UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 නිවීම සෙවීම

නිවීම සෙවීම

මිනිසුන් ජීවත් වී සොයන්නේ සැපය. ඔවුන් දුකෙන් තොරව ජීවත්වීමට සෑම උත්සාහයක්ම දරයි. හොඳින් අධ්‍යාපනයක් ලැබ, ධනය උපයාගෙන, දේපල අත්පත් කරගෙන, යහපත් පවුල් ජීවිතයක් ඇතිකරගෙන, කාටවත් අතනොපා, නිදහස්, නිවහල් ජීවිතයක් ගතකිරීම සැම දෙනාගේ අභිප්‍රායයි. සම්මුති ලෝකය තුළ කිසිවෙකුට මෙහි වරදක් නො පෙනෙයි.

සාමාන්‍ය ජීවිතයක ජයග්‍රහණය වන්නේ ද මෙයයි. මෙම අභිමථාර්ථ ඉටුකරගැනීම ට ද මහත් වෙහෙසක්, උත්සාහයක්, වීර්යයක් තිබිය යුතුය. උදේ පටන් රෑ වෙනකම්, රෑ පටන් පහන් වෙනකම්, පාඩම් කරමින්, රැකියා කරමින්, ගේ දොර වතුපිටිවල වැඩ කරමින්, දඟලන්නේ මෙම සම්මුති ලෝකය ජයගැනීමටය. සාමාන්‍ය ලෝකයේ ජීවත්වන අයෙකුට මෙයින් මිදිය නොහැක. එමනිසා කෙසේ හෝ සමාජයේ පිළිගත් අරමුණු උදෙසා ගමන් කිරීමට කටයුතු කරයි. එනම් මිනිසුන් වර්තමාන කාලයේ දුක් විඳිමින්, අනාගතයේ ඉහළ පිළිගැනීමක්, හොඳ සමාජ තත්වයක් සහිතව,භෞතිකව පෙනෙන ලෝකය තුළ සැපතක් ඇතිකර ගැනීමට උත්සාහවන්ත වේ.

ජීවිතයේ සැප ලෙස සොයා යන්නේ ඉෂ්ඨ කාන්ත මනාප රූප, ශබ්ද, ගන්ධ, රස සහ ස්පර්ශයන් හෙවත් පංචකාමයන්ය. සත්‍ය නොදන්නා කමින් ඇතිවන අවිද්‍යාවත්, තමන්ගේ කැමැත්තෙන් ඇතිවන තෘෂ්ණාවත් නිසා, මෙම පංචකාමය ම නැවත නැවත පතමින්, සංසාරයේ දුක් විඳිමින්, සත්වයා ගමන් කරයි. තමන්ගේ වසඟයේ නොපවතින, විනාශවන, වෙනස්වන, රෙදි කෑලි, ලී කෑලි, ප්ලාස්ටික් කෑලි, ලෝහ කෑලි යනාදි දේවල්වලට යටත්වී ඒවාත් එක්කම හැප්පෙමින්, දඟලමින් කටයුතු කරන ජීවිතය වහල් ජීවිතයකි.” ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ – ලෝකය තුළ කටයුතු කරන කෙනා, තෘප්තිමත් නොවී තණ්හාවට දාසකම් කරන බව“ බුදුපියාණන් වහන්සේ දේශනා කර ඇත්තේ මේ නිසාය.

පඨවි, ආපෝ, තේජෝ , වායො යන සතර මහ ධාතුන්ගෙන් සෑදුන ශරීරය නියම ආකාරයෙන් කවා, පොවා, නාවා, සතපවා ඇප උපස්ථාන නොකරන්නේ නම් මහත් දුකට පත්වේ. එබැවින් තමන්ගේ ශරීරයට මැරෙන තුරු වහල්කම් කළ යුතුය. ඒ වගේම තමන් අත්පත් කරගෙන ඇති සම්පත්වලට වහල් කම් කළ යුතුය. තමන් අත්පත් කරගෙන ඇත්තේ රෙදි කෑලි, ලී කෑලි, ප්ලාස්ටික් කෑලි, ලෝහ කෑලි යනාදි දේවල්ය. කිලිටි වූ රෙදි ටික," අප සෝදන්න" කියයි. එවිට තමුන් වහලෙක් මෙන් ඒවා සෝදයි. දූවිලි සහිත මේසය,” මා පිස දමන්න” කියයි. එවිට වහලෙක් මෙන් මේසය පිහිදමයි. දැන් කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන් පිරිසුදුව ජීවත්වීම වැරදිද? කියලා. එය වැරදි නැත. නමුත් පිරිසුදුකර ඉවර කළ නොහැකි බව අවබෝධ කළ යුතුය. එමෙන්ම සිහින ලෝකයේ ඇති මෝටර් රථය,”මා ගන්න ඕනෙ නම් අතිකාල වැඩකරපන්” කියයි. තමුන් අතිකාල වැඩ කරයි. සාදන අලුත් ගෙදර” ඔහොම හම්බකරලා බෑ, කොමිස් ගහලා හරි, හොරකම් කරල හරි මාව හොඳට හදපන්, කියයි. එවිට එයද කරයි. මේ ලෙසට වහල්කම්වලට පාපකම් ද එකතු වේ.

එමෙන්ම සමාජය විසින් තමුන් වහලෙකු බවට පත්කර ඇත. අනිත් අය විසින් නියම කරන ලද සමාජ තත්ත්වය ඇතිකර ගැනීමට, සමාජය කියන කියන දේ කරයි. රූපවාහිනියක හෝ වෙනත් මාධ්‍යවල වෙළෙඳ දැන්වීම්, වැඩසටහන්වලින් මේ මේ දේවල් මේ ලෙසට කන්න, මේ මේ දේවල් මේ ලෙසට බොන්න, මේ ආකාරයට නාන්න, මේ විදියෙ වාහනයකින් යන්න, මේ විදියේ අධ්‍යාපනයක් ලබන්න. මේ විදියට මුදල් උපයන්න, මේ විදියේ රැකියාවක් කරන්න යනාදී ලෙස කියයි. මෙසේ ඇතැම්විට තමන්ට අවශ්‍ය නැති දේවල්, එහෙත් අත්‍යවශ්‍ය දෙයක් ලෙස ඉස්මතු කරමින් පෙන්වන නිසා, ඊට මුලා වී කරන වහල්භාවය තමුන්ට නොපෙනේ. මෙහිදී තමන්ගේ අවශ්‍යතාවය මත නැවති සිට කටයුතු කිරීම මදි පුංචිකමක් ලෙස සිතා, අනිත් අයට වුවමනා විදියට කටයුතු කිරීමේ වහල් ක්‍රියාව, මහත් අභිමානයක් ලෙස දකියි.

බුදුපියාණන් වහන්සේ ලෝකයේ මනා අරමුණකින් සුඛ වේදනාවක් ඇතිවන බවත්, එය හටගත් මොහොතේම දියබුබුලක් මෙන් බිඳී විනාශ වී ඒ තුළින් විපරිනාම දුක්ඛතාව ඇතිවන බවත්, යම් අමනාපික අරමුණකින් දුක්ඛ වේදනාවක් ඇතිවන බවත්, ඒ තුළින් දුක්ඛ දුක්ඛතාවය ඇතිවන බවත්, යම් උපේක්ෂා සහගත අරමුණකින් අදුක්ඛම සුඛ වේදනාව ඇතිවන බවත්, ඒ තුළින් සංඛාර දුක්ඛතාවය ඇතිවන බවත්, දේශනා කර ඇත. මෙම බුදු වදන තුන් ලෝකයේ කිසිවෙකුට වෙනස් කළ නොහැක. කළ හැකි වන්නේ, බුදුවදන පිළිගෙන සත්‍ය අවබෝධ කරගෙන දුකින් අතමිදීම හෝ බුදුවදන නොපිළිගෙන දුක්විදීමයි.

බෝසතාණන් වහන්සේ රම්‍ය, සුරම්‍ය සුභ යන මාලිගා පරිහරණයෙන් සහ රජ කුමරකු වශයෙන් මහත් සැපයක් වින්දහ. සර්වඥයන් වහන්සේ, එම සැපය උපමාකර ඇත්තේ තුවාලයක් කසන විට ඇතිවන ඉතා කුඩා වු සැපයකටය. එමෙන්ම ගිහිකල රජ කුමාරයකු වශයෙන් විඳි සැපයට වඩා පළමු ධ්‍යාන සැපය උසස් බව වැඩිදුරටත් දේශනා කර ඇත.

තමුන් මෙලෙස වහල්කම් කරමින් අත්පත් කරගන්නා දේවල් තමන්ට අවශ්‍ය ලෙස පැවැත්විය නොහැක. ඒවා වෙනස් වේ. තමන්ගේ ශරීරයවත් තමන්ට අවශ්‍ය විදිහට පැවැත්විය නොහැක. ඇස දිරයි. කන දිරයි, හමරැලි වැටෙයි. නොයෙක් ලෙඩ රෝග වැළඳෙයි. අනිකුත් දේවල් ද එලෙසම දිරයි. විනාශ වෙයි. මෙලෙස වෙනස්වන, විනාශවන දේවල් රැස්කිරීමටත්, ඒවා පවත්වාගෙන යාමටත් පරපණ නැසීම, සොකරම් කිරීම, කාමය වරදවා හැසිරීම, බොරු කීම, පරුෂ වචන කීම,කේළම් කීම, හිස්වචන කීම, මත් ද්‍රව්‍ය භාවිත කිරීම, ඊර්ෂ්‍යා කිරීම, වෛර කිරීම, ක්‍රෝධ කිරීම, අනුන්ගේ ගුණ මැකීම යනා දී මහා අකුසලයන් සිදුකරයි.

මෙලෙස තමුන් වහල්කම්, අකුසලකම් කරමින් රැස්කරගත් දේ මහා වටිනා දෙයක්ද? එය විනාශවන දෙයක් නොවේද? කියා සිතිය යුතුය. ඒ නිසා ඇතිවුන අකුසලයන්ට වන විපාක වශයෙන් ආත්ම ලක්ෂ කෝටි ගණන් නිරය, ප්‍රේත තිරිසන්,අසුර යන සතර අපායන් හි දුක් විඳීමට සිදුවේ. ධාතු හතරකින් සෑදුන වෙනස් වන, විනාශ වන රූපයන් නිසා, තමන් තමන්ට කරගෙන ඇති හානිය කොතරම්ද? යන්න සිතිය යුතුය. අනිත් අය තමන්ට කරන හානියෙන් සිදුවන්නේ කුඩා හානියකි. නමුත් තමන් තමන්ට කරගන්නා හානිය අතිමහත්ය.

භාග්‍යවතුන් වහන්සේ තමන්ට අයිති නැති, තමන්ගේ වසඟයේ පවත්වාගෙන යා නොහැකි දේ අතහරින ලෙස දේශනා කර ඇත්තේ, මෙම වහල් භාවයෙන් මිදීම සඳහාය. පහසුවෙන් පෝෂණය කළ හැකි සැහැල්ලු සරල ජීවිතයක් ගතකරමින් තමන්ගේ අවශ්‍යතාවය මත පමණක් නතරවන ලෙස උන්වහන්සේ දේශනා කර ඇත. ලෝකයේ සම්පත් සොයන ජීවිතයකට සැමදා අත්වන්නේ දුකමයි. ලෝකය අතහැර දමන ජීවිතයක ඇත්තේ සැපයකි. භික්ෂු ජීවිතයක් යනු ලෝකය අතහරිමින් නිවීම සොයන ජීවිතයකි. භික්ෂුව ලෝකයේ ඇති සම්පත්වලට නො ඇලෙයි.

 

මැදින් පුර අටවක පෝය

මැදින් පුර අටවක පෝය මාර්තු 05 වන දා ඉරිදා පූර්ව භාග 06.07 ට ලබයි.
6 වන දා සඳුදා, පූර්ව භාග 03.39 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 05 වන දා ඉරිදාය.

 

මීළඟ පෝය මාර්තු 12 වන දා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 05

Full Moonපසෙලාස්වක

මාර්තු 12

Second Quarterඅව අටවක

මාර්තු 20

Full Moonඅමාවක

මාර්තු 27


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]