UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනීයානං

අලුත්වැව සෝරත නා හිමි

කතරගම කිරිවෙහෙර විහාරාධිපතිව වැඩ විසූ ඌව විශ්ව විද්‍යාලයේ කුලපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන් අපවත්වී තෙවසරක් පිරීම නිමිත්තෙන් කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේ පින්කම් රැසක් ඔක්තෝබර් මස 27,28 යන දිනයන්හි පැවැත්වීමට කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රවේදී කොබවක දම්මින්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව, ප්‍රදේශවාසින්ගේද, සහයෝගය ඇතිව පින්කම් කටයුතු සංවිධානය කර ඇත.

හුංගම නගරයට ආසන්න අලුත්වැව ගම් පියසේදී 1943 අපේ‍්‍රල් මස 05 දින ජන්ම ලාභය ලැබීය. අලුත්වැව දොන් එළියස් දහනායක විදාන මහතා හා කරුණාවතී දිසානායක මැණිකේ දම්පතීන්ගේ 04 වන පුත්රුවන ලෙස වැඩුණේය. අලුත්වැව රජයේ පාසලින් මූලික අධ්‍යාපනය ලැබීය. අනතුරුව නාලන්ද, විද්‍යෝදය යන විද්‍යාලවලින් අධ්‍යාපනය ලැබීය.

අලුත් වැව මේධංකර පරත්තේ ශ්‍රී ආනන්ද පොළොන්නරුවේ ශ්‍රී රේවත යන නාහිමිවරුන්ගේ ආචාර්යත්වයෙන් වයස 14 දී 1957 නොවැම්බර් 08 වෙනි දින පැවිදි බිමට පත්වූහ. ඉන් පසු විද්‍යාලංකාර, විද්‍යෝදය පිරිවෙන්වලින් අධ්‍යාපනය ලැබීය. 1963 මැයි මස 31 දින මල්වතු පාර්ශ්වයේ මංගල උපෝෂථාගාරයේ අධිසිල් ලැබූහ.

අනතුරුව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රාචාර්ය ,ශාස්ත්‍රපති, ආචාර්ය උපාධිය ලබා ගත්හ. 1976 දී ගුරු සේවයට ඇතුළත්ව අධ්‍යාපනික සේවා කටයුතු කළේය.

කතරගම මහා විදුහලේ නියෝජ්‍ය විදුහල්පති ධුරයට පැමිණ 1987 දී එම විදුහලේ විදුහල්පති ධූරයට ද පත් වූහ.

එවකට මහා විද්‍යාලයක්ව පැවති කතරගම පාසල මධ්‍ය මහා විද්‍යාලයක් හා ජනාධිපති ජාතික පාසලක් දක්වා උසස් තත්වයට ගෙන ඒමට ගත් උත්සාහය සාර්ථක විය.

උන්වහන්සේ විවිධ ක්ෂේත්‍රයන් වෙනුවෙන් කරන ලද සේවාවන් හා ශාසනික සේවාවන් ඉමහත්ය. උන්වහන්සේ ගේ ශාසනික මෙන්ම බොදු කටයුතු සේවාවන් අගය කරමින් මල්වතු පාර්ශවයේ මහා සංඝ සභාව විසින් රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පදවිය ද 2003 දෙසැම්බර් මස 24 දින මල්වතු පාර්ශ්වයේ මහා නාහිමියන් ප්‍රධාන කාරක සංඝ සභාව විසින් “උපාධ්‍යාය” පදවියද මංගල උපෝසථාගාරයේදී පිරිනමන ලදී. කතරගම අෂ්ඨඵල බෝධින් වහන්සේ වටා ලක්ෂ 20 ක රන් වැටක් ඉදිකරන ලදී.

කතරගම ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ හා මොනරාගල හා හම්බන්තොට දෙදිසාවේ විහාරාධිපති සංගමයේ සභාපති ධුරයන්ද, කතරගම, බෞද්ධ සංගමය , ගිලාන, උපස්ථාන බෞද්ධ සමිතිය, ශ්‍රී සංඝමිත්තා කුලඟන සමිතිය , විහාරස්ථ තරුණ බෞද්ධ සමිතිය මුල් ළමාවිය ලේක්හවුස් සරසවි පියස, යන සමිති සමාගම්වල අනුශාසක ධුරයන්ද ඇතුළු ප්‍රදේශයේ සමිති සමාගම් රැසක නිලතල දැරූහ. කතරගම කිරිවෙහෙර විහාරාධිපතිව වැඩ විසූ රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක, පරත්තේ ශ්‍රී ආනන්ද නාහිමියන්ගේ අපවත්වීමෙන් කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරය පානදුරේ බෝධිචේතියාරාමය යන විහාරයන්හි අධිපති ධුරය දැරූහ. 87 ගම් උදාව වෙනුවෙන් ඉදිකරන ලද විහාර මහාදේවි සෑය නිමල් සිරිපාලද සිල්වා අමාත්‍යතුමා විසින් පූජා ඔප්පුවක් මගින් නාහිමියන්ට පූජා කරන ලදී.

ධීවර අමාත්‍යංශය විසින් පවත්වාගෙන ආ විසර ගම්මාන වැඩසටහන කතරගම ප්‍රදේශයට ගෙන ඒමට නාහිමියන් පුරෝගාමීවී වී ඒ පිළිබඳ දැඩි කැපවීමකින් කටයුතු කර ගම්මාන කිහිපයකට නිවාස සාදා ගැනීමට ආධාර මුදල් ලබා දෙන ලදී.

මැණික් ගග කුඩා ගල්අමුණ ප්‍රදේශයෙන් හරස් කර කතරගම ප්‍රදේශයේ ඇති වැව්, ජලයයෙන් පුරවා යල මහ දෙකම වී ගොවිතැන් කර ප්‍රදේශවාසී ජනතාව දුප්පත්භාවයෙන් මුදා ගැනීමේ භාරදූර කාර්යය රජයේ අනුග්‍රහය ලබා සාර්ථක කර ගන්නා ලදී. එවකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමු කර කතරගම නාගහවීදිය ප්‍රදේශයේ ජීවත්වන ජනතාව වෙනුවෙන් නව පාලමක් ඉදිකර දීමත් නාගහවීදිය ගම්මානයේ පොල් අතු සෙවිලි කළ කුඩා නිවාස වෙනුවට ස්ථිර නිවාස 200 ක් පමණ හිටපු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ හා දානපතින්ගේ ආධාර උපකාර ඇතිව ඉදිකර, එම ගම්මානවල ජනතාවගේ ආර්ථිකය නගාලීම සඳහා ගම්මාන මැදින් ජලය ගලා යන ඇළක්ද, ලබා දෙන ලදී. නාගහවීදිය ගම්මානය “මහාඝෝෂපුර, නමින් නව ගම්මානයක් ඉදිකර එම ගම්මානයේ ජීවත් වන අයගේ ක්‍රීඩා කෞශල්‍ය දියුණු කර ගැනීම සඳහා රුහුණු කතරගම මහා දේවාලයේ හිටපු බස්නායක නිළමේ හා ඌව පළාත් සභා ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ අවධානය යොමුකර ක්‍රීඩා මණ්ඩපයක් සහිත විශාල ක්‍රීඩාපිටියක් ලබා දෙන ලදී.

කතරගම පුද සිරිත්, ශ්‍රී ලංකාවේ බෝධි සංස්කෘතිය “බෞද්ධ රෝහණය” හා බෞද්ධ භාවනා යනුවෙන් ඓතිහාසික වටිනාකමකින් යුත් පර්යේෂණ ග්‍රන්ථ හතරක් පාඨකයාට ප්‍රදානය කර ඇත.

කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේ පසළොස්වක පෝදා පවත්වන ධර්මදේශනා කතරගම කිරිවෙහෙර ධර්ම දේශනා නමින් පොත් කාණ්ඩයක් පළකරවීමත්, කතරගම පුදබිමෙන් පළකරනු ලබන කතරගම වෙසක් කලාපය, කතරගම පුද පෙරහර , වාර්ෂික සඟරාවක්ද නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පළවේ. ප්‍රසස්ථ ලේකඛයෙක් වශයෙන්ද විද්‍යුත් මාධ්‍ය හරහා කාලීන දේශනයන්ටද සහභාගිවෙමින් නාහිමියන් ඉටු කරන ලද සමාජ මෙහෙවර තව තවත් පුලුල් කිරීම සඳහා හිටපු ජනාධිපති, මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි කතරගම නව නගරයේ පළාත් පාලන විශ්‍රාම ශාලාව, කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයට පවරා ඇත. කතරගම ග්‍රාම සේවා වසම කප්රුක් ග්‍රාමයක් ලෙසින් නම් කර එම ගම්මානයේ පොල් වගා කරන ලදී. කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේ පෞරාණිකත්වය ආරක්ෂා කර ගැනීම සඳහා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇතිව විශාල වැඩ කොටසක් ඉටුකරනු ලැබූහ.

ඔක්තෝබර් මස 27 දින සවස මල් පහන් ගිලන්පස පූජාව ෂඩ්වර්ණ සාඨකයක් කිරිවෙහෙර චෛත්‍යයට පැළදවීමේ කංචුක පූජාව එදින රාත්‍රි 7.00 සිට රාත්‍රී 8.00 දක්වා ධර්ම දේශනාවක් හා සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පැවැත්වේ.

ඔක්තෝබර් 28 දින දහවල් ශතාධික මහා සංඝරත්නය වෙනුවෙන් අටපිරිකර සමඟ මහා දානය පිළිගන්වා අපවත් වී වදාළ ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ට පින් අනුමෝදන් කරවීම සිදු කෙරේ.


උතුරු මාගල නන්දසිරි නා හිමි

ගාලු දිස්ත්‍රික්කයේ කරන්දෙණිය උතුරුමාගල ග්‍රාමයේ එක්දහස් නවසිය හතළිස් හතරේ ජූලි පළමුවන (1944.07.01) දින එස්.සරබියෙල් දයානන්ද හා ටී.ඇලිස් නෝනා යන දම්පතීන්ට දාව සුමිත් දයානන්ද නමින් පින්වත් පුත් කුමරෙක් මෙලොව එළිය ලැබීය.

කුඩා කල පටන්ම අධ්‍යාපනය සඳහා සුවිශේෂි දක්ෂතා දැක්වූ මේ කුමරුවා ශිෂ්‍යත්ව විභාගයෙන් හා ප්‍රවේශ පරීක්ෂණයෙන් සමත් වී තමා මුලින්ම අධ්‍යාපනය ලැබූ උතුරුමාගල රජයේ විදුහලින් කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් විය. එහිදී දක්ෂ ලෙස අධ්‍යාපනය ලබමින් අ.පො.ස.(සා.පෙළ) හා උසස් පෙළ විභාග විශිෂ්ට ලෙස සමත් විය.

අධ්‍යාපනය ලබන අතරතුර එක්දහස් නමසිය හැටහයේ ඔක්තෝබර් විසි දෙවන දින (1966.10.22 ) කරන්දෙණියේ හල්ගහවේල්ල ග්‍රාමයේ අභය ශ්‍රී වර්ධනාරාමයේදී පැවිදි විය. එවකට එහි විහාරාධිපතිව වැඩ විසූ කරන්දෙණිය පළාතේ ප්‍රධාන සංඝනායක උතුරු මාගල පඤ්ඤාවංශ නාහිමියන්, කොළඹ දෙමටගොඩ මල්ලිකාරාමය හා පොල්පිටිමූකලාන අශෝකාරාමය යන උභය විහාරාධිපතින් වහන්සේලා ලෙස වැඩ සිටි කරන්දෙනිය විමලසිරි නාහිමිපාණන් වහන්සේ හා කරන්දෙණියේ විමලජෝති නාහිමිපාණන් වහන්සේ සහ වර්තමාන දෙමටගොඩ මල්ලිකාරාමාධිපති කොළඹ පළාතේ ප්‍රධාන සංඝනායක බොරලංකඩ විමලතිස්ස නාහිමිපාණන් වහන්සේ යන නාහිමිපාණන් වහන්සේලා උන්වහන්සේ ගේ පැවිදි ගුරුවරු වූහ. උන්වහන්සේ උපසම්පදාව ලැබුවේ එක්දහස් නමසිය හැත්තෑදෙකේ ජුනි විසිතුන් වනදා (1972.06.23) බලපිටිය මාදුගඟේ පිහිටි ස්වේජින් සීමා මාලකයේදීය. පැවිදිවීමේදී උන්වහන්සේගේ උපාධ්‍යායන් වහන්සේ වූයේ කරන්දෙණියේ විමලජෝති නාහිමිපාණන් වහන්සේය. උපසම්පදාවේදී උපාධ්‍යායන් වහන්සේ වූයේ කොස්ගොඩ ධම්මවංශ මහානායක මාහිමිපාණන් වහන්සේය. කර්මාචාර්ය හිමිවරුන් ලෙස කටයුතු කළේ කරන්දෙණියේ ඤාණවිමල, කොස්ගොඩ පඤ්ඤාසීහ සහ තලල්ලේ ධම්මානන්ද යන නාහිමිපාණන් වහන්සේලායි.

පැවිදිවීමෙන් අනතුරුව පොල්පිටිමූකලාන අශෝකාරාමයට වැඩම කළ උන්වහන්සේ ස්වකීය ශාසනික කාර්යභාරය ආරම්භ කළ සේක. මේ එක්දහස් නවසිය හැත්තෑහයේ ඔක්තෝබර් එකොළොස් වනදාය. එදා මෙම විහාරස්ථානයේ කඨින පූණ්‍යෙීත්සව දිනයයි. එම පින්කමෙන් පසුව ගුරු හිමියන් ආපසු වැඩම කිරීමෙන් පසුව අශෝකාරාමය මුල් කරගෙන සියලු ශාසනික ආගමික කටයුතු සිදු කිරීමට උන්වහන්සේට සිදුවිය. දෙදහස් දහසයේ නොවැම්බර් එකොළොස් වන දිනට උන්වහන්සේ විහාරස්ථානයට වැඩම කොට වසර පණහක් සපිරෙයි. දෙදහස් දහසයේ ඔක්තෝබර් විසිදෙවන දිනට උන්වහන්සේ පැවිදි භුමියට පත්වී වසර පනහක් සපිරෙයි.

ප්‍රාචීන ප්‍රාරම්භ විභාගය මාළිගාකන්ද විද්‍යෝදය පිරිවෙනින් සමත් වූ උන්වහන්සේ කැලණිය විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියත් කැලණිය පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයෙන් ශාස්ත්‍රපති උපාධියත් ලබාගත්හ. බෞද්ධ අධ්‍යාපන ඩිප්ලෝමාව හා අධ්‍යාපන ඩිප්ලෝමාව ආදි උපාධි සමත් වූ උන්වහන්සේ ගුරුවරයෙකු වශයෙන්ද නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු වශයෙන්ද, විදුහල්පතිවරයෙකු වශයෙන්ද ගුරු උපදේශකවරයෙකු වශයෙන්ද අධ්‍යාපන ක්ෂේත්‍රයට අති විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ සේක. මුළු දිවයිනටම සාමවිනිසුරුවරයෙකු වශයෙන්ද උන්වහන්සේ විශාල මෙහෙවරක් ඉටු කරයි.

ගිහි පැවිදි විශාල ශිෂ්‍ය පිරිසක් රටට, දැයට, සමයට දායාද කළහ.

පොල්පිටිමූකලාන අශෝකාරාමයට උන්වහන්සේ වඩිනවිට ඉතාම කුඩා භූමි භාගයකින්ද පොල් අතු සෙවිලි කළ ගොඩනැඟිලිවලින්ද සමන්විත වූවත් වර්තමානය වන විට සියලුම විහාරාංගයන්ගෙන් අලංකාර දර්ශනීය විහාරස්ථානයක් බවට පත්කර ඇත.

සසුනට උදාර සේවයක් කළ උන්වහන්සේට ස්වකීය නිකායෙන් අධිකරණ සංඝනායක පදවිය , කරන්දෙණිය පළාත වෙනුවෙන් පිරි නැමුණු අතර ජයවර්ධනපුර ගුණ සමරු පදනම මගින් දෙදහස් දෙකේදී ශාසනකීර්ති ශී‍්‍ර ශාස්ත්‍ර විශාරද පණ්ඩිත යන ගෞරව සම්මානය පිරිනැමුණි.

 

   වප් අව අටවක පෝය

 වප් අව අටවක පෝය ඔක්තෝබර් 22 වන දා සෙනසුරාදා අපර භාග 01.10 ට ලබයි.
23 වනදා ඉරිදා අපරභාග 12.28 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 22 වන දා සෙනසුරාදාය.
 

මීළඟ පෝය ඔක්තෝබර් 30 වනදා ඉරිදාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 22

Full Moonඅමාවක

ඔක්තෝබර් 30

First Quarterපුර අටවක

නොවැම්බර් 07

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 14


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]