UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සේරුවාවිල මංගල රජමහා විහාරයේ වාර්ෂික ශ්‍රී ලලාඨ ධාතු නිකිණි මහා පෙරහර 20 වන දා

සේරුවාවිල මංගල රජමහා විහාරයේ වාර්ෂික ශ්‍රී ලලාඨ ධාතු නිකිණි මහා පෙරහර 20 වන දා

සියවස් ගණනාවක් තිස්සේ බෞද්ධ ජනයාගේ පුද සත්කාර ලැබුව ද කාලයාගේ ඇවෑමෙන් මහා වනස්පතීන්ට මැදි වී සැඟව ගිය සේරුවාවිල මහා සෑ රජාණෝ ක්‍රි.පූ. 2 වන ශත වර්ෂයේ රුහුණේ රජ කළ කාවන්තිස්ස මහ රජු විසින් ඉදි කළ බවට අපේ ප්‍රෞඪ ඉතිහාසය සාක්ෂි දරයි. ක්‍රි.ව. 1921 සිට ක්‍රමයෙන් යළි ගොඩනැගුණු මහා චෛත්‍ය රාජයා ප්‍රතිසංස්කරණය වෙනුවෙන් බිහිවුණු සේරුවිල සරණකිත්ති මාහිමිපාණන් විසින් යාවත්කාලීන කරන ලද මංගල මහා චෛත්‍යවර්ධන සමිතියේ පූර්ණ අනුග්‍රහයෙන්, වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හා අනුශාසකත්වයෙන් අගෝස්තු මස 20 වන සෙනසුරාදා දින සේරුවාවිල මංගල රජමහා විහාර භූමියේ සිට මෙවර අති උත්කර්ෂවත් ලෙස ශ්‍රී ලලාඨ ධාතු නිකිණි මහා පෙරහර වීදි සංචාරයේ යෙදීමට නියමිතය.

මේ මහා පින්බිමෙහි ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ලලාඨ ධාතූන් වහන්සේ සහ කේශ ධාතූන් වහන්සේ තැන්පත් කර ඉදි කළ මහා සෑ රඳුන් අභාග්‍ය සම්පන්න ලෙස සැඟව ගිය ද අපේ ප්‍රෞඪත්වය හා සංස්කෘතිය රැක ගැනීමට දෝ සිංහල බෞද්ධයාගේ පිනට පහළ වූ දොඩන්දූවේ ශෛලබිම්බාරාමයේ දඹගස්ආරේ ශ්‍රී සුමේධංකර තරුණ භික්ෂූන් වහන්සේ ධාතු වංශය අධ්‍යයනය කිරීමෙන් පසු 1921 දී උන්වහන්සේ සේරුවිල පුණ්‍ය භූමිය වෙත වැඩම කළහ. අතීතයේ අපේ නර විරුවන්ගේ දැඩි කැපවීම බෞද්ධයාගේ සංස්කෘතිය වැළලීයාමට ඉඩ නොදී පුණ්‍යවන්ත චෛත්‍ය රාජයාණන් වහන්සේ නැවත ප්‍රතිසංස්කරණය කිරීමට උන්වහන්සේගේ දැඩි අධිෂ්ඨානයෙන් යුතුව කටයුතු කළහ. ඒ සඳහා ඉංගී‍්‍රසි ආණ්ඩුව සමඟ අදහස් හුවමාරු කර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස එවකට ආණ්ඩුකාරවරයා වූ නොර්ත් ක්‍රොප්ටි විසින් චෛත්‍ය සංවර්ධන සඳහා චෛත්‍යවර්ධන සමිතියක් පිහිටුවා ගැනීමට අවසර ලබා දීම උන්වහන්සේ දැඩි කැපවීමේ ප්‍රතිඵලය විය. එහි මූලාරාම්භය ලෙස 1923 දී සේරුවිල මංගල මහා චෛත්‍යවර්ධන සමිතිය පිහිටුවන ලදී.

පසුව සැදැහැවතුන්ගේ ආධාර උපකාරයෙන් ප්‍රතිසංස්කරණ වූ එම මහා සෑ රජාණෝ 1931 සැප්තැම්බර් මස 31 වන දින කොත් පළඳවා වන්දනාමානයට විවෘත විය. එදින පටන් මංගල මහා චෛත්‍යරාජයාණන්ට පූජෝපහාර ලෙස නිකිණි මහා පින්කම වාර්ෂිකව පවත්වනු ලබන අතර, මෙම සියලු කටයුතු උදෙසා ශාස්ත්‍රපති කථිකාචාර්ය මුංහේනේ මෙත්තාරාම නාහිමිපාණන් වහන්සේගේ දැඩි කැපවීම හා ආශිර්වාදය නිරන්තරයෙන්ම හිමිවීම පින් සිතින් සිහිපත් කළ යුතු ය.

වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිඳුන්ගේ සභාපතිත්වයෙන් පිහිට වූ කමිටුව මඟින් 2008 වර්ෂයේ දී පූජා නගරයක් බවට පත් ප්‍රකාශයට පත් කළ සේරුවිල පින්බිම, හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් පිහිට වූ කමිටුව විසින් 9 වන ලෝක උරුමය වශයෙන් ද නම් කිරීම සිදු විය.

2016 අගෝස්තු මස 14 ව දින සිට 20 දින දක්වා සේරුවිල මංගල මහා විහාරයේ දී පැවැත්වෙන මෙම පින්කමෙහි අරමුණු කිහිපයකි. එනම්, දඹගස්ආරේ ශ්‍රී සුමේධංකර මහා නාහිමියන්ගේ ගුණානුස්මරණය කර පින්පෙත් අනුමෝදන් කිරීම, සේරුවිල සරණකිත්ති නාහිමියන්ගේ අපවත්වීමෙන් අනතුරුව පවත්වන තුන්මාසයේ දානමය පින්කම සිදුකිරීම, චෛත්‍යවර්ධන සමිතියේ ආරම්භක සභාපති ඩී.ඩී. වීරසිංහ මුදලිතුමාට හා සිරිල් මැතිව් ඇමැතිතුමාට පින්පෙත් අනුමෝදන් කිරීම සහ තිස් වසරක කුරිරු යුද්ධයේ දී රට දැය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීම ප්‍රධාන අරමුණු වේ.

තවද සඟ සතු දානමය පින්කම් 21 ක් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර 2016 අගෝස්තු මස 14 වන දින මහා සාංඝික දානමය පින්කම ද අගෝස්තු මස 17 වන දින තිස්තුන් පැයේ මහා පිරිත් දේශනය ආරම්භ කිරීම සහ අනතුරුව එදිනම සේරුවිල හඬ ගුවන්විදුලිය ආරම්භ කිරීම, ආලෝක පූජාව පැවැත්වීම, කුල දරුවන් පැවිදි කිරීම යනාදී පුණ්‍ය කටයුතු රැසක් සිදු වේ.

20 වන දින පැවැත්වෙන මෙවර පින්කම් මාලාවේ ප්‍රධාන අංගය ලෙස සැලකෙන ශ්‍රී ලලාඨ ධාතු නිකිණි මහා පෙරහරේ විශේෂත්වයන් වන්නේ ජාතික සංහිඳියාව අර්ථවත් කිරීම වෙනුවෙන් සිංහල, දෙමළ, මුස්ලිම් ජාතීන් එකතුව එකම පෙරහරක ගමන් කිරීමටත්, සුමන සමන් දෙවියන් උදෙසාත්, සුමන සමන් නාගරාජයා උදෙසාත් සහ පුල්ලෙයාර් දෙවියන් උදෙසාත් වෙන් වෙන් වශයෙන් පෙරහර ශ්‍රී ලලාඨ ධාතු නිකිණි මහා පෙරහරට එක් වී වීදි සංචාරයේ යෙදීමයි.

 

  නිකිණි පුර පසළොස්වක පෝය

  නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 17 වනදා බදාදා අපරභාග 04.27 ට ලබයි. 18 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 02.56 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 17 වනදා බදාදාය.

මීළඟ පෝය අගෝස්තු 25 වනදා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 17

Second Quarterඅව අටවක

අගෝස්තු 25

Full Moonඅමාවක

අගෝස්තු 31

First Quarterපුර අටවක

සැප්තැම්බර් 09


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]