UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නො සිඳෙන ප්‍රේමයක රහස

නො සිඳෙන ප්‍රේමයක රහස

ප්‍රේමය ලෝකයේ පවතින සුන්දර වදනකි. භද්‍ර යෞවනයේ සිට මහලු විය දක්වා මිනිසා අපේක්ෂා කරන මනෝභාවයකි. ප්‍රේමය වෙනුවෙන් ලෝකයේ ලියැවුණු කවි ගී අපමණය. චිත්‍ර, මූර්ති, කැටයම්, නාට්‍ය, චලන සිතුවම්, සාහිත්‍ය කෘති මෙන්ම ඉසුරුමුණියේ පෙම් යුවළ, ටජ්මහල වැනි අනේකවිධ කලා කෘති ද බිහිවූයේ ප්‍රේමයේ නාමයෙනි. එසේම ප්‍රේමය නිසා කඳු හෙල් ගිරි පවුරු ගංගා නිම්න ආදියට දිවි පිදුවෝ ද අනන්තය. මේ අතර ප්‍රේමයෙන් වෙළී සුන්දර ලෙස ජීවිතය භුක්ති විඳීන්නෝ ද අධ්‍යාත්මික සන්තෘෂ්ටියෙන් නිර්වාණය දක්වා ගමන් කළෝ ද වෙති. මෙසේ මිනිසා විපතට මෙන්ම සැපතට පමුණුවන මෙකී ප්‍රේමය කුමක්ද? එය යහපත් දෙයක් නම් එයින් විපතක් සිදුවිය නො හැකිය.

එසේම එය අයහපත් දෙයක් නම් එයින් සැපතක් අත්විය නො හැකිය. එබැවින් ප්‍රේමය නමැති මනෝභාවයේ අපට නො තේරෙන දෙයක් තිබිය යුතුය. එය හඳුනා ගැනීම සියදිවි නසා ගැනීමේ වැඩිම ප්‍රතිශතයක් සහිත රටක් ලෙස සම්මත ශ්‍රී ලංකාව වැනි රටකට වඩාත් ඵල ප්‍රයෝජනවත් වනු නො අනුමානය.

වේද සාහිත්‍යයේ ප්‍රකට වෘත්තාන්තයක් අනුව පුරූරවස් නම් නරපතියා ඌර්වශී නම් අර්ධ දිව්‍යමය (අසුර) කාන්තාවකගේ ප්‍රේමය පතා සියදිවි පිදීමට පවා පෙළඹුණේය. බෞද්ධ ජාතක කථාවල දැක්වෙන පරිදි මහා ප්‍රතාපවත් කුස රජු පබවතගේ ප්‍රේමය පතා සත් අවුරුදු සත් මසක් බැල මෙහෙකම් කළේය. නන්ද කුමරු හා ජනපද කල්‍යාණියගේ ප්‍රේම වෘත්තාන්තය ලෝක ඉතිහාසයේ හද කම්පා කරවන අනුවේදනීය කථාවකි. එපමණක් නොව දෙව් ලියන් බඳු කතුන්ගෙන් සහ අපූරු කුරුටු ගීවලින් ද සමලංකෘත කුවේරයාගේ ආලකමන්දාවට සමවන ලොව විස්මිත නිමැවුමක් වන සීගිරිය ප්‍රේමයේ වාසස්ථානයක් නොවූහයි කවරෙකුට නම් කිව හැකි ද? ලක්දිව ප්‍රකට සාලිය කුමරුහට කුල ගෝත්‍ර සීමා මායිම් රහිතව මානුෂික දයාවෙන් පොදු සමාජය දෙස බැලිය හැකි වූයේ අශෝකමාලාවන් කෙරෙහි පැවති අසීමිත ප්‍රේමයේ මහිමය නිසා ය. තවද අවිචාරවත් ලෙස හටගත් ප්‍රේමයක් හේතුවෙන් භද්දා කුණ්ඩලකේසී නම් තරුණිය මැරයෙකුගේ ගොදුරක් වූ අයුරු අපි දනිමු. එසේම සෝවාන් ඵලයට පත් නකුල මාතා නකුල පිතු යුවලට විවාහක ජීවිතයක් ගෙවීමට ප්‍රේමය බාධකයක් වූයේ නැත. එහෙත් ප්‍රේමය නිසා වෛරය පළිගැනීම මිනීමැරුම් නිසා වධ හිංසනයට පත් වූවෝ ද අත්පා සිඳ ගත්තෝ ද නිරයෙහි උපන්නෝ ද අපමණ වෙති.

බුදුදහම අනුව ප්‍රේමය වචනය කාමය යන පදය තරම් පහත් වූවක් නොවේ. කාමයට බුදුදහම විරුද්ධය. එහෙත් ප්‍රේමයට විරුද්ධත්වයක් නැත. එහෙත් මෙම පද රේල් පාරක පීලි දෙක මෙන් සමගාමී මාවතක යන පද දෙකකි. ප්‍රේම කරන්නන් එය මැනවින් වටහාගත යුතු කරුණකි. ලෝකයේ කවර ගැහැනියකගේ හෝ පිරිමියෙකුගේ වුවද කාමය හා ප්‍රේමය නිරන්තරයෙන්ම කරනුයේ ඉල්ලීමකි. එකී ඉල්ලීම කුමක් පිළිබඳව ද? කාමය හෝ ආදරය පිළිබඳවයි. එහෙයින් ප්‍රේමය යනු අන්‍යෝන්‍ය ප්‍රතිබද්ධ ක්‍රියාවලියකි. කාමය ඉල්ලන්නේ කායික රසයයි. ප්‍රේමය ඉල්ලන්නේ ආදරයයි. කාමය ඉන්ද්‍රිය බද්ධය. එහෙත් සැපතකි. සැඩ පරුෂය. අතෘප්තිකරය. හිංසනය පීඩනය හා බැඳී ඇත. ප්‍රේමය මනෝමූලිකය එමෙන්ම සොම්නස් සහගතය. මෘදු මොලොක්ය. අතෘප්තිකරය. සුන්දර වින්දනයන් හා බැඳී ඇත. මේ නිසා කාමයේත් ප්‍රේමයේත් ගති ලක්ෂණ අතර අසමානතා මෙන් ම සමානතා ද ඇත. එබැවින් ප්‍රේමයට පෙළඹෙන යෞවන යෞවනියන් තම බුද්ධිය මෙහෙයවා තම ආත්මය පිදීමට සැරසෙන්නේ ප්‍රේමයට ද නැතහොත් කාමයට ද යන්න මුලින්ම තීරණය කළ යුතුය. එය ඔහුගේ හෝ ඇයගේ හෝ ජීවිත වංශකථාවේ ආරම්භය වේ. ලෝකයේ යම් පුරුෂයෙක් හෝ ස්ත්‍රියක් තවත් ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට සැබැවින් ප්‍රේම කරන්නේ නම් ඔහු හෝ ඇය ගුණයට මිස කිසි කලෙකත් අනෙකාගේ කායික රූසපුවට ආදරය නො කළ යුතුය. කුමක් නිසා ද යත් රූපය මොහොතින් මොහොත දවසින් දවස දිරන, අඩුවන, මියයන නිසා ඒ සමඟම ඔහුගේ හෝ ඇයගේ ප්‍රේමය හෝ ආදරය ද අඩුවන හෝ මැරෙන නිසාය. එබැවින් සදාකාලික ප්‍රේමයක් අපේක්ෂා කරන්නේ නම් යමෙකුගේ ගුණයට ආදරය කළ යුතුය. කුමක් නිසාද යත් යහපත් ගුණාංග වැඩිවෙන තරමට ප්‍රේමය ද දිනෙන් දින වැඩි වන නිසාය. එය ජීවිතයේ දියුණුවට හේතු වන නිසාය. තවද වයස් ගත වන විට රූපය විරූපී වීම සාමාන්‍ය ලක්ෂණයකි. එය ලෝක ස්වභාවයයි. රූප කයට ආදරය කරන්නෝ තමා ප්‍රේම කරන්නාගේ හෝ කරන්නියගේ රූපය විරූප වන විට වෙනත් රූපයකට ඇලුම් කරති. බොහෝ විට ඇතැම් විවාහක ස්ත්‍රී පුරුෂයන් දික්කසාද වන්නේ ද ඔවුන්ගේ පවුල් ජීවිතවල අනේකවිධ අර්බුද ඇති වන්නේ ද මේ නිසාය. පවුල් සංස්ථාවේ අවුල් ඇතිවීමට ආර්ථිකය, අසංවිධානාත්මක බව ආදී වෙනත් හේතු තිබිය හැකි නමුත් ඉහත කී මනෝ භාවය ද ඒ සියලු ගැටුම්වලට හේතු සාධක වන ඔවුන් තුළ සැඟවී තිබෙන රහසකි. විවාහක යුවලක් ප්‍රේමයෙන් වෙළී සිටී නම් ඔවුනට අනෙකුත් බාධක ප්‍රබල බාධක වන්නේ නැත. කුමක් නිසාද යත් ඔවුන් කවරාකාර අභියෝගයක් වුවද සාදරයෙන් පිළිගැනීමට අධ්‍යාත්මික එකමුතුවකින් සූදානම් වී සිටින බැවිනි. එබැවින් කෙනෙකුගේ රූපයට නොව ගුණයට ආදරය කිරීම ප්‍රේමයේ පදනම වේ.

බුදුන් වහන්සේ පෙමතො ජායතී සොකො - පෙමතො ජායතී භයං යනුවෙන් වදාළ බව ඉතා ප්‍රකටය. මෙයින් අදහස් වන්නේ ශෝකය හා බිය යන මනෝභාවයන් දෙක ප්‍රේමයේ ප්‍රතිඵල දෙකක් වන බවයි. එබැවින් ප්‍රේමය සමඟ ගනුදෙනු කරන්නවුන් ශෝකය හා බිය නමැති තත්වයන් දෙකට මුහුණ දීමට සූදානම් වී සිටිය යුතුය. එයට වයස් කාල දේශ ආදී සීමා මායිම් නැත. සුද්ධෝදන රජු රාහුල කුමරුන් තම ඇසුරෙන් ඉවත් වූ විට ඇති වූ ශෝකය ගැන බුදුරදුන්ට ප්‍රකාශ කළේ “ස්වාමීනි, පුත්‍ර ප්‍රේමය ශරීරයේ සම විනිවිද යයි. සම විනිවිද ගොස් මස් විනිවිද යයි. මස විනිවිද ගොස් නහර විනිවිද යයි. නහර විනිවිද ගොස් ඇට, ඇටමිඳුඵ විනිවිද යයි” යනුවෙනි. මේ නිසා ආදරය කරන්නවුන්ගේ විරසකවීම්, ප්‍රමාදවීම්, ලෙඩවීම් ආදිය අනෙකාගේ මුඵ සිරුර වැළඳගන්නා වූ ශෝකය හා භීතිය දනවන්නකි. එබැවින් ප්‍රේමය සඳහා බුද්ධිමය භාවිකත්වයක් අවශ්‍ය වේ. ප්‍රේමය ජනිත වන්නේ සෑම මිනිස් අධ්‍යාත්මයකම ස්ථිරව පවතින රතිය නමැති භාවය නිසාය. මෙම රතිය එක්කෝ කාමයට හැරේ. නැත්නම් ශෘංගාරයට හැරේ. එය හැරවුම් ලක්ෂ්‍යයයි. කාමය ජීවිතය පෙළයි. ශෘංගාරය ජීවිතය විඳීයි. එබැවින් ශෘංගාර රසය ලෞකික මිනිසාට අවශ්‍ය වේ.

එහෙත් ඉහත කී වින්දනය අත්පත් වන්නේ අහේතුකව නොවේ. ඒ සඳහා හේතු තිබිය යුතුය. 1. ඔවුනොවුන් තුළ ආකර්ෂණීය බාහිර හා අධ්‍යාත්මික පැවැත්මක් තිබිය යුතුය. 2. ජීවත් වන පරිසරය ආකර්ෂණීය විය යුතුය. ප්‍රේමය අතිශයෙන්ම හදවත හා බැඳුණු ක්‍රියාවලියකි. එයින් ඇති වන භාවමය තත්වයන් තිස් තුනක් ක්‍රි. පූ. 1 සියවස විසූ භරත නම් මුනිවරයා විසින් පෙන්වා දී ඇත. ඇතැම් විට එයින් ධෛර්යය, සිනහව, සන්සුන්බව, උද්‍යෝගය, මතක ශක්තිය වැනි ධනාත්මක භාවිකත්වයන් වැඩිවේ. තවත් විටෙක එය සිතේ දැවිල්ල, සැක සංකා, කේන්තිය, ඊර්ෂ්‍යාව, නිදිමත, විෂාදය, උමතු ගතිය, කළකිරීම්, සිතිවිලිබර බව, තැති ගැනීම්, ගිලන්බව, උඩඟුකම, ආවේග බහුල බව, මෝඩකම, චපලබව, වික්ෂිප්ත බව පමණක් නොව මරණය කරා ද සිතිවිලි රැගෙන යයි. යහපත් වුවද අහපත් වුවද ලෞකික ලෝකය තුළ තිබෙන ප්‍රේමය නම් මෙයයි. එය ප්‍රේමයේ ස්වභාවයි. කටුක වුවද සුන්දර වුවද ජීවිතය නම් මෙයයි. ජීවිතයේ සුන්දර බව යනු ද මෙම දෙයාකාර අත්දැකීම් විඳීමයි. එය විඳීය යුතුය.

එහෙත් මෙම භාවිකත්වයන් සමඟ ගනුදෙනු කිරීම ලෙහෙසි පහසු නැත. ඔහු හෝ ඇය තුළ යම් යම් මෝඩ ක්‍රියා, සැක සංකා, චපලතා ඇතත් සිනහව, අසාමාන්‍ය උද්‍යෝගය හා ධෛර්යය වැනි යහගුණ ඇතත් ඒ දෙකම සිනහවෙන් පිළිගන්න. අවිඥානික ප්‍රතික්‍රියා දැක්වීමෙන් එය අනෙකාගේ මරණය කරා නො මෙහෙය වන්න.

මෙහි පැවැත්මට අදාළ වන අවශේෂ සාධක පිළිබඳව සවිඤ්ඤාණක විය යුතුය. එනම් දෙදෙනකු අතර ඇති වන එකී කායික මානසික බැඳීම තහවුරු කර ගැනීමට සුදුසු වටපිටාවක් (පතිරූපදෙස වාසො)සාදා ගත යුතුය. එය යහපත් කාලගුණය, දිය දහරා, තුරු ලතා සහිත පරිසරය මෙන්ම යහපත් මිනිසුන් වෙසෙන පසුබිමක් විය යුතුය. ස්වභාවික විපත් මෙන්ම අවිඥ පුද්ගලයන්ගේ උපදෙස්, සල්ලාලයන්ගේ හා බේබද්දන්ගේ ඇසුර, බොරුවෙන් හා ඕපාදූපවලින් කල්ගෙවන, ද්වේෂය හා වෛරය වපුරාගත් ස්ත්‍රී පුරුෂයන් වෙසෙන පරිසරයෙන් සපුරා ඈත්විය යුතුය.

දූෂිත පරිසරයක ගොඩනැඟූ මහ මැඳුරක නො රැඳෙන ප්‍රේමය ඉහත කී ආකාරයේ ප්‍රතිරූප දේශයක ඉදි කළ පැල්පතක හෝ එළිමහනක වුවද මැනවින් ලැගුම් ගනී. එයින් අදහස් කෙරෙනුයේ යහපත් ප්‍රේමයට ආර්ථිකය ප්‍රබලම සාධකය නොවන බවයි. පැල්පතක වුවද මහ මැඳුරක හෝ එළිමහනක වුවද මනස සමඟ සිදු කෙරෙන ප්‍රේමයේ ගනුදෙනුව අතිශය බැරෑරුම්ය. කුමක් නිසා ද යත් තමා අත්විඳීන යථාර්ථයට බුද්ධිමත්ව මුහුණ දිය යුතු බැවිනි. යහපත් ගුණ ආරක්ෂා කිරීම තවත් වැදගත් කරුණකි. ඇතැම් අය තමා ලස්සනට අඳීන්නේ පළඳීන්නේත් ක්‍රියාශීලි වන්නේත් යහපත් ගුණ ආරක්ෂා කරනුයේත් ආවාහයට හෝ විවාහයට පෙර දී පමණකි. ඉන්පසු අපිළිවෙළට හඳීයි පළඳීයි. කථා බහ රඵය. සිල් ගුණ බිඳී. එහි ප්‍රතිඵලය වන්නේ මුලදී දෙවියෙකු හෝ දෙවඟනක ලෙස දුටු ඔහු හෝ ඇය පසු කලෙක මාරයෙකු හෝ හැතිරියක ලෙස පෙනීමයි. බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන පරිදි නකුල මාතා යහ නකුල පිතු දෙදෙනා ඉතා උසස් ප්‍රේමයකින් යුතුව විවාහ ජීවිතයක් ගෙවූ අය වෙති.

ඔවුන්ගේ ප්‍රේමය සාර්ථක වීමට සෝවාන් බවට පත්වී සිටීම ද බාධාවක් නොවුණි. එහි සාර්ථකත්වයේ රහස කුමක් ද? ඔවුන් දෙදෙනාගෙන් එක්කෙනෙකු තුළ හෝ ආත්මාර්ථකාමිත්වය ක්‍රියාත්මක නො වීමයි. දෙදෙනාගේම හැඟීම් හා අවශ්‍යතා සඳහා දෙදෙනාම කැපවීම් කළහ. සෝවාන් වුවද කාමරාගය ප්‍රහීණ නොවන හෙයින් කාමය සම්බන්ධ ගනුදෙනු ද ඔවුන් අතර තිබුණි. එහෙත් එය ඒකපාර්ශ්වීය ගනුදෙනුවක් නොවුණි. අනෙක් කරුණ වන්නේ ඔවුන් අතර සැකයට හා සංකාවට භාජනය වන හැසිරීමක් කිසිදු ලෙසකින් සිදු නොවීමයි. අනෙක් ප්‍රධාන හේතුව වන්නේ ආගම ධර්මයට අනුකූල වූ පිරිසුදු අධ්‍යාත්මයක් තිබීමයි. යමෙකුට මෙකී කරුණු තුන මැනවින් පවත්වා ගත හැකි නම් ඔහුට ඵලදායක තහවුරු වූ ප්‍රේමයක් පවත්වා ගත හැකිය. එබඳු ප්‍රේමයට ලොව කිසිවෙකුට ගැරහිය නොහැකි වන හෙයින් එය අනින්දනීය ප්‍රේමයක් වේ.

තවද ප්‍රේමය හදවතෙන් ජනිත වන්නක් වුව ද එය බුද්ධියෙන් පවත්වාගෙන යා යුත්තකි. බුදුදහම අනුව පුද්ගලාන්තර ප්‍රේමය සංසාරයේ එක් බලගතු බැඳීමකි. ඇතැම් අය කායික පහස පතා ද, ඇතැමුන් ආදරයක් නො පතා ලෝක ධර්මය සඳහා හෝ වෙනත් අරමුණු සහිතව විවාහ ගිවිසුමෙන් බැඳුණ ද ප්‍රේමය නම් සාංසාරික එකමුතුවකි. බිඳුණු පෙම නීතියෙන් ආරක්ෂා කළ ද යටපත් වන ප්‍රේමය වෙනත් ලෙසකින් යළි පැන නැගේ. ප්‍රේමයට ආචාරශීලී බවක් හා බුද්ධිමය කළමනාකරණයක් අවශ්‍ය වන්නේ එහෙයිනි. බුදුරදුන්ට සාකේත නගරයේ එක්තරා බමුණෙකු සහ බැමිණියක පුත්‍ර ප්‍රේමයෙන් කථා බහ සහ සංග්‍රහ කළහ. මොවුන් බුදුන් වහන්සේට පුතා යැයි අමතන්නේත් බුදුරදුන් එය නිහඬව පිළිගන්නේත් කවර හේතුවක් නිසා දැයි භික්ෂූන් අතර කතා බහක් ඇතිවිය. එයට බුදුන් වහන්සේ වදාළේ ආත්ම පන්සීයක් ඔවුන් තමන්ගේ මවුපියන් වී ඇති කර ගත් ප්‍රේමය නිසා මෙබඳු හැසිරීමක් ඇති බවයි. මේ නිසා ලෞකික ජීවිතයේ දී ආකූල ව්‍යාකූලතා ඇති නොවන පරිදි බුද්ධිය හා අධ්‍යාත්මය ඒකාබද්ධ කොට පුද්ගල සබඳතා පවත්වා ගැනීම අවශ්‍ය වේ. නිවන් දක්නා තුරු භවයෙන් භවයට වැඩෙන ප්‍රේමය සැනසිලිදායක ජීවිතයකට අත්වැලක් වන්නේ එලෙසිනි.

බිඳුණු පෙමට වෛර නො කිරීමට පුරුදු වන්න. ඉහත කී කරුණු අනුව පිරිපුන් සොඳුරු ප්‍රේමය පැවතීමට බාහිර හා අධ්‍යාත්මික වූ ද සාංසාරික වූ ද බුද්ධිමය වූ ද සුසංයෝගිත්වයක් අවශ්‍ය වේ. යම් ලෙසකින් ඔබගේ ප්‍රේමය කඩ වේ නම් හෝ අසාර්ථක වූවක් නම් එහි කවර හෝ තැනක නො ගැළපීමක් ඇත. එයට වෛර කිරීම හෝ පළිගැනීම පිළියම නොවේ. ඉහත කී ආකාරයට අවශ්‍ය පිළියම් යොදා එය යළි ගොඩ නැගීමට උත්සාහ කරන්න. නො එසේ නම් බුද්ධිමය පිළියම් යොදා සතුට සොම්නස ආරක්ෂා කර ගන්න. නො එසේ නම් මෙය පුරාකෘත කර්මයක ප්‍රතිවිපාකයක් බව සිතට ගෙන පිළියම් යෙදිය යුතුය. ඒවාට පිළියම් වෛරය, පළිගැනීම හා දූෂිත මනසකින් හදි හූනියම් ආදිය කිරීමෙන් පිළියම් නො සොයන්න.

කුමක් නිසා ද යත් සිතිවිලි කර්ම බවට පත් වන නිසාය. (චේතනාහං භික්ඛවෙ කම්මං වදාමි)අකුසල සිතිවිලි වැඩිවන තරමට තමා බලවත් අකුශල කර්මවලින් ගහණ වූවෙකු වේ. ඔබ අඳුරෙන් අඳුර විනා එළියක් සෙවිය නො හැකිය. බුදුන් වහන්සේ මෙසේ වදාළහ. පෙර භවයෙහි මවක, පියෙකු, පුතෙකු, සොයුරු, සොයුරියක, බිරියක හෝ යහඵවෙකු වී සෙනෙහසින් එක්ව විසීමෙන් ද මෙම ආත්මයෙහි එකිනෙකා කෙරෙහි ඇතිවූ හිතෛෂීභාවය නිසා ද ප්‍රේමය ඇති වී ජලයෙහි පියුම ලෙස වැඩේ.

 

ඉල් අව අටවක පෝය

ඉල් අව අටවක පෝය නොවැම්බර් 21 වනදා සඳුදා පූර්ව භාග 01.55 ට ලබයි. 22 වනදා අඟහරුවාදා පූර්වභාග 02.23 දක්වා පෝය පවතී. සිල්සමාදන්වීම නොවැම්බර් 21 වනදා සඳුදාය.
 

මීළඟ පෝය නොවැම්බර් 28 වනදා සඳුදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 21

Full Moonඅමාවක

නොවැම්බර් 28

First Quarterපුර අටවක

දෙසැම්බර් 07

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 13


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]