UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුපිළිමයේ උපත - 27: අනගාරික ධර්මපාලතුමා සහ නව මූලගන්ධකුටි විහාරය

බුදුපිළිමයේ උපත - 27:

අනගාරික ධර්මපාලතුමා සහ නව මූලගන්ධකුටි විහාරය

අප රටේ ජනතාවගේ පිනට පහළ වූ ඒ ශ්‍රේෂ්ඨ නායකයාණන් වූ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා උපත ලැබුවේ 1864 සැප්තැම්බර් 17 දා ය.


නව මූලගන්ධකුටි විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ

අනගාරික ධර්මපාලතුමා නොවන්නට අද බුද්ධගයාව ඇතුලු පුරාණ දඹදිව බෞද්ධ පුදබිම් බොදු අයිතියෙන් ඈත්වන්නට ඉඩ තිබුණි. අනගාරික ධර්මපාලතුමාගේ අද්විතීය වික්‍රමය වනාහි බුද්ධගයාව බෞද්ධයින්ට ලබාදීම සඳහා ගත් ප්‍රයත්නයයි. සිංහලයිනි බුද්ධගයාව බේරාගනිව් යන පාඨය අප රටේ ජනතාව අවදි කළ කාහළනාදයකි. බුද්ධගයාව බේරා ගැනීම සඳහා ලෝක ජනතාවගේ ද නායකයන්ගේ ද සිත් එම ප්‍රශ්නය දෙසට යොමු කළ මහා බෞද්ධ හඬ නැගුණේ අනගාරික ධර්මපාලතුමාගෙන් හා 1891 දී එතුමාගේ මූලිකත්වයෙන් ගොඩනඟනලද මහාබෝධී සමාගමේ ක්‍රියාකාරීත්වය නිසාය. නැවත දඹදිව බුදුසමය ව්‍යාප්ත කිරීම මෙතුමාගේ ජීවිතයේ අතිශයින්ම සාර්ථක වූ වැදගත් කාර්යභාරයකි. අසෝක රජතුමාගේ කාලයේ සිට ලංකාව ඉන්දියාවට ණය ගැතිව සිටියේ බුදුසමය සහ බෞද්ධ සංස්කෘතිය මෙහි ස්ථාපිත වූ හෙයිනි. ඒ ණය ගෙවා දැමීමට යම්ඉඩක් ලැබුණේ අනගාරික ධර්මපාලතුමා නිසා බව මහාචාර්ය ආනන්ද ඩබ්.පී. ගුරුගේ විද්වතාණන් විසින් සඳහන් කරන ලද කරුණකි. සාරානාත්හි පිහිටුවන ලද නව මූලගන්ධකුටි විහාරය මෙතුමාගේ තවත් වික්‍රමයකි. (සිදුහත් කුමරු උපන් ලුම්බිනියේ මායා දේවි විහාරය - සිරිසමන් විජේතුංග - පි. 114 – 2014 සුබෝධි ප්‍රකාශන)

ලෝක නාථයන් වහන්සේ විසින් තමන් වහන්සේගේ මංගල ධර්ම දේශනය පවත්වන ලද බරණැස පිළිබඳව පන්සිය පණස් ජාතක පොත කියවන බෞද්ධ ජනතාවට කිසිදිනක අමතක නොවන "යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්‍යය කළ" සහ සිරිත් වශයෙන්ම පිරිත් අසන අප රට ශ්‍රද්ධාධික උපාසක උපාසිකාවන් ‘ඒකං සමයං භගවා බාරාණාසියං විහරති. ඉසිපතනෙ මිගදායේ....’ යන්න සවන වැකෙන කල පස්වණක් පී‍්‍රතියෙන් සාධුකාර දෙන එතැනට අනගාරික ධර්මපාලතුමා පැමිණි කාලයේ ඒ බුද්ධ භූමිය සූකර (ඌරන්) කොටුවක් බවට පත්ව තිබුණේ ය. එතුමන් එකල පළමු කොටම එහි ගිය සමයේදී එතුමා නවාතැන් ගත්තේ කොහොඹ ගසක් යට යැයි කියනු ලැබේ. (අනගාරික ධර්මපාලතුමා - ඩේවිඩ් කරුණාරත්න පි. 157 – 1964)

මෙම ඉසිපතනාරාම පූජා භූමියෙහි නව මූලගන්ධකුටි නමින් මහාවිහාරයක් ගොඩනංවන්නට ඉටාගත් අනගාරික ධර්මපාලතුමා ලහි ලහියේ වැඩ ඇරඹීම ලංකාවටත් අභිමානයක් වන පරිද්දෙන් පුරාණ භාරත ගෘහ නිර්මාණ ශිල්පය අනුව පිළියෙල වුණු පිඹුරුපත් අනුව ආරම්භ වූ මෙම මන්දිරයේ මුල්ගල 1922 නොවැම්බර් මාසයේ ඉන්දියානු ඒකාබද්ධ ප්‍රාන්තයේ ආණ්ඩුකාරයා වූ හෝර්කාට් බට්ලර් මහතා විසින් තබන ලදී.

අතිවිශාල ඉන්දියාව වැනි රටකට කුඩා ලංකාවෙන් පැමිණි බෞද්ධයෙකු බරණැස් ප්‍රදේශයේ මෙබඳු විහාර කර්මාන්තයක් ආරම්භ කිරීම බරණැස් නුවර බමුණන්ගේ මුණුමුණු වලට හේතුවිය. මුලින් බට්ලර් විසින් මංගල ශිලා ප්‍රතිෂ්ඨානය කරන ලද අත්තිවාරමේ එකල මේ විහාරය ගොඩනැංවීම නතර කළයුතු යැයි රජය හදිසියේම තීරණය කළේය. ඉක්බිති මූලගන්ධකුටි විහාරය දැනට, පිහිටුවා ඇති අඹ උයනේ නැවතවරක් මඟුල් ගල් තබා දෙවෙනිවරට විහාර කර්මාන්තය ආරම්භ කරන්නට සිදුවිය. එහෙත් එහිද එකල වැඩකටයුතු නතර කළ යුතු යැයි ඉන්දියා රජයෙන් දෙවැනිවරටත් අණ ලැබිණ. එහෙත් අනගාරික ධර්මපාලතුමා විරුද්ධ විය. බරණැස බෞද්ධයෝ ද විරුද්ධ වූහ. ඉන්දියානු එකල රජයට සිය විරෝධය පළකළ ධර්මපාලතුමා ලෝකයේ බෞද්ධ රටවලට ගොස් ඒ ඒ රටවල විරෝධය ඉන්දියානු රජයට දන්වා එව්වේය. ඉසිපතනයේ මූලගන්ධකුටිය ඉදිකිරීම පිළිබඳ ප්‍රශ්නය ගැන ඉන්දීය රජය සමඟ සටන් කරමින් එහි බුද්ධගයා ගැටලුව පිළිබඳ ඉන්දියානු ජාතික සංගමයේ ප්‍රධානීන් සම්බන්ධ කරගෙන සටන් කරමින් 1923 දී පොස්ටර් රොබින්සන් උපාසිකාව විසින් ප්‍රදානය කරන ලද ඩොලර් එක්ලක්ෂයේ මුදල ලොව පුරා යොදන අතර කල්කටාවේ මහාරාෂ්ට්‍රිය ප්‍රාචීන සම්මේලනයේ බුද්ධාගම සම්බන්ධ අංශයේ සභාපති පදවියද දැරීය. (ඉහත සඳහන් ග්‍රන්ථය පි. 163)

තත්ත්වය මෙසේ තිබියදී අනගාරික ධර්මපාලතුමා 1925 දී ලංකාවට පැමිණි එවක විද්‍යෝදය පරිවෙනාධිපතිව වැඩ විසූ කහවේ ශ්‍රී රතනසාර නායක ස්වාමීන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් අගනුවර මහා සභාවක් පවත්වා බරණැස සාරානාත්හි ගොඩ නංවන්නට ආරම්භ කළ මූලගන්ධ කුටි විහාරයේ වැඩ ඉන්දීය රජය විසින් නවත්වා තිබීම ගැන සමස්ත බෞද්ධ ලෝකයා වෙනුවෙන්ම විරෝධය පළකරන බව ඉන්දියානු රජයට දන්වා සිටියේ ය. එම යෝජනාව සියතින්ම භාරගෙන ඉන්දියාවට ගියේ අනගාරික ධර්මපාලතුමාගේ කනිටු සොහොයුරු දොස්තර සී.ඒ. හේවාවිතාරණ මහතා විසිනි. මේ ගැන තක්ෂිලාවට ගොස් එවක පුරාවිද්‍යා අධ්‍යක්ෂජනරාල් වූ සර් මාෂල් මහතාටද කරුණු පැහැදිලි කළේ ය. ඒ අනුව සර් මාෂල් මහතා ඉංගී‍්‍රසි පාලකයින්ට පැහැදිලි කර දුන්නේ ය. සාරානාත්හි මූලගන්ධිකුටි විහාරය සෑදිමේ කටයුතු කරගෙන යෑමට අවසර ලබා දුන්නේ ය. එම ජයග්‍රහණය ලබාගෙන ආපසු ලංකාවට ගිය දොස්තර හේවාවිතාරණ මහතා අනගාරික ධර්මාලතුමාට දැන්වූයේ ය. එයින් ඉමහත් සොම්නසට පැමිණි අනගාරික ධර්මපාලතුමා විසින් වහාම 1926 මැයි මස මාළිගාකන්දේ සර්ව පාක්ෂික බෞද්ධ මහා සභාවක් කැඳවා සර් මාෂල් මහතාටත් ඉන්දියානු රජයටත් ප්‍රසාදය පළකරන යෝජනාවක් සම්මත කර එය ඉන්දියානු රජයට දන්වා සිටියේ ය.

මෙසේ නානාවිධ බාධක හා ජයග්‍රහණ මධ්‍යයේ ලෝකප්‍රකට ජපන් චිත්‍ර ශිල්පී ෂිබෝ විසින් අඳින ලද සිත් කළු බිතුසිතුවම්වලින් අලංකාර වූ මූලගන්ධ කුටි විහාරය ඉදිකරන ලදී. එය විවෘත කරන අවස්ථාව මෙසේ සඳහන්ය.

එවකට ලංකාවේ ප්‍රධාන පිරිවෙන් දෙකෙහි අධිපති ධූරය දැරූ කහවේ ශ්‍රී රතනසාර, සහ ලුණු පොකුණේ ශ්‍රී ධම්මානන්ද නාහිමිවරුන් දෙනම විසින් ධම්මචක්ක පවත්තන සූත්‍රය දේශනා කරන විලාශයෙන් වැඩ සිටින ශාක්‍ය මුණින්ද්‍රයාණන්වහන්සේගේ පිළිමයට මල් පහන් පුදා විවෘත කරන ලද නව මූලගන්ධකුටි විහාරය ඉන්පසුව රැස්ව සිටි පහළොස් දහසක් පමණ බෞද්ධයන් විසින් වඳින පුදන ලදී. එවකට විසූ පණ්ඩිත ජවහල්ලාල් නේරු තුමාගේ ප්‍රධානත්වයෙන් අපර භාගයේ දී පවත්වන ලද මහා සභාවට දෙසිය ගණනක් භික්ෂූන් වහන්සේලා හා පිරිස පැමිණ සිටියහ. ඉක්බිති ප්‍රතිරාජතුමාගේ සහ අනගාරික ධර්මපාල හිමියන්ගේ වයෝවෘද්ධ මිත්‍ර මහාකවි රවීන්ද්‍රනාත් තාගෝර් තුමාගේත් ශුභාශිංසන පණිවිඩ ලැබී තිබුණි. විවිධ රටවල නියෝජිතයෝද එවන ලද ශුභාශිංසන දහස් ගණනින්ය. (අනගාරික ධර්මපාල - ඩේවිඩ් කරුණාරත්න පි. 199 – 1964)


පසුගිය සතියෙන්:- බුදුපිළිමයේ උපත - 26:ධර්ම චක්‍ර මුද්‍රාවෙන් නිරූපිත සාරානාත්හි බුද්ධ ප්‍රතිමා වහන්සේ

 

  ඇසළ අව අටවක පෝය

  ඇසළ අව අටවක පෝය ජූලි 26 වනදා අඟහරුවාදා අපර භාග 05.36 ට ලබයි.
27 වන දා බදාදා අපරභාග අපරභාග 3.21 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි 26 වනදා අඟහරුවාදාය.

මීළඟ පෝය අගෝස්තු 02 වනදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 26

Full Moonඅමාවක

අගෝස්තු 02

First Quarterපුර අටවක

අගෝස්තු 10

Full Moonපසෙලාස්වක

අගෝස්තු 17


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]