UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වස්සානයේ කථාවයි ශාසනික ප්‍රතිපදාවයි

වස්සානයේ කථාවයි ශාසනික ප්‍රතිපදාවයි

වස් වසන ඇතැම් වීර්යවන්ත භික්ෂූන් වහන්සේ “තෙලෙස් ධූතාංග” කිහිපයක් හෝ දෙක තුනක්වත් රැක ගැනීමට අධිෂ්ඨාන කරති. සාමාන්‍ය පුද්ගලයෙකුට කිසි විටකත් සුරැකීමට අසීරු වන මෙම “තෙලෙස් ධූතාංග” රැක ගත් එකම භික්ෂූන් වහන්සේ වූයේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේය.

මෙම ලිපියෙහි පළමු කොටස වප් පුර පසළොස්වක පත්‍රයේ පළ විය.

1. පංසුකූලිකංගය – ඉවත දමන ලද සුදු හෝ කහපාට වස්ත්‍රයක් හෝ රෙදි කෑලි කිහිපයක් එකතු කරගෙන පිළියෙළ කරගත් සිවුර පමණක් දැරීම

2.තෙ චීවරිකංගය – දෙපට සිවුරත්, තනිපට සිවුරත් , අඳනයත් යන තුන් සිවුර පමණක් දැරීම

3. පිණ්ඩපාතිකංගය – පිඬු පිණිස හැසිරීමෙන් ලැබෙන දානය පමණක් පිළි ගැනීම

4. සපදාන චාරිකංගය – අතනින් මෙතනින් ගෙවල්වලට පිඬු පිණිස නොගොස් ගෙපිළිවෙළින් පිඬු පිණිස හැසිරීම

5.ඒකාසනිකංගය – දානය වැළඳීමට ඉඳගත් ආසනයේම වාඩි වී වළඳා නිම කිරීම, නැගිට ගොස් නැවත වාඩි වී යමක් නොවැළඳීම

6. පත්තපිණ්ඩිකංගය – තම පාත්‍රයට ලැබුණ දේ එම පාත්‍රයෙන්ම වැළඳීම එයට ලැබෙන සියල්ලක්ම වැළඳිය යුතුය.

7.කලු පච්ඡාපත්තිකංගය – දානය බෙදන විට අත වැසුවේ නම් ඉන්පසු නොවැළඳීම

8. ආරඤ්ඤිකංගය – වනයකම වාසය කිරීම

9. රුක්ඛමූලිකංගය – මහ ගසක් යට ගස් සෙවණක හසුවන පරිදි වාසය කිරීම

10. අබිභෝකාසිකංගය – විවෘත එළි මහනක වාසය කිරීම

11. සෝසානිකංගය – සුසාන භූමියක වාසය කිරීම මළ මිනි ගඳත් මළ මිනිත් දක්නට ලැබුණ ද එය ඉවසිය යුතුය.

12. යථාසන්තිකංගය – තමනට ලැබුණු තැනක වාසය කිරීම

13. නේසජ්ජිකංගය – පිට දිගහැර නිදාගැනීමෙන් තොරව ඉඳගෙන හිටගෙන සක්මන් කරමින්ම දිවි ගෙවීම

දායක භවතුන්ගේ හෝ පිරිසකගේ ආරාධනාව ඇතුව හෝ නැතුව උපසම්පදා භික්ෂූන් වහන්සේට තවත් කෙනෙකු මඟින් හෝ තාවකාලික ස්ථානයක වස් සමාදන් වන භික්ෂූන් වහන්සේට රැකගත යුතු ප්‍රතිපත්ති දෙකකි. එයින් පළමුවැන්න “සතිකරණයයි”. එනම් තමා වස් විසූ ස්ථානය පිළිබඳ වස්සාන සමය නිමාවන තුරු දැඩි බැඳීමකින් විසීමය. “ මම මේ වස් තෙමස තුළ විහාරස්ථානයෙහි වෙසෙමි’යි අධිෂ්ඨාන කිරීමය. විහාරස්ථානයෙන් මොහොතකට පිටව යන අවස්ථාවකදී හෝ නැවත වහා ආරාමයට පැමිණිය යුතු යැයි අදහස් සිතෙහි තබා ගැනීමද වැදගත්ය. ඇතැම් භික්ෂූන් වහන්සේලාට මෙම වදන් පෙළ අමතක නොවීම සඳහා ආරාමයේ යම් තැනක “අයං වස්සාන කාලො” යනුවෙන් ලොකු අකුරෙන් ලියා තැබේ. එහෙත් වස් කාලය අවසන් වූ පසු මේ අදහස් තබාගත යුතු නැතැ’යි බුදුන් වහන්සේ වදාරා ඇත. එයට හේතු වන්නේ යම් භික්ෂූන් වහන්සේ නමකට විහාරස්ථානය ගැන ඇලීමක් ඇති වුවහොත් එම ක්ලේෂය නිවන් මගට බාධාවක් වන නිසාය.

අනෙක් කරුණ ‘සත්තාහකරණයයි’. එනම්, යම් භික්ෂූන් වහන්සේ නමකට තම මව්පියන් රෝගීවීම හෝ මරණයකට පත්වීමකදී හෝ නැතිනම් දායක දායිකාවන්ගේ රෝගාතුර වීමකදී හෝ විහාරස්ථානයෙන් පිටවී එදිනම නැවත විහාරයට වැඩම කිරීමට නොහැකි වුවහොත් දෙතුන් දිනක් ගතවන්නේ නම් දායක භවතෙකු හෝ වෙනත් භික්ෂූන් වහන්සේ නමකට හෝ දන්වා විහාරස්ථානයෙන් පිටවීමේදී කළ යුතු සුවිශේෂී අධිෂ්ඨානයන් කිහිපයක් ද ඇත. මගේ ජීවිතයට යම් අනතුරක් නොවුණහොත් දින හතක් ඉක්මවීමට පෙර නැවත මෙම ස්ථානයට වැඩම කරමි’යි අධිෂ්ඨාන කළ යුතුය. එසේ අධිෂ්ඨාන කළ ද ඊට පෙරදින විහාරස්ථානයට වැඩම කිරීමට පුළුවනි. නැතහොත් සත් දිනකට පෙර නැවත විහාරස්ථානයට වඩින බව සිතා හත්වන දින අලුයම අරුණ නැගෙන මොහොත දක්වාම පිට සිටිය යුතු බවට නියමයක් නැත. සත් දින ගෙවීයාමට ප්‍රථමයෙන් දවසකින් හමාරකින් වුවද ආපසු වැඩම කළ යුතුය. කෙසේ හෝ වේවා තමා වස් විසූ ආරාමයෙන් පිටත්ව සත්තාහකරණයෙන් පිටට වැඩම කළ භික්ෂූන් වහන්සේ හත්වන දින එළිවීමට පෙර මධ්‍යම යාමය ඉක්මවෙන්නට පෙර රාත්‍රී දෙක තුන වෙද්දීවත් තම ආරාමයට වැඩම කළ යුතුය. එසේ නොවඩින භික්ෂූන් වහන්සේට වස් කැඩෙන අතර උන් වහන්සේට එම වසරෙහි කඨින සිවුර පිළිගැනීමද අකැපය. ඇවැතක්ද සිදුවෙනවා ඇත.

එහෙත්, භික්ෂූන් වහන්සේට විනයානුකූලව “වස්සච්ඡේදනය” කළ හැකි අවස්ථාද ඇති බව බුදුරජාණන් වහන්සේ වදාළ සේක.

1. ගංවතුර ගැලීමක් හෝ ඉඩෝරයක් හෝ සිංහ, ව්‍යාඝ්‍ර , වලස් හා පිඹුරු ආදී දරුණු සත්වයන්ගේ හෝ ජීවිතයට හානියක් පැමිණෙන බව හැඟේ නම් වස් කඩාගෙන යාමට පුළුවනි.

2. අභිවාතක, අතීසාර, දරුණු උණරෝග , බිහිසුන කුෂ්ඨරෝග ආදී විවිධ වසංගත රෝගයන් පැතිරීමෙන් ගම්වාසීන් ගම අත්හැරියොත් වස් වසන භික්ෂූන් වහන්සේ ද එම ගම අතහැර වැඩම කිරීම ඇවැතක් වන්නේ නැත.

3. සොරසතුරු බිය, කැරළි කෝලාහල, නිසා ඇතිවන යුද බියකදී වස් කඩාගෙන යාම අවැතක් නොවේ.

4. දායකයන් නිසි සේ සැලකුවද වස් විසූ ස්ථානයෙහි වාසය කිරීමෙන් තමන්ගේ සීලය බිඳෙන බව දැනෙනන්නේ නම් වස් කඩාගෙන යාමට පුළුවනි. තවද වස් වෙසෙන ස්ථානයෙහි සංඝ භේදයකට තුඩු දිය හැකිනම් වස්කඩාගෙන යාම ඇවතක් නොවන බව සඳහන්ය.

වස් කාලය අවසන් වී සීමාමාලකයට රැස්වන උපසම්පදාවෙන් අඩුවූ භික්ෂූන් වහන්සේ මධ්‍යයේ උක්කුටිකව වැඩ සිටින නායක තෙරුන් වහන්සේ විනය වාක්‍ය වදාරමින් පෙර වස් පවාරණය සිදු කරන සේක. “ ඔබ වහන්සේලා මාගේ යම් වරදක් දැකීමෙන් හෝ කාගෙන් හෝ අසා දැනගැනීමෙන් හෝ එසේ නොවේ නම් මා ගැන සැකයක් ඇත්නම් හෝ එය පහදා දෙනු මැනව. වරදක් සිදුවී ඇත්නම් එය සත්‍ය නම් වරද නිවැරැදි කර ගනිමි’යි පොරොන්දුවන නායක තෙරුන් වහන්සේ රැස්වූ පිරිස මධ්‍යයේ “සංඝං භන්තේ පවාරේමි” යනුවෙන් තෙවරක්ම වදාරමින් වස් පවාරණය කරන සේක.

උපසම්පදාවෙන් බලය අඩුවූ අනෙකුත් භික්ෂූන් වහන්සේලා ද එසේ වදාරමින් වස් පවාරණය කරති. වස් පවාරණය යනු තම අඩුපාඩු ඇත්නම් දැන කියාගෙන එම අඩුපාඩුකම් සකසා ගැනීම බව බුදුරජාණන් වහන්සේ වදාළ සේක.

නිසි කලට වස් පවාරණය කර කඨින චීවරය ලබා ගන්නා භික්ෂූන් වහන්සේට සිව් මසක් යන තුරුම ලැබෙන පහසුකම් පහකි.

1) අනාමන්තචාර – විහාරස්ථානයෙන් පිටව ගමනක් යන විටදී එහි වැඩ සිටින භික්ෂූන් වහන්සේලාට දැනුම් දී යාමේ චාරිත්‍රයක් තිබුණ ද එය එසේ නොකිරීමට ද පුළුවන. (මෙය චාරිත්‍ර ශික්ෂාවක් පමණි) එහෙත් අසීමිත ගුණයන්ගෙන් පිරිපුන් භික්ෂූන් වහන්සේලා එසේ නොකරති.

2, අසමාදානචාර – තනිපට සිවුරක් හෝ දෙපට සිවුර පමණක් ඇඳගෙන පිටතට යා හැකිය. (උෂ්ණ කාලවලදී තුන් සිවුර පමණක් ඇඳගෙන සිටීම අපහසු බැවින් අඳනය ඇඳ තනිපට සිවුර පමණක් පොරවාගෙන පිටත යා හැකිය. )

3. ගණ භෝජනය – (භික්ෂූන් වහන්සේ හතර නමක් හෝ ඊට වැඩි පිරිසකට ආරාධනා කර දානයක් පිළිගැනීම (කෙනෙකු ගරුත්වයෙන් විහාරස්ථානයට නොගොස් කරන ආරාධනයක් ද පිළිගැනීම ඇවතක් නොවීම)

4.යාවදත්ථ චීවර – අධිෂ්ඨාන විකප්පන දෙකින් තොරව කැමැති පරිදි සිවුර පරිහරණය කිරීමේ වරප්‍රසාදය

5. යොචතත්ථ චීවරුප්පාද – විහාරස්ථානයට ලැබෙන සිවුරු පිරිකර ආදිය තමන්ගේ ප්‍රයෝජනයට පමණක් ගැනීම

මෙම පහසුකම් ලබා ගැනීමේ වරප්‍රසාදය හිමි වන්නේ නිසි පරිදි වස් පවාරණය කිරීමෙන් කඨිනය පැවරීමෙන් ලබාගත් භික්ෂූන් වහන්සේ කැමැති නම් පමණකි. තවද මෙම පහසුකම් පහ වස්සාන සමය නිමාවන නොවැම්බර් පෝදා සිට ඊළඟ වසරෙහි මාර්තු පුර පසළොස්වක පෝදා දක්වා හාරමාසය තුළ පමණක් වලංගු වේ. එහෙත් එම කාලයේ ද අසීමිත ගුණවත්බවින් යුතු භික්ෂූන් වහන්සේ මෙම පහසුකම් පහ ලබා නොගනිති.

මෙම ලිපියෙහි තවත් කොටසක් වප් අමාවක පෝදා(30) පත්‍රයේ පළ වේ.

 

   වප් අව අටවක පෝය

 වප් අව අටවක පෝය ඔක්තෝබර් 22 වන දා සෙනසුරාදා අපර භාග 01.10 ට ලබයි.
23 වනදා ඉරිදා අපරභාග 12.28 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 22 වන දා සෙනසුරාදාය.
 

මීළඟ පෝය ඔක්තෝබර් 30 වනදා ඉරිදාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 22

Full Moonඅමාවක

ඔක්තෝබර් 30

First Quarterපුර අටවක

නොවැම්බර් 07

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 14


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]