UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කොළොම්පුරය එළිය කරන වාලුකාරාම මහ පෙරහර

කොළොම්පුරය එළිය කරන වාලුකාරාම මහ පෙරහර

කොල්ලුපිටියේ වාළුකාරාමයේ වාර්ෂික ඇසළ පෙරහර පිළිබඳ සාකච්ඡාවක් මහරගම නන්ද නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඉකුත්දා (29) පැවැත්විණි. එහිදී අමාත්‍යවරුන් වන සාගල රත්නායක මහතා සහ රවී කරුණානායක මහතා හා රුවන් විජයවර්ධන මහතා ද සාකච්ඡාවට එක්වූහ.

ශ්‍රී ලංකාවාසී බෞද්ධ මහජනතාවට ඇසළ මාසය බොහෝ පින්කම් සිදුකර ගැනීමට මුල්වන කාල පරිච්ඡේදයකි. මේ අතර ඉතා වැදගත් වන්නේ ඇසළ පෙරහර මංගල්‍යයයි. මහනුවර ඇසළ පෙරහර මෙන්ම රට පුරා ඇසළ පෙරහර පිළිබඳ විවිධ තොරතුරු ඉදිරිපත් වන මේ වකවානුවේ කොළොම්පුරයේ පැවැත්වෙන කොල්ලුපිටියේ වාලුකාරාම මහා විහාරස්ථානයේ ඇසළ පෙරහර කාගේත් නෙත්සිත් ඇද බැඳ ගන්නා කලා මංගල්‍යයකි.

අප රටේ බෞද්ධ පුනර්ජීවනය වෙනුවෙන් යුග මෙහෙවරක යෙදුන පුණ්‍ය භූමියකි කොල්ලුපිටියේ වාලුකාරාම විහාරස්ථානය. සියවස් දෙකකට ආසන්න කාලයක සිට ආගමික, සාමාජික, ජාතික හා ශාස්ත්‍රීය වශයෙන් සිදු කරනු ලැබූ සුවිශේෂී සේවාව මහත් සේ අලංකාර වූයේ මෙම මහා පෙරහර තුළිනි.

වර්තමාන ධර්මශාස්ත්‍රාලෝකයේ නේතෘස්ථානය වශයෙන් රත්මලානේ පරමධම්මචේතිය පිරුවන පහතරට පිහිටුවනු ලැබූ වලානේ ශ්‍රී සිද්ධාර්ථ හිමියන්ගේ ඒ උත්කෘෂ්ඨ මෙහෙවරෙන් ශාස්ත්‍රෝද්ග්‍රහණය කළ විද්වතුන් අපමණය. ඒ අතර මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙන පිහිටුවා වදාළ හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමියන්, පෑලියගොඩ විද්‍යාලංකාර පිරුවන පිහිටුවා වදාළ රත්මලානේ ධර්මාලෝක නා හිමියන් වැනි උතුමන් සඳහන් කළ හැකි ය. 1941 වසරෙහි සාර්වභෞම වලානේ ශ්‍රී සිද්ධාර්ථ හිමියන් කොල්ලුපිටියේ වාලුකාරාමය ඇතුළු විහාරස්ථාන රාශියක් සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම වෙනුවෙන් දායක කාරකාදීන් සමඟ ආරම්භ කරන්නට විය. මෙම වෙහෙර විහාරස්ථාන අතර අගනගරයේ පිහිටා තිබෙන කොල්ලුපිටියේ වාලුකාරාම මහා විහාරස්ථානයට ලැබෙන්නේ අද්විතීය ස්ථානයකි.

වාලුකාරාමාධිපතිව වැඩසිටි අතිගරු නිවන්තිඩියේ ආනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ 1963 වසරෙහිදී මෙම පෙරහර මංගල්‍යය ආරම්භ කරමින් සිංහලයන්ට ආවේණික වූ බෞද්ධ චාරිත්‍රවිධි රැක ගැනීමටත් දේශීය සංස්කෘතිකාංග පරපුරෙන් පරපුරට පවත්වාගෙන යාම සඳහා අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව ක්‍රියා කරන්නට යෙදුණහ. මෙවර කොල්ලුපිටියේ වාලුකාරාම පෙරහර පැවැත්වෙන්නේ 53 වන වරටය.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමාගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කර්මවාගාචාර්ය, කොළඹ දිසාවේ ප්‍රධාන සංඝ නායක, විචිත්‍රභාණී,පරිත්ත ධජ මහරගම නන්ද නා හිමි

වාලුකාරාම මහා විහාරස්ථ ශාසන ඉතිහාසය නව මඟකට යොමුකරමින් සිදුවූ සේවය ජාත්‍යන්තර තලයට ගෙන යාමටත්, පුළුල්ව සිදු කිරීමටත් මහත් වෙහෙසක් ගෙන ක්‍රියා කරනු ලබන්නේ වර්තමාන විහාරාධිපතීත්වය දරනු ලබන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමාගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කර්මවාගාචාර්ය, කොළඹ දිසාවේ ප්‍රධාන සංඝ නායක, විචිත්‍රභාණී, පරිත්ත ධජ මහරගම නන්ද නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ය. යුගයට සරිලන අයුරින් නව විහාරාංග එක් කරමින්, දායක කාරකාදීන්ගේ ආගමික අවශ්‍යතාවයන් ඉතා මැනවින් ඉටු කර ගැනීමටත්, කොල්ලුපිටිය වැනි ප්‍රදේශයක ජාති, ආගම් භේදයක් නොමැතිව, සියලු රාජ්‍ය ආයතන, පෞද්ගලික ස්ථාන සම්බන්ධ කරගෙන කටයුතු කිරීමට වර්තමාන නාහිමියන් ගෙන ඇත්තේ මහත් උත්සාහයකි. මෙම සුවිශේෂී පෙරහර මංගල්‍යය මතු පරපුරට ද දායාද කිරීමේ අදහසින් කටයුතු කරන වාලුකාරාමයේ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ මෙවර ඇසළ පෙරහර පවත්වනු ලබන්නේ අග්‍රාමාත්‍ය ලේකම්තුමා ප්‍රමුඛ අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ පූර්ණ අධීක්ෂණය සහ සහභාගීත්වය පදනම් කරගෙනය.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රමුඛ පවුලේ ඤාතීන් දායකත්වය දරන විහාරස්ථානයක් වන්නේ ද කොල්ලුපිටියේ වාලුකාරාමයයි. 1926 වර්ෂයේ දී හෙලේනා විජේවර්ධන ළමාතැනියගේ ප්‍රධානත්වයෙන් විහාර කර්මාන්තය ආරම්භ කිරීම ද මෙහිදී සඳහන් කළ යුතු ය. එම නිසා එම පවුලේ නිබඳ ආශිර්වාදය ලබාගෙන කටයුතු කිරීමට හැමවිටම අප නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ කටයුතු කරනු ලැබේ. එනිසා ගරු අගමැතිතුමා මෙම මහා සංස්කෘතික මංගල්‍යයෙහි නියමුවාණන් වශයෙන් ද ක්‍රියා කරනු ලබයි. වාලුකාරාම මහා විහාරය කේන්ද්‍රකොට ගනිමින් පිහිටුවා තිබෙන නිවන්තිඩිය ශ්‍රී මහේන්ද්‍රාරාමය, නාවින්න ඉසිපතනාරාමය, ගල්තුඩේ සිද්ධත්ථාරාමය, කතරගම නන්ද බෞද්ධ මධ්‍යස්ථානය යන විහාරස්ථානයන්හි දායක පිරිස ද ඉමහත් සැදැහැ සිතින් මෙම මහා පෙරහර මංගල්‍යය සාර්ථක කර ගැනීමට දක්වන්නේ ඉමහත් සහායකි.

වසරකට වරක් පැවැත්වෙන මෙම මහා පෙරහර මංගල්‍යය ඒ සැමට පමණක් නොව ශ්‍රී ලංකාවාසී බෞද්ධ මහජනතාවට ආශිර්වාදයකි. විශේෂයෙන් මෙහිදී සඳහන් කළ යුත්තේ ගරුතර නාහිමිපාණන් වහන්සේ ඉටු කරගෙන යන මෙම අත්‍යුදාර කාර්යයෙහි දී නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍ය යතිවරයාණන් වහන්සේලා ඉටු කරනු ලබන කාර්යභාරය ඉමහත් ප්‍රශංසනීය වෙයි. ඒ අතර වාලුකාරාමාධිවාසී ශාස්ත්‍රවේදී උඩවෙල කෝලිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඉටුකරන කාර්යභාරය අමන්දානන්දයට හේතුවකි. නායක හිමියන්ගේ උපදෙස් පිළිපදිමින්, උන්වහන්සේගේ සිතැඟි ඉටුවන අයුරින් පෙරහරට නව ජීවයක් සැපයීමට කෝලිත හිමියන් ගන්නා මෙහෙවර ප්‍රශංසනීය වෙයි.

බුදුසමය මූලික කරගෙන සිදුකෙරෙන සෑම පූජා උත්සවයකින්ම අපේක්ෂා කරන ප්‍රධාන පරමාර්ථය සංසාර විමුක්තියයි. මෙසේ පෙරහර පූජා, වන්දන මානන උපහාර බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් වෙනුවෙන් ද සිදු කෙරෙන මෙම අසහාය පෙරහර පූජා මහෝත්සවය දකින, අසන, සිතන, ලියන, කියන සෑම දෙනාටම ජනිතවන කුසලබල මහිමයෙන් මෙලොව ශාන්තිය, පරලොව සුගතිය, අවසන අමාමහ නිවනින් සැනසීමට හේතු වාසනා වන්නේ ය.

එබැවින් පූජනීයත්වයෙන් ද කලාත්මක බවින්ද ඓතිහාසික බවින්ද අනූන මෙම ඇසළ පෙරහර ශ්‍රී ලාංකික අපගේ ප්‍රෞඪත්වය ලොවට විදහාපාන අවස්ථාවක්ද වේ. මහත් කැපවීමත්, රජයෙන් සහ අනෙකුත් සංවිධානවල අනුග්‍රහයත් ඇතිව සිදු කරන මෙම මාහැඟි පූජාවේ අනුහසින් ලක්වැසි සැමට යහපතක් උදාවේවායි ආශිංසනය කරම්හ.

 

    වප් මස
පුර අටවක පෝය

 වප් මස පුර අටවක පෝය ඔක්තෝබර් 08 වනදා සෙනසුරාදා අපරභාග 09.24 ට ලබයි.
9 වනදා ඉරිදා අපරභාග 10.31 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 09 වනදා ඉරිදාය.
 

මීළඟ පෝය ඔක්තෝබර් 15 වනදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 09

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 15

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 22

Full Moonඅමාවක

ඔක්තෝබර් 30


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]