UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සද්පුරුෂ ඇසුරදෙලොව යහපත සළසයි

සද්පුරුෂ ඇසුරදෙලොව යහපත සළසයි

මියගිය පිරිස වෙනුවෙන් යම් කිසි ආකාරයක පිනක් කුසලයක් සිදුකරනවාද ? යන කාරණාව වැදගත් වෙයි. අපගේ ජීවිතය තුළ හමුවුන සෑම පුද්ගලයෙක්ම යමි යම් ආකාරයෙන් අපට උපකාර කළ පිරිස් වෙයි. අම්මා තාත්තා ඇතුලු අපගේ ජීවිතය තුළ හමුවුන ඥාතීන් ගෙන් විශාල ආලෝකයක් අපගේ ජීවිතවලට ලැබී තිබෙයි. ඔවුන්ගේ ශක්තිය සහ ඔවුන්ගේ උපකාරය නිසා අපගේ ජීවිත මේ මට්ටමින් හෝ සාර්ථක වී ඇත. ඔවුන් සිහිකර පින් අනුමෝදන් කිරීම අපගේ යුතුකමක් වගේම අපගේ වගකීමක් වෙයි.

අපගේ ජීවිතය තුළ හමුවන ඇතැම් සම්බන්ධකම් සහ ඇතැම් ඥාතීන් ඊළඟ භවය තුළදීත් අපට මුණ ගැසෙනවා නම් එයට කැමැත්තක් දක්වයි. ඒ වගේම අතැම් සම්බන්ධකම් නැවත හමුවිය යුතු බවට කල්පනා නොකරයි. මේ ආත්මය තුළ අපගේ භව ගමන හෙවත් සංසාරික චක්‍රය නැවැත්වීමට හැකියාවක් ලැබෙයි යන්න පිළිබඳව විශ්වාසයක් නොමැතිකම නිසාම අපගේ භව ගමනට සද්පුරුෂයන් එක්කාසු කරගැනීමට අප සැම විටම උත්සාහ කරයි . එහි කිසිඳු වරදක් නැහැ. එහි කිසියම් තණ්හාවක් පවතින බවට යමෙකු ප්‍රකාශ කළද ,එය තුළ යම් කිසි ආකාරයක තණ්හාවක් නියෝජනය වුවත්, එම තණ්හාව නිසා අප සද්පුරුෂයන් ළඟාකර ගන්නවා නම්, ඒ තුළින් අපගේ සසර ගමනට හානියක් වන්නේ නැහැ. එවැනි ප්‍රාර්ථනාවන් සිදුකිරීම වරදක් බවට බුදු දහමට අනුව අපට කල්පනා කළ නොහැකිය. ඉමිනා පුඤ්ඤ කම්මෙන' මේ උතුම් පින්කමේ බලමහිමයෙන් මාමේ බාල සමාගමෝ මා මේ මොහොත වන විටත් රැඳී සිටින්නේ බාලයන් අතර නම්, සතං සමාගමෝ හෝතු සද්පුරුෂ සමාගම මට ලැෙබිවා. 'යාව නිබ්බාන පත්තියා' නිවන් දක්නා ජාති දක්වා. කුමන පින්කමක් සිදුකළත් අවසානයේ සසර වසනා තුරා සද්පුරුෂ ආශ්‍රයක් ලැෙබිවා යනුවෙන් ප්‍රාර්ථනා කරයි. මාර්ග ඵල අධිගමය සඳහා සද්පුරුෂ ආශ්‍රය කල්‍යාණ මිත්‍ර ඇසුර අවශ්‍යවෙයි. සද්පුරුෂ ආශ්‍රයත් කල්‍යාණ මිත්‍ර ඇසුරත් නොමැති නම්, අප මාර්ග ඵල ලැබිය හැක්කේ කෙසේද?සාරය තුළ ජීවත් වීමට අවස්ථාව උදාවන්නේ සද්පුරුෂ ඇසුර හමුවුවහොත් පමණයි. ඇතැම් පිරිමින් පවි කිරීමට අකැමැති වුවත්, තමාට ලැබී තිබෙන බිරිඳ අසීමාන්තික ආශාවන්ගෙන් පෙළෙන තැනැත්තියක් නම්, ලද දෙයින් සතුටට පත් නොවන අයෙක් නම්, සුඛෝපභෝගී ජීවිතයක දැඩිව ඇලුම් කරනවා නම්,ඇයගේ ස්වාමිපුරුෂයා සිල් ආරක්ෂා කරන්නේ කෙසේද?

එවැනි පරිසරයක් උදාවුවහොත් එම ස්වාමිපුරුෂයා සීලය ආරක්ෂා කරන්නේ කෙසේද?ඇය බලාපොරොත්තු වන සුඛෝපභෝගී ජීවිතය උදාකර නොදුනහොත් ගැටුමක් නිර්මාණය වෙයි. එවැනි පරිසරයක් තුළ ජීවත් වීමට පවතින අකැමැත්ත නිසාම කෙසේ හෝ මුදල් රැගෙන ආයුතු බවට ඇතැම් පිරිමින් විසින් කල්පනා කරනු ලබයි. ඔහු බොරු කියයි. අල්ලස් ගැනීමට පෙළඹෙයි. වැරදි ලෙස කාමයට අදාළ වන බැඳීම් සඳහා යොමු වෙයි.ඒඩ්ස් ආයතනය කළ පර්යේෂණයකට අනුව ලංකාවතුළ පිරිමින් තිස්එක්දහසක් පමණ ගණිකා වෘත්තියෙහි නියැලෙන බවට ප්‍රකාශ වෙයි. ඇතැම් පිරිමින් පව්කිරීමට පෙළඹීමට තරම් ඔහුගේ ගෙදරින් කුමන බලපෑමක් එල්ල වනවා ඇතිද? එතැනට පිරිමියෙකු තල්ලු කරනු ලබන්නේ කුමන ආකාරයක ජීවිතයක් අපේක්ෂා කරන නිසාද?ඇසුරු කිරීමට ලැබෙන පුද්ගලයන් සද්පුරුෂයන් නොවී අසද්පුරුෂයන් වුවහොත් කිසිවෙකුටවත් සරු දෙය සරු ලෙස දැක ජීවත් වීමට නොහැකි වෙයි. නිසරු දෙය නිසරු ලෙස දකිමින් ජීවත් විය නොහැකි වෙයි. අසද්පුරුෂ ස්වාමියෙකු තමන්ගේ ජීවිතයට සමීප වුවහොත් තමන්ගේ ජීවිතයෙන් වැඩි කාලයක් අසද්පුරුෂයන් සමඟ ගෙවීමට සිදුවෙන නිසාම සාරයෙහි ආසන්නයටවත් පැමිණිය නොහැකි වෙයි. පවට බයක් ලැජ්ජාවක් නැති හිරිඔතප් නැති අසීමාන්තික ආශාවන්ගෙන් පිරුණු , කිසිවකින් තෘප්තියක් නොමැතිව,සෑම දෙයකම සීමාව ඉක්මවා ප්‍රාර්ථනා කරන පුරුෂයෙකු තමා සමඟ අවුරුදු විස්සක සිට ජීවත් වීම ආරම්භ කළහොත් අසද්පුරුෂයෙකු සමඟ කෙතරම් කාලයක් ජීවත් වීමට සිදුවෙයිද?කිසිවකින් සතුටු නොවන පව්කාරයෙකු සමඟ අවුරුදු පනහක් ජීවත් වීමට සිදුවුවහොත් , එම ජීවිතය කෙතරම් අපහසුතා ඇතිකරයිද?සිතින් වගේම කයෙන් කෙතරම් පව් කිරීමට සිදුවෙයිද?පවිකිරීමට එකඟ නොවී වැරැදි අනුමත නොකළහොත් , එම වැරැදි දැක නොදැක්කාසේ නොසිටිය හොත්, එම වැරැදි සඳහා උල්පන්දම් නොදුන්නහොත් ,කෙතරම් ප්‍රශ්න පැන නඟීද? සැමදාම ගැටුම් නිසා මානසික සුවයක් නොමැති වෙයි. මානසිකව හෝ සැනසිල්ලෙන් සිටිය යුතුයි යන සිතිවිල්ල නිසා පව්වලට අකැමැත්තෙන් වුවත්,එකඟ වීමට පටන් ගනී. යම්කිසි ආකාරයකින් මෙලොව සැනසිල්ලක් ඇතිවුවත්, සංසාරික වශයෙන් මහා දුකකට පත්වීමට එම කාරණා හේතු වෙයි. එය කිසිවෙකුටවත් වැළැක්විය නොහැකියි.

එම නිසා ඇතැම් පුද්ගලයන් නැවත හමුවිය යුතු යැයි අප ප්‍රාර්ථනා කරනු ලබන්නේ නැහැ. සද්පුරුෂ ගුරුවරයෙකු ශිෂ්‍යයන්ට මුණ නොගැසුණ හොත් ,එම ශිෂ්‍යයාගේ සම්පූර්ණ ජීවිතයම අඳුරට යයි. ගුරුවරයෙකුට සද්පුරුෂ ශිෂ්‍යයන් හමුනොවුණ හොත් ,එම ගුරුවරයාගේ සම්පුර්ණ ජීවිතයම අඳුරට ගමන් කරයි.

සද්පුරුෂයන් නොමැතිව ජීවත් වීම නිරයක ජීවත් වනවා සේ කරුම ගෙවීමට සිදුවෙයි. අපායක ජීවත් වනවා සේ දුක් විඳිමින් ජීවත් විමට සිදුවෙයි.එම නිසා ගිහි සමාජය ෙවිවා පැවිදි සමාජය ෙවිවා අසද්පුරුෂයන් යම් ස්ථානයක සිටිනවා නම්, අසද්පුරුෂ ඇසුර අතිශයින් දුෂ්කර වෙයි. ඔබ කුමන ආකාරයක පිනක් සිදුකළත් සසර තුළ මෙන්ම මේ භවය තුළදීත් සද්පුරුෂයන් මුණගැසිය යුතු බවට ප්‍රාර්ථනා කළ යුතු බවට බුදු දහම උපදෙස් ලබාදෙයි.සද්පුරුෂ ආශ්‍රය ප්‍රාර්ථනා කිරීම අපගේ ජීවිතයට අවශ්‍යම කාරණාවක් වෙයි. බුදුරජාණන් වහන්සේ හමුවීමට පැමිණි ශ්‍රේෂ්ඨ පිරිමියෙකු සහ කාන්තාවක් බුදුරජාණන් වහන්සේ හමුවෙහිදීම මෙවැනි ප්‍රාර්ථනාවක් සිදුකළා. අංගුත්තර නිකායේ නකුල සුත්‍රයෙහි එම ප්‍රාර්ථනාව පිළිබඳව සඳහන් වෙයි. නකුල සූත්‍රයෙහි නකුල පියතුමා සහ නකුල මාතාව බෞද්ධ සාහිත්‍ය තුළ හමුවන ශ්‍රේෂ්ඨ කාන්තාවක් සහ පිරිමියෙක් වෙයි. එම දෙදෙනා බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණ මෙවැනි ප්‍රකාශයක් සිදුකළා. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ෙමි නකුල මාතාව සමඟ විවාහ ජීවිතයට පත්වු දවසේ සිට සිතින්වත් මා ඉක්මවා නොගිය බව මට විශ්වාසයි. කයින් මාව ඉක්මවා නොගිය එක පිළිබඳ කවර කතාද? සමඟ විවාහ වූ දා පටන් ශිලාදී ගුණ ආරක්ෂාකරමින් ඉතාමත් යහපත් කාන්තාවක ලෙස තවමත් මා සමඟ ජීවත් වෙයි. නැවත උපදින සෑම භවයකම නකුල මාතාව මාගේ බිරිඳ ලෙස ඉපදෙන ලෙසට මම ප්‍රාර්ථනා කරනවා ස්වාමිනී, යනුවෙන් නකුල පියතුමා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළ පසු නකුල මාතාවත් එම අදහසම ප්‍රකාශ කළා. ස්වාමීනී, නකුල පියතුමා මා විවාහ කරගෙන ගෙදරට කැන්දාගෙන පැමිණි දින පටන් සිතින් වත් මාව ඉක්මවා ගියේ නැහැ.

ඔවුන් දෙදෙනා මෙම ප්‍රාර්ථනාව සිදුකළේ විවාහ වී බොහෝ වයස්ගත වු පසුව. ඉතාම ගැඹුරු ආදරයක් අධ්‍යාත්මික ප්‍රේමයක් යමෙකු තුළ හටගැනීමට බොහෝ කාලයක් ගතවෙයි. එම විශාල අවබෝධය ආලය ඉක්මවා ගිය අවුරුදු පනහක් යමෙකු සමඟ ජීවත් වූවාට පසු ඔහු හෝ ඇය පිළිබඳ ගැඹුරු ආදරයක් පැමිණෙනවා නම්,ලිංගික තෘෂ්ණාව ඉක්මවා ගිය,රාගය ඉක්මවා ගිය අධ්‍යාත්මික බැඳීමක් වෙයි. නකුල මාතාව ඉතාම සන්තෝෂයෙන් නකුල පියතුමා පිළිබඳව එම ප්‍රකාශය කරනු ලැබුවේ මමත් මෙතුමා සෑම භවයකම ප්‍රාර්ථනා කරන බවට සඳහන් කරීමට තරම් ,කෙතරම් විශ්වාසයක් කෙතරම් අවබෝධයක් එකිනෙකා පිළිබඳව තිබෙන්න ඇතිද? සද්පුරුෂ සැමියෙක් හෝ සද්පුරුෂ බිරිඳක් නොවන බවට අල්පමාත්‍ර හෝ සැකයක් තිබුණා නම් එසේ ප්‍රාර්ථනා කරනු ලබන්නේ නැහැ.

නකුල සුත්‍රය තුළ මෙම දෙදෙනාම අමතනමින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලැබුෙවිද ගෘහපතියනි, ඔබලාට සංසාරික ගමනේදී ඊළඟ භවයේදීත් එම හමුවීම ඔබට අවශ්‍යයි නම්, ඔබලා කරුණු හතරකින් සමන්විත යුතුයි. සම ශ්‍රද්ධා ,සම ශීල ,සමත්‍යාග , සමප්‍රඥාා යන සීලයෙන් පිරිමියා සහ කාන්තාව දෙදෙනාම එක සමාන වූ ශ්‍රද්ධාවකින් යුක්ත විය යුතුයි. බුදුරජාණන් වහන්සේ ගේ සම්මා සම්බුද්ධත්ව පිළිබඳවය සැකයක් නොමැතිව පිරිමියා විසින් විශ්වාස කරනවා නම්, එලෙසම බිරිඳත් බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය සැක නොකර පිළිගත යුතුයි.

මෙම ලිපියෙහි තවත් කොටසක් (ජනවාරි 27) දුරුතු අමාවක පෝදා පත්‍රයේ පළවේ.

 

දුරුතු අව අටවක පෝය

දුරුතු අව අටවක පෝය ජනවාරි 19 බ්‍රහස්පතින්දා අපරභාග 02.37 ට ලබයි. 20 වන දා සිකුරාදා අපර භාග 04.54 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 19 වන දා බ්‍රහස්පතින්දාය.

 

මීළඟ පෝය ජනවාරි 27 සිකුරාදායි.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 19

Full Moonඅමාවක

ජනවාරි 27

First Quarterපුර අටවක

පෙබරවාරි 04

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 10


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]