UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිනෙන් උරුමවන පංච කල්‍යාණය

පිනෙන් උරුමවන පංච කල්‍යාණය

කොතරම් මනස්කාන්ත රූපයකට උරුමකම් ලැබුවද එහි පැවැත්ම කොතරම් කෙටි කාලෙකටද යන්න නිතර නිතර මෙනෙහි කිරීම තුළ යථාර්ථය අවබෝධ කරගත හැකිය. තම සිරුර ක්‍රමයෙන් වෙනස් වෙමින් වියැකී යන ආකාරය මෙනෙහි කිරීම සංවර බව ඇතිකර ගැනීමට හේතු වේ. එවිට රූමත් බව වැරදි ආකාරයට යෙදවීමට එරෙහිව තම සිතට ස්වයං පාලනයක් ඇති කරවයි.

රූපශ්‍රීයෙන් අගතැන්පත් තැනැත්තිය තේරීම අද මෙන් ම බුද්ධ කාලයේ දී පවා සිදු වූ බවට තොරතුරු බෞද්ධ අටුවා ග්‍රන්ථවල සඳහන් වේ. එලෙස තෝරාගත් තැනැත්තියකි ජනපද කල්‍යාණිය, නගර ශෝභනිය ලෙස රාජකීය තනතුරකින් පුදා ඇය රාජ කුමාරවරුන්ගේ හා ප්‍රභූන්ගේ පොදු වස්තුවක් බවට පත් කර තිබේ. රූපයෙන් අගතැන්පත්ම තැනැත්තිය එලෙස පොදු වස්තුවක් බවට පත්කර ඇත්තේ රාජ කුමාරවරුන්, ප්‍රභූන් අතර ඇය දිනාගැනීමට අරගල, කලකෝලාහල ඇතිවීම වළකාලීමේ එක් උපක්‍රමයක් ආකාරයට බවටද පැහැදිලිය.

බුදුන් දවස සුන්දරියන් තෝරා ගැනීමේ දී සලකා බැලූ ඇතැම් කරුණු කාරණා වර්තමානයේදි රූපරාජිනියන් තෝරා ගැනීමේ දී එලෙසින්ම අනුගමනය කරන බව පෙනෙන්නට තිබේ. එදා රූපසුන්දරියක සතු නොවීය යුතු ශරීර දෝෂ හයක් පිළිබඳව අටුවාවේ සඳහන් වේ.

ඉතා උස නොවිය යුතුය

ඉතා මිටි නොවිය යුතුය

ඉතා සිහින් නොවිය යුතුය

ඉතා තර නොවිය යුතුය

ඉතා කළු නොවිය යුතුය

ඉතා සුදු නොවිය යුතුය

ඉහත ශරීර දෝෂ හයෙන් තොර වු අගතැන්පත් වීම රූපසුන්දරියක සතු විය යුතු ලක්ෂණ ලෙස පිළිගැනිණ. රූපසුන්දරියක අගතැන්පත් විය යුතු පංචකල්‍යාණය නම්,

ඡවි කල්‍යාණය

නොපීදුණු තැඹිලි මලක රන්වන් පැහැයට සමාන නැතිනම් තණහාල් නම් රන්වන් පැහැති සහල් වර්ගයේ පැහැයට සමාන වූ උඩු සමකින් යුතු වීම ඡවි කල්‍යාණය ලෙස එදා හැඳින්විය .

මාංශ කල්‍යාණය

මුහුණේ සිට දෙපතුල දක්වා වාත්තු කළාක් බඳු වූ මොලොක් මාංශයන්ගෙන් පිරිපුන් වීම මාංශ කල්‍යාණය ලෙස සැලකිණ.

නහරූ කල්‍යාණය

එළියට ඉලිප්පී නැති පෙනෙන නොපෙනෙන ආකාරයේ සියුම් නාලිකා වන්ගෙන් පිරී තිබීම නහරු කල්‍යාණය සේ සැලකිණ. එයම තවත් විටෙක නඛ කල්‍යාණය (නිය) නැතිනම් කේෂ කල්‍යාණය ලෙසද සැලකු අවස්ථා ද විය.

අස්ථි කල්‍යාණය

අස්ථි කල්‍යාණය ලෙස සලකනු ලැබුවේ දසන් දෙපළය. එකිනෙක මනාව ස්පර්ශ වු හිඩැස්වලින් තොර පිරිසුදු පබලු පෙළක් බඳු දසන් දෙපළකින් යුතු වීම අස්ථී කල්‍යාණය සේ සැලකිණ.

වයස් කල්‍යාණය

වයසට වඩා ළාබාල වූ පෙනුමකින් යුතු වීම වයස් කල්‍යාණය සේ සැලකිණ. සියවසක් වුවද සොළොස් වියැති තරුණියකගේ බඳු පෙනුමකින් යුතු විය යුතු බව අටුවාවේ ද සඳහන් විය.

පෙර කී ආකාරයේ ශරීර දෝෂ හයෙන් තොරව හා පංචකල්‍යාණයෙන් හෙබි රූපශි‍්‍රයකට උරුමකම් ලැබීම බුදු දහමට අනුව විශාල භාග්‍යයකි. පිනකි. අන් අයගේ ආකර්ෂණයට ලක්වන ආකාරයේ නෙත් සිත් පිනවන රූපයකින් යුතු තැනැත්තියකවීම බුදුදහමට අනුව උපධි සම්පත්තියයි. එය පෙර ආත්ම භවයන්හි දැඩි ඊර්ෂ්‍යාවෙන් ,ක්‍රෝධයෙන් ,වෛරයෙන් තොරව හා අන් අය කෙරෙහි මෙත් සිතින් කරුණාවෙන් පිරි ජීවිත ගත කළ පිනෙහි බල මහිමයෙන් උරුම වන්නකි. කොතරම් අගහිඟකමින් පිරි දිළිඳු පවුලක උපත ලැබුවද උපධිසම්පත්තියෙන් යුතු තැනැත්තිය මතු දිනක සැප සම්පත්වලින් පිරි ජීවිතයකට උරුමකම් ලැබීමට වාසනාවන්ත වේ.

බුදු දහමට අනුව ඊළඟ ආත්ම භවයේ රූපශ්‍රීයෙන් අගතැන්පත්වීමට නම් මේ භවයේ දී දැඩි ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන් තොරව මේ සිතින් ජීවත් විය යුතු බව පැවැසේ. ඒ ආකාරයට ජීවත් වන්නන්ට එහි පින අත්විඳීමට ඊළඟ ආත්මය තෙක් යෑමට අවශ්‍ය වන්නේ නැති බව අද වන විට විද්‍යානුකූලව පවා ඔප්පු කළ සත්‍යයකි. ක්‍රෝධයෙන්, වෛරයෙන් තොරවූ මෛත්‍රියකින් ජීවත්වන අය ප්‍රභාමත් වන්නට විද්‍යානුකූලව බලපාන හේතු සාධක අද වන විට සොයාගෙන තිබේ. පංච කල්‍යාණයෙන්ම අගතැන්පත්ම ජීවත් වීමට යහපත් චිත්ත ශක්තීන් හි විශාල බලපෑමක් ඇති බව විද්‍යානුකූලව ද තහවුරු කළ සත්‍යයකි.

රූමත් බව නිසාම හිමිවන අන් අයගේ ආකර්ෂණය පිළිගැනීම හේතුවෙන් මාන්නයෙන් පිම්බෙන කාන්තාවෝ ද සිටිති. බුදු බණට අනුව මානය වඳුරකු බවට පත් කරයි.අභිමානය සුනඛයකු බවට පත් කරයි.

අද සමාජයේ රූමත් බව වැරැදි ආකාරයට යොදා ගනිමින් අන් ඵල ප්‍රයෝජන ලබා ගන්නට පෙළඹෙන කාන්තාවන්ද විරල නොවේ. සමහරවිට රූමත් බව නිසා පුරුෂ පක්ෂයේ ආකර්ෂණයට ලක් වද්දි ඉන් වැරදි ආකාරයට ප්‍රයෝජන ගනිමින් පිරිමින් කිහිප දෙනෙකු සමඟ ආදර සබඳතාවල පැටලෙන කාන්තාවෝද සිටිති.

විවාහ වූ පසුව පවා එවැනි දේට යොමු වන කාන්තාවන් පිළිබඳව උදාහරණ විරල නැත. ඒ සියලු දෙනා අතින්ම සිදුවන්නේ පෙර පිනෙන් තමන්ට උරුම වු රූමත් බව වැරදි ආකාරයට භාවිතා කිරීමයි. එය ඊළඟ ආත්මභවවල දී ඵලවිපාක ලැබෙන පාපකර්මයෙන් බව බුදුබණේ සඳහන් වුවද එහි පල විපාක ගෙවී යන ආත්මයේදීම විපාක ලබන ආකාරයත්, ඇස්පනාපිටම දැකිය හැකි අවස්ථා බොහෝය.

රූමත් බව අවියක් කොටගෙන එකවර පේ‍්‍රම සබඳතා දෙක තුන පවත්වා ගෙන යාමට පෙළඹුණ තරුණියන්ට එහි විපාක මේ අත්භවයේදීම අත්විඳින්නට සිදුවීම ඒකාන්තය. එකිනෙකාට හොර රහසේ පවත්වාගෙන යන එවැනි සම්බන්ධතා හෙළිදරව් වූ විට නින්දා අපහාස අවමන් පමණක් නොවේ. අවියක් කොට ගත් රූපය විකෘති කර දමන තරමේ පළිගැනීම්වලට පවා භාජනය වීම සිදු නොවිය හැකි නොවේ.

කොතරම් මනස්කාන්ත රූපයකට උරුමකම් ලැබුවද එහි පැවැත්ම කොතරම් කෙටි කාලෙකටද යන්න නිතර නිතර මෙනෙහි කිරීම තුළ යථාර්ථය අවබෝධ කරගත හැකිය. තම සිරුර ක්‍රමයෙන් වෙනස් වෙමින් වියැකී යන ආකාරය මෙනෙහි කිරීම සංවර බව ඇතිකර ගැනීමට හේතු වේ. එවිට රූමත් බව වැරදි ආකාරයට යෙදවීමට එරෙහිව තම සිතට ස්වයං පාලනයක් ඇති කරවයි.

මෙම යථාර්ථය අවබෝධ කර ගැනීම තුළ ශාරිරිකව වියැකී ගියද උතුම් මනසකින් යුතුව යහපත් ජීවිතයක් ගත කිරීමට භාග්‍ය ලැබේ. එවිට කෙමෙන් කෙමෙන් වැහැරී, වියැකී යන සුන්දරත්වය දරාගැනීමට බැරි තරම් මානසික පීඩාවක් නොකරගෙන එය ජීවිතයේ ස්වභාවයයි අවබෝධයෙන් ඊට මුහුණ දීමට හැකියාව ලබා ගත හැකි වේ.

 

නවම් පුර පසළොස්වක පෝය

නවම් පුර පසළොස්වක පෝය පෙබරවාරි 10 වන දා සිකුරාදා අපරභාග 07.30 ට ලබයි. 11 වන දා සෙනසුරාදා පූර්ව භාග 06.02 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 10 වන දා සිකුරාදාය.

 

මීළඟ පෝය පෙබරවාරි 18 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 10

Second Quarterඅව අටවක

පෙබරවාරි 18

Full Moonඅමාවක

පෙබරවාරි 26

First Quarterපුර අටවක

මාර්තු 05


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]