UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

රෝගී භික්ෂූන්ට සුවය සදන හොරණ – ශීල සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානය

රෝගී භික්ෂූන්ට සුවය සදන

හොරණ – ශීල සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානය

භික්ෂු නේවාසිකාගාර

නිවන්මඟ පසක් කරගැනීමේ අදිටනින් පැවිදි බව ලබා සිටින භික්ෂූන් වහන්සේලා ග්‍රාමවාසීව හා ආරණ්‍යවාසීව වැඩ වෙසෙති. විහාරස්ථානයන්හි වැඩ වසන භික්ෂූන් වහන්සේලා වයෝවෘද්ධව, රෝගී වූ විට උන්වහන්සේලා රැක බලා ගැනීමට සිය දායක දායිකාවන් සිටිය ද ආරණ්‍යගතව සිටින භික්ෂූන් වහන්සේලා වයෝවෘද්ධව රෝගී වූ විට උන්වහන්සේලා රැක බලා ගැනීමට ඇතැම්විට කිසිවකු නොමැති බැවින් එම භික්ෂූන් වහන්සේලා අසරණ තත්ත්වයට පත්වීමට ඉඩ ඇත.

ගලිගමුවේ ඥානදීප හිමි

ආරණ්‍යගත භික්ෂූන් වහන්සේලා වයෝවෘද්ධව රෝගාතුර වූ විට උන්වහන්සේලාට අවශ්‍ය සියලු ප්‍රතිකාර ලබාදී සුවපත් කරන ගිලන් භිික්ෂු මධ්‍යස්ථානයක් හොරණ දික්හේන ප්‍රදේශයේ වසර කීපයක සිට ක්‍රියාත්මකව පවතී. එම ආයතනය මගින් ප්‍රතිකාර ලබාගන්නා ගිලන් භික්ෂූන් වහන්සේලාට සියලු පහසුකම් සහිතව නොමිලයේ ප්‍රතිකාර ලබා දෙයි.

ශීල සුව අරණ ගිලන් භික්ෂු ප්‍රතිකාර මධ්‍යස්ථානය නමින් හඳුන්වන එම ආයතනය හොරණ දික්හේන ප්‍රදේශයේ නිසංසල භූමියක ස්ථාපනය කර තිබේ.

මෙම “ශීල සුව අරණ” ගිලන් භික්ෂු මධ්‍යස්ථානය අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ නිර්මාතෘ ගලිගමුවේ ඥානදීප හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වාගෙන යනු ලැබේ.

2012 වසරේදී එම මධ්‍යස්ථානය ගලිගමුවේ ඥානදීප හිමියන් විසින් ආරම්භ කර ඇත්තේ හොරණ ප්‍රදේශයේ පදිංචි දානපති අනුර ගමගේ මහතා විසින් පරිත්‍යාග කරන ලද පර්චස් 100ක භුමි භාගයකය. මෙම ආයතනය පුළුල් කිරීමේ අදහසින් ඊට යාබදව පිහිටා ඇති කොටගල ප්ලාන්ටේෂන් සමාගමට අයත් කටුහේන වතුයායෙන් අක්කර 2ක භූමිභාගයක් කාලීන බදු ක්‍රමයක් යටතේ ලබාගෙන ඇත.

දැනට එම ආයතනය ගලිගමුවේ ඥානදීප හිමියන්ගේ අනුශාසනා හා උපදෙස් පරිදි පාලනය කරගෙන යනු ලබන්නේ වල්පිට හේමරතන හිමියන් විසිනි.

බුදු සසුනේ දියුණුව වෙනුවෙන් දිගු කාලයක් කැපවී කටයුතු කළ දැනට වයෝවෘද්ධව, රෝගීව, ඔත්පලව සිටින වනවාසී භික්ෂූන් වහන්සේලාට නේවාසිකව අවශ්‍ය ප්‍රතිකාර ලබාදී උන්වහන්සේලා සුවපත් කිරීම හා රැක බලා ගැනීම එම ආයතනයේ ප්‍රධාන අරමුණ වේ.

මේ වනවිට ශීල සුව අරණේ ගිලන් භික්ෂූන් වහන්සේ විසිපස් නමකට වෙන් වෙන්ව ප්‍රතිකාර කරන කාමර සහිත ගොඩනැඟිල්ලක්, බෙහෙත් ගබඩාවක්, හදිසි ප්‍රතිකාර ඒකකයක්, වෛද්‍ය කාමරයක් , දාන ශාලාවක්, මුළුතැන් ගෙයක්, භාවනා කුටි සහිත සක්මන් මළුවක්, බුද්ධ මන්දිරයක් සහ ධර්ම ශාලාවක් ඉදිකර තිබේ.

දැනට විවිධ අසනීපවලින් පෙළෙන වයෝවෘද්ධ භික්ෂූන් වහන්සේ දාසය නමක් එම ස්ථානයේ සේවය ලබමින් පසුවෙති. වෛද්‍ය පරීක්ෂණ වලින් පසුව රෝගී භික්ෂූන් වහන්සේලාට අවශ්‍ය බටහිර හෝ දේශීය ප්‍රතිකාර ලබාදීම ද මෙහිදී සිදු කෙරේ. උන්වහන්සේලාට අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ, ශල්‍ය කර්ම, විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර හා අවශ්‍ය සියලුම ප්‍රතිකාර සාත්තු සප්පායම් මධ්‍යස්ථානය මගින් ලබා දෙයි. සෞඛ්‍ය සේවයෙන් විශ්‍රාම ලැබූ දක්ෂ සේවක මණ්ඩලයක් ද මෙහි සේවයේ නිරතව සිටී.

මෙම මධ්‍යස්ථානයේ නේවාසිකව ප්‍රතිකාර ලබන සියලුම රෝගී භික්ෂූන් වහන්සේලාට අවශ්‍ය දානමානාදිය වසර පුරාම පිරිනැමීමට දහසකට අධික සැදැහැවත් පිරිසක් දායකත්වය ගෙන සිටිති. රෝගී භික්ෂූන් වහන්සේලාට අවශ්‍ය සුදුසු දානමය කටයුතු පිළියෙළ කරනු ලබන්නේ පුණ්‍යාධාර මත ආයතනය මගිනි. අදාළ දිනයේදී නියමිත දායක දායිකාවන් ආයතනයට පැමිණ දානය පිළිගැන්වීම ඇතුළු සියලු කටයුතු ඔවුනට පැවරේ. දානය අවසන් වූ පසු පුණ්‍යානුමෝදනාව සිදු කරනු ලබයි.

මෙම ආයතනය මගින් ගිලන් භික්ෂූන් වහන්සේලාට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර පමණක් නොව අධ්‍යාත්මික සංවර්ධනයට අවශ්‍ය පහසුකම් ද සලසා ඇත. නිබඳවම ධර්ම දේශනා , පරිත්‍රාණ ධර්ම දේශනා ශ්‍රවණය කිිරීමට අවස්ථාව සලසා තිබේ. එසේම උන්වහන්සේලාට අවශ්‍ය වන්දනා චාරිකා සඳහා ද කටයුතු සලසා ඇත.

ආයතනයේ දිවා රාත්‍රී සියලු කටයුතු සඳහා ඇප කැපවන විසිදෙනෙකුගෙන් යුතු පළපුරුදු සේවක මණ්ඩලයක් සිටින අතර ඔවුන්ට ආයතනය මගින් වැටුප් ගෙවනු ලබයි

මෙම ආයතනය තවත් පුළුල් කිරීම සඳහා කුටි 20කින් යුත් ගොඩනැගිල්ලක් , වෛද්‍ය ප්‍රතිකාර ඒකකයක්, භික්ෂූන්ට සහ සිල් මෑණිවරුන්ට බාහිර ප්‍රතිකාර ලබාදීම සඳහා ඒකකයක්, ගිලන් භික්ෂූන්ට වන්දනාමාන කිරීමට “බක්කුල මහා සෑය” නමින් චෛත්‍යයක් ඉදිකිරීමටත් සැලැසුම් කර ඇත. එම කාර්යයන් සඳහා සැදැහැවත් සියලුම දෙනාට දායකවීමට අවස්ථාව ඇත

 

    වප් මස
පුර අටවක පෝය

 වප් මස පුර අටවක පෝය ඔක්තෝබර් 08 වනදා සෙනසුරාදා අපරභාග 09.24 ට ලබයි.
9 වනදා ඉරිදා අපරභාග 10.31 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 09 වනදා ඉරිදාය.
 

මීළඟ පෝය ඔක්තෝබර් 15 වනදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 09

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 15

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 22

Full Moonඅමාවක

ඔක්තෝබර් 30


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]