රාජමහා විහාරස්ථානයේ වාර්ෂික පෙරහර මාර්තු 10 වන දින අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්වීමට විහාරාධිපති මහෝපාධ්‍යාය කඩිගමුවේ පේමානන්දාභිධාන හාපිටිගම්කෝරළයේ ප්‍රධාන සංඝ නායක හිමියන් ඇතුළු පෙරහර කමිටුව සංවිධානය කර තිබේ. බෝතලේ සේනානායක සැදැහැතියන්ට පිය උරුමයෙන් අයත්ව වැඳුම් පිදුම් කළ සර්වඥධාතුන් වහන්සේලා ශාසනය වෙනුවෙන් බෝතලේ ශ්‍රී ගෝඨාභය රාජමහා විහාරස්ථානයට පූජාකිරීම නිමිති කොටගෙන 1986 බිනර පුරපසළොස්වක පොහෝදා හාපිටිගම් කෝරළේ ප්‍රධාන සංඝ නායක අළුතෑපොළ පේමරතනාභිධාන නාහිමියන්ගේ මඟපෙන්වීම මත වත්මන් විහාරාධිපති පේමානන්ද නා හිමියන්ගේ පුරෝගාමිත්වයෙන් රොහාන් සේනානායක මහතා ඇතුළු සේනානායක සැදැහැවතුන්ගේ දායකත්වයෙන් බෝතලේ වාර්ෂික පෙරහර හා නිර්මාණි කලායතනය ආරම්භ කරන ලදී.

පෙළහර යනු ප්‍රාතිහාර්ය පෑමයි. බුදුරජාණන් වහන්සේගේ අධ්‍යාත්මික ශක්තියෙන් හා අධිෂ්ඨාන බලයෙන් පෙළහර පෑම මෙයින් හැඟේ. බුදුරජාණන් වහන්සේට පුද පූජා හා ගරුබුහුමන් දැක්වීම මෙන්ම උපහාර දැක්වීම් වශයෙන් විවිධ කලා කෘතින් උපයෝගී කරගනිමින් අලි ඇතුන් සහිතව දර්ශණීය ලෙස පවත්වනුයේ පෙරහරයි. පෙරහර සංදර්ශනය කිරීමේ පරමාර්ථය හා අභිලාෂය අනාගත බාලපරපුරට මෙවන් කලාකෘති දායාදකොට දී ඔවුන්ගේ කලාකුශලතාවයන් වර්ධනය කරවීමයි. දුටුවන්ගේ කලාකාමී හැගීම් හා කලා රුචිකත්වයන් වර්ධනයටත්, හුදී ජනතාව තුළ වෛරය පළිගැනීම වැනි දුර්ගුණ ඉවත්කොට සිවුබඹ විහරණයෙන් යුක්තව සමගිය, සමාදානය, ඔවුනොවුන් අතර සුහදතාවය ඇතිකර සහෝදරත්වය වර්ධනයටද පෙරහර සංදර්ශනය මහෝපකාරි වේ. මනුෂ්‍යත්වය හා සහෘදත්වයද උද්දීපනය වේ. බෝතලේ ග්‍රාමයත්, ගෝඨාභය රජමහා විහාරයත්, සේනානායක පරපුරත් පිළිබඳව තොරතුරු ඓතිහාසිකය.

මාර්තු 05 දින පෙරහර සාර්ථකව පැවැත්වීමට තුනුරුවණේ ආශිර්වාද ලබාගැනීම සඳහා සර්වරාත්‍රික පරිත්‍රාණ දේශනාවක් පවත්වා දිනපතා සර්වඥධාතු ප්‍රදර්ශන, මල්පෙරහර සංදර්ශණයන් පැවැත්වීමට නියමිතය. දහවන දින රාත්‍රී විහාරාධිපති නාහිමියන්ගේ අනුශාසනා පරිදි ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව රොහාන් සේනානායක මහතා ගේ පින්බර දෑතින් මඟුල්බෙර හඬ මැද මඟුල් ඇතු පිට කරඬුව රැගත් ධාතුන් වහන්සේ තැන්පත් කිරීමෙන් පසු උඩ පහත සබරගමු සම්ප්‍රදායන්ට අයත් කලාංගයන්ගෙන් යුතුව බෝතලේ මහා ධාතු පෙරහර වීදි සංචාරය කර ආපසු විහාරස්ථානයට ගෙවදේ. මෙවරද පක්ෂ විපක්ෂ දේශපාලන පක්ෂවල මැති ඇමතිවරුන්ද සහභාගි වීමට නියමිතය. රොහාන් සේනානායක මහතා ඇතුළු සේනානායක සැදැහැති සැදැහැවතියන්, දායක දායිකාවන් හා ප්‍රදේශවාසින්ගේ දායකත්වයෙන් හා සහභාගිත්වයෙන් අතිඋත්කර්ෂවත් අන්දමින් බෝතලේ මහා කලා සංදර්ශනය හෙවත් වාර්ෂික මහා පෙරහර පැවැත්වීමට නියමිතය.මෙවරත් පන්තේරු, වෙස්නැටුම්, කස, තෙල්මේ, ගිනිබෝල, බොරුකකුල්, සවරං, සළුපාලි වැනි කලා අංගයන්ගෙන් බෝතලේ වාර්ෂික මහා පෙරහර සෝභාවත්වේ.

විහාර සඟ පරපුර, වැලිවිට අසරණ සරණ සරණංකර සඟරජ මාහිමියන්ගේ ශිෂ්‍ය අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ දෙවන මහානායක ඉඳමලුගොඩ ධම්මපාල නා හිමියන්ගේ ශිෂ්‍ය පිටියේගෙදර චන්ද්‍රජෝති අනුනාහිමියන්ගේ ශිෂ්‍යානු ශිෂ්‍ය පරපුරයි.සත්කෝරළ මහදිසාවේ අනුනායක දඹදෙණියේ ධම්මජෝති නාහිමියන් එම පරපුරේ දීප්තිමත් තාරකාවකි. උන්වහන්සේගේ අනුශිෂ්‍ය කැලෑගෙදර සුනන්ද නාහිමි වත්මන් පරපුරේ පුරෝගාමිකයාණෝය. උන්වහන්සේගේ ශිෂ්‍ය අළුතෑපොළ පෙමරතන නාහිමියන් පෙරහර ඇරඹීමේ පුරෝගාමිකයන් වහන්සේ මෙන්ම මාර්ගදේශකයාණෝය.

බෝතලේ වාර්ෂික මහා පෙරහර චිරාත් කාලයක් උත්කර්ෂවත්ව පැවැත්වීමට තුනුරුවනේ ආශිර්වාදය ලැබේවා.

 

මැදින් පුර අටවක පෝය

මැදින් පුර අටවක පෝය මාර්තු 05 වන දා ඉරිදා පූර්ව භාග 06.07 ට ලබයි.
6 වන දා සඳුදා, පූර්ව භාග 03.39 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 05 වන දා ඉරිදාය.

 

මීළඟ පෝය මාර්තු 12 වන දා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 05

Full Moonපසෙලාස්වක

මාර්තු 12

Second Quarterඅව අටවක

මාර්තු 20

Full Moonඅමාවක

මාර්තු 27


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]