UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ආනන්ද බෝධින් වහන්සේරෝපණය

බුදුපිළිමයේ උපත - 39:

ආනන්ද බෝධින් වහන්සේරෝපණය

පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ හිටපු සහකාර
පුරාවිද්‍යා අධ්‍යක්ෂ 
සිරිසමන් විජේතුංග 
පුරාවිද්‍යා M sc පර්යේෂණ

ආනන්ද බෝධින් වහන්සේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ජේතවනාරාමය පිහිටි පුදබිමෙහි දොරටුව අසළ රෝපණය කරන ලද බව අට්ඨකතාවල සඳහන් වන කරුණකි.

“භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරින් වැඩමවා ජනපද චාරිකාවෙහි යෙදුණු දිනයක බොහෝ උපාසක උපාසිකාවෝ සුවඳ මල් ආදිය ගෙන බුද්ධ වන්දනාව සඳහා දෙව්රම් මහ වෙහෙරට (ජේතවනාරාම විහාරයට ) ආවාහු භාග්‍යවතුන් වහන්සේ නොදැක ශෝක වූහ. තමන් රැගෙන ආ පූජාභාණ්ඩවලින් පිදිය යුතු තැනක්ද නැති හෙයින් ඒවා විහාර සමීපයෙහි රැස් කර තබා ඔව්හු ආපසු ගියහ. අනේපිඬු සිටාණෝ ආදී තවත් අය මෙ කරුණ දුටහ. භාග්‍යවතුන් වහන්සේ පිටත වැඩිවිට උන්වහන්සේ සිහිකොට පූජා කිරීම සඳහා බුදුරජාණන් වහන්සේගෙන් යම් පූජනීය වස්තුවක් ඉල්ලා ගන්නට සිතූහ. භාග්‍යවතුන් වහන්සේ පෙරළා ජේතවනාරාම විහාරයට වැඩම කළ විට බුදුරජාණන් වහන්සේ එහි වැඩ නොසිටින විට වැඳුම් පිදුම් කිරීමට යමක් දෙන ලෙස ඉල්ලා සිටීමට ආනන්ද තෙරුන් වහන්සේ මෙහෙය වූහ. ආනන්ද තෙරණුවෝ බුදුරජාණන් වහන්සේ සමීපයට ගොස් පූජ්‍ය වස්තු කවරේදැයි විචාරා භාග්‍යවතුන් වහන්සේ වෙනුවට පූජ්‍ය දැයක් ඉල්ලූහ.

භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් අමතා ආනන්දය, ශාරිරික උද්දේශික, පාරිභෝගික යැයි පූජ්‍ය වස්තූහු තිදෙනෙකි. ඉන් ශාරිරික ධාතු පූජාව බුද්ධ පරිනිර්වාණයෙන් පසුව වන්නේය. උද්දේශික පුජාව නම් බුද්ධ ප්‍රතිමා ආදිය වෙයි. පාරිභෝගික ධාතු පූජා නම් පරිභෝග කළ පාත්‍ර විචාරාදියටද බුද්ධත්වයේ දී පිටදුන් බෝධින් වහන්සේටද කෙරෙන සත්කාර යයි. එබැවින් ජය ශ්‍රී මහ බෝධින් වහන්සේගෙන් ඵලයක් ගෙන්වා මේ ජේතවනාරාමයෙහි රෝපිත (සිටුවා) කරවා සත්කාර කරතහොත් ඒ මට කළ සත්කාරය හා සම යැයි වදාළ සේක.

ආනන්ද තෙරණුවෝ මේ කාරණය කොසොල් රජු ආදිනට දන්වා ඒ වේලාවෙහිම ජේතවන දොරටු සමීපයෙහිම වළක් තණවා ජයසිරි මහා බෝධින් වහන්සේගෙන් ඵලයක් (ගෙඩියක්) ගෙනවුත් දෙන්නට මුගලන් තෙරුන් අයැදූහ. මුගලන් තෙරණුවෝ තමන් එය බෝ රුකින් ගෙනෙන සැටි සියල්ලට පෙනෙන සේ සිතා ඒ කෙනෙහිම ඍද්ධියෙන් ගොස් උරුවිල්වායෙහි වූ ජය ශ්‍රී මහා බෝධිවෘක්ෂය සමීපයට වැඩම කර එහි නටුවෙන් ගැලවී එන ඵලයක් (ගෙඩියක්) බිමට වැටිය නොදී සිවුරු පටින් පිළිගෙන එකෙනෙහිම ගෙනැවිත් අනඳ තෙරුන්ට දුන්හ. අනඳ තෙරණුවෝ එය කොසොල් රජුට භාර කළහ. රජ එය රුවන් කරඬුවකින් ගෙන හිස මත තබා ගෙන එය හ¼ිදුවීමට (සිටුවීමට) සාරන ලද වළ තෙවරක්ම පැදකුණු කොට අනේපිඬු සිටු අතට දුන්නේය. සිටුතුමා ගණ රන් තළියක සුවඳ කළල් පුරා තලියේ පතුල සිදුරු කොට වළ මැද තබා එහි බෝ පැලය සිටු වූහ.

එය අනඳ තෙරුන්ගේ නියෝගයෙන් සිටුවන ලද බැවින්ද මහජනයාගේ සිත ආනන්දය ඇති කෙරෙමින් වැඩුණු බැවින්ද ආනන්ද බෝධි නම් විය.

දිනෙක භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන්ගේ අයැදුමින් (ඉල්ලීමෙන්) ඒ බෝ රුක මුල රෑ තුන් යම්හි සමාපත්ති සුවයෙන් වැඩහුන් සේක.

මෙසේ ආනන්ද බෝධිය පාරිභෝගික චෛත්‍යයක් විය,(ශාක්‍ය මුණීන්ද්‍රාවදානය හෙවත් සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය. අතිපූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෙත්‍රෙය මහා නා හිමියන් වහන්සේ පි. 195-196 -1986 සමය වර්ධන ප්‍රකාශනයකි)

දඹදෙණි රාජධානි සමයේ බුද්ධ පුත්‍ර නම් භික්ෂූන් වහන්සේ විසින් ලියන ලද ඉතා ප්‍රකට ග්‍රන්ථයක් වූ පූජාවලියෙහි ආනන්ද බෝධිය පිහිටුවීම පිළිබඳ ඉතා දීර්ඝ විස්තරයක් තිබේ.

එහි අවසානයෙහි මෙසේද සඳහන් වේ. “එවේලෙහි ස්වාමි දරුවෝ (බුදුරජාණන් වහන්සේ) ඒ බෝධි මූලයට වැඩ ඒ බෝකඳ පිටලා පූර්වදිග බලා වැඩ හිඳ එදා රෑ තුන් යම් රාත්‍රිය මුළුල්ලෙහි එතෙන සමවත් සුවයෙන් දවස් ගෙවූ සේක. එතැන් පටන් ජේතවනාරාමය බුදුන් වහන්සේ නැතිවිටත් ඇත්තාසේම විය. ඒ ආනන්ද බෝධියට දවස් පතා ලක්ෂයක් පරිත්‍යාග කොට කරන ලද්දා වූ උදාර වූ පුජා විය.

මෙසේ තමන් වහන්සේ එක දවසක් පමණ පිටදුන්නා වු බෝකඳ උදේ හවා මේසා මහත්වු පාරිභෝගික පූජා ලත් හෙයිනුත් එසේ වූ ඒ පුජාව විඳීමට සුදුසු හෙයිනුත් මාගේ ස්වාමි දරුව, බුදුරජාණෝ මේ මේ කාරණා යෙනුදු අර්හත් නම් වන සේක .(පූජාවලිය පිටු 404)

ආනන්ද බෝධිය නමින් ප්‍රකට වූ මෙම බෝධින් වහන්සේ රෝපණය සඳහාම ආනන්ද හිමියන් මුල් වූ හෙයින් මෙය ආනන්ද බෝධිය නමින් ප්‍රකට වූයේය.


පසුගිය සතියෙන්:  බුදුපිළිමයේ උපත - 38: සංකස්සපුර

 

   වප් අව අටවක පෝය

 වප් අව අටවක පෝය ඔක්තෝබර් 22 වන දා සෙනසුරාදා අපර භාග 01.10 ට ලබයි.
23 වනදා ඉරිදා අපරභාග 12.28 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 22 වන දා සෙනසුරාදාය.
 

මීළඟ පෝය ඔක්තෝබර් 30 වනදා ඉරිදාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 22

Full Moonඅමාවක

ඔක්තෝබර් 30

First Quarterපුර අටවක

නොවැම්බර් 07

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 14


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]