UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී මහා බෝධි පුරාණය -20: දෙතිස්ඵල රුහබෝධීන් වහන්සේ

දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේ

පසුගිය ලිපියෙන් ( නොවැම්බර් 07)අප කථාකළේ අෂ්ඨඵල බෝධීන් වහන්සේ පිළිබඳවයි. අපගේ උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛා පහක් පිහිටා තිබුණි. එහිදී නැඟෙනහිර පැත්තේ ශාඛාවේ පිහිටි බෝ බීජය මෝරා වැටුණි. මෙය සිදුවූයේ දේවානම්පියතිස්ස රජතුමා මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු බොහෝ පිරිස බලා සිටියදී ය. ඒ බෝ බීජය මිහිඳු මහරහතන් වහන්සේ රජුට ලබාදුණි. මහා ආසනයක් මත සුවඳ පස් පුරවා තිබුණු රන් කටාරමේ ඒ බෝ ගෙඩිය රජු රෝපණය කළේය. සියලු දෙනා බලා සිටියදීම ඒ බෝ ගෙඩියෙන් අංකුර අටක් පැන නැඟුණි.

එය රියන් හතරක් උසට යොවුන් බෝධින් වහන්සේලා බවට පත්වුණි. ඒ බෝධීන් වහන්සේ අටනම අෂ්ඨඵල බෝධින් වහන්සේ ලෙස හැඳින්වේ. ඒ බෝධීන් වහන්සේ අටනම දඹකොළ පටුන, තිවංක ගම, ථූපාරාමය, ඉසුරුමුනිය, පඨම චෛත්‍ය, මිහින්තලය, කතරගම, සඳුන්ගම යන අට ස්ථානයේ රෝපණය කළ බව ඔබට මතක ඇති. අද එතැන් සිට. . . .

මහියංගන පුදබිමේ පිහිටි දෙතිස්ඵල බෝධීන් වහන්සේ

අද අප කථා කරන්නේ දෙතිස්ඵල බෝධීන් වහන්සේ පිළිබඳවයි. අපේ සැදැහැවතුන් මේ පිළිබඳව නාමමාත්‍රිකව දැනුවත් බවක් විනා සවිස්තරව තේරුම් ගැනීමක් ඇති බවක් නො පෙනේ. ඒ උතුම් බෝ රජුන් තිස් දෙනම අතිශයින්ම ආනුභාව සම්පන්නය. ඒ පිළිබඳව විස්තර ඔබට ඉගෙන ගැනීමට හැකිවුවොත් එය කොතරම් ලාබයක්ද? භාග්‍යවතුන් වහන්සේ විසින් බෝධීන් වහන්සේ තමන් වහන්සේ හට උපමා කොට වදාළ සේක. ඒ බුදුරජාණන් වහන්සේට කරන සත්කාරයක් සේ බෝධී උපහාර කොට පින් රැස්කර ගත හැකිනම් එය ඔබගේ වාසනාවක් නොවේද?

දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේගේ හට ගැනීම

දෙතිස්ඵල බෝධීන් වහන්සේ හටගෙන ඇත්තේ මේ ආකාරයටය. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛා පහෙන් නැඟෙනහිර ශාඛාවෙන් ගිලිහුනු ඵලයෙන් හටගත් බෝධීන් වහන්සේ අටනම අෂ්ඨඵල බෝධීන් වහන්සේයි. උතුම් ජය ශී‍්‍ර මහා බෝධීන් වහන්සේගේ අනිත් ශාඛාවලත් ගෙඩි හතරක් හටගෙන තිබුණි. ඒවායෙන් යොවුන් බෝධීන් වහන්සේලා තිස් දෙනමක් හට ගැනුණි. එසේවූයේ මේ ආකාරයට ඒ බෝපැල හොඳින් මෝරා තිබූ නිසාය. එක ශාඛාවකින් එක බීජය බැඟින් බෝ බීජ හතර ගිලිහුණි. එක බීජයක් සුවඳ පසේ රෝපණය කළවිට බෝ රුක් අටක් හට ගැණුනි. මේ ආකාරයට බෝ බීජ හතරෙන් අට බැඟින් දෙතිසක් හට ගැනුණි. මේ දෙතිස්ඵල බෝධීන් වහන්සේ සෑම නමක්ම උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ බීජයෙන් හට ගත් ඒවා විය.

යොදුනෙන් යොදුන බෝධීන් වහන්සේගේ රෝපණය

අපගේ දේවානම්පියතිස්ස රජු ලක්දිව පුරා යොදුනෙන් යොදුන ඒ ඒ විහාරවල ඒ බෝධීන් වහන්සේ රෝපණය කරවීය. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ තුළ පිහිටි අප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ තේජස කරනකොටගෙන ලංකාවාසීන්ගේ හිතසුව පිණිස මේ ආකාරයට මැනවින් පිහිටි සේක. මේ විස්තර මහාවංශයේ මෙසේ දක්වා තිබේ.

දීපවාසිජනස්සේ ව – හිතත්ථාය පතිට්ඨිතේ
මහාබෝධිදුමින්දම්හි - සම්මාසම්බුද්ධ තේජසා

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ තුළ පිහිටි අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ තේජස කරණ කොටගෙන ලංකාවාසීන්ගේ හිතසුව පිණිස මැනවින් පිහිටියේය.

දෙතිස්ඵල බෝධීන් වහන්සේ පිහිටි ස්ථාන

ඒ උතුම් දෙතිස්ඵල බෝධින් වහන්සේලා පිහිටියේ කිනම් ස්ථානවලද කියා බෝධිවංශයේ මෙසේ සඳහන් වෙයි.

1). මල්වැස්සා වෙහෙර, 2). තන්ත්‍රිමාල වෙහෙර (තන්තිරිමලේ), 3). මහා ජල්ලික කොවුල්ගම, 4). කොට්ටියාරම, 5).පොළොන්නරුව, 6). මාතලේ රුසිගම, 7). රුහුණේ මාගම, 8). විල්වල, 9). මහියංගන විහාරය, 10) විල්ගම් වෙහෙර, 11) මුතියංගනය, 12) බුත්තල හප්පෝරු වෙහෙර, 13) සිතුල්පව් වෙහෙර, 14) වනවාස වෙහෙර, 15) වැලිගම් වෙහෙර, 16) පරගොඩ, 17) මැද්දේගම , 18) ගණේගම, 19) පුසුල්පිටිය, 20). මායාරට වතුර, 21). බෙලිගල, 22). බෙල්ලන්විල, 23). වදුරව, 24). වට්ටාරම, 25). සුළුගල්ල, 26). රැස්වෙහෙර, 27). කටියාව, 28). ගිරිබා වෙහෙර, 29). යාපහුවේ සුන්දරගිරි විහාරය, 30). කසාගලු වෙහෙර, 31). රජමහ වෙහෙර, 32). පොත්ගල් වෙහෙර මේ ස්ථානයන්හි ඒ උතුම් දෙතිස්ඵල බෝධීන් වහන්සේලා මනාව පිහිටි සේක.

මේ අනුව ලක්දිව නා නා ප්‍රදේශවල මේ උතුම් බෝධීන් වහන්සේ පිහිටා තිබීමම කොතරම් වාසනාවක්ද? ලක්වැසි පින්වතුනට මහා පූජාවන් කොට පින් දහම් රැස්කර ගැනීමටත්, පිහිට පිළිසරණ ලබා ගැනීමටත්, එයම උපකාරයක්. මුළු ලක්දිවම බුද්ධානුභාවයෙන් පිහිටීමත්, ලක්දිවේ ආරක්ෂාවත් මේ අනුව මුල් බැස ගත්තේය.

මේ උතුම් දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලා අතර අද අපට කිලිවෙඩ්ඩිය (සේරුවිල අසල සෝම නුවර පිහිටි) බෝධීන් වහන්සේ නැත. මිසදිටුවන් විසින් එය විනාශ කර ඇත. තවත් බෝධින් වහන්සේලා අනිත්‍යය වසඟයටම ගියේ නා නා හේතු මත විනාශ වීමෙනි. අද පැරණි බෝධි ප්‍රාකාරවල නටබුන් පමණක් දක්නට ලැබේ. තවත් බෝධීන් වහන්සේලා පරම්පරා දෙක තුනක් අලුත් වී ඇත. ඒ කියන්නේ පැරණි බෝධීන් වහන්සේගේ පැරැණි වෘක්ෂය අපවත් වී මුලින් හෝ කඳින් නැවත හටගෙන තවත් උතුම් බෝධීන් වහන්සේලා පැරැණි බව ප්‍රකට කරමින් බොහෝ දෙව් මිනිසුන්ට හිතසුව පිණිස තේජමානව වැඩ සිටින සේක.

බැතියෙන් නමදිමු බෝ රජුනේ

මීට අමතරව කැලණියේ උතුම් බෝධීන් වහන්සේ, කළුතර උතුම් බෝධීන් වහන්සේ, මාතර උතුම් බෝධීන් වහන්සේ ආදී බෝධීන් වහන්සේලා බෝහෝ දෙනාගේ වැඳුම් පිදුම් සත්කාර සම්මාන ලබමින් විරාජමානව වැඩ සිටියි. ඒ වගේම නමින් සඳහන් කළ නොහැකි වුවත් නා නා ආනුභාව ප්‍රාතිහාරය සහිතවූත්, පුදුම සහගත ලෙස පිළිසරණ සැළසෙන, බෝධීන් වහන්සේ මේ උතුම් ලක්දිිවේ නොයෙක් ප්‍රදේශවල වැඩ සිටිති. ඒ උතුම් බෝධීන් වහන්සේලාට අනතුරු කිරීමට යෑම නිසා සිදුවූ විපත් ගැනද විටින් විට අපට අසන්නට ලැබේ.

දඹදිව උතුම් වජිරාසනය මත පිහිටි විජය ශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ පිළිබඳවත්, ඒ උතුම් බෝධීන් වහන්සේගේම දක්ෂිණ ශාඛා වහන්සේ වන අනුරාධපුර උඩමළුවේ වැඩ වසන ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිළිබඳවත්, ආනන්ද බෝධීන් වහන්සේ පිළිබඳවත්, අෂ්ඨඵල බෝධීන් වහන්සේ පිළබඳවත් දෙතිස්ඵල බෝධීන් වහන්සේ පිළිබඳවත්, බෞද්ධයකු දැනගත යුතු කරුණු ඔබ දැන් දන්නා බව අපගේ විශ්වාසයයි. මෙවැනි විස්තර අසන්න හෝ ඉගෙන ගන්නට ලැබීම අපගේ වාසනාවක්. පෙර අපේ මුතුන් මිත්තන්ට මෙතරම් ධර්මය විවෘත තිබුණේ නැත. නමුත් දැන් ඔබට ඒ ධර්මය විවෘතයි. ඕනෑම කෙනෙකුට දහම අසා විමසා බලා ශ්‍රද්ධාවට පැමිණිය හැකිය. බෝධීන් වහන්සේලා හට රාජ රාජ මහා අමාත්‍යාධින් කොතරම් නම් විසිතුරු ලෙස ගෞරවය පෙරදැඩිවඋපස්ථාන කර ඇද්දැයි වංශකතාවල විස්තර ලෙස සඳහන් වේ. ඒ සුන්දර ආශ්චර්ය වූ විස්තර ඉදිරියේදී අපි කථා කරන්නෙමු. මහාවංශයේ ඇති මෙම ගාථා රත්නයන් දෙස බලන්න. බෝධිපූජා උපහාරය කෙතරම් මහත්ඵල මහානිසංස වේද කියා.

ඒවං ලංකාලෝකහිතං සාසනවුද්ධිං
සංසාධෙන්තෝ ඒස මහාබෝධිදුමින්දෝ
ලංකාදීපේ රම්මේ මහාමේඝවනස්මිං
අට්ඨා දීඝං කාලමනේකබ්භුතයුත්තෝති

අපගේ ජය ශ්‍රී මහා බෝධිද්‍රමරාජයාණන් වහන්සේ නොයෙක් ආශ්චර්යයන්ගෙන් යුක්තව ලංකාවාසීන්ගේ හිතසුව පිණිස, බුද්ධ ශාසනයේ දියුණුව පිණිස, ලංකාදීපයේ රම්‍ය වූ මහමෙව්නා උයනේ බොහෝ කල් සුවස් වැඩ වසන සේක.

මහාබෝධිං පූජිස්සන්ති
ලංකේ’තස්මිං නරාධිපා
පච්චත්ථිකා න හිංසෙය්‍යුං
ඒසා සම්බෝධි ධම්මතා

මේ ලංකාද්විපයෙහි රජ දරුවෝ ජය ශී‍්‍ර මහා බෝධීන් වහන්සේට නිතරම පූජා සත්කාර පවත්වනවා නම් සතුරන්ට ඔවුන්ව පෙළන්නට ලැබෙන්නේ නැත. ඒ අප භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සම්බුදු මහිමය යි.


පසුගිය සතියෙන්: ශ්‍රී මහා බෝධි පුරාණය -20: ශ්‍රී මහා බෝධින් වහන්සේගෙන් නිල්රැස් විහිදුවමින් හටගත් අෂ්ටඵල බෝධීන් වහන්සේ

 

ඉල් අව අටවක පෝය

ඉල් අව අටවක පෝය නොවැම්බර් 21 වනදා සඳුදා පූර්ව භාග 01.55 ට ලබයි. 22 වනදා අඟහරුවාදා පූර්වභාග 02.23 දක්වා පෝය පවතී. සිල්සමාදන්වීම නොවැම්බර් 21 වනදා සඳුදාය.
 

මීළඟ පෝය නොවැම්බර් 28 වනදා සඳුදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 21

Full Moonඅමාවක

නොවැම්බර් 28

First Quarterපුර අටවක

දෙසැම්බර් 07

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 13


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]