UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වැලිවිට සරණංකර සංඝරාජ මාහිමි කෞතුකාගාරය

වැලිවිට සරණංකර සංඝරාජ මාහිමි කෞතුකාගාරය

මෙරටට සියම් දේශයෙන් උපසම්පදාව රැගෙන ඒමට මුල්වී ක්‍රියා කළේ වැලිවිට සංඝරාජ මාහිමියන් වහන්සේය.කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ සමයේ උපාලි මහතෙරුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙරටට වැඩමවා කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ මූලිකත්වයෙන් 1753 දී මෙරට උපසම්පදාව පිහිට වූ අතර වසර 79 ක් ආයු වැළඳී වැලිවිට සංඝරාජ මාහිමියන් බෞද්ධ පුනරුදය ඇතිකිරීමේලා සුවිශාල මෙහෙවරක් ඉටුකළ බව ඉතිහාසය කියයි.

කන්ද උඩරට රජවරුන් කීපදෙනෙකුගේම පාලන සමයේදී කටයුතු කළ වැලිවිට සංඝරාජ මාහිමියන් ගේ අචල, තිරසාර, ප්‍රශස්ත මාහැඟි ධර්මෝත්ගතිකාමී සේවය අගයනු වස් මහනුවර මල්වතු විහාර පරිශ්‍රයෙහි වැලිවිට සංඝරාජ කෞතුකාගාරය 1995 දී ස්ථාපිත කරන ලදී. වැලිවිට සංඝරාජ මාහිමියන් පරිහරණය කළ සියලුම භාණ්ඩ මෙන්ම ඉපැරණි වටිනා පුස්කොල පොත්ද මෙම කෞතුකාගාරයේදී දැකගත හැකිය.

සංඝරාජ මාහිමියන් කුඩා කල වැලිපිල්ලේ අකුරු ලිවීම සඳහා යොදාගත් දැවයෙන් නිම වන ලද වැලිපිල්ල ද මෙහිදී දැකගත හැකිය.

සඟරජ මා හිමි වැඩ සිටි පුටුව

රජසමයේදී රජගෙදර අරක්කැමියා විසින් කුඩා සාමණේර හිමි නමකට හැදිමිටෙන් හිසට වැරෙන් පහර දුන් බව දැනගත් රජතුමා අරක්කැමියාට මරණීය දණ්ඩනය නියම කර ඇත.

මරණයෙන් ගැලවීමට අරක්කැමියා මල්වතු මහා විහාරයේ සංඝරාජ මාහිමියන්ගේ කුටියට වැද ඇඳයට සැඟවුණු අතර රාජ පුරුෂයෝ ඒ බව රජුට සැලකර සිටියහ.

අරක්කැමියා සිටින කුටිය ඉදිරිපස කෙටේරියකින් සලකුණු කොට සංඝරාජ මාහිමියන් නිසා අරක්කැමියාට සමාව දෙන ලස රජු දැන්විය.

සංඝරාජ මාහිමියන් නිසා අරක්කැමියාට අභයදානය ලැබුණු අතර රාජපුරුෂයන් විසින් එසේ කෙටේරි පහරකින් කරවන ලද සලකුණ අදද දක්නට ලැබේ. එම කෙටේරි පහර වැදුණු තැන අද වසා දමා ඇත්තේ දැවදඬුවල ආරක්ෂාව පිණිසය. සංඝරාජ කෞතුකාගාරයේදී සංඝ රාජ මාහිමියන් පුස්කොළ පත්වල ලිවීම සඳහා පාවිච්චි කළ පන්හිඳ , පුස්කොළ පොත් කියවීමට යොදාගත් රමණීය කුඩා මේසය දැකගත හැකිය.

සංඝරාජ මාහිමියන් පිණ්ඩපාතේ වැඩීම සඳහා භාවිත කළ මැටියෙන් ඔප් නංවන ලද පාත්‍රයද ලන්දේසින් විසින් කීර්ති ශ්‍රී රාජසිංහ රජුට දුන් මුද්‍රිත පොතක් රජු විසින් මාහිමියන්ට පරිත්‍යාග කරන ලදුව එම පොත ද කෞතුකාගාරයේ වෙයි.

සියම් දේශයේ බොරොව්කොත් රජු විසින් මෙරට උපසම්පදාව පිහිටුවීමට ක්‍රියාකළ අතර එම රජු විසින් පරිත්‍යාග කරන ලද භාණ්ඩ රැසක්ද මෙම එකතුවට අයත් වෙයි. රන්පටැති සිවුර මෙන්ම අලංකෘත ගෙත්තම්වලින් යුත් ගමන්මඟද මෙහි දක්නට ලැබේ.

උපාලි මහ තෙරුන් වහන්සේ විසින් සංඝරාජ මාහිමියන්ට පරිත්‍යාග කරන ලද අගනා මැටි පාත්‍ර කීපයක්ද මෙහි ඇත.

සීතල සමයේදි සංඝරාජ මාහිමියන් ගිනිතැපීමට පාවිච්චි කළ අඩි එක හමාරක් උසැති ශක්තිමත් දැවමය ඇඳද එදිනෙදා පාවිච්චි කළ කැටයමින් අලංකෘත ඇඳද මෙහි දක්නට ලැබේ.

සංඝරාජ මාහිමියන් පාවිච්චි කළ වටාපත රජු විසින් සංඝරාජ මා හිමියන්ට දුන් පැලැක්කිය ද මෙහි ආරක්ෂිතව ඇත.

වැලිවිට අසරණසරණ සංඝරාජ මාහිමියන් විසින් අමුත්තන්ට ඉඳගැනීමට දුන් මුක්කල් බංකුවද සංඝරාජ හිමියන් පරිහරණය කළ ශක්තිමත් දැව පුටුවද මෙහි දක්නට ලැබේ.

කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් සංඝරාජ මාහිමියන්ට පරිත්‍යාග කළ භාණ්ඩ රැසක් මෙහි දක්නට ලැබේ. කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් මෙරට වෙහෙර විහාර 1000 කට අධික සංඛ්‍යාවක් ප්‍රතිසංස්කරණය කොට ඉදිකොට සංඝරත්නයට පූජාකළ බව හෙළ ඉතිහාසය සාක්ෂි දරයි. මහනුවර යුගයේ රජ කළ 1 වැනි විමලධර්මසූරිය රජුගෙන් පසු බෞද්ධ පුනරුදයට විශාල මෙහෙයක් ඉටුකළ කීර්ති ශ්‍රී රාජසිංහ රජු ගේ කාර්යභාරය මෙම කෞතුකාගාරයේ භාණ්ඩ එකතුවක්ද ප්‍රකාශිත වේ.

සංඝරාජ මාහිමියන්ගේ පුස්කොළ පොත් එකතුවක්ද මෙහි දක්නට ඇති අතර එය මෙරට වටිනාම පුස්කොල පොත් එකතුවෙන් එකකි. උපාසක මහතෙක් විසින් නවහැර අඩයක් සඳහා යොදාගත් පන්සිය පනස් ජාතක පොත දැකගත් සංඝරාජ හිමියන් එය මතු පරපුරේ ප්‍රයෝජනය සඳහා නව පුස්කොළ පොත් එකතුවට ඇතුළත් කරගත් අතර එම මහා ග්‍රන්ථයද මෙහි වෙයි.

මහනුවරට පැමිණි කවර බෞද්ධයකු වුවද යා යුතු ස්ථානයක් ලෙස වැලිවිට සංඝරාජ මාහිමි කෞතුකාගාරය දැක්විය හැකිය.
 

සංඝරාජ මාහිමියන් පරිහරණය කළ පාත්‍රය හා විජිනිපත වැලි පිල්ලෑව
 

ඉල් අව අටවක පෝය

ඉල් අව අටවක පෝය නොවැම්බර් 21 වනදා සඳුදා පූර්ව භාග 01.55 ට ලබයි. 22 වනදා අඟහරුවාදා පූර්වභාග 02.23 දක්වා පෝය පවතී. සිල්සමාදන්වීම නොවැම්බර් 21 වනදා සඳුදාය.
 

මීළඟ පෝය නොවැම්බර් 28 වනදා සඳුදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 21

Full Moonඅමාවක

නොවැම්බර් 28

First Quarterපුර අටවක

දෙසැම්බර් 07

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 13


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]