UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 බුද්ධිමත්ව ගවේෂණය කළ යුතු ආදීනවයන්

 බුද්ධිමත්ව ගවේෂණය කළ යුතු ආදීනවයන්

බුදුරජාණන් වහන්සේ බෝධිසත්ත්ව අවධියෙහි උන්වහන්සේට පහළ වූ මනෝභාවයන් පිළිබඳව බුද්ධත්වය ලබාගැනීමෙන් පසු පළමු වන ආස්වාද සූත්‍රයෙහි දේශනා කරයි. රූපයෙහි ආස්වාදය කුමක්ද? රූපයෙහි ආදීනවය කුමක්ද?රූපයෙහි නිස්සරණය කුමක්ද? රූප, ෙවිදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාාණ යන පංචස්කන්ධය පිළිබඳව විග්‍රහ කර තිබෙන නිසා බුදු දහම නිතරම දුක පිළිබඳව පමණක් කතා කරන දහමක් ලෙස ඇතැමුන් සිතයි.

බුදුරජාණන් වහන්සේ පළමුවෙන්ම සැප පිළිබඳව විග්‍රහ කරයි. රූපයෙහි ආස්වාදයක් තිබෙන බවත් එහි තිබෙන්නාවූ ආස්වාදය කුමක්ද ?ඊළඟ පියවර වශයෙන් රූපයෙහි ආදීනවය කුමක්ද?ඊළඟ කාරණාව ලෙස රූපයෙහි තිබෙන්නාවු නිස්සරණය කුමක්ද?තවත් කාරණාවක් ලෙස වේදනාවද විග්‍රහ කරයි. ෙවිදනාවෙහි පවතින ආස්වාදය, ආදීනවය, නිස්සරණය පිළිබඳව විමර්ෂණය කරයි.

මේ ආකාරයෙන් සංඥා, සංස්කාර ආදීන්ගේ ස්වභාවයද ඒ ආකාරයෙන්ම විමර්ෂණය කරනු ලබයි. බුදුරජාණන් වහන්සේ බෝධිසත්ත්ව අවධියෙහිම මෙහි ස්වභාවය කල්පනා කළා. ලෝකයෙහි පවතින ආස්වාදය කුමක්ද? එහි ආදීනවය කුමක්ද? නිස්සරණය කුමක්ද? මහණෙනි, රූපය නිසා යම් සුවයක් උපදීද? එය රූපයාගේ ආස්වාදයයි. රූපය හේතු කොටගෙන යම්කිසි සුවයක් යම්කිසි සොම්නසක් යමෙකු තුළ උපදීද? එය රූපයෙහි ආස්වාදයයි. රූපයෙහි ආස්වාදයක් නැති බව කිසිවෙකුටත් ප්‍රකාශ කළ නොහැකියි. අප කැමැති රූපයක් දකින විටම අපට සුවයක් දැනෙයි. ලස්සන රූපයක් අපේ වුවත් නොවූවත් එම රූපය පිළිබඳව අපට සොම්නසක් උපදියි. එය ලස්සන බවට අප ප්‍රසිද්ධියෙහි හෙළිදරවු නොකළත්, අප රහසින් හෝ එය විඳගනී. රහත් නොවුණ ඕනෑම ගිහියෙකු හෝ සිතෙහි පාලනයක් නැති පැවිදි උතුමෙකු වුවද ලස්සන රූපයක් දකින විට එම රූපය ආස්වාදය කරයි. ඕනෑම පෘතග්ජන පුද්ගලයෙකු එයින් ලැබුණ වින්දනය සුඛයක් ලෙස හෝ සොම්නසක් ලෙස සැලකිය හැකියි. අපගේ කාමරය ලස්සනට තබාගැනීමට උත්සාහ කරනු ලබන්නේද එම කාරණාව නිසයි. පොත් මේසය ලස්සනට තබාගෙන නැත්නම් එම කාමරයෙහි පාඩම් කිරීමට සිතක් ඇති නොවෙයි. තමන් ජීවත් වන පරිසරයෙහි සොම්නසක් සුවයක් පවතිනවා නම්, එම කාර්යය සතුටින් කළ හැකියි. බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති පරිදි කිසිදු ෙබිදයකින් තොරව ඕනෑම රූපයක ආස්වාදයක් විඳිය හැකියි. රූපය සම්බන්ධව අප විසින් ගොඩනඟා ගනු ලබන මනෝභාවයන් රූපයෙහි ආස්වාදයට හේතු වෙයි. නමුත් සම්මුති ලෝකයෙහි රූපයෙහි ආස්වාදයක් පවතින බව සිතුවද,පරමාර්ථමය වශයෙන් රූපයෙහි ආස්වාදයක් නැහැ. එය නිවැරැදිව අප තේරුම් ගත යුතුයි. බුදුරජාණන් වහන්සේ බුදුබව ලබාගත් පසු රූපයෙහි ආස්වාදයක් නැති බව පැහැදිලිව දේශනා කරයි. බෝධිසත්ත්ව අවධියෙහි රූපයෙහි ආස්වාදය විඳිනු ලැබුවත් බුදුබව ලබාගත් පසු රූපයෙහි ආස්වාදයක් නොමැති බවට දේශනා කරයි. නොවඩන සිතක් ඇති ඕනෑම පෘතග්ජන පුද්ගලයෙකුට රූපයෙහි ආස්වාදයක් දැනුනත් වඩන ලද සිතක් තිබෙන උත්තමයෙකුට රූපයෙහි ආස්වාදයක් නොදැනෙයි. රූපය නිසා සතුට උපදිනවා නම්,එය ආස්වාදයයි. අපට ආස්වාදයක් ඇති නොවන රූපයකට වෙනත් පුද්ගලයෙකුට ආස්වාදයක් දැනිය හැකියි. ඕනෑම පෘතග්ජන පුද්ගලයෙකුට තමන් කැමැති ඕනෑම රූපයක ආස්වාදයක් දැනිය හැකියි . එම ආස්වාදය මනසෙහි ඇතිවන ස්වභාවය මිස රූපයට සම්බන්ධ කාරණාවක් නොවෙයි. කැමැති රූපයක් සමඟ ආස්වාදය ඇතිවනවා යනු, ආස්වාදය හටගනු ලබන්නේ රූපයෙහි නොව මනසෙහි ඇතිවන ස්වභාවයක් බවයි. මනස පුර්වාංගමව රූපයෙහි ආස්වාදය පිටතට පැමිණෙයි. යම් රූපයක් අනිත්‍ය ද දුක්ද,විපරිනාමද එය රූපයාගේ ආදීනවයයි. අපට සොම්නස උපදවන රූපවල පවතින විපරිනාම බව හෙවත් අනිත්‍ය බව එහි පවතින ගැටලුවයි. ඕනෑම ආස්වාදයක පවතින අර්බුදය නම්, එම ආස්වාදය පැවැති ආකාරයෙන්ම පවත්වාගැනීමට බැරි මට්ටමට රූපය පත්වන විට මනසත් ඒ ආකාරයෙන්ම වෙනස් වෙයි. එය රූපයාගේ ආදීනවයයි. එම රූපයෙහි ඡන්ද රාග ප්‍රහාණයක් පවතිනවා නම්, එය නිස්සරණයයි. කවුරුන් හෝ පුද්ගලයෙකු රූපයට තිබෙන්නාවූ එම කාරණා වටහා ගැනීම අපගේ ජීවිතයට අත්‍යවශ්‍ය වෙයි. රූපයෙන් ඇතිවන වින්ඳනයත් සමඟ අපගේ මනස එය ග්‍රහණය කර ගනී. එම රූපය සම්බන්ධව පවතින සොම්නස ස්ථාවර කරගනී. සොම්නස ස්ථාවර කරගැනීමෙන් ඇතිවන අර්බුදය නම්, රූපයට අඛණ්ඩව පැවතීමේ හැකියාවක් නොමැති වීමයි.

තරුණ වයස වන විට සම දිදුළමින් ඇස් කාන්තිමත්ව බබළන ස්වභාවයක් පවතී. අවුරුදු හතළිහ පමණ වන විට ශරීර ස්වභාවය පැවතුණාට වඩා වෙනස් ස්වභාවයක් ගනී. වයස වෙනස් වීමත් සමඟ යම් යම් විකෘති ස්වභාවයන් හට ගනී. කලු කොණ්ඩය සුදුපැහැ වෙයි. රූපයෙහි සොම්නසක් සමඟ පවතින ස්වභාවයයි. බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව අවධියෙහි නිවැරැදිවම එම ස්වභාවය හඳුනාගනු ලැබුවා. එම රූපය සඳහා පැවතිය යුතු නිස්සරණය නම්,අප එම රූපයට දැඩි ලෙස ඡන්දය, රාගය, ඇලීම ඇතිකර නොගැනීම ඒ සඳහා විසඳුමයි. කාමරූප දකින අවස්ථාවෙහි ඇති වන සොම්නසත් සමඟ එහි පවතින අනිත්‍යතාව, නිසරුබව, හිස්බව ස්ථිර නැති බව, අපට අවශ්‍ය ආකාරයට පවත්වාගෙන යාමට නොහැකි බව අවබෝධකර ගැනීමෙන් අප තුළ පවතින ඡන්ද රාග ප්‍රහීණ වෙයි.රූපයෙහි පවතින අනිත්‍යතාව අවබෝධ කර නොගත හොත් ඡන්ද රාග ප්‍රහීණ නොවෙයි. රූපයෙහි පවතින ආදීනවයන් බුද්ධිමත්ව ගෙවිෂණය නොකළ හොත් ඡන්ද රාග අඛණ්ඩව පවතියි.

මෙම ලිපියෙහි තවත් කොටසක් නවම් අමාවක පෝදා පෙබරවාරි 26 පත්‍රයේ පළවේ

 

නවම් අව අටවක පෝය

නවම් අව අටවක පෝය පෙබරවාරි 18 වනදා සෙනසුරාදා අපරභාග 11.48 ට ලබයි. 19 වනදා ඉරිදා අපරභාග 2.18 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 18 වනදා සෙනසුරාදාය.

මීළඟ පෝය පෙබරවාරි 26 වනදා ඉරිදාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 18

Full Moonඅමාවක

පෙබරවාරි 26

First Quarterපුර අටවක

මාර්තු 05

Full Moonපසෙලාස්වක

මාර්තු 12


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]