UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අමරපුර පාර්ශ්වයේ පදවි ලබති

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අමරපුර පාර්ශ්වයේ පදවි ලබති

අමරපුර පාර්ශ්වයේ සම මහානායක පදවියට පත් කොටුගොඩ ධම්මාවාස මහ නා හිමි

බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක – භික්ෂූන් වහන්සේලා විසින් ගෙවී ගිය, දෙදහස් පන්සිය වසරකටත් වඩා වැඩි කාලයක් පුරා මේ දක්වා ඉටුකරගෙන එනු ලබන්නෝ තම ශාස්තෘන් වහන්සේගේ ක්‍රියා මාර්ගයමය. ශ්‍රී ලංකාද්වීපය ඇතුළු අනිකුත් බෞද්ධ රටවල ද භික්ෂූන් වහන්සේ තම කාර්යභාරය සියලු බාධක මග හරවාගෙන ඉටු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් දැනුදු බුදු සසුන ලොව පුරා පැතිර පවතින බව සඳහන් කළ යුතුව ඇත. එවන් අයුරින් සළකා බලන විට අපේ රටේ සඟ පරපුර බුදු සසුනට සෝභාමත් කරනු සඳහා ආරක්ෂා කර ගැනීම සඳහා දරා ඇති ප්‍රයත්නය සුළුපටු කරුණක් වශයෙන් සැලකිය නොහැකිය. ඒ සඟ පරපුරටම අයත් නූතන භික්ෂූන් වහන්සේලා අතර, සසුන මහඟු සේවාවක් කරන දැනට ද යෙදී සිටින, අග්ගමහා පණ්ඩිත, මහෝපාධ්‍යාය කොටුගොඩ ධම්මාවාස මාහිමිපාණන් වහන්සේ විශේෂත්වයෙහිලා සැලකිය යුතුව තිබේ. අමරපුර මහා නිකායේ කාරක සංඝ සභිකයාන නමක් වශයෙන්ද, පසුව සම්මාන නායක පදවියකින් ද, අනතුරුව අධිකරණ නායක පදවිය ද හොබවන ලද කොටුගොඩ ධම්මාවාස නාහිමිපාණෝ පසුව අනුනායක පදවියේද කලක සිට සේවය කොට ඇත. ඉකුත් 17 වැනි ශනි දින නාවල විමල විහාරස්ථානයේ දී පවත්වන ලද ශ්‍රී සුමංගල කාරක සංඝ සභාවේ දී අග්ගමහා පණ්ඩිත රාජකීය පණ්ඩිත ශ්‍රී ධම්මකුශල වංශාවතංස අතිපූජ්‍ය අම්බලන්ගොඩ ශ්‍රී සුමංගල මහා නා හිමියන් සහ පානදුර රංකොත් විහාරාධිපති කැලණි සරසවියේ මහාචාර්ය, අංශාධිපති, රාජකීය පණ්ඩිත කහපොල සුගතරතන අනු නා හිමියන්ගේත් යෝජනා ස්ථිරත්වයෙන් මහා සංඝ සභාවේ ඒකමතික තීරණය අනුව කොටුගොඩ ධම්මාවාස නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ නිකායයේ සම මහානායක පදවියට පත්කරගනු ලැබූහ.

කොටුගොඩ ධම්මාවාස යන නම කියැවෙන විට ඇසෙන විට ලොකු කුඩා සෑම දෙනෙකුන් විසින්ම ලැදිකමින් ඇහුම්කන්දෙන, නමක් බවට පත්වී ඇත. උන්වහන්සේ ඉතාමත් සරල සුගම ශෛලිගත සැලසුමකට අනුව ධර්ම දේශනා කරති. ඉතා ගැඹුරු ධර්ම කරුණු අටුවා, ටීකා, ටිප්පනී ආදිය ඇසුරු කොටගෙන සුදානමකින් යුතුව ඒ පවත්වනු ලබන ධර්මදේශනාවලට ගිහි පැවිදි දෙපක්ෂයේම මනස ඇදී ගොස් ඇත. පෙර පිනක බලයෙන් දේශනාවන්හිදී වචන වාක්‍යය ගලාගෙන එන ආකාරය අසාගෙන සිටීමට ද බෞද්ධ අබෞද්ධ සියල්ලෝම දක්වනු ලබන්නේ මහත් වූ උනන්දුවකි. ඒ නිසාම ගුවන්විදුලි, රූපවාහිනී, ධර්මදේශනාවන් කොටුගොඩ මහා නාහිමිපාණෝ ප්‍රමුඛස්ථානයක් දිනාගෙන ඇත.

ධර්මය පිළිබඳ පොත පත ලිවීමෙන්ද කොටුගොඩ මහා නාහිමිපාණෝ කාගේත්, සිත් සතන් දිනාගෙන ඇත. සාසන පටිපදා, පිරිනිවන් මඤ්චකය, කේතුමතී රාජධානිය, කෝසල රාජ සිහින, මගඵල ලාභීන්, අනන්ත ජින උතුමාණෝ ඉස්මතුවන සම්බුදුගුණ අන්තිම බුද්ධ පූජාව ආදී ග්‍රන්ථ විසිපහකටත් වඩා වැඩි ගණනක් උන්වහන්සේ අතින් ලියැවී මුද්‍රණය වී ඇත. එයද සුවිශේෂ දක්ෂතාවයක් වශයෙන් දක්වාලීම වැදගත්ය. මෙවන් ගුණ සලකා උන්වහන්සේට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායයේ අමරපුර පාර්ශ්වයෙහි මහානායක පදවිය ශ්‍රී සුමංගල කාරක සංඝ සභාව විසින් ඒකමතික තීරණයෙන් පත්කරගන්නා ලදී.

කොටුගොඩ ධම්මාවාස මහා නා හිමියන්ට අපේ රටේ නිකායත්‍රයෙන්ම විවිධ ගෞරව නාම පිරිනමා ආශිර්වාද කොට ඇත. දීර්ඝ කාලයක සිට චීනය, ඉන්දියාව, නේපාලය, ජපානය, තායිලන්තය, බුරුමය ආදී රටවලද, එංගලන්තය, ඇමරිකාව ප්‍රධාන කොටගත් අපරදිග රටවලද ප්‍රමුඛ ධර්මදූතයාන කෙනෙක් වශයෙන් උන්වහන්සේ ලබා ඇති ප්‍රසිද්ධිය ලංකාවාසී ගිහි පැවිදි දෙපක්ෂයම අගේකොට සලකති.


අමරපුර පාර්ශ්වයේ අනු නායක පදවියකින් පිදුම් ලද රද්දොළුවේ විමලවංස නා හිමි

සීදුව රද්දොළුව ගම් ප්‍රදේශයෙහි ප්‍රසිද්ධ වෙද පරපුරකට අයත් පී. සලමන් පෙරේරා වෙදමහතාට සහ ටී. ජෙනී චාලට් පීරිස් මහත්මියට දාව ජ්‍යෙෂ්ඨ පුතනුවන් ලෙස 1945 ජනවාරි 18 වන දින උපත ලත් පී. දයාසෝම වෛද්‍යතිලක නම් කුමරා මිනුවන්ගොඩ නාලන්දා විදුහලෙන් අධ්‍යාපනය ලැබ සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත්ව පැවිදි බවට පත් වූයේ 1964 මාර්තු 12 වන දීය. රද්දොළුව සුබෝධාරාමය සහ අභිනවාරාමයෙහි විහාරාධිපති රද්දොළුවේ අරියවංස මාහිමිපාණන් වහන්සේගේ සහ රද්දොළුවේ අමරවංස සම්මාන අනුනාහිමිපාණන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යවරයාණන් වශයෙනි. පසුව පානදුරේ රන්කොත් විහාරාධිපති මහාචාර්ය මොරටුවේ සාසනරතන අනුනාහිමිපාණන් වහන්සේ යටතේ රන්කොත් විහාරස්ථ ශ්‍රී සෞගත විද්‍යාල පිරිවෙනෙන් අධ්‍යාපනය ලැබ එහි ඉංගී‍්‍රසි ගුරුවරයෙක් ලෙස 1975 සිට සේවය කළ අතර 1982 දී මීරිගම ඉංගී‍්‍රසි ගුරු විදුහලෙන් පුහුණුව ලැබීමෙන් අනතුරුව ගම්පහ දොරණෑගොඩ සදානන්ද මහ පිරිවෙනෙහි සේවය කළහ.

මීට අමතරව බලගල්ල බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙහි ඉංගී‍්‍රසි උපදේශකයෙකු වශයෙන්ද සේවය කළහ. ගුරු සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු ජර්මනියෙහි බොන් විහාරස්ථානයෙහි විහාරාධිපති වශයෙන් වසර 7 ක් යුරෝපයෙහි ධර්ම ප්‍රචාරක කටයුතුවල නිරතවූහ. 2003 වසරෙහි ඉතාලියෙහි කතානියා නගරයෙහි සිසිලි විහාරස්ථානයද ආරම්භ කරන්ට යෙදුණි. යුරෝපයෙහි වැඩසිටිය කාලය තුළ නෙදර්ලන්තය, එංගලන්තය, ස්වීඩනය, ඩෙන්මාර්කය, ප්‍රංශය සහ ඉතාලිය වැනි රටවලද ධර්ම ප්‍රචාරක කටයුතුවල නිරත වූහ.

යුරෝපයට වැඩම කිරීමට පෙර රද්දොළුව සුබෝධාරාමයෙහි දියුණුව පිණිස විශාල සේවයක් ඉටුකරන්නට යෙදුනු අතර එහි ප්‍රතිඵල වශයෙන් දැකුම්කළු දර්ශනීය විහාරස්ථානයක් බවට පත් කළේ නාහිමියන්ගේ අප්‍රතිහත ධෛර්යය නිසාය. 2006 වසරෙහි ශ්‍රී ධර්මානන්ද පිරිවෙන ආරම්භ කිරීමෙන් ප්‍රදේශයෙහි බෞද්ධ ජනතාවට විශාල සේවයක් සිදු කරන විහාරස්ථානයක් බවට පත් කර තිබෙන බවද ප්‍රශංසාත්මකව සඳහන් කළ යුතුව ඇත.

අමරපුර පාර්ශ්වයේ වාර්ෂික උපසම්පදාව සිදුකිරීම පිණිස දිවංගත ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ ඇමැතිතුමාගේ අනුග්‍රහයෙන් අත්තනගලු ඔයෙහි නදී සීමාමාලකය සාදා ගැනීමෙන් පසු 2005 වසරේ සිට අමරපුර පාර්ශ්වයේ වාර්ෂිකව උපසම්පදා විනය කර්මය උසස් ආකාරයෙන් සිදුකිරීම නාහිමිපාණන් වහන්සේගෙන් ඉටුවන උසස් ශාසනික ක්‍රියාවකි. මෙම ස්ථානය අක්කර තුනකින් පමණ සමන්විත වන අතර මෙම පූජනීය භූමිය විමල විහාරස්ථානය ලෙස නම්කර තිබෙන්නේ උදම්මිට විමලදාස මුදලාලි මහතා සහ එම මහත්මිය සිහිකිරීම සඳහා සිය පුත් උදම්මිට පදිංචි නිමල්සිරිද සිල්වා මහතා විසින් පූජා කරන ලද බැවිනි.

නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පවතින ශ්‍රී පඤ්ඤානන්ද දහම් පාසලෙහි ශිෂ්‍ය ශිෂ්‍යාවන් 1500 කට ආසන්න ප්‍රමාණයක් ඉගෙනුම ලබන ජනපි‍්‍රය දහම් පාසලක් බවට පත්ව ඇත. මේ හැර ශ්‍රී සුගත ඉංගී‍්‍රසි මාධ්‍ය දහම් පාසල බොරැල්ල තරුණ බෞද්ධ සංගමයේ ප්‍රසාදය දිනාගත් දහම් පාසලක් බවට පත්ව තිබෙන්නේ උසස් ප්‍රතිඵල සෑම වර්ෂයකදීම ලබන නිසා ය.

අමරපුර නිකායෙහි අමරපුර පාර්ශ්වයෙහි ලේඛකාධිකාරී ධූරය සහ අධිකරණ නායක ධුරයත් දරමින් කරන ලද සේවයට උපහාර වශයෙන් අනුනායක ධූරයකට පත් කිරීම අප නාහිමිපාණන්ට මෙන්ම විහාරස්ථානයටත් ප්‍රදේශයටත් කරන ලද උපහාරයක් ලෙස සලකමි. දෙස් විදෙස්වල උසස් ශාසනික මෙහෙවරක් ඉටුකරන අභිනව අනු නා හිමියන්ට දිගාසිරි පතමි.


ලේකම් පදවියෙන් පිදුම් ලද නින්දානේ චන්දවිමල නා හිමි

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අමරපුර පාර්ශ්වීය ශ්‍රී සුමංගල කාරක සංඝ සභාව විසින් එම නිකායෙහි ලේඛකාධිකාරී ධූරය සඳහා වරකාපොල අඹේපුස්සේ මෙත්මුනිගම මෙත්මුනි විහාරාධිපති ශ්‍රී වන්දමුනි වංශාවතංශ මෛත්‍රී ජිනනන්දන දර්ශන ශාස්ත්‍රී ශාස්ත්‍රපති නින්දානේ චන්දවිමල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පත්කර ගන්නා ලදහ. මෙම ධුරය හෙබවූ ප්‍රවීණාචාර්ය රද්දොළුවේ ශ්‍රී විමලවංස ස්වාමීන්ද්‍රයන් වහන්සේ එම නිකායෙහි අනුනායක ධූරයට පත් වූ හෙයින් එම පුරප්පාඩුව සඳහා චන්දවිමල නාහිමියන් එම සම්භාවනීය ධූරය සඳහා පත් කරගනු ලැබිණ.

අම්බලන්ගොඩ නින්දාන නම් සුන්දර ගම්මානයේ රුහුණුතිස්ස පවුලේ ඉපිද කෝදාගොඩ උපතිස්ස විද්‍යාලයෙහි සිප් හදාරමින් සිටියදී බොදු පිළිවෙතට නැඹුරුව අට හැවිරිදි වියේ පටන් ම නිර්මාංස ආහාරයට හුරුවෙමින් සිටි මේ කුමරුවා ඔහුගේ දෙමාපියන් විසින් සසුනට පුදන ලද්දේ ඉමහත් සැදැහැ සිතිනි. පානදුර වැලිපිටියේ අභයකරුණාරත්න මුදලින්දාරාම මහා විහාරයෙහි වැඩවිසූ විමලකීර්ති ශ්‍රී පණ්ඩිත කෙසෙල්වත්තේ ශ්‍රී චන්දමුනි නාහිමියන්ගේ සිසු රුවනක් සේ පැවිදි වූ පසු හඳුන්වන ලද්දේ නින්දානේ චන්දවිමල නමිනි.

තමන් වහන්සේ පැවිදි වූ අභයකරුණාරත්න මුදලින්දාරාමයේ සාම්ප්‍රදායික අනන්‍යතාව වූ අභිධර්ම වෛශාරද්‍යයට හිමිකම් කියනු රිසි වූ චන්දවිමල හිමියෝ සිය ගුරු හිමිපාණන් වෙතින් ම අභිධර්මය මනාව හදාරා වයස දහසය වන විට අභිධර්මාචාර්ය විභාගය සමත් වූහ. උන්වහන්සේ ප්‍රාචීන භාෂා ශාස්ත්‍ර විෂයෙහි පිරිවෙනක වසර ගණනක් උගත යුතු පාඨමාලාව ගුරුදේවයන් වහන්සේගේ උපදෙස් අනුව ඉතා ඉක්මනින් හදාළහ. උන්වහන්සේගේ උත්සාහය අගය කළ පීටර් ප්‍රනාන්දු නම් ගුරුතුමා සිය කැමැත්තෙන් අධ්‍යයන පොදු සහතික විභාගයේ පාසල් විෂයයන් හැදෑරීම පිණිස චන්දවිමල හිමියනට උපකාරී වූහ. එම විභාගය සමත් වීමෙන් දිරිමත් වූ උන්වහන්සේ ස්වාධ්‍යයනය මගින් ම උසස් පෙළ විභාගය ද සමත්ව 1976 දී කැලණිය විශ්වවිද්‍යාලයට පිවිසෙන්නට සමත් වූහ. එහිදී ඉතිහාසය උප විෂයය වශයෙන් ද, බෞද්ධ දර්ශනය විශේෂ විෂය වශයෙන් ද සිවු වසරක් සිප් හදාරා ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය ලබා ගත්හ.

ශිෂ්‍යයකු වශයෙන් පිරිවෙනකට නොගිය චන්දවිමල හිමියනට ගුරුවරයකු වශයෙන් පිරිවෙන් දෙකකම ආචාර්ය මණ්ඩලයෙහි කටයුතු කරන්නට ලැබිණ. නොබෝ කලකින්ම අධ්‍යාපන අමාත්‍යාංශයට එක්ව මුලින් පාසල් ගුරුවරයකු සේ ද අනතුරුව විද්‍යාපීඨ කථිකාචාර්යවරයෙකු සේ ද ජාතික තලයේ අධ්‍යාපනික සේවයක යෙදෙන්නට භාග්‍යය උදා විය. එයින් දිරිමත් වූ උන්වහන්සේ රාජකාරී අතරතුර ම කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි ආයතනයේ බෞද්ධ දර්ශනය සහ බෞද්ධ ශිෂ්ටාචාරය හදාරා ශාස්ත්‍රපති උපාධියට ද හිමිකම් කීහ. උන්වහන්සේ අධ්‍යාපනය පිළිබඳ ඩිප්ලෝමාව ලබා ගත්තේ කොළඹ විශ්වවිද්‍යාලයෙනි.

මේ අධ්‍යාපන මෙහෙවර අතරතුර ශාසනික කටයුතු වෙතින් ද බැහැර නොවූ උන්වහන්සේට විහාරස්ථානයක් ඉදිකරනු පිණිස පොඩිමහත්මයා අදිකාරී මහතා විසින් වරකාපොල කැකිරිදෙණි කන්දෙන් බිම්කඩක් පිරිනමන ලදී. ඉතා සුළු කලක් තුළ එය සුරම්‍ය මහා විහාරයක් බවට පත් වූයේ චන්දවිමල හිමියන්ගේ අධිෂ්ඨාන ශක්තිය සහ කැප වීම හේතුවෙනි. කැකිරිදෙණි කන්ද මෙත්මුනි ගම වශයෙන් ලක්රජය විසින් නම් කරන ලදී. ලොව මෙතෙක් ඉදි වූ එක ම පද්මාමලක චෛත්‍යය සහිත එම විහාරය දොළොස් රියන් මෙත් බෝසත් නාථ දේව රූපයකින් ද අවලෝකිතේශ්වර සහ තාරා බෝසත් ප්‍රතිමාවලින්ද සමලංකෘත ය. එමෙන්ම විෂ්ණු, කතරගම, සූනියම්, සමන්, පත්තිනි සහ මහා භද්‍රකාලී දෙව් රූ සහිත දිව්‍ය මන්දිර වලින් ද යුක්තය.

යොවුන් අමද්‍යප සංවිධානය සහ දිවිසරණිය මෙන් ම දිමුතු ළමා සමාජය මඟින් බෞද්ධ ප්‍රජාව තුළ සාරධර්ම ප්‍රවර්ධනය සඳහා ඉමහත් මෙහෙවරක් කළ චන්දවිමල නාහිමියෝ යහමග සඟරාව සහ මෙත් මුනි ලිත මඟින් දීපව්‍යාප්ත බෞද්ධ සහෝදරත්වයක් වර්ධනය කළහ. පුවත්පත් සහ සඟරා මඟින් දහම් ලිපි සිය ගණනක් පළ කරවා ඇති උන්වහන්සේ අතින් රචනා වූ ග්‍රන්ථ අතර පිවිතුරු නම් පැදි එකතුව විශේෂත්වයක් දරයි. ඉන්දියාව, අමෙරිකාව, ජපානය වැනි රාජ්‍ය කිහිපයක ම සංචාරයෙන් ථෙරවාදී මෙන්ම මහායානික රටවල බෞද්ධ සිරිත් විරිත් මෙන් ම කලා ශිල්ප පිළිබඳව ද අවබෝධයක් ලබා සිටින උන්වහන්සේ සිය මෙත්මුනි වෙහෙර විදේශික සැදැහැවතුනට ද පි‍්‍රයංකර ස්ථානයක් බවට පත් කර ඇත.

කලක පටන් ම අමරපුර නිකායික කාරක සභාවේ ක්‍රියාකාරී සාමාජිකයකු වශයෙන් ඉටු කළ මෙහෙවර මෙන් ම පනස් වසරක් වූ පැවිදි දිවිය තුළ සාධනය කර ඇති අධ්‍යාපනික සහ ශාසනික කාර්ය භාරය අගයමින් වඩාත් පුළුල් කාර්ය භාරයක් යොමු කරමින් උන්වහන්සේට ස්ව නිකාය විසින් පවරන ලද අභිනව ධුරය සාර්ථකව ඉටු කරමින් ලෝ සසුන් වැඩ වඩන්නට නින්දානේ චන්දවිමල නාහිමියනට නිදුක් නිරෝගී සුව සහ දිගාසිරි පතමු.


අධිකරණ ලේකම් ධූරයෙන් පිදුම් ලද දොඩන්දූවේ සිරිකර නා හිමි

පානදුර පරත්ත චිත්ත භාවනා මධ්‍යස්ථානාධිපති ශාස්ත්‍රපති දොඩන්දූවේ සිරිකර නා හිමියෝ දෙවන වරටත් අමරපුර නිකායෙන් පිදුම් ලබති. දැන උගත් ධර්මධර භික්ෂූන් වහන්සේ නමක් වශයෙන් ගිහි පැවිදි බොහෝ දෙනාගේ ප්‍රශංසාවට ලක් වූ උන්වහන්සේ දොඩන්දූව දෙල්ගහදූව සොඳුරු ගම්මානයේ ‘නිල්දූව‘ නම් නිවසෙහි පදිංචි ජෝන් සිල්වා කාහිංගල හා ජූලිනෝනා කාහිංගල දම්පතින්ට දාව 1956 සැප්තැම්බර් 20 වන ජන්ම ලාභය ලැබූහ.

ආනන්ද ධර්මසිරි කාහිංගල නමින් හැඳින් වූ මේ කුමරුවා තිරාණගම ගා/ විද්‍යාතිලක විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබීය. එකළොස් වන වියේ දී දෙමාපිය කැමැත්ත මත අම්බලන්ගොඩ ශ්‍රී ධම්මකුසල මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ උපාධ්‍යායත්වයෙන් 1967 ජුලි මස 22 වන දින පැවිදි බිමට ඇතුළත්ව දොඩන්දූවේ සිරිකර නමින් හඳුන්වන්නට විය. මේ කුඩා සාමණේරයෝ අම්බලන්ගොඩ ශාස්ත්‍රෝදය පිරිවෙනින් මූලික අධ්‍යාපනය ද නුගේගොඩ ගංගොඩවිල සුභද්‍රාරාම විද්‍යායතන පිරිවෙනින් උසස් අධ්‍යාපනය ද ලබා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් 1982 දී ශාස්ත්‍රවේදී ගෞරව උපාධියත් 1993 දී කැලණිය විශ්වවිද්‍යාලයීය පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි ආයතනයෙන් ශාස්ත්‍රපති උපාධියත් ලබා ගත්හ. 1990 දී ගල්කිස්ස දක්ෂිණාරාමස්ථ නාලන්දා ධර්මායතන පිරිවෙනෙහි පරිවෙණාධිපති ධූරයට පත් වූ උන්වහන්සේ දෙස් විදෙස් හි ධර්ම චාරිකාවේ නිරත විය හැකි දක්ෂ ගිහි පැවිදි ශිෂ්‍ය පිරිසක් රටට දැයට දායාද කළහ.

පානදුර පරත්ත චිත්ත භාවනා මධ්‍යස්ථානයෙහි නිර්මාර්තෘවරයාණන් වහන්සේ ලෙස වැඩ සිටිමින් දෙස් විදෙස්හි ධර්ම ප්‍රචාරක කටයුතු කෙරෙහි ද යොමු වෙති. බුදු බණ සරල බසින් ගුවන් විදුලිය, රූපවාහිනිය, පුවත්පත් ආදී විවිධ මාධ්‍ය මඟින් ජනතාවට පැහැදිලි කර දීමට දක්ෂ උන්වහන්සේ දහම් පාසල් සේවයට ද අත ගැසූහ. ඒ අනුව ස්වකීය විහාරස්ථානයේ "සිරි සුගත" නමින් ධර්ම පාඨශාලාවක් අරඹා බෞද්ධ දූ දරුවනට දහම් පිපාසය නිවාලන්නට අතහිත දීම පැසසිය යුතු ය. තමා පොත පතින් ලද දැනුම මුවහත් කර ගැනීමට තායිලන්තය, ඉන්දියාව, නේපාලයටද වැඩම කළහ.

දොඩන්දූවේ සිරිකර ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ නායකත්වය, නිර්මාණශීලී බව, දුරදක්නා නුවණ, ධර්මාවබෝධය මෙන්ම දේශනා විලාසය පිළිබඳ ප්‍රසාදයට පත් අමරපුර නිකායේ ශ්‍රී සුමංගල කාරක සංඝ සභාව සාසන වංසද්ධජ සද්ධම්මජෝතික ප්‍රවචන කීර්ති ශ්‍රී කම්මට්ඨානාචාර්ය යන නාම සම්මුති සහිත සම්මාන නායක පදවිය 2007 වසරේ දී පිරි නැමීය.

දොඩන්දූවේ සිරිකර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සිදු කරන සමාජ මෙන්ම අධ්‍යාපනික හා ශාසනික උදාර සේවාව අගය කරමින් අතිගරු මහානායක සානුනායක ප්‍රමුඛ ශ්‍රී සුමංගල කාරක සංඝ සභාව උන්වහන්සේ වෙත අධිකරණ ලේකම්ධුරය පිරිනමා ඇත. විහාරාරාමවල පැන නගින ගැටලු සම්බන්ධයෙන් අධිකරණ මණ්ඩලය කැඳවීම හා තීන්දු තීරණ ගැනීමේ බලය නව නිලය හරහා උන්වහන්සේට පැවරෙන වගකීම වේ.

 

දුරුතු අව අටවක පෝය

දුරුතු අව අටවක පෝය ජනවාරි 19 බ්‍රහස්පතින්දා අපරභාග 02.37 ට ලබයි. 20 වන දා සිකුරාදා අපර භාග 04.54 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 19 වන දා බ්‍රහස්පතින්දාය.

 

මීළඟ පෝය ජනවාරි 27 සිකුරාදායි.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 19

Full Moonඅමාවක

ජනවාරි 27

First Quarterපුර අටවක

පෙබරවාරි 04

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 10


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]