UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගුණබර ස්වාමිපුත්‍රයෙක් ද? ස්වාමිදියණියක් ද?

ගුණබර ස්වාමිපුත්‍රයෙක් ද? ස්වාමිදියණියක් ද?

මේ විෂම, ඝෝර වූ සමාජයේ ජීවත්වන අශ්‍රැතවත් පෘතග්ජන සිත් ඇති මනුෂ්‍යයනට, ලැබූ උතුම් මනුෂ්‍ය ජීවිතයේ ශ්‍රේෂ්ඨ බව අවබෝධ කර ගැනීමට ආචාර්ය මිරිස්සේ ධම්මික ස්වාමීන් වහන්සේ විසින් ‘සුපසන් වූ ජීවිතයකට’ යනුවෙන් කොටස් 50ක් පුරා දේශනා කළ අප තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ නිර්මල දහම් අවවාදයන් තුළින් ඔබගේ ජීවිතයත් ‘සුපසන් වූ ජීවිතයක්’ බවට පරිවර්තනය කර ගැනීමට උපකාර වූවා යැයි විශ්වාසයේ පවතී.

සුපසන් වූ ජීවිතයකට කතා පෙළෙහි අප කතා කරමින් පැමිණියේ දීඝ නිකායෙහි සඳහන් සිඟාලක සූත්‍රය, එනම් සිඟාලෝවාද සූත්‍ර දේශනාවයි. අප එහි දී කතා කළේ සදිසා නමස්කාරය පිළිබඳවයි. අද දවසේ ද ඉතාම යහපත් වූ දහම් පෙළක් ලෙස තථාගත භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා දුන් බටහිර දිශාව එනම් ස්වාමියා බිරිඳ අතර සම්බන්ධය විවරණය කර බලමු.

පළමුවෙන් ම භාග්‍යවතුන් වහන්සේ විසින් ස්වාමි පුරුෂයාට ආමන්ත්‍රණය කරනවා. ස්වාමි පුරුෂයා විසින් තම ස්වාමි දියණිය සතුටුවන පරිදි යහපත් වූ ප්‍රිය වචනයෙන් කතා කිරීමෙන් ද, එලෙසම අවමන් නොකිරීමෙන් ද, තුන්වන ශික්ෂා පදය මැනවින් ආරක්ෂා කිරීමෙන් ද, ගෙදර දොරේ කටයුතුවල දී අධිපතිබව ඇයට පවරාදීමෙන් ද, සුදුසු පරිදි ඇඳුමෙන් පැළඳුමෙන් ඇයට උපස්ථාන කළ යුතු කියන මෙන්න මේ කරුණු පහ දේශනා කරනවා.

විශේෂයෙන් ම වර්තමාන පරිසරයේ යම් වූ ද ස්වාමි පුත්‍රයන් විසින් තම ස්වාමි දියණියට ගරු නොකිරීමත්, අවමන් කොට පහත්කොට කතා කිරීමත් නිසා විවිධ ගැටලු ඇති වී තිබෙන බව පෙනෙනවා. සමහර ස්වාමි දියණිවරුන් පවසන්නේ රාජභෝජන නොලැබුණත්, කසී සළු නොලැබුණත්, තට්ටු පිට මාලිගාවක් නොලැබුණත්, ආදර වචනයෙන් කතා කරන ලෙසය. තමන්ගේ මව්පියන් පවා තමන්ට කවදාවත් නරක වචනයෙන් නිග්‍රහකොට කතා නොකොට ඇති බවත් තමා වඩාත් ම බලාපොරොත්තු වන ස්වාමියා මෙසේ කතා කිරීම තමන් අකැමැති බවත්ය. ඒ නිසා ස්වාමි පුරුෂයන් විසින් කුමන අඩුපාඩුවක් තිබුණත් ගුණබර පිය කෙනෙක් තම දියණිය දෙස බලා අවවාද කරන්නා සේ කටයුතු කරනවා විනා අවමං කිරීම හෝ පහරදීම නිග්‍රහ කිරීම නොකළ යුතු බව මෙහි දී පෙන්වාදී තිබෙනවා. යම් කෙනෙක් එසේ කරන්නේ නම් බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගය තුළ ධර්මය අනුගමනය කරන ස්වාමි පුත්‍රයෙක් හැටියට පෙන්වා දෙන්නේ නැහැ. ඒ වගේ ම පංච ශීලයේ පෙන්වා දෙන තුන්වන ශික්ෂා පදය රහසින්වත් කඩ නොකරන ආකාරයෙන් ස්වාමි පුත්‍රවරුන් විසින් ආරක්ෂා කළ යුතු බව ධර්ම කතාවේ පෙන්වා දී තිබෙනවා. එමෙන් ම තමාගේ ධනය හෝ ගෙදර කටයුතු හෝ සඟවා නොකොට තම ස්වාමි දියණියට අධිපති බව ඇයට පවරාදීමත්, ඉඳහිට හෝ ඇඳුමෙන් පැළඳුමෙන් උපස්ථාන කිරීමෙන් තම ස්වාමි දියණියගේ සතුටට හේතුවක් වනු ඇති.

මෙසේ මේ උපස්ථානය ලබන භාර්යාව විසින් ස්වාමියාට කරුණු පහකින් අනුකම්පා කළ යුතු බවට ධර්මයේ පෙන්වා දෙනවා. එනම් කලට වේලාවට ආහාර පිළියෙල කිරීම් ආදී ගෙදර දොරේ කටයුතු ඉතා හොඳින් කළ යුතු බවයි. ඒ වගේ ම පරිවාර ජනයාට තමන්ගේ මව්පියන්ට වගේ ම සහෝදර සහෝදරාදීන්ට වගේ ම තම ස්වාමියාගේ මව්පියන් සහෝදර සහෝදරියන් ආදී සෑම දෙනාටම ප්‍රියශීලිව මනා වූ වචනයෙන් යුක්තව කටයුතු කරන්නියක් වීමයි. තුන්වන ශික්ෂා පදය මැනවින් රැකගත යුතුවීමයි. ඒ වගේ ම ස්වාමියා විසින් උපයන ලද ධනය ආරක්ෂා කිරීමයි. ඒ වගේ ම හැකිතාක්දුරට සියලු කටයුතුවල දී නොමැලිව දක්ෂව කටයුතු කරන්නියක් වීමයි. ස්වාමි දියණියක්, ස්වාමි පුත්‍රයෙක් විවාහ ජීවිතයට පත්වන්නේ ජීවිතයේ අවසාන මොහොත දක්වාම දුක සැප එක හා සමානව බෙදාගෙන කටයුතු කරනවා කියන අධිෂ්ඨානයෙනි. දීර්ඝ වූ සංසාර ගමනේ මොන ආකාරයේ කර්ම ශක්තියක් රැගෙන ආවා දැයි පැවසිය නොහැකියි. එසේ වුවත් විවාහ ජීවිතයක ඔවුනොවුන් මැනවින් හදවත්වලින් හෙවත් සිත්වලින් හඳුනාගෙන භාග්‍යවතුන් වහන්සේ දේශනාකළ අයුරින් ඔවුනොවුන් වෙනුවෙන් උපස්ථාන කරන්නත්, අනුකම්පා කරන්නත්, කටයුතු කරන්නටත් හැකියාවක් ලබන්නේ නම් ධර්මයේ සඳහන් “දේවෝ දේවියා සද්ධිං සංවසති” දෙවියෙක් දිව්‍යාංගනාවක් හා සමඟ වාසය කරන පවුලක් හැටියට ජීවිතය පවත්වාගත හැකියි. ධර්ම කතාවේ පෙන්වා දුන්නේ මේ ලෙසින් ඔවුනොවුන් කෙරෙහි යුතුකම් කිරීමෙන් ජීවිත පවත්වන ස්වාමි දියණියක් ස්වාමි පුත්‍රයෙක් ඔවුනොවුන් කෙරෙහි මේ ආකාරයෙන් සිත පවත්වන බවයි. එනම් සමගියෙන් සතුටු සිතින් වාදවිවාද නැතිව ඔවුනොවුන් කෙරෙහි ප්‍රිය දෑසින් බලමින් කිරියි වතුරයි සේ එක්ව ජීවිතය පවත්නා බවය. මෙයට නිදසුන් ලෙස ධර්ම කතාවේ සඳහන් ‘නකුල මාතා නකුල පිතා’ චරිත දෙක ඉදිරිපත් කළ හැකියි. ඔවුන්ගේ බලාපොරොත්තුව වූයේ මේ ජීවිතයෙන් අනතුරුවත් නැවත ඔවුනොවුන් කෙරෙහි දැකීම මුණගැසීම හා එක්ව වාසය කිරීමයි. ඔවුන් පසු කලෙක ධර්ම මාර්ගය මනා කොට අවබෝධ කරගත් බව සැබෑවකි. එහෙත් ජීවිතයේ ආරම්භයේ පටන් ඔවුන්ගේ පැතුම වූයේ නැවත මුණගැසීම, නැවත දැකීම, නැවත එක්ව වාසය කිරීම යනුවෙනි. වර්තමාන පරිසරයේ ඔවුනොවුන්ගේ හමුවීම යම් විටක අකුසල කර්මයක් හැටියට සිතන බොහෝ කෙනෙකුට ධර්ම මාර්ගයේ පෙන්වා දෙන එවැනි චරිත ආදර්ශයක් හැටියට පවත්වාගත හැකියි. ඔබේ සිත්හි මේ දහම් පෙළ පවත්වාගන්න ජීවිතයේ අවසානය දක්වාම එකම මඟක දුක සැප බෙදාගෙන ගමන් කරන බවට යම් විටක හිසේ අත් තබා පොරොන්දු වූවත් අනිත්‍ය වූ ලෝකයක් තුළ තමාවත් තමාට සැබෑ අයිතියක් නැති නම් ස්වාමියා බිරිඳ වූවත් ඔවුනොවුන්ට සැබෑවට හිමි නොවන බව පැහැදිළි කරුණකි. එසේ වුවත් ඕනම රැයක් අවසන් රැයක් වූවත් යම් මොහොතක දෙදෙනාගෙන් එක් අයෙක් ජීවිතයෙන් සමුගෙන ගියත් ජීවත් වූ කාලය තුළ සතුටින්, සමගියෙන්, ධර්මානුකූලව ජීවත් වීම මොනතරම් සැනසිල්ලක් දැයි එවැනි සිත්වලට දැනෙනවා ඇති. ඔවුනොවුන් ජීවිතය පවත්වන්නේ ලද මනුෂ්‍ය ජීවිතය උතුම් ලෙස පවත්වා ගැනීම පිණිසයි. එහෙත් ඝෝර වූ සසර ගමනෙන් අත්මිදෙන්න ධර්මය දැකගත යුතු බවට ඔවුන් අවබෝධ කරගෙන සිටියි. මේ ජීවිතයෙන් වෙන්වීම පවා රාගයකින් හා ආශාවකින්, ඇලීමකින් තොරව පිළිගන්නටත් සසර ගමනේ ඉතා ඉක්මන් ගමනක ධර්මාවබෝධය පිණිසත් ඔවුන්ගේ සිත් ඔවුන්ට දැනෙන්නට පටන් ගනී. ඔවුනොවුන් ඔවුනොවුන් දෙදෙනාටම ප්‍රාර්ථනා කරන්නේ අධිෂ්ඨාන කරන්නේ එක්ව සසර ගමනේ සතර අපායේ පටන් දුක්විඳි යන සසර ගමන දීර්ඝ කර ගන්නවාට වඩා උතුම්ම සැපත වූ නිවන් මඟ දෙදෙනාම අවබෝධ කර ගත යුතු බවයි. එවැනි මව්පියෝ දරුවන්ට ද ඒ මාර්ගය පෙන්වා දෙනවා.

මීළඟට භාග්‍යවතුන් වහන්සේ විසින් උතුරු දිශාව ලෙස යහළු හිතමිතුරන් පිළිබඳව පෙන්වා දී තිබෙනවා. යහළු හිතමිත්‍රයෝ ද සැපදුක් දෙකෙහිදී ම එක ලෙස කටයුතු කළ යුතු බවට, ඔවුනොවුන්ට උපස්ථාන කළ යුතු බවට, ධර්මයේ පෙන්වා දෙනවා. එනම් දානයෙන්, ප්‍රිය වචනයෙන්, අර්ථචර්යාවෙන්, සමානාත්මතාවයෙන්ද ඔවුන්ට උපස්ථාන කළ යුතුයි. ඒ වගේ ම ඔවුනොවුන් නොරැවටීමයි.

හිතවත් යහඵ මිත්‍රයන් එක් ආකාරයකින් තමන්ට උපස්ථාන කරන විට, යුතුකම් කරන විට, සලකන විට, අන් අයත් ප්‍රතිඋපකාර කළ යුතුයි. යම් වූ ද කරදරයකට, උවදුරටකට පත්ව සිටින විට එයින් ගැලවෙන්නට පිහිටවිය යුතුයි. විපතේ දී අත්නොහැරිය යුතුයි. මෙලෙසින් සිතා මතා යහළු හිතමිතුරන් ඔවුනොවුන් කෙරෙහි සිතා කටයුතු කරන්නේ නම් වර්තමාන පරිසරය තුළ අපි සොයන සැබෑ ම යහළු හිතමිතුරන් අපට දැකගත හැකිවනු ඇත.

ෂ ඩ් භාෂා පරමේෂ්වර තොටගමුවේ රාහුල ස්වාමීන් වහන්සේ සැළලිහිණි සංදේශයේ දී සඳහන් කළේ,

“මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම පවති
බිතු සිතුවම් රූ මෙන් පිටුනොපාවති” 
යන අදහසයි. මෙම කවි පෙළ බුදුරජාණන් වහන්සේ අවුරුදු දහස් ගණනාවකට පෙරාතුව දේශනා කළ මේ ශ්‍රී සද්ධර්මය හා සමඟින් ගැළපෙන බව මනාකොට පැහැදිලියි.

එම නිසා ධර්ම මාර්ගයට ළංව සීලයේ පිහිටා සැබෑම යහළුවන් යෙහෙළියන් ලෙසින් ඔවුන්ගේ පවුල්වලට විපත් නොවන ආකාරයෙන් මේ ධර්ම කතාවේ පැහැදිලි කර දෙන ආකාරයට ඔවුනොවුන් කෙරෙහි යුතුකම් කිරීමටත්, පිහිටවීමටත්, සිතා ගත යුතුයි, කල්පනා කර ගත යුතුයි.

සැමට තෙරුවන් සරණයි !

 

  ඇසළ පුර පසළොස්වක පෝය

  ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 19 වනදා අඟහරුවාදා පූර්ව භාග 4.40 ට ලබයි. 20 වනදා බදාදා පූර්ව භාග 04.26 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 19 වනදා අඟහරුවාදා.

මීළඟ පෝය ජූලි 26 වනදා අඟහරුවාදාය..


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 19

Second Quarterඅව අටවක

ජූලි 26

Full Moonඅමාවක

අගෝස්තු 02

First Quarterපුර අටවක

අගෝස්තු 10


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]