UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනීයානං

කොහොවල ධම්මකිත්ති නා හිමි

සාරසියපත්තුව ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියට අඹතැන්න ශ්‍රී සුධර්මෝදය විහාරාධිපති ශ්‍රී සද්ධර්ම විනයාචාර්ය කීර්ති ශ්‍රී දේශ කීර්ති, සාම විනිසුරු කොහොවල, ධම්මකිත්ති හිමි, අස්ගිරිය මහා විහාර පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ධම්ම සිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතන මාහිමිපාණන් ප්‍රධාන සානුනායක කාරක මහා සංඝ සභාව විසින් පත්කර ඇත.

සාරසිය පත්තුව උප ප්‍රධාන සංඝනායක, අඹතැන්න සුධර්මෝදය විහාරාධිපතිව වැඩසිට අපවත්වී වදාළ දොළොස්බාගේ ශ්‍රී ධම්මපාල සහ හිද්දවුල්ලේ ධම්මානන්ද යන නාහිමිවරුන්ගේ ආචාර්යත්වයෙන් පැවිදි බිමට ඇතුළත්ව මහනුවර ශ්‍රී සංඝරාජ පිරිවෙනින් මූලික ධර්ම ශාස්ත්‍රය ලබා විද්‍යෝදය පිරිවෙනින් ධර්මාචාර්ය හා විනයාචාර්ය යන පරීක්ෂණවලින් උසස් ධර්මශාස්ත්‍රය ප්‍රගුණ කරගත් ධම්මකිත්ති නාහිමියෝ, පූජාපිටිය ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී, සභාපති වශයෙන් දීර්ඝ කාලයක්ද ග්‍රාමෝදය මණ්ඩලයේ සභාපති වශයෙන්ද පූජාපිටිය ප්‍රාදේශීය ශාසනෝදය භික්ෂු සංගමයේ ලේඛකාධිකාරී වශයෙන්ද සාමගී‍්‍ර භික්ෂු මණ්ඩලයේ සභාපති වශයෙන්ද, විහාරස්ථ ශ්‍රී ධම්මපාල දහම් පාසලේ ප්‍රධානාචාර්ය වශයෙන්ද විසිපස් වසරක් අඛණ්ඩව කටයුතු කරමින් පසුගිය දශක තුන ඇතුළත සිදුකර ඇති ධර්ම ශාස්ත්‍රීය, සංස්කෘතික, සමාජ, ආගමික, විශේෂයෙන් දහම් පාසල් අධ්‍යාපන සේවාවන් ඉතා වැදගත් වේ. 1990 සිට වත්මන් යුගය දක්වා පාසල් ශිෂ්‍යයින් සඳහා නිප්පොත් ශිෂ්‍යත්ව ලබාදීම අධ්‍යාපනික වැඩසටහන ද විශේෂතැනක් ගනී. විහාරස්ථ අංග සම්පූර්ණ ධර්මශාලා මන්දිරය, නව සංඝාවාසය, ඝණ්ඨාරකුළුන සීමාමාලකයේ ප්‍රති නිර්මාණය, දහම් පාසල් ගොඩනැගිලි සංකීර්ණ නිර්මාණය ධම්මකිර්ති නාහිමි විසින් සිය විහාරස්ථානයේ ශාසනික දියුණුව වෙනුවෙන් සිදුකරන ලද සේවාවන් රැසකි.

ධම්ම කීර්ති නාහිමිපාණන්ට තව තවත් ශාසනික සේවාවන් සිදුකිරීමට අභිනව නායක පදවිය ආශිර්වාදයක් වේවායයි ප්‍රාර්ථනා කරමු.


දුණුවිල ශ්‍රී ප්‍රඤ්ඤාරාම හිමි

කුණ්ඩසාලේ ශාසනාරක්ෂක බල මණ්ඩලයට අයත් ප්‍රධාන පෙළේ විහාරස්ථානයක් වන කෙන්ගල්ල ජයන්ත්‍යාරාමාධිපති දුණුවිල ශ්‍රී ප්‍රඤ්ඤාරාම හිමියන් ශාසනික ආගමික සමාජ සේවා හා පොදු කටයුතු වලදී කරන ලද ශාසනික මෙහෙවරට උපහාරයක් ලෙස ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය මඟින් උන්වහන්සේට සිරි ඉන්ද්‍රවංශ ශීල වංශ ප්‍රඤ්ඤා වංශ යන ගෞරව සම්මානයෙන් උන්වහන්සේ පුදනු ලැබූහ.

කුණ්ඩසාලේ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ කැපී පෙනෙන සුවිශාල ආගමික ශාසනික හා සමාජ මෙහෙවරක් ඉටු කරන කෙන්ගල්ල ජයන්ත්‍යාරාමාධිපති දුණුවිල ප්‍රඤ්ඤාරාම හිමියන්ගේ දැඩි කැපවීම මත එම විහාරස්ථානය අංග සම්පූර්ණ ආගමික ස්ථානයක් බවට පත් කරනු ලැබ ඇත.

එම විහාරස්ථානය ආශි‍්‍රතව පවත්වාගෙන යනු ලබන ප්‍රඤ්ඤාවංශ ඉරු දින දහම් පාසලේ සිසු දරුවන් දෙසිය පනහක් පමණ දහම් අධ්‍යාපනය ලබන ප්‍රදේශයේ ජනපි‍්‍රය ඉරු දින දහම් පාසලකි.

කෙංගල්ල ප්‍රදේශයේ ආගමික ශාසනික සමාජ සේවා හා පොදු කටයුතුවලදී පෙරමුණ ගෙන ක්‍රියා කරන ප්‍රඤ්ඤාරාම හිමියන් විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමකි. උන්වහන්සේ පිරිත් දේශනයෙහි ද අති දක්ෂ යතිවරයාණන් වහන්සේ නමකි. අ‍්‍රදේශයේ ලොකු කුඩා කාගෙත් ආදර ගෞරවයට පාත්‍ර වී සිටින උන්වහන්සේ ප්‍රදේශයට මහඟු සේවයක් කළහ. කෙන්ගල්ල ජයන්ත්‍යාරාමාධිපති හිමියන්ට මෙම ගෞරව සම්මානය එම විහාරස්ථානයේ පැවැති සුවිශේෂ උත්සව සභාවකදී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අති පූජ්‍ය නාපාන පේමසිරි මහා නා හිමියන් අතින් ප්‍රදානය කළහ. තෙරුවන් බෙලෙන් උන්වහන්සේට මෙවැනි ආගමික ශාසනික සේවාවක් කිරීමට නිරෝගි සුව හා දීර්ඝායු සම්පත් ලැබේවා.


ඇටිපොල මහින්ද හිමි

මහනුවර අස්ගිරිය මහා විහාර මහ පිරිවෙනේ නියෝජ්‍ය පරිවේණාධිපති, වටපුළුව ශ්‍රී කල්‍යාණ බෞද්ධ මධ්‍යස්ථානාධිපති මහනුවර ශ්‍රී නාථ දේවාල විහාරාධිවාසී නාථ දේවාල දහම් පාසලේ ප්‍රධානාචාර්ය ශාස්ත්‍රපති ඇටිපොල මහින්ද හිමි, අස්ගිරිය මහා විහාරයීය විංශත් වර්ගික කාරක මහා සංඝසභාවේ කාරක සභික ධූරයට අස්ගිරිය මහා විහාර පාර්ශ්වයේ අති පූජ්‍ය මහානායක වරකාගොඩ ශ්‍රී ඤාණරතන මා හිමිපාණන් වහන්සේ විසින් පත්කර ඇත.

අපවත්වී වදාළ ශ්‍රී නාථ දේවාල විහාරාධිපති කාරක සභික පාත දුම්බර ප්‍රධාන සංඝනායක ගොඩමුන්නේ විමලකීර්ති ශ්‍රී සුමනගුණරතන නාහිමිගේ ආචාර්යත්වයෙන් 1981 ජූනි 15 වෙනි දින පැවිදිබිමට ඇතුළත්ව 1988 දී අස්ගිරිය මහා විහාරයේ දී උපසම්පදා ශීලය ලබාගත් ඇටිපොල මහින්ද හිමි මහනුවර ශ්‍රී සංඝරාජ මහ පිරිවෙනින් මූලික ධර්ම ශාස්ත්‍රය ලබා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී, ශාස්ත්‍රපති උපාධියත් කොළඹ විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා උපාධියත් ලබාගත් ධර්මධර, විනයධර, සුපේෂල, ශික්ෂාකාමී තෙරනමකි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ හිටපු මහාචාර්ය අපවත්වී වදාළ වරකාවේ ධම්මාලෝක නාහිමියන්ගේ සහ නාථදේවාල විහාර වත්මන් විහාරාධිපති කාරක සභික මහෝපාධ්‍ය ගොමගොඩ රතනසාර හිමිවරුන්ගේ දහම් සෙවන යටතේ කුඩාකල සිට හැදී වැඩී දහම් දැනුම් ප්‍රගුණ කර ගත් මහින්ද හිමි ශ්‍රී නාථ දේවාලයේ නැණ පහන ශිෂ්‍යත්ව පදනම ආරම්භ කර ශිෂ්‍යයින් 35 දෙනෙකු වෙනුවෙන් මාසික ශිෂ්‍යත්ව ආධාර ක්‍රමයක්ද ආරම්භ කර ඇත. මහින්ද හිමියෝ මහනුවර විවිධ බෞද්ධ සංස්කෘතික හා සාමාජික සංවිධාන රැසක ක්‍රියාකාරී තෙරනමක් වශයෙන් කටයුතු කරන අතර ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ ශ්‍රී ලංකා ශාඛා සංවිධානයේ විදේශ ලේකම් වශයෙන්ද කටයුතු කරති.


ලුණුවිල දීපසිරි හිමි

පුත්තලම් දිස්ත්‍රික්කයේ ලුණුවිල නම් ගම්මානයෙහි, එච්.ඒ. ජිනදාස හෙට්ටිආරච්චි මහතාට ජේ.ඒ. ආලවතී මහත්මියට දාව 1965.09.26 වන දින මෙලොව එළිය දැක පසුව ලුණුවිල, බණ්ඩිරිප්පුව ථූපාරාම විහාරස්ථානය ප්‍රධාන පඤ්ච මහා විහාරාධිපතිව වැඩ සිටි අමරපුර මූලවංශික මහා නිකායේ අනුනායක රාජකීය පණ්ඩිත දුම්මලදෙණියේ ධීරාලංකාරතිස්ස අනුනායක මාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍යයෙක් වශයෙන් 1979.07.05 වන දින ලුණුවිල දීපසිරි හිමි නමින් පැවිදිබිමට පත්ව දුම්මලදෙණිය ශ්‍රී සුමනාරාම පිරිවෙන, බිබිලාදෙණිය ශ්‍රී මලියදේව පිරිවෙන යන පිරිවෙන් තුළින් පිරිවෙන් අධ්‍යාපනය ලබා 1986.07.14 වන දින බලපිටිය ශ්‍රී අම්බරුක්ඛාරාමාධිපතිව වැඩ විසූ අමරපුර මූලවංශික මහා නිකායේ මහානායක රාජකීය පණ්ඩිත පරම අහුංගල්ලේ විමලනන්දිතිස්සාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන සංඝ සභාව මගින් බලපිටිය මාදුගඟ උදකුක්ඛේප සීමාමාලකයේදී උපසම්පදාව ලබාගත්හ. පසුව කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර ශිෂ්‍යයෙකු වශයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලැබූ උන්වහන්සේ මුල් පිරිවෙන් අකුරු ලියූ දුම්මලදෙණිය ශ්‍රී සුමනාරාම මූලික පිරිවෙනේම ගුරුවරයෙක් වශයෙන්ද පසුව එහිම පරිවේනාධිපති හිමි වශයෙන්ද කටයුතු කළහ. මේ අතර උඩවෙල ශී‍්‍ර සුධර්මාරාමාධිපති වශයෙන්ද දිගන්කෝන් වැව ශ්‍රී ජයසුමනාරාමාධිපති වශයෙන්ද බොදු ජනතාවගේ ආගමික, ජාතික, සාමාජික කටයුතුවල නියැලෙන මුන්වහන්සේ වසර 36 ක් දහම් පාසල් සේවාවේද වසර 17 ක් පරිවේනාධිපති සේවාවේද කටයුතු කරනු ලබයි. වර්තමානයේ නිකවැරටිය සමදරාපිටිය ශ්‍රී පාලිත විද්‍යායතන පිරිවනේ පරිවේනාධිපති වශයෙන් කටයුතු කරනු ලබයි. එමෙන්ම බෞද්ධ බල මණ්ඩලයේත්, ජ්‍යෙෂ්ඨ පුරවැසි සංගමයේත් ප්‍රධාන අනුශාසක වශයෙන් කටයුතු කරමින් මෙසේ මුන්වහන්සේගේ සේවාව අගය කරනු වස් මුන්වහන්සේට, වෙන්නවත්ත ශ්‍රී කල්‍යාණි වංශිකාරාමාධිපති යටියන ඤාණවාස අනුනායක මාහිපාණන් වහන්සේ ප්‍රධාන අනුශාසක වශයෙන් කටයුතු කරණ, “සීතාවක ගුණ සමරු පදනම” මගින් ශාසන සෝභන ශ්‍රී සද්ධර්ම වාගීශ්වර ශාසන කීර්ති ශ්‍රී” යන ගෞරව නාමයෙන් පිදුම් ලදහ. එහි සන්නස් පත්‍රය පිළිගැන්වීමේ උත්සවය 2016.09.24 වන දින පෙරවරු 8.30 ට වෙන්නවත්ත ශ්‍රී කල්‍යාණිවංශිකාරාම විහාරස්ථානයේදී පැවැත්වේ. එදින සවස 3.00 ට නාගොල්ලාගම මංසන්ධියේ සිට රිය පෙරහරකින් දිගන්කෝන්වැව සඳුන් අරණ ප්‍රාථමික විද්‍යාලය තෙක් වැඩමවා අනතුරුව දර්ශනීය පෙරහරකින් ශ්‍රී ජයසුමනාරාම විහාරස්ථානයට වැඩමකරවීමට නියමිතය. විහාරස්ථ ධර්ම ශාලාවේදී පිළිගැනීමේ උත්සවය ප්‍රාදේශීය මහා සංඝරත්නය හා ආරාධිත අමුත්තන්ගේ සහභාගිත්වයෙන් සිදුවෙන අතර උත්සවය අවසානයේදී ආශිර්වාද බෝධිපූජාවක් පැවැත්වීමටද නියමිතය.

 

   බිනර අව අටවක පෝය

 බිනර අව අටවක පෝය සැප්තැම්බර් 23 වනදා සිකුරාදා පූර්ව භාග 04.19 ට ලබයි.
24 වනදා සෙනසුරාදා පූර්වභාග 02.40 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 23 වනදා සිකුරාදාය.

 

මීළඟ පෝය සැප්තැම්බර් 30 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 23

Full Moonඅමාවක

සැප්තැම්බර් 30

First Quarterපුර අටවක

ඔක්තෝබර් 09

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 15


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]