UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනීයානං

ඉංගිරියේ උදිත හිමි

කුඩා උඩුව නාලන්දා පරිවේණාධිපති ශාස්ත්‍රපති ඉංගිරියේ උදිත හිමිපාණන් වහන්සේ 1960 ජුනි 19 වැනිදා ඉංගිරිය කොට්ටියාවත්තේ විසූ එපිටවල ආරච්චිගේ කරෝලිස් අප්පුහාමි හා වැලිකන්න මොහොට්ටිගේ කුසුමාවතී යන දම්පතීන්ට දාව උපත ලැබූහ. උන්වහන්සේ පැවිදි වූයේ 1970 මාර්තු 23 වැනිදා ආචාර්ය හාන්දුපැල්පොල මහින්ද නා හිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙනි. උන්වහන්සේ 1980 ජුනි 21 වැනිදා ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු මහ විහාර උපෝසථාගාරයේදී උපසම්පදාව විය.

යථෝක්ත පරිදි 60,70,80 යන දශකයෙන් දශකයට උන්වහන්සේගේ ජීවිතයේ සුවිශේෂී අවස්ථාවන් හිමි කරගනිමින් පොසොන් පුර පසළොස්වක පොහෝ දින ජීවන මගේ 56 වන වියට පත් වූහ. ප්‍රවෘජ්‍යාවට පත්ව වසර 46 ක්ද, උපසපන්ව වසර 36 ක්ද සපිරෙන බව සිහිපත් කිරීමට මෙය අවස්ථාවක් කොට ගනිමු.

උදිත හිමියන්ගේ මූලික අධ්‍යාපනය ඉංගිරිය ශ්‍රී සුමනජෝති කනිෂ්ඨ විද්‍යාලයෙන් ද , ද්විතීය, අධ්‍යාපනය කුඩා උඩුව නාලන්දා විද්‍යායාතනයෙන්ද, ශාස්ත්‍රවේදී උපාධි සාමාර්ථය පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන්ද, ශාස්ත්‍රපති උපාධිය පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයෙන්ද ලැබු අතර මේ වන විට පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාවද සපුරමින් උගත මනා ධර්ම ශාස්ත්‍රාදියෙන් පරිණත භාවයට පත් ව ලෝ සසුන් වැඩ වඩන්නේය.

උදිත හිමියන්ගේ ජාතික, ආගමික, සාමාජික සේවාවන් අතර දැනට කුඩා උඩුව නාලන්දා විශ්ව විද්‍යා පීඨයේ පීඨාධිපති ධුරයද, ශ්‍රී පුඤ්ඤරතන දහම් පාසලේ ප්‍රධානාචාර්ය ධුරය ද කුඩා උඩුව බෝධිමළු විහාරයේ අධිකාරි ධූරයද, ඉංගිරිය කොට්ටියාවත්ත සම්බුද්ධත්ව ජයන්ති සාම විහාරාධිපති ධුරයද හොබවමින් දැනට එංගලන්තයේ වැඩ වාසය කරන ආචාර්ය හාන්දුපැල්පොල මහින්ද තම ගරු නාහිමියන් මෙරට නැති අඩුව නොදැනෙන්නට ගිහි පැවිදි සියල්ලන්ගේම සිත් දිනාගැනීමට ක්‍රියා කිරීම ප්‍රශංසනීයය.

ඒ උදාර කීර්තිමත් සේවාව අගයනු වස් මුළු දිවයිනටම බලපාන පරිදි සාම විනිසුරු පදවියෙන්ද, සම්භාවනාවට පත් උදිත හිමියෝ තායිලන්තය, එංගලන්තය, ප්‍රංශය, නේපාලය, ඉන්දියාව, ඉතාලිය ආදි විදේශ රටවල සංචාරය කරමින් ඒ රටවල සංස්කෘතිය පිළිබඳ මනා අවබෝධයක් ලබා ඇත.

උන්වහන්සේගේ ජන්ම දිනය යෙදුනු ජුනි 19 වන දිනටම මෙම වසරේ පොසොන් පුර පසළොස්වක පෝය දිනය යෙදීමත්, ශ්‍රී ලංකාවේ බුදු දහමෙහි මෙන්ම පිරිවෙන් අධ්‍යාපනයේ උද්දීපනය වෙනුවෙන් මහා සේවයක් සිදුකොට වදාළ අසරණ සරණ සරණංකර සංඝරාජයාණන් වහන්සේගේ ජන්ම දිනයට සමගාමීව ප්‍රකාශයට පත් කරන ලද සමස්ත ලංකා පිරිවෙන් දිනයද, එදිනටම යෙදීමත් විශේෂ සිදුවීමකි.

මෙම සමස්ත කරුණු මූලික කොටගෙන හොරණ, කුඩා උඩුව, නාලන්දා විද්‍යායතන පිරිවෙනේ ආචාර්ය ශිෂ්‍ය දෙපක්ෂයත්, ශ්‍රී පුඤ්ඤරතන දහම් පාසලත් එක්ව හොරණ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ අනුග්‍රහයද ඇතිව “නාලන්දා පොසොන් උදානය 2016’ නමින් ජුනි 19,20,21 දින වලදී පින්කම් මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා තිබිණි. 19 වන දින අර්ධ ශතාධික මහා සංඝගත දක්ෂිණාවක්ද එදිනම රාත්‍රී පොසොන් තොරණද, විචිත්‍ර පොසොන් කූඩු සහිත පොසොන් කලාපයක් ද හොරණ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ දහම් පාසල් අතර බොදු ගී තරගයක්ද කළුතර දිස්ත්‍රික්කයේ පිරිවෙන් සිසුන් අතර පොසොන් රචනා සහ චිත්‍ර තරගයක්ද පවත්වා වටිනා ත්‍යාග පිරිනැමීමට කටයුතු යොදා තිබුණි.

56 වෙනි ජන්ම දිනය සමරන ඉංගිරියේ උදිත මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට දිගාසිරි පතමු.


බොරළුගොඩ ඉන්දරතන හිමි

කළුතර දිස්ත්‍රික්කයේ බොරළුගොඩ ගම්මානයේ ජන්ම ලාභය ලැබූ ශාස්ත්‍රපති බොරළුගොඩ ඉන්දරතන හිමියන්ගේ ගිහිනම වූයේ රණසිංහ කරුණාරත්න යන්නය. උන්වහන්සේගේ පියාණන් හිටපු ගම්පතිවරයෙකි. මව සියගණනක් දරුවන් මෙලොවට හිමිකළ නිල නොලත් වින්නඹු මාතාවකි. මුළු ප්‍රදේශයේම ඇය හැඳින්වූයේ අපේ වින්නඹු අම්මා යනුවෙනි.

ළමා වියේ සිටම සිවුරට ආදරය කළ උන්වහන්සේ 11 වන වියේ දී එනම් 1964 අප්‍රේල් මස 5 වනදා පන්නිපිටිය මාකුඹුර පුරාණ විහාරාධිපති වූ බොරළුගොඩ රතනසාර නාහිමියන්ගේ ශිෂ්‍යයකු ලෙස සසුන් ගත වූහ. 1974 දී ජූනි මස 11 වන දින උන්වහන්සේ කෝට්ටේ රජමහා විහාර උපෝසථාගාරයේ දී උපසපන් වූහ.

පුරා වසර 25 ක් ශ්‍රී ලංකාවේ විවිධ පළාත්වල උන්වහන්සේ පාසල් ගුරුවරයෙක්, නියෝජ්‍ය විදුහල්පතිවරයෙක් හා විදුහල්පතිවරයෙක් ලෙස සේවය කළේය. උන්වහන්සේ විහාරස්ථ ශ්‍රී රතනසාර දහම් පාසලේ ප්‍රධාන ආචාර්යවරයා ලෙස පුරා වසර 20ක් සේවය කර ඇත. පොත් පත් ලිපිද්‍රව්‍ය හා අධ්‍යාපනික උපකරණ නුදුරේ දී බෙදාදීමට සැලසුම්කර ඇත.

තවද 63 වන ජන්ම දිනය නිමිත්තෙන් අභිනවයෙන් ඉදිවූ දෙමහල් සංඝාවාසයේ ධාතු මන්දිරය තුළ සර්වඥ ධාතුන් වහන්සේ තැන්පත් කිරීම, සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනයක්, ධර්ම දේශනා මාලාවක් මහ සඟරුවන විෂයෙහි සංඝගත දක්ෂිණාවක් පිරිනැමිණි.

ප්‍රදේශයේ ක්‍රියාත්මක සමිති සමාගම්වලින් පුරා වසර 5 ක් පන්නිපිටිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී තනතුර හොබවන අතර, මුළු දිවයිනටම සාම විනිසුරු, මහරගම සමථමූල මණ්ඩලයේ සාමාජික, කාර්ය සාධක සමිතිය, කුලඟන සමිතිය, මහිලා සමිතිය, ස.ණ.ස සමිතිය, ග්‍රාම සංවර්ධන සමිතිය, සමෘද්ධි සංගමය, උන්වහන්සේ මෙහෙයවනු ලබන ප්‍රජා සංවිධාන කිහිපයකි. උන්වහන්සේගේ සේවා කාලය තුළ පන්නිපිටිය, මාකුඹුර පුරාණ විහාරස්ථානය සියලුම අංගෝපාංගවලින් යුත් පරිපූර්ණ විහාරස්ථානයක් බවට පත් විය.


බෝපිටියේ විමලවංශ හිමි

රුහුණු පුරවරයේ මාතර අකුරැස්ස බෝපිටිය ප්‍රදේශයේ ජන්ම ලාභය ලැබූ අපවත් වී වදාළ බෝපිටියේ විමලවංශ හිමියන් 1954 උඳුවප් මාසයේ 26 වන දින ජන්ම ලාභය ලැබූහ. උන්වහන්සේගේ මූලික අධ්‍යාපනය රත්නපුර ඇලපතා මහා විද්‍යාලයෙන් හා මලිදුව මහා විද්‍යාලයෙන් ලැබීය. දෙමාපිය අවසරය මත 1964 දී පැවිදි ජීවිතයට ඇතුළත් විය. ඒ අනුව එවකට මලිදුව ශ්‍රී විජයානන්ද පුරාණ විහාරාධිපති ධුරය දැරූ හිග්ගොඩ ශ්‍රී දේවානන්ද හිමියන්ගේ සහ එවකට මාතර හම්බන්තොට දෙපළාතේ සංඝනායක ධූරය ඉසිලූ හුලංදාවේ ශ්‍රී සුමන හිමියන්ගේ අභිමතය පරිදි මලිදුව ශ්‍රී විජයානන්ද විහාරස්ථානයේ දී උන්වහන්සේලාගේ පැවිදි ශිෂ්‍යයෙක් වශයෙන් 1977 මැයි 17 වන දින මහනුවර මල්වතු මහා විහාරයේ දී උපසම්පදා ශීලයෙහි පිහිටවූහ.

මූලික අධ්‍යාපනය ගොඩපිටිය ජේතවන පිරිවෙන හා බෝපාගොඩ පරමානන්ද පිරිවෙන් විද්‍යායතනයෙන් හදාළ උන්වහන්සේ වැඩිදුර අධ්‍යාපනය සඳහා කොළඹ විශ්වවිද්‍යායට ඇතුළත්ව අධ්‍යාපනවේදී උපාධිය හැදෑරීය. විශේෂයෙන් ඉංගී‍්‍රසි භාෂා විෂයට උපන් හපන්කමක් දැක්වූ උන්වහන්සේ ගැමි දරුවන්ගේ ඉංගී‍්‍රසි අධ්‍යාපනය නැංවීම සඳහා ද ඉමහත් කැපවීම් කළහ.

උපාධි අධ්‍යාපනයෙන් පසු ගුරු වෘත්තියට පිවිසි උන්වහන්සේ අම්පාර කොක්නහර මහා විදයාලයෙන් ගුරුසේවයට පිවිසුණහ. එතැන් සිට අපවත් වන තෙක්ම බෝපිටිය කනිටු විදුහලෙහි විදුහල්පතිවරයෙකු ගුරුවරයෙකු වශයෙන් කටයුතු කළ අතර අකුරැස්ස අධ්‍යාපන කලාපයේ සාරධර්ම ගුරු උපදේශක තනතුර දැරීමටද උන්වහන්සේ සමත් විය.

හිග්ගොඩ ශ්‍රී දේවානන්ද හිමියන්ගේ අපවත්වීමෙන් පසු විහාරාධිපතිධූරයට පත්වන උන්වහන්සේ විහාරස්ථානය ඉතා රමණීය විහාරස්ථානයක් බවට පත්කරලීමට ගත් මහන්සිය ඉමහත්ය. උන්වහන්සේගේ සේවාව ගමට පන්සලට පමණක් සීමා නොවුණි. දිගු කලක් අකුරැස්ස ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකම් ධූරය දරමින් අකුරැස්ස බල ප්‍රදේශයේ දහම් පාසල් අධ්‍යාපනය නැංවීමට ඉමහත් වෙහෙසක් ගත්හ. ප්‍රදේශයේ සමිති සමාගම් රාශියක නිලතල දරමින් සමාජ ආගමික මෙහෙවරක නියැලුණ උන්වහන්සේ ඉතා නිහතමානි, නිහඬ ගති පැවතුම්වලින් යුතු උදාර චරිත ලක්ෂණවලින් සමන්විත විය.

විශේෂයෙන්ම දහම් පාසල් දරුවන් තුළ යහගුණ වර්ධනය කිරීමටත්, ඕනෑම කරුණක් පිළිබඳව සාවධානව අසා සිටීමටත්, සියලු දෙනා කෙරෙහි කුළුණු ගුණයෙන් කටයුතු කිරීමත්, උන්වහන්සේ තුළ තිබූ සුවිශේෂී චරිත ලක්ෂණයක් විය. මේසා විශාල සේවාවක් සිදුකළ විමලවංශ ලොකු හාමුදුරුවන් වහන්සේ මීට වසර 05 කට ඉහත දී ජූලි 17 වන දිනක අපවත්වී වදාළහ. උන්වහන්සේගෙන් සිදු වූ සමාජ ශාසනික මෙහෙවර ඉදිරියට ගෙනයාම සඳහා පැවිදි ශිෂ්‍යයන් දෙපළක් බිහි කිරීම ගම්වාසී සියලු දෙනාගේ මද අස්වැසිල්ලට හේතුවක් විය. ඒ අතරින් මලිදුව මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ධූරය දරමින් වත්මන් විහාරාධිපතිත්වය උසුලන ශාස්ත්‍රපති මලිදුව අමරවංශ ලොකු හාමුදුරුවන් වහන්සේත් විහාරස්ථානයේ කෘත්‍යාධිකාරී ධූරය උසුලන ලබුහේන්ගොඩ සුගතවංශ හිමිපාණන් වහන්සේත් උන්වහන්සේගෙන් සිදුවූ සමාජ මෙහෙවර ඉදිරියට ගෙනයාම සැම දෙනාගේම සතුටට කරුණකි.

2016 ජූලි 17 වන දිනට උන්වහන්සේ අපවත් වී පස්වසක් පිරෙන දා ජූලි 16 වන දින තෙසැත්තෑ ඤාණ පූජාවක් හා පසුදින අර්ධ ශතාධික සංඝගත දක්ෂිණාවක් පවත්වා උන්වහන්සේට පින් පැමිණවූහ. වත්මන් විහාරාධිපති හිමි ඇතුළු ශ්‍රී විජයානන්ද දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය සහ සිසු දරුවනුත්, දායක සභාවත් ඊට දායකත්වය සැපයූහ. සසුනඹර එකළු කළ අධ්‍යාපනපති බෝපිටියේ විමලවංශ ලොකු හාමුදුරුවන් වහන්සේට නිවන් සුව අත්වේවා!

 

  ඇසළ අව අටවක පෝය

  ඇසළ අව අටවක පෝය ජූලි 26 වනදා අඟහරුවාදා අපර භාග 05.36 ට ලබයි.
27 වන දා බදාදා අපරභාග අපරභාග 3.21 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි 26 වනදා අඟහරුවාදාය.

මීළඟ පෝය අගෝස්තු 02 වනදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 26

Full Moonඅමාවක

අගෝස්තු 02

First Quarterපුර අටවක

අගෝස්තු 10

Full Moonපසෙලාස්වක

අගෝස්තු 17


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]