UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මාතර විමලරතන මහ නා හිමි

මාතර විමලරතන මහ නා හිමි

අනුරාධපුර ගුවන්තොටුපල පාර ශ්‍රී විමලධර්මදූත මධ්‍යස්ථානාධීශ්වර, ශ්‍රී ලංකා අමරපුර (දඩලූ) සිරිසුමන මහා නිකායේ මහානායක, සිරිසුමන ධම්මාධිධම්ම, රාජාධිරාජගුරු ශ්‍රී ධම්මරක්ඛිත වංශපාල ගණාචරිය පටිපත්තිධර, ශණපාමොක්කාචරිය කීර්ති ශ්‍රී සම්බුද්ධ ශාසන ධජ, ශාස්ත්‍ර විශාරද, පණ්ඩිතාචාර්ය, මාතර විමලරතන මහා නාහිමිපාණන් වහන්සේගේ එකසිය දෙවැනි ජන්ම දිනය නිමිත්තෙනි. මාතර මැදගොඩ ග්‍රාමවරයෙහි 1915 දෙසැම්බර් මස 26 වැනි දින ජන්මලාභය ලැබූ විමලරතන නාහිමියන්ගේ ගිහි නම වීරක්කොඩි ආරච්චිගේ ප්‍රේමදාසය. වීරක්කොඩි ආරච්චිගේ සව්නේරිස් අප්පුහාමි මහෝපාසකතුමාත්, එදිරිසිංහ විදානආරච්චිගේ බබුංහාමි මහෝපාසිකාවත් වාසනාවන්ත දූපුතුන් හයදෙනෙක් මෙලොවට දායාද කළ අතර ඉන් පවුලේ තුන්වැනියා වූයේ ප්‍රේමදාස කුමරුවාය.

1919 දී මාතරින් අනුරාධපුරයට පැමිණි ප්‍රේමදාස ඇතුළු පවුලේ ඥාති පිරිස අනුරාධපුර පැරණි නගරයේ ජේතවනාරාමය අසල නිවසක පදිංචිව සිටියහ. 1922 දී මහාබෝධි පාසලට ඇතුළත්ව 5 වැනි ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලැබූ ප්‍රේමදාස කුමරු 1927 දී බූස්සේ ශ්‍රී සුදර්ශනාරාමයෙන් නික්ම රට පුරා ධර්ම දේශනා පවත්වමින් අනුරාධපුරයට වැඩම කළ බූස්සේ ධම්මරක්ඛිත මහා නා හිමියන්ගේ ඇසුරට පත් විය.

ප්‍රේමදාස දරුවා බූස්සේ ධම්මරක්ඛිතාභිධාන මහා නාහිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍ය රත්නය ලෙස 1931 ඔක්තෝබර් මස 22 වෙනි දින මාතර විමලරතන නමින් සසුන්ගත විය. මාතර විමලරතන හිමියන් මුලින්ම නේවාසිකව වැඩ සිටියේ අනුරාධපුර නිවත්තකචේතිය රජමහා විහාරයේ ය. අනතුරුව 1932 දී බූස්සේ මහා නාහිමියන්ගේ අවසරය පරිදි බූස්සේ ශ්‍රී සුදර්ශනාරාමයේ දී ත්‍රිපිටක ධර්මය, සාමණේර බණ දහම් පාලි, සිංහල, සංස්කෘත, ඡ්‍යොතිෂ්‍ය වෙදකම ආදී විෂයන්ද ප්‍රගුණ කළහ. බූස්සේ පන්සලේ ගත කළ කාලපරිච්ඡේදය තුළදී සිවුරු මැසීමේ හා පඬුපෙවීමේ ශාස්ත්‍රයද, පැරැණි වටිනා ධර්ම පුස්තකාලයක් බූස්සේ පන්සලේ තිබුණු බැවින් පොත් බැඳීමේ කර්මාන්තයද ඉගෙන ගැනීමට සමත් විය. දේශීය ඖෂධ පැළෑටි වර්ග ප්‍රයෝජනයට ගනිමින් කායික රෝගවලට ප්‍රතිකර්ම ලබාදීමද ඉගෙනගත් උන්වහන්සේ පැරණි වෛද්‍යවරයෙකුගේ ආශ්‍රයෙන් සර්පවිෂ වෙදකමද හදාරන ලදී.

1937 ජූනි මස 23 වෙනි දින බලපිටියේ මාදු ගඟ උදකුක්ඛේප සීමාමාලකයේ දී උපසම්පදා ශීලයට පත්ව 1938 වසරේ පොසොන් මස 20 වැනි දින මීගමුව අඟුරුකාරමුල්ල බෝධිරාජරාම පිරිවෙනට ඇතුළත්ව පිරිවෙන් අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ පසුව රත්මලාන පරම ධම්මචේතිය පිරිවෙනට ඇතුළත්ව උසස් අධ්‍යාපන කටයුතුවල නිරතව සිටියදී දෙවන ලෝක යුද්ධය නිසා අගනුවර පිරිවෙන වසා දැමීමෙන් යළිත් අනුරාධපුරයට වැඩම කිරීමට සිදුවිය. උන්වහන්සේ සමාජ සේවයට පිවිසියේ 1940දීය. ධර්ම දේශනා, කවි බණ, බෞද්ධ නාට්‍ය හා විවිධ ප්‍රසංග පැවැත්වීමෙන් ගම තුළ සමගිය, දියුණුව ඇතිකිරීමට උන්වහන්සේ අපමණ වෙහෙසක් ගත්හ. මැදවච්චිය, හොරොව්පොතාන, අනුරාධපුර, පොළොන්නරුව, මැදිරිගිරිය යන පළාත්වල හා මැකිච්ඡාව, ගල්කඩවල, කිරුඩගම, ලෝලුගස්වල යන ගම්මානවල විහාර ආරාම, වැව්පොකුණු, මංමාවත් පිළිසකර කරවන ලදී. මැදවච්චිය ප්‍රදේශයේ ගම්මාන සඳහා ග්‍රාමසංවර්ධන සමිති ආරම්භ කර ගමට පන්සලක් මෙන්ම බාල පරපුරට අධ්‍යාපනය ලබාදීමට පාසලක්ද ආරම්භ කළහ. පුබුදුවිල කනිෂ්ඨ විද්‍යාලය හා තාලරුක්ඛාරාම විහාරය ආරම්භ කළේ විමලරතන නාහිමියන් විසිනි. මෙම ගම්මානවල බෞද්ධ සමිති සමාගම්, දහම්පාසල්, කිරි මධ්‍යස්ථාන, පේෂකර්ම මධ්‍යස්ථාන ආරම්භකළ උන්වහන්සේ ගම්මානවල පුරාණ වෙල්යායවල රජයේ නිලධාරින් ලවා ගොවීන්ට යල මහ දෙකන්නයේම කුඹුරු ගොවිතැන් කිරීමට හැකි වන පරිදි අබලන් වැව් ප්‍රතිසංස්කරණය කරදීමට සමත් විය. උන්වහන්සේ ආරම්භ කළ විහාරස්ථානවල දරුවන් 15 දෙනෙක් පැවිදි කළහ. 1966 දී පොසොන් මස අනුරාධපුර ගුවන්තොටුපල පාර ශ්‍රී විමල ධර්මදූත මධ්‍යස්ථානය ආරම්භ කළ නාහිමියන් ශ්‍රී විමලධර්මදූත දහම් පාසල ආරම්භ කරන ලදී. අභිනව විහාර මන්දිරයක්, සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ, බෝධි ප්‍රාකාරය, ධර්ම ශාලාව, සංඝාවාසය විවෘත කිරීමට, උන්වහන්සේ සමත් වූහ. දඩලු සිරිසුමන පාර්ශ්වයේ හා සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ශ්‍රී විමල ධර්මදූත මධ්‍යස්ථානයේ ‘සීමාමාලකයක්” ඉදිකළ නාහිමියෝ සිය නිකායේ උපසම්පදා මහෝත්සවය 2003 පොසොන් මස 21 වෙනි දින එම සීමාමාලකයේ දී සිදුකරන ලදී. නාහිමියන් ඉටුකළ ජාතික ආගමික හා ශාසනික සේවාවන් අතරට වසර තිස්පහක් මුළුල්ලේ සතියකට වරක් අනුරාධපුර මහා රෝහලේ නේවාසික රෝගීන් වෙනුවෙන් පිරිත් දේශනා කර පිරිත් නූල් බැඳ සංග්‍රහ කිරීම විශේෂ තැනක් ගත්හ. උන්වහන්සේ මෙම ආගමික සේවාව කළේ එවකට මහ රෝහලේ සේවය කළ විශේෂඥ වෛද්‍ය රාජා සල්ගාදු මහතාගේ කාරුණික ඉල්ලීමකට අනුවය.

දඩලු පරම්පරායත්ත අමරපුර මහා නිකායේ මහානායක බූස්සේ ධම්මරක්ඛිතාභිධාන මහා නාහිමියන් ප්‍රමුඛ ‘සිරිසුමන’ කාරක සංඝසභාව විසින් 1968 පොසොන් 24 වෙනි දින බූස්සේ ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරස්ථ බද්ධ මංගල සීමාමාලකයේ දී ‘සිරි සද්ධාතිස්ස ධම්මරක්ඛිත’ යන ගරු නාම සම්මුතිය සහිතව උතුරු හා උතුරුමැද දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ධූරයෙන් පුදනු ලැබූ මාතර විමලරතන නාහිමියෝ 1992 වසරේ වෙසක් මස 27 වෙනි දින දඩලු පරම්පරායත්න අමරපුර මහා නිකායේ විංශද්වර්ගික මහා සංඝ සභාවේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ ඒකච්ඡන්දයෙන් එම නිකායේ මහානායක ධූරයට පත් කරනු ලැබූහ. තායිලන්ත ධර්ම දූත චාරිකාවේ දී 2000 වසරේ නොවැම්බර් 20 වෙනි දින මයියංකන් ආරණ්‍ය සේනාසනයේ දී ‘විශ්ව කීර්ති ශ්‍රී සාමදූත ලෝකාර්ථ චරිය,’ යන ගෞරව සම්මානයෙන්ද පිදුම් ලැබූ උන්වහන්සේට 2001 වසරේ දී ජාත්‍යන්තර බුදුමග සංවිධානය මගින් ‘ශාස්ත්‍ර විශාරද පණ්ඩිත’ ගෞරව සම්මානය ප්‍රදානය කරන ලදී.

දඩලු පරම්පරායත්න මහා නිකායේ වර්තමාන සංඝ සභා මූලස්ථානය වන පන්නිපිටිය ශ්‍රී දෙව්රම් විහාරයේ දී සිරිසුමන කාරක මහා සංඝ සභාවේ සංඝ සම්මුතියෙන් ‘ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සිරිසුමන (දඩලු) පාර්ශ්වයේ සංශෝධිත නව ව්‍යාවස්ථා මාලාවක්ද, කතිකාවතක් ද නිකායේ සියලුම භික්ෂූන් වහන්සේලාගේ දැනගැනීම සඳහා බෙදාහරින ලද්දේ මහානායක මාතර විමලරතන මාහිමිපාණන් වහන්සේ විසිනි. ඒ 2000 වසරේ ජූලි මස 21 වැනිදා ය.

මාතර විමලරතන මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී සුවය පතමු.

සේනපුර ඩී.නිශ්ශංක

(අනුරාධපුර නැගෙනහිර සමූහ)

 

දුරුතු අව අටවක පෝය

දුරුතු අව අටවක පෝය ජනවාරි 19 බ්‍රහස්පතින්දා අපරභාග 02.37 ට ලබයි. 20 වන දා සිකුරාදා අපර භාග 04.54 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 19 වන දා බ්‍රහස්පතින්දාය.

 

මීළඟ පෝය ජනවාරි 27 සිකුරාදායි.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 19

Full Moonඅමාවක

ජනවාරි 27

First Quarterපුර අටවක

පෙබරවාරි 04

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 10


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]