UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පහන් සිතක කවි

බුදු හිමි

ආගම් කුල බේද ඉවතට දැමූ සේක
සිටුමැදුරට පැල්පතටත් වැඩි සේක
රාහුල පුතුට සේ සෝපාකට සැලකූ සේක
සියලු සතට නිවනට මග සැදු සේක

දුක යනු කුමක්දැයි පහදා දුන් සේක
දුකෙන් මිදෙන හැටි වටහා දුන් සේක
හොඳ හා නරක දෙක පෙන්වා දුන් සේක
තුන් ලෝකෙටම ගුරු තනතුර ලැබු සේක


බුදු සරණ

සත වෙත මුදා හළ මහ කරුණාව මත
ගත කළ දිවා රැය දුන් තුන්ලොවට සෙත
සිත ගත වත සිනිදු සුසිනිදු මුණි දෙනෙත
හිතවත ඔබට පිහිටට බුදුසරණ ඇත

තිළකුණු ගුණය මත පෙන්වා ලොව දහම
සලකුණු තබ තබා පෙන්වයි හිමි දහම
වැළකුණ පස් පවෙන් සිල්වත් උවසු නොම
බලකණුවක් වේවි අද “බුදුසරණ” මෙම

බුදු දම් මහා සඟ සරණින් සැරදේවා
විදු ණැන නුවණ ලැබ සසරෙන් ගැලවේවා
පිදු මෙන් පිළිවෙතෙහි අප නිවනට වේවා
අද මෙන් හෙටත් බුදු සරණින් සෙතදේවා


අටපට්ටම කියයි අනියත

උණ බට පතුරු සැස
එකිනෙක යාව බැඳ
මහ දුකක් විඳ ගෙන
සැදුව අටපට්ටම
නෙක පැහැය කොළගෙන
බට පතුරු මත තබා
විසිතුරුව අලවා
රැලි ද කොණ එල්ලා
වෙසක් දා පාන්දර
රිටක අහසට යවා
හවස එළි දක්වා
දිදුල අටපට්ටම
වෙසක් අහවර වුණා
මේඝ වැසි ඇති වුණා
පැහැය බොඳ කර දමා
සම් නහර දිය කරදමා
කෙස් රැල්ල දිය වුණා
බැමි බැඳි ද ගිලිහුණා
ඇට සැකිලි දිය වුණා
බිම වැටී වැතිරුණා
ලේ බිඳු හා මුසුව
සැදුණු මේ නිසරු ගත
ඇට කටුද නහර ද
පස්වේය පොළොවට


බුදු පහස මතු කරන්

රහල් සීවලි අනඳ කාශ්‍යප මහ රහත්
පූතිගත තිස්ස සහ තවත් හඳුනා නොගත්
බුදු පුතුන් වැඩ විසූ ආරාම කුටි මැදින්
බුදු පහස ලද දෙරණ සිප ගතිමි බැති සිතින්

සුන් ගඩොල් අතර රැඳි බුදු පහස මතුකරන්
සන්සුන්ව හමායයි ජේතවන මඳ පවන්
ආනන්ද බෝධියට පෙනෙන නොපෙනන දුරින්
දම්සභා මණ්ඩපය දුටිමු නෙත් ලද පිනෙන්

පටාචාරාවන් එදා දැවී දැවී ජීවිතේ
සිහිලසෙක් පතා දැවටෙන්න බුදු හිමිනෙතේ
දම්සභාවට දිවෙන සුමුදු වැලි මාවතේ
වැදී දිව ආ අයුරු මැවී දිස්විය නෙතේ


කරපු කුසල් මදි

වේළුවනාරාමෙට අපි
නිතර යන්න එන්නත් ඇති
බුදු හිමිගේ දෙපා වැඳලා
සුවඳ මලින් පුදන්න ඇති
දාන මාන හැමදාමත්
බුදු හිමි හට පුදන්න ඇති
ඒත් ඉතින් නිවන් යන්න
කරපු කුසල් මදි වෙන්නැති

බුදු හිමියන් දෙසු බණ පද
එකම සිතින් අහන්න ඇති
සියලු කෙලෙස් දුරු කරන්න
සිතට මගේ ගන්නත් ඇති
සතර පෝය හැම දිනයක
පන්සලෙ සිල් ගන්නත් ඇති
ඒත් ඉතින් නිවන් යන්න
කරපු කුසල් මදිවෙන්නැති

මේ සසරෙදි නිවන් යන්න
සියලු කෙලෙස් දුරු කරන්න
බුදු හිමි පෙන්නලා දුන්නු
මාර්ගයට පිය නගන්න
සිතේ තිබෙන මේ මලකඩ
සෝදල පිරිසුදු කරන්න
සැවොම ඉතින් එකතුවෙලා
අපිත් පතමු නිවන් යන්න


හිමිගත් මග ගැනීමටය

ඝෝර සසර කතරේ
බිය ජනක බව දැන
එයින් මිදෙන්නට
මට ලබාදුන් දායාදය
කප් රුකක් සේ වටී
සසුනඹර එකළු කරන්නට
රහත් තෙරණියක් වන්නට
සසර බොහෝ පින් කර ඇති බව
හැඟේ මට හැමවිටම


ඇසළ පොහොය

නැග ආ දිනයෙ පෙරගිරගින් ඇසළ සඳ
නිදහස පතන ලෝ සතවෙත සිත් පැහැද
තෙරුවන පහළ වූ දින ලෙස පතල තෙද
බුදුහිමි මුව තුළින් වැගුරුණි දහම් කඳ

තුන්ලොව සාන්තව මිස දිටු අඳුර බිඳ
බුදු රැස් දහර පතුරවමින් මිනිස් හද
මුළු මිගදායෙ ඉසිපතනයෙ සාදු නද
පිළිරැව් දෙන්න විය නළලත ඇදිලි බැඳ

යහපත් දැක්ම ලෝ දනහට පහළ වින
මිසදිටුවන්ගෙ ගති පැවතුම් හඳින දැන
මැද පිළිවෙතින් ජීවන මග පහද මින
මෙදිනය තථාගත හිමි දම් දෙසුව දින

විමුක්තියේ නායකයාණන් දිනුව
හේතුව හේතුපල ලෝ දහමට අනුව
සිදුවන්නේය යන බුදු මුවගින් බිනුව
ඇසළ මසේ පුන් පොහො දින වග දනුව

 

  ඇසළ අව අටවක පෝය

  ඇසළ අව අටවක පෝය ජූලි 26 වනදා අඟහරුවාදා අපර භාග 05.36 ට ලබයි.
27 වන දා බදාදා අපරභාග අපරභාග 3.21 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි 26 වනදා අඟහරුවාදාය.

මීළඟ පෝය අගෝස්තු 02 වනදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 26

Full Moonඅමාවක

අගෝස්තු 02

First Quarterපුර අටවක

අගෝස්තු 10

Full Moonපසෙලාස්වක

අගෝස්තු 17


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]