UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුපිළිමයේ උපත - 35: බුදුරජාණන් වහන්සේ සහ සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවකයන් වහන්සේලා

බුදුපිළිමයේ උපත - 35:

බුදුරජාණන් වහන්සේ සහ සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවකයන් වහන්සේලා

පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ හිටපු සහකාර
පුරාවිද්‍යා අධ්‍යක්ෂ 
සිරිසමන් විජේතුංග 
පුරාවිද්‍යා M sc පර්යේෂණ

බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවකයන් දෙදෙනා වහන්සේ වූ සැරියුත් සහ මුගලන් මහ රහතන් වහන්සේ හමුවීම ඉතා වැදගත් වන්නේය. බුදුරජාණන් වහන්සේ මීළඟ දෙමස ගත කරන ලද්දේ රජගහනුවරය. විනය පිටකයේ සඳහන් වන පරිදි ඊළඟ සිද්ධිය ඇතිවූයේ මේ කාලයේදීය. බුදුරජාණන් වහන්සේ පිළිබඳ දැන ගැනීමට උපතිස්ස, හා කෝලිත දෙදෙනාට අවස්ථාව සැළසුනි

අටුවාචාරීහු (අටුවා ඇදුරෝ) මේ සුප්‍රකට බෞද්ධ ශ්‍රාවකයන් ගැන බොහෝ විස්තර දක්වති. ඒ අනුව ශාරිපුත්‍රයන් උපන්නේ රජගහනුවර අසල උපතිස්ස නම් ගමෙහිය. ඔහු උපතිස්ස නම් වූයේ එහෙයිනි. ඔහුගේ මව රූපසාරි නම් බැමිණියයි. එහෙයින් ඔව්හු සාරිපුත්‍ර , සාරිගේ පුත්‍රයා යනුවෙන් දක්නා ලදහ.

මොග්ගල්ලානයන් උපන්නේ ඒ අසළ වු කෝලිත නම් ගමෙහිය.

ඔහුට කෝලිත යන නම ලැබුණේ කෝලිත ගම ප්‍රධාන පවුලේ පුත්‍රයා වූ හෙයිනි. ඔහුගේ මව මොග්ගලී නම් බ්‍රාහ්මණ කාන්තාවකි. මොග්ගල්ලාන යන නාමය ව්‍යවහාර වූයේ ඒ නිසාය. එකම දිනයේ උපන් ඔවුහු වැඩිවිය පත්වූ පසු සංජය නම් පිරිවැජියා යටතේ විමුක්ති ධර්මය සෙවීම සඳහා එක්ව ගිහි ගෙය හැරපියා පැවිදි වූහ. එකල්හි සංජය නම් පරිබ්‍රාජක තවුසා දෙසියයක් පමණ වූ සිසුන් සමඟ රජගහනුවර විසුවේය. සාරිපුත්ත හා මොග්ගල්ලාන යන දෙදෙනා ඔවුන් අතර වූහ. මේ දෙදෙනා අතර කතිකාවක් ඇති විය. එනම් යමෙක් පළමුව අමරණීයත්වය අවබෝධ කෙරේ නම් අනෙකාට දැන්විය යුතුයැයි සම්මුතියයි.

ඒ කාලයේදී අස්සජි හිමියෝ බුදුරජාණන් වහන්සේගේ පස්වග මහණුන් වහන්සේලා ගෙන් එක හිමිනමකි. උදෑසනම පාත්‍ර සිවුරු ගෙන පිඬු සිඟා යනු පිණිස රජගහනුවරට පිවිසියේය. දෙනෙත් බිමට යොමාගෙන මනා ඉරියව්වලින් යුතු ඒ හිමියන් දුටු ශාරිපුත්‍රයෝ මෙසේ සිතූහ. ලොව රහත් හු හෝ රහත් මගට පිළිපන්නාහු සිටිත් නම් මේ ඒ අය අතර එක් භික්ෂුවක් විය යුතුය. එහෙත් ඒ හිමියන් වෙත ගොස් ඒ පිළිබඳ විමසීමට කාලය නොවේ යැයි සිතූ ශාරිපුත්‍රයෝ පිඬුසිඟා අවසන් වන තෙක් අස්සජි හිමියන් පසුපසම ගමන් කළේය. පිඬුසිඟා අවසන් වු පසු අස්සජි හිමියන් වෙත පැමිණ ශාරිපුත්‍රයාණෝ මෙසේ ඇසූහ.

“ඇවැත්නි, ඔබගේ ඉන්ද්‍රියයයෝ මහත්සේ ප්‍රසන්නය.ඡවි වර්ණය (සමේ පැහැය) පිරිසුදුය. පැහැබරය. ඇවැත්නි, ඔබ කවුරුන් නිසා පැවිදි වූවාහුද? ඔබගේ ගුණ කවරහුද? කවරෙකුගේ ධර්මය ඔබට අභිමතද?

ඒ ඇසූ අස්සජි හිමියෝ මෙසේ පැවසූහ. ඇවැත්නි, ශාක්‍යපුත්‍ර වූ ශාකල්‍යයෙන් පැවිදි වූ මහා ශ්‍රමණ කෙනෙක් සිටිති. උන්වහන්සේ උදෙසා පැවිදි වීමි. ඒ භාග්‍යවත්හු මගේ ගුරුහුය. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය මට අභිමතය.

ඔබගේ ගුරුන්ගේ ධර්මය කිම? උන්වහන්සේගේ දෘෂ්ටිය කිම?

මමද ඇවැත්නි නවකයෙක්මි. ළඟදී පැවිදි වූයෙමි. මේ ධර්ම විනය වෙත මෑතක එළඹියෙමි. සවිස්තරව දම් දෙසීමට නොහැක්කෙමි. සැකෙවින් සාරය පමණක් කියමි.

(බුද්ධ චරිතය – මහාචාර්ය සුචරිත ගම්ලත් – පි. 258-59)ඉන් පසුව උපතිස්ස පිරිවැජියා අස්සජි හිමියන් මෙසේ වදාළ දහම ඇසුවේය.

“හේතුවෙන් පහළ වන යම් ධර්ම කෙනෙක් වෙත්ද? ඔවුන්ගේ හේතුව ඒ තථාගතයන් වහන්සේ වදාරන සේක. ඔවුන්ගේ යම් නිරෝධයක් වේද? එය වදාරන සේක.

ඒ මහා ශ්‍රමණයන් වහන්සේ වදාරන කෙනෙකැයි වදාළහ.

මෙහි පළමු දෙපදය අසමින්ම සිය දහස් අයුරින් එහි අර්ථ දුටු උපතිස්ස පරිබ්‍රාජක තෙමේ සෝවාන් ඵලයෙහි පිහිටියේය. අන් පද දෙක දෙසුවේ සෝවාන් වූ පසුවයි. සෝවාන් වු පමණ මූත් ඉන් මත්තෙහි විශේෂ ගුණයකට නොපැමිණි බැවින් එයට කාරණයක් ඇතැයි සිතූ පිරිවැජි තෙමේ අස්සජි තෙරුන් අමතා මෙසේ ඇසීය.

“ස්වාමීනි මෙපමණක් සෑහේ. අපේ ශාස්තෘන්වහන්සේ කොහි වසනා සේක් දෝයි ඇසීය. ආයුෂ්මත්නි, උන්වහන්සේ දැන් වේළුවනයෙහි වසන සේකැයි අස්සජි හිමියෝ පිළිතුරු දුන්හ. ස්වාමිනි, එසේ නම් ඔබ වහන්සේ පළමුකොට වැඩිය මැනවි. අපේ යහළුවෙක් ඇත. පළමුව නිවන් දුටුවහු විසින් අනෙකාට දැන්විය යුතු යැයි අප දෙදෙනා විසින් කතිකාවක් කරන ලදී. ඒ පොරොන්දුවෙන් මිදී මගේ යහළුවා කැඳවා ගෙන ඔබ වහන්සේ වැඩි මාර්ගයේම ශාස්තෘන් වහන්සේ වෙත එන්නෙමැයි කියා පසඟ පිහිටුවා වැඳ පැදකුණු කොට පරිබ්‍රාජකාරාමය දෙසට ගියේය. ඔහු ඈත එන්නාහු දුටු කෝලිත යහළු පිරිවැජි තෙම අද මා යහළුවා ගේ මුහුණ අන් දවස්වල මෙන් නොවේ ඒකාන්තයෙන් නිවන් ලද්දේ වනැයි සිතා කතා කළේය. (ශාක්‍ය මුනින්ද්‍රා වදා නය හෙවත් සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය, අතිපූජ්‍ය බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නා හිමිපාණන් වහන්සේ – පි. 109-110 (1986)

ඉහතින් සඳහන් කළ ආකාරයට පංචවග්ගිය භික්ෂූන් වහන්සේලාට අයත් අස්සජි තෙරුන් වහන්සේ හමුවීමෙන් පසුව උපතිස්ස, කෝලිත යහළුවන් දෙදෙනාම භාග්‍යවතුන් වහන්සේ හමුවී පැවිදිව උපසම්පදාව ලබා රහත් වූහ. සාරිපුත්ත මොග්ගල්ලාන නම් වලින් ප්‍රකට වූ ඒ රහතන් වහන්සේ දෙනම අග්‍රශ්‍රාවක භාවය ලැබූහ. උන්වහන්සේලාගේ ලෝක ශාසන සංග්‍රහය විවරණය වන බොහෝ තොරතුරු ත්‍රිපිටකයෙහි දක්නට ලැබේ.

“මහණෙනි මෙකල අර්හත් සම්‍යක් සම්බුද්ධ මම ලොව පහළ වීමි. මට ශාරිපුත්‍ර සහ මොග්ගල්ලාන නම් අග්‍ර– භද්‍ර ශ්‍රාවක දෙනමක් වෙති. මහාපදාන සූත්‍රයෙහි මෙන්ම වේපුල්ල සූත්‍රයෙහිද මේ දෙනමගේ අග්‍රශ්‍රාවක භාවය භාග්‍යවතුන් වහන්සේම ප්‍රකාශ කර ඇත. එසේම මහා ප්‍රාඥයන් අතර සාරිපුත්ත තෙරුන් වහන්සේත් ඍද්ධිමතුන් අතර මොග්ගල්ලාන තෙරුන් වහන්සේ අගතැන්පත් වෙති. සැරියුත් තෙරනුවන් පරහට මෑණියන් හා සමාන බවත්, මුගලන් තෙරුන් වහන්සේ පරහට පියාණන් හා සමාන බවත් පෙන්වා දී තිබේ. (මජ්ජිම නිකාය – සච්චවිභංග සූත්‍රය පිටු අංක 512-518)

අගසව් දෙනම හමු වූයේ බුද්ධත්වයෙන් කොපමණ කලකින්දැයි සඳහන් කළ නොහැකිය. නිශ්චිත කාලවකවානුවක් ගැන සටහන් නොවන හෙයිනි. එසේ වුවද උන්වහන්සේලා හමුවන අවස්ථාව වන විට සෑහෙන ශ්‍රාවක පිරිසක් දහම් පණිවුඩය රැගෙන චාරිකාවේ යෙදී සිටි බව පිළිගත හැකිය. මෙසේ ධර්ම ශ්‍රාවකයන් බහුලවීම උන්වහන්සේලා දිශා අනුදිශාවන්හි චාරිකා කිරීම තථාගතයන් වහන්සේ නායකත්වය ගෙන එක් තැනකට වී නොසිට ශ්‍රාවකයන්ට ආදර්ශමත් වෙමින් ගම් දනව් රාජාධානිවල චාරිකාවේ යෙදීම, ආරාම ප්‍රතිග්‍රහණය ,ආරාම වෙත ජනතාව පැමිණීම සහ ජනතාව අතරට ශ්‍රාවකයන් යාම නිසා ගිහි පැවිදි සමීප සම්බන්ධය රජවරුන් ප්‍රභූන් ඇතුළු පොදු ජන සහභාගිත්වය යන කරුණු රාශියක්ම නව ධර්මය භාරතයේ විශාල ප්‍රදේශයක් පුරා ශීඝ්‍රයෙන් පැතිර යාමට හේතු වූ බව පෙනේ. එසේම ධර්ම සභාව සහ ජනතාව අතර ගොඩනැගුණු සෙවන –භජන සබඳතාව නව සංස්තෘතියක් ගොඩනැගීමේ පදනම විය.

සැරියුත් හා මුගලන් අගසව් මහ රහතන් වහන්සේලාගේ සාංචි දාගැබෙහි තිබී හමුවූ ධාතූන් වහන්සේලා

ඉන්දියාවේ මෙකල මධ්‍ය ප්‍රදේශ්හි පිහිටි සාංචි පුදබිමේ මහා ස්තූපය හැරුණු විට තවත් කුඩා දාගැබ් කීපයක්ම පිහිටා ඇත. සාංචි මහා ස්තූපයට ඊසාන දෙසින් ඇති ස්තූපයක අග්‍ර ශ්‍රාවක සැරියුත් හා මුගලන් මහ රහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලා හමු වී ඇත. ඉන්දියාවේ පුරාවිද්‍යා අධිකාරියේ ප්‍රථම පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් කනිංහැම් මහතා විසින් එම ධාතූන්වහන්සේලා සොයාගන්නා ලද්දේ 19 වන සියවසේ අග භාගයේදී කපිතාන් මෙයිසි මහතාගේ ද සහායෙනි. ශිලාමය ධාතු කරඬුවක තැන්පත් කර තිබූ එම ධාතූන් වහන්සේලා හඳුනාගත්තේ සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාගේ නාමයන්ද එම ධාතු කරඬුවේ බ්‍රාහ්මී අක්ෂරවලින් ලියා තිබුණු හෙයිනි.


පසුගිය සතියෙන්:  බුදුපිළිමයේ උපත - 34: බිම්බිසාර රජු හමුවීමයි ආරාම පූජාවයි

 

   බිනර අව අටවක පෝය

 බිනර අව අටවක පෝය සැප්තැම්බර් 23 වනදා සිකුරාදා පූර්ව භාග 04.19 ට ලබයි.
24 වනදා සෙනසුරාදා පූර්වභාග 02.40 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 23 වනදා සිකුරාදාය.

 

මීළඟ පෝය සැප්තැම්බර් 30 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 23

Full Moonඅමාවක

සැප්තැම්බර් 30

First Quarterපුර අටවක

ඔක්තෝබර් 09

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 15


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]