UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

හැටනව වන වියට පා තබන යතිවරයාණෝ

හැටනව වන වියට පා තබන යතිවරයාණෝ

බියගම ශ්‍රී පුණ්‍යවර්ධනාරාමාධිපති ශාස්ත්‍රපති කොරළේගම පියරතන හිමියන් මෙම මස 03වන දින හැටනව වන දිවියට පා තැබූහ. මෙම ලිපිය ඒ නිමිත්තෙනි.

නිහඬ දිවි පෙවෙතකට නිබඳව ඇළුම් කළ කෝරළේගම පියරතන හිමියෝ සුපේශල ශික්ෂාකාමී යතිවරයාණන් වහන්සේ නමක් වූහ. ගාල්ලේ හිනිදුම ප්‍රදේශයේ පිටිසරබදව උපත ලද පියරතන හිමියන් 1948 මාර්තු 03වනදා මෙලොව එළිය දුටුවහ. මේ හිමියන්ගේ ගිහි කල නාමය වූයේ කේ. පියතිලකය.

කුඩා කල සිටම තම මෑණියන් සමඟ ගමේ පන්සලට දන්කඳ රැගෙන යන පියතිලක කුමරුගේ පින්බර දසුන සසුනට සුදුසු දරුවකු සේ ගමේ ලොකු හාමුදුරුවන්ට සිතෙන්නට ඇත. ඒ නිසාදෝ “ළමයෝ, මහණ වෙන්න කැමැතිදැ’යි? ඇසූ” හාමුදුරුවන්ගේ වදනටත්, තම මෑණියන්ගේ (කේ. ඒ, සිසිලියානා) සහ පියාණන්ගේ (ඩී.එම් .ධර්මබන්දු) දැඩි ඉල්ලීමටත් දහතුන් වියැති පියතිලක කුමරු කීකරු විය.

එවකට නාකියාදෙණිය අශෝකාරාමාධිපතිව වැඩ විසූ රෝහණ සංඝ සභාවේ අනුනායක කඳුරුපොකුණේ ධම්මාවාස අනු නා හිමියන්ගේ ආචාර්යත්වයෙන් පියතිලක කුමරු “ කෝරළේගම පියරතන” නමින් පැවිදි බිමට ඇතුළත් වූහ.

නොබෝ කලකින් කුඩා සාමණේර හිමියන්ගේ පින්බර මෑණියන් කලුරිය කළේ “පියෙහි විප්පයෝගො දුක්ඛෝ” බුදු වදන සනාථ කරමිනි. එහෙත්, තමන් වහන්සේගේ පැවිදි දිවිය තම මෑණියන් ඇතුළු සතර වර්ගයක් ඥාතීන්ගේ සසර ගමන කෙටිවන ඉමහත් පිනක් සේ පියරතන සාමණේර හිමියන්ට සිතෙන්නට ඇත.

ගුණ නුවණින් සවිමත් වීමට ඉටාගත් පියරතන හිමියෝ විහාරස්ථානයේ පිහිටි සරණපාල පිරිවෙනින් සිප් සතර හැදෑරූහ. නිසි වියේදී, එනම් 1968 ජුනි මාසයේදී මල්වත්ත මහා විහාර උපෝෂථාගාරයේදී උපසම්පදාව ලැබූ පියරතන හිමියෝ උසස් අධ්‍යාපනය සඳහා කොළඹ ට වැඩම කළහ.

සුනේත්‍රාදේවි පිරිවෙනින් සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් බාහිර උපාධිය ලැබූ උන් වහන්සේ කැස්බෑවේ නන්දන පිරිවෙනෙහි ආචාර්ය ධූරයද , එහි පරිවේණාධිපති ධූරය ද ,බියගම යටිහේන කනිෂ්ඨ විද්‍යාලයේ උප ගුරුවරයෙක් ද වූහ.

මෙම යුගයේ සියඹලාපේ හන්දියේ පිහිටි පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයට වැඩම කළ පියරතන හිමියෝ එහි ද විහාරාධිපති ධූරය දරමින් විහාරස්ථානය වත්මන් තත්ත්වයට බැබළවීමට ප්‍රදේශවාසී පින්වතුන්ගේ සහාය ද ඇතිව ඇප කැප වූහ.

එහි ඇරැඹූ කැලණි තිස්ස දහම් පාසල ප්‍රදේශයේ දූ දරුවන් 1500කට පමණ ගුණ නුවණ ලබාදෙන දහම් තක්සලාවක් විය.

පියරතන හිමියන්ගේ සමාජ මෙහෙවර අතර පොළොන්නරුව, අනුරාධපුරය ආදී දුෂ්කර පළාත්වල ළමයින්ට විසි වසරක් පුරා වියළි ආහාර පාන සහ පොත් පත් බෙදා දීම අඛණ්ඩව සිදු කෙරිණි. තවද මහියංගණ විහාරස්ථානය මූලිකව දොළොස් වසරක් පුරා නෙළුම් මල් පූජාවක් ද, එම පින්කම අවසානයේදී දහම් පාසල් දරුවන්ට පොත්පත් බෙදා දීම ද සිදු විය. වසරේ අවසාන දිනය වන දෙසැම්බර් මස 30හෝ 31වන දින ගර්භණී මාතාවන් සියයකට වියළි ආහාර බෙදාදීම ද ,බියගම පුණ්‍යවර්ධනාරාමයේදී සිදු කෙරිණි. මෙම සුවිශේෂී සේවාවන් සඳහා දෙස් විදෙස් හිතෛෂී හිමිවරුන් සහ ප්‍රදේශවාසී පින්වතුන්ගෙන් ලැබුණු සහාය අගනේය.

මෙසේ යුග මෙහෙවර රැසක් කළ ශාස්ත්‍රපති කෝරළේගම පියරතන හිමියන් මෙම මස 03වන දිනට හැටනව වන වියට පා තබයි. ඒ නිමිත්තෙන් විහාරස්ථානයේ පැවැත්වෙන සියක් නමක් විෂයෙහි සංඝගත දානමය පින්කමත් , තමන් වහන්සේගේ මව්පියන් සහ ඥාති හිත මිත්‍රාදී පින්වතුන් ඇතුළු බොහෝ පිරිසකට ආශිර්වාද කිරීමත් , පින්කමට සහභාගි වන සැමට ආහාර පානවලින් සංග්‍රහ කිරීමත් සිදු කෙරේ.

මේ සියලු පින් බලයෙන් ශාස්ත්‍රපති, කෝරළේගම පියරතන හිමියන්ට සසුනට තවත් මෙහෙවර රැසක් ඉටු කිරීමට නිදුක්, නිරෝගී, සුවපත් භාවය ලැබී දීර්ඝායු වේවා!

 

මැදින් පුර අටවක පෝය

මැදින් පුර අටවක පෝය මාර්තු 05 වන දා ඉරිදා පූර්ව භාග 06.07 ට ලබයි.
6 වන දා සඳුදා, පූර්ව භාග 03.39 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 05 වන දා ඉරිදාය.

 

මීළඟ පෝය මාර්තු 12 වන දා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 05

Full Moonපසෙලාස්වක

මාර්තු 12

Second Quarterඅව අටවක

මාර්තු 20

Full Moonඅමාවක

මාර්තු 27


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]