UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මත් උවදුර බුදුන් වහන්සේ විග්‍රහ කළ අයුරු

මත් උවදුර බුදුන් වහන්සේ විග්‍රහ කළ අයුරු

මුදල් හම්බ කරන්නවුනට හොඳම ජාවාරමක් වූ බාල, තරුණ, මහලු කොයි කවුරුත් පහසුවෙන් පොළඹවා ගත හැකි. පහසුවෙන් වැළඳ ගත හැකි, දුක සේ බැහැර කළ යුතු මත් වතුර, මත්ද්‍රව්‍ය වර්තමාන ලෝකයේ සංවර්ධනය වූ සහ සංවර්ධනය වන්නාවූ හැම රටකම පාහේ මුහුණ පාන්නට සිදුවී ඇති ප්‍රධාන පෙළේ උවදුරකි.

පුද්ගලයා හා සමාජය දැනුමෙන්, විනයෙන් පසෙකට ඇද දමන, අර්ථයෙන් ධර්මයෙන් පිරිහීමට පත්කරන, සාමය, සංවරය හා සදාචාරය වල්බිහි කරවන, සුව පහසුව, සෞඛ්‍ය අකා මකාදමන, සිහිය නුවණ විකල් කරන, මතවතුර මත්ද්‍රව්‍ය ආගමානුකූලවත්, විද්‍යානුකූලවත් ප්‍රතික්ෂේප කළ යුතු උවදුරකි. එහෙත් තාවකාලික ආශ්වාදය කවර හානියක් වුවත්, මිනිසුන් පොළඹවා මුදල් උපයා ගැනීම මත කෙරෙන අසත්‍ය අස්වාභාවික ප්‍රචාර, ඇබ්බැහිය හා සුලභතාව, හානිය ඇතත් වාසිය පතා පිටු දැකීමට ඇති මන්දෝත්සාහය වැනි දේ නිසා දිනෙන් දින වැඩි ප්‍රතිශතයකින් තොරව මේ විනාශය දෙසට ඇදී යයි. එහෙයින් මෙම ව්‍යසනයෙන් ජනතාව රැක ගැනීම සඳහා බොහෝ රටවල් අද දැඩි නීති රීති පනවමින් විශාල මුදල් සම්භාරයක් වැය කරමින් මහත් පරිශ්‍රමයක යෙදෙන බව අපි දනිමු.

ධර්මයේත් නීතියේත් සහාය

විශාල වශයෙන් ධන සම්පත් වැය කළ නොහැකි උවදුරට මුහුණ පා ඇති ශ්‍රී ලංකාව වැනි දුප්පත් රටවල් මත් උවදුර නිවාරණය සඳහා ධර්මයත්, නීතියත් දෙක සහාය කර ගත යුතුව ඇත. නීති පැනවීම, නීති ක්‍රියාත්මක කිරීම, පාලන තන්ත්‍රය සතු වගකීමකි. නීති නොපිළිපැදීමේ දී දඬුවම් පැමිණවීම ද එයට පැවරෙන කාර්යයකි. එහිලා සිදුවන නොතකා හැරීම සහ අයථා ක්‍රියා ජනතාව කෙරෙහි බැඳීමක් ආදරයක් නැති බොරුවෙන් හා වංචාවෙන් පවත්වාගෙන යන පාලන තන්ත්‍රයක ලක්ෂණ වන්නේ ය. ආගම සහාය කොට ගැනීමෙන් කළ හැක්කේ මත්පැන් මත්ද්‍රව්‍ය පුද්ගලයාට හා සමාජයට බලපාන අන්දම හා එහි ආදිනව පිළිබඳව ජනතාව දැනුවත් කිරීමකි. මෙයින් නිදහස්ව නිවහල්ව බුද්ධිමත්ව සිතට එකඟව මේ උවදුර පිටුදැකීමේ ප්‍රායෝගික ශක්‍යතාව ගොඩනඟා ගැනීමට මිනිසාට අවස්ථාව සැලසෙයි. එය ස්වකීය නිත්‍යචර්යාවේ අංගයක් කොට ගත් ඔහු එබන්දක් නොකරයි. නොකරවයි. කරන්නවුන්ට අනුබලයක් හෝ නොදෙයි. ආගමික ශික්ෂණයෙන් ගොඩනැගෙන වර්ණ ධර්මයන් නියත ලෙසත් පුළුල් ලෙසත් ඵලදායක වන අයුරු එයින් වටහාගත හැකිය.

ගුරුළුගෝමි ප්‍රකාශනය

මත්උවදුර පුද්ගලයාට සහ සමාජයට බලපාන අන්දම ආගමික ඉගැන්වීම් ඇසුරෙන් විග්‍රහ කරන ගුරුළුගෝමි පඬිතුමන්ගේ ධර්මප්‍රදීපිකා ඡේදයක් මෙසේ දැක්විය හැකිය.

“මෙදෙන් උදම්වූවාහු ස්වතන්ත්‍රව යන්නට නොනිසි වන බැවින් තත් තත් ස්ථානයෙහි ප්‍රපතනය කෙරෙති. ස්වචින්තයෙහි ඊශ්වර නොවන බැවින් මුඛපටහයෙහි පැහැර පර්ෂද් මධ්‍යයෙහි නර්තනය කෙරෙති. භක්ෂයා භක්ෂ්‍ය විචාරණයට නොනිසිවන බැවින් තත් තත් අස්වාදනය කෙරෙති. ලජ්ජා විරහිත වන බැවින් නග්ගනව පෞරප්නාකුල මාර්ගයට අවතීර්ණ වෙති. සුරායෙන් පරිමුෂිකමති වන බැවින් මාතෘදුහීත්‍ය ආදීන් කෙරෙහි නිරවධිව ප්‍රවෘත්ත වෙති. ආගමට ද ජීවිතයට ද සම්පතට ද විනාශ කෙරෙති.”

මත් උවදුරට ගොදුරුවන මිනිසා පත්වන විකාරරූපී තත්ත්වය හුවා දැක්වීමට මීට වඩා විග්‍රහයක් අවශ්‍ය වෙතැයි කිසිසේත් නොසිතමි. එම ව්‍යසනයට බෙහෙවින් ගොදුරු වී ඇති අප සමාජයේ මෙවැනි තත්ත්ව එකක් දෙකක් වත් නොදුටු කෙනෙක් සිටිතැයි ද මම නොසිතමි. මදෙන් මත් වූ පසු අගුපිල් කාණු පල්ලෙ ඇද වැටීම, ගුණ හෝ අගුණ හෝ රස හෝ නීරස හෝ ඕනෑම දෙයක් කෑම, විලි ලජ්ජා රහිතව නිර්වස්ත්‍රව දෙමෝදාහක් යන එන මහමගට බැසීම, මව දුවවත් නොදැන, නොහඳුනන කුණුහරුප කියමින් දුරාචාරයට පෙළඹීම නොකෙරෙතැයි සහතික කළ හැක්කේ කාටද? කොපමණ බීවත්, කොපමණ වෙරි වුවත් මා නම් එහෙම නැතැයි කීම, වද වේදනා සංසිඳුවා ගැනීමට මත් ද්‍රව්‍ය ගනිමැයි කියන ජාතියේම මිථ්‍යා ආනිශංස ප්‍රකාශනයක් පමණකි. එකක් දෙකක් නොකට මගහැරියත්, මත්වතුර, මත්ද්‍රව්‍ය ආත්මයත්, ජීවිතයත්, සම්පත්තියත් විනාශයට ඇද දැමීම නම් නියතය.

විහින් වැනසෙන්නාට මත් ද්‍රව්‍ය මිතුරෙකි

මදෙන් මත්වූවකුට පුද්ගල වටිනාකමක් නැත්තේ ය. ඔහු විශ්වාස නොකරයි. චරිතය නොඅදහයි. බොහෝ දෙනා නුරුස්සනා අතර ඇසුරට ගැනීමෙන් මඟ හරිති. කෙළින් වැඩක් කිරීමට තබා කෙළින් සිටීමටවත් අපොහොසත් වෙයි. මේ නිසා බොහෝ විට මධ්‍යලෝලුපයන් ගැන සඳහන් කරද්දී මිනිහාට ආත්මයක් නැහැ කියා ප්‍රකාශවෙයි. වත්මන් සමාජයෙන් අසන්නට ලැබෙන මේ හැඳින්වීම ගුරුළුගෝමින් සඳහන් කළේ ආත්මයට ද විනාශ කෙරෙති යනුවෙනි. මෙයින් පෙනී යන්නේ විහින් වැනසෙන මිනිසාට මත්වතුර මත්ද්‍රව්‍ය හොඳම මිත්‍රයෙකු බවයි.

ආත්මයට, ජීවිතයට වින කරන්නන්

මත් උවදුර ආත්මය මෙන්ම ජීවිතයටම විනාශය ගෙන එයි. අසිහිය, උමතුව, ස්නායු දුබලතාදිය මෙන්ම වකුගඩු ආබාධ, පිළිකා රෝග, සීරෝසිස් වැනි මාරාන්තික රෝගවලට මත්ද්‍රව්‍ය නිදාන වන බව නූතන වෛද්‍ය විද්‍යාව මඟින් දැන් අනාවරණය කොට තිබේ. ආහාර අරුචිය, නින්ද නොයාම, ඇඟපතේ අමාරුවට ඖෂධයක් සේ කතා කරමින් ගන්නා මත්ද්‍රව්‍ය ජීවිතයක් අනතුරට හෙළනු දැක දැක ඒ කතා බොරු, මිථ්‍යා ආනිශංස කතා බව වැඩි වැඩියෙන් ප්‍රචාරය කොට හැරිය යුතු ය. පෞද්ගලිකත්වය හා ජීවිතය විපතට ඇද දමන මේ මහා ව්‍යවසනයෙන් සිදුවන සම්පත් විනාශය ද ආගමික ඉගැන්වීම්වලින් පෙන්වා දී තිබේ.

පුද්ගල ආර්ථික වටිනාකම

මත්වතුර මත්ද්‍රව්‍ය භාවිතයෙන් සිදුවන ධනහානිය පෞද්ගලික මට්ටමෙහි ලා සැලකීමට නුපුළුවන. බොහෝවිට බොහෝ දෙනා මත්පැන් බොන්නේ මාගේ මුදලින් මිස කාගෙන්වත් නොවේ කියා කියන අවස්ථා දක්නට ලැබේ. මෙය ද බොරුව හා බැඳුනු මිථ්‍යා ආනිසංශයකි. ඔහු සැබවින්ම හුදෙකලා වූවකු වශයෙන් පිළිගත නොහැකිය. මව්පිය, සහෝදර, අඹු දරු සම්බන්ධතා ඇත්තෙකි. ඔවුන් වෙනුවෙන් පසිඳලිය යුතු වගකීම් හා බැඳුනකි. එහෙත් ඒ යුතුකම් එක්කෝ නොකොට, නැත්නම් අඩුකොට, එසේත් නොවෙයි නම් යාන්තම් පිරිමසා ඒ සඳහා වූ ධනය මේ සඳහා වැය කරයි. අත ඇති දේ වැය ඉන් එන ඉඩ වැසී යයි. ඉතිරි දෙයට ආරක්ෂාවක් ද සහතික නොකළ හැකිය. පුද්ගල වටිනාකමක්, ජීවිත වටිනාකමක් ආර්ථික වටිනාකමක් එකට හිඳී යාමට මත්උවදුර හේතු වන්නේ මෙසේ ය.

කුටුම්බ වගකීම මඟහැරවීම

පුද්ගලයාගේ යම් පරිහානිය එතැනින් අවසන් වන්නේ නම් එහිදු යම් සැනසීමක් ලද හැකිය. අවාසනාව එය සමාජයට ද බලපාන්නකි. විශේෂයෙන් සමාජයේ කුඩා ඒකකය සේ ගැනෙන කුටුම්බ ජීවිතය එනම් පවුලක් ව්‍යසනයට වැටෙයි. පවුල් අවුල් වී කඩාකප්පල්වී යයි. සාමූහිකත්වය දෙදරා වැනසී යයි. පවුල නඩත්තුවට ඇති සම්පත් වැනසී පවුල මෙහෙයවීමට ඇති කුටුම්භයක වගකීම මඟහැරී ස්වේච්ඡාචාරි වේ. දරුවන් ඈත් වන විට ඔවුන්ගේ කීම්, හැසිරීම් සමාජගත ගැටලු බවට පත්වේ. සොරකම්, දුරාචාරය, ලෙඩරෝග ආදී දහසකුත් එකක් වන ගැටලුවලින් සමාජය තැලෙන පෙළෙන විට අසංවිධිත, අසංයන පිරිහුණු සමාජයක් වීම නොවැළැක්විය හැකිය. මෙසේ හෙයින් බුදුදහම මත්උවදුර හඳුන්වා ඇත්තේ අපුණ්‍යායතනයක් හැටියටය.

අපුණ්‍යායතනයක්

එදා බීමත්, අද බීමත්, හෙට බීමත් හැමදාම එය අපුණ්‍යායතනයක් බව ජනතාවට ඒත්තු ගැන්වීම අරභයා ආගමික ඉගැන්වීම් ප්‍රයෝජනයට ගත යුතුව තිබේ. විචාරාත්මකව ඒ කරුණු ඒත්තු ගැන්වීමෙන් මත්ද්‍රව්‍ය ශික්ෂා සමාදානයෙහි අගය වටහා දිය හැකිය. බෞද්ධයන්ගේ නිත්‍ය ශීලයෙහි පංචාංගයෙන් එකක් වන්නේ මත්ද්‍රව්‍ය නිවාරණය ශික්ෂාවයි. එහි ශික්ෂණය ලැබීම ලොව කවර කෙනෙකුට හෝ එරෙහි වීමක් නොවේ. බෞද්ධයන් හඳුන්වාදෙන මේ පුහුණුව තුළ ආචාර විද්‍යාත්මක වටිනා කමක් තිබේ. එහි ආර්ථික වටිනාකමක්ද ඇත්තේ ය. වෛද්‍ය විද්‍යාත්මක, සෞඛ්‍ය සංරක්ෂණ ක්‍රමයක්ද වෙයි. සමාජ සංවරය හා සාමය සුරැකීමේ උතුම් මානව ධර්මයක් ලෙසද අගැයිය යුත්තේ ය. මත්පැන් මත්ද්‍රව්‍යය නිසා මදයත් ප්‍රමාදයත් මිස වෙන කිසිත් ලාභයක් නොලැබෙයි. මදයත් ප්‍රමාදයත් අලාභයක් මිස වෙන කිසිත් ලාභයක් නොගනෙයි. ලාභ ලබන්නටත් අලාභ පිටුදකින්නටත් මත්ද්‍රව්‍යනිවාරණය පුහුණු කළ යුතුයි. බුදුදහමේ සත්‍ය පණිවුඩය හැකි හැකි අයුරකින් ජනතාවට ඒත්තු ගැන්වීම මත්උවදුරින් ජනතාව මුදා ගැනීමට ආගමික වශයෙන් කළ හැකි සේවයකි.

 

   ඉල් පුර පසළොස්වක පෝය

 ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 13 වනදා ඉරිදා අපර භාග 11.17ට ලබයි.
14 වනදා සඳුදා අපර භාග 07.22 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 14 වනදා සඳුදාය.
 

මීළඟ පෝය නොවැම්බර් 21 වනදා සඳුදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 14

Second Quarterඅව අටවක

නොවැම්බර් 21

Full Moonඅමාවක

නොවැම්බර් 28

First Quarterපුර අටවක

දෙසැම්බර් 07


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]