UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පෙර නොඇසූ විරූ දහම

පෙර නොඇසූ විරූ දහම

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

ද්වේ මේ භික්ඛවේ අන්තා පබ්බජිතෙ න සේවිතබ්බා, කතමෙ ද්වේ, යොචායං කාමෙසු කාමසුඛල්ලිකානු යොගෝ හීනො ගම්මො පොථුජ්ජනිකො අනරියෝ අනත්ථසංහිතො. යො චායං අත්තකිලමථානුයෝගෝ දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතො. එතේ තේ භික්ඛවේ උභෝ අන්තෙ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතෙන අභිසම්බුද්ධා, චක්ඛුකරණී, ඤාණකරණී, උපසමාය, අභිඤ්ඤාය, සම්බෝධාය, නිබ්බාණාය සංවත්තති.

සැදැහැවත් පින්වතුනි,

ශාන්තිනායක ලොව්තුරා බුදුපියාණන් වහන්සේ දේශනා කළ ධම්මචක්ක පවත්වන සූත්‍ර දේශනාවේ පාඨයක් මා මාතෘකා කර වදාළේ ඇසළ මස පුර පසළොස්වක දිනක ඉසිපතනයේ මිගදායේදී පස්වග භික්ෂූන්ට දේශනා කළ වදාළ මෙම දේශනය මුළු බුද්ධ දේශනාවම අකුලා දැක්වූ දේශනයක්.

විමුක්තිය, මෝක්ෂය හෙවත් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට යොමු වන උදාර පුද්ගලයා අන්ත දෙකකින් ඈත්විය යුතුයි. ඒ අන්ත දෙක නම් කාමසුඛල්ලිකානු යෝගය සහ අත්තකිලමථානු යෝගයයි. මේ අතුරින් කාමසුඛල්ලිකානු යෝගය තුළ පවතින අහිතකර ස්වභාව පහක් සඳහන් කරනු ලබනවා. මෙම චර්යාව හීනයි, ග්‍රාම්‍යයි, පෘථග්ජනයන් සේවනය කරන දෙයකි. එය අනාර්යයි. අනර්ථය සඳහා හේතුවෙයි. පින්වතුනි, ෂඩ් ඉන්ද්‍රියන් කාමයන්ගෙන් තෘප්තිමත් කරගෙන එයම මෝක්ෂයම ලෙස සැළකීමට සමහරු උත්සාහ කරනවා. අපේ බුදුරජාණන් වහන්සේට සමකාලීන විසූ සමහර ආගමික සම්ප්‍රදා නායකයන් මෙම කාමසුඛල්ලිකානුයෝගය අනුමත කළා. විශේෂයෙන්ම චර්යාවක් ලෙස මෝක්ෂය ලැබීමට කෙලෙස් තවන වීර්යය වැඩීම භද්‍ර යෞවන යුගයේ නොකළයුතු බව බ්‍රාහ්මණයෝ විශ්වාස කළා. ඉතාම වයසට ගියාට පස්සේ වානප්‍රස්ථ හෙවත් වනය ආශි‍්‍රතව ජීවත් වෙමින් කටයුතු කරන්නයැයි ප්‍රකාශ කළත් තරුණ කාලයේ එය නොකළ යුතු වුණා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් පිළිගත් තරුණ බුද්ධිමත්තු ගිහි ජීවිතය හැර පැවිදි වෙන කොට ගෞතම බුදුරදුන්, කුල ගෝත්‍ර විනාශ කරන කාන්තාවන් වඳ බවට පත් කරන, දෙමාපියන්ට දරුවන් නැති කරන කෙනෙක් කියලා චෝදනා කළේ මේ නිසයි. සමහර ඉගැන්වීම්වල කාල බීල හොඳට සතුටින් ඉන්න, මරණයෙන් පසු යන තැනක් නැහැ. ඒ නිසා වර්තමාන ජීවිතය හැකිතාක් සතුටින් ඉන්න. ණය වෙලා කාලබීලා හිටියත් කමක් නැහැ කියලා කියපු දර්ශන තිබුණා.

යාව ජීවං සුඛං ජීවෙන්
සෘණං කත්වා ඝෘතං පිවේත්
හස්මි භූතස්‍ය දේශස්‍ය

අත්තකිලමථානු යෝගයේ ද දුර්වලතා තුනක් තියෙනවා. අත්තකිලමථානු යෝගය යනු ආත්මයට හැකිතාක් දුක්දීමයි. බුදුරජාණන් වහන්සේගේ කාලයේ පටන් අද දක්වාම සියලු ආගමික සම්ප්‍රදා පිළිගත් ඒකීය කරුණක් තමයි පුද්ගලයාට ‘ආත්මයක් තිබේ’ යන අදහස. ඒ නිසා ඒ ආත්මයට දුක් දීමට නම් ශරීරයට දුක් දියයුතු වෙනවා. ඒ අනුව පංච තාප තප්පන, ඒ කියන්නේ ඉතාමත්ම උෂ්ණාධික දිනවල තමාගේ සතර පැත්තෙන් ගිනි ගොඩවල් 4ක් ගසා ගෙන මැද්දේ වාඩිවී සිටීම. ඉතා දුෂ්කර වැඩක්. කටු ඇඳන්වල නිදා ගැනීම, ආහාර පාන වලින් දැඩි ලෙස පාලනය වීම වැනි දේයි.

ඒ හැර ඊටත් වඩා අමාරු ක්‍රම භාවිතා කර තිබෙනවා. අප්‍රාණික ධ්‍යානය එනම් හුස්ම හිරකරගෙන සිටීම, වැනි දේ. අපේ සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ ද දුෂ්කර ක්‍රියා සමයේ මෙම අත්තකිලමථානු යෝගය වැඩූ බව මජ්ක්‍ධිම නිකායේ චූල සච්චක සූත්‍රයේ, අරිය පරියේෂණ සූත්‍රයේ සඳහන් වෙනවා. එහි අර්ථ රහිත බව, කාමසුඛල්ලිකානු යෝගය තරම්ම අහිතකර නොවූවත් අත්තකිලමථානු යෝගය ද මෝක්ෂයට බාධා වෙන අන්තයක්.

වර්තමාන සමාජය ගත්තොත් මිනිස් ගැටලු සියල්ලට පාදක වී ඇත්තේ මෙම කාමසුඛල්ලිකානු යෝගී ස්වභාවය බව පේනවා. කාමේසු යනු කාමයන් විෂයෙහි යන්නයි. ඒ ඇස, කන, නාසය, දිව, ස්පර්ශය, මනස යන ෂඩ් ඉන්ද්‍රියන් සන්තර්පනය කිරීමට ගන්නා අහිතකර ව්‍යායාමයන්. ඉන්ද්‍රියන් ගෙන් ලද හැකි හිමි සන්තෘප්තියටත් වඩා තෘප්තියට ලැබීමට යාම නිසයි. මත්ද්‍රව්‍ය ඇබ්බැහිය, දුම්බීම, ඒඩ්ස් වැනි රෝග ඇති වන්නේ,කාමය යන වචනය බ්‍රහ්මචාරීන් විෂයෙහි කිසි මොහොතක අනුමත නොකළත් කාමයන් නිවැරදිව ප්‍රායෝගිකත්වයට වැඩීමට ගිහි ජනතාවට බුදුරජාණන් වහන්සේ විසින් කාමේසු මිච්ඡාචාරා වේරමණී යන ශික්ෂාව පනවා තියෙනවා.

කාමයේ යථා ස්වභාවය නොදන්නා තැනැත්තා ඒකාන්තයෙන්ම විනාශ වෙනවා. කහවනු වර්ෂා වැස්සත් තෘප්තියක් නැති බව ‘න කහාපන වස්සේන තිත්ති කාමේසු විජ්ජති’ යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ වදාළේ ඒ නිසයි. මේ තත්ත්වය යථා තත්ත්වය දකින අයට තේරෙනවා. කන්ද ඉන්න තැනැත්තාට කඳු පාමුල ඉන්නවුන්ගේ හැසිරීම පේන ලෙස අතෘප්තියෙන්, අසහනයෙන්, විකෘති ස්වභාවයෙන්, පිස්සන්, වගේ හැසිරෙන කාමාතුර සමාජය දකින්න පුළුවන්.

මීළඟට දේශනා කළේ මධ්‍යම ප්‍රතිපදාව. මේ මධ්‍යම ප්‍රතිපදාව යනු අන්තවලට නොවැටීමයි. චර්යාමය වශයෙන් උභය අන්ත වගේම, දාර්ශනික වශයෙන් සාස්වත, උච්ඡේද වාදත් අන්තවාද වෙනවා. එයින් මිදී මධ්‍යම ප්‍රතිපදාව වඩන විට චක්ඛුකරණී, ඤාණකරණී, උපසමාය, අභිඤ්ඤාය, සම්බෝධාය, නිබ්බාණාය යන ස්ථරවලට පත්වෙනවා. ඒ කියන්නේ යථාර්ථ ඇස පහළ වෙනවා. තිපිරිවට්ට ද්වාදසාකාර වූ චතුරාර්ය සත්‍ය පිළිබඳ ඤාණ ලැබෙනවා. සියලු කෙලෙස් උපසමනය වෙනවා. සියලු සත්‍යාවබෝධය ලැබෙනවා. නිර්වාණයට පත්වෙනවා.

එසේ වන්නේ චතුරාර්ය සත්‍යය දර්ශන තිපිරිවට්ට ද්වාදසාකාරයේ දැකීමෙන්. ඒ කියන්නේ දුක්ඛ ආර්යය සත්‍ය හෙවත් දුක යනු කුමක්දැයි දැනීම. දුක්ඛ සමුදය ආර්ය සත්‍යයෙන් දුකට හේතුව යථාර්ථව දැනීම. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයෙන් නිර්වාණය සාක්ෂාත් කර ගැනීම හා දුක්ඛ නිරෝධ ගාමිනි පටිපදා නම් වූ ඊට අදාළ මාර්ගයේ වැඩීමයි.

මෙය ස්ථර තුනකින් යුක්තය. එයින් පළමුවැන්න මේ සත්‍ය සතර, සත්‍ය සතර ලෙස නිවැරදිව දැකීමයි. ඊළඟ පියවර ඒ ඒ සත්‍යයන්ට අදාළ වූ භාවිතය කුමක්දැයි දැන ගැනීමයි. උදාහරණයක් ලෙස ‘දුක්ඛ’ හරියටම දැන ගැනීම එහි භාවිත කාර්යයක්. දුක්ඛයට හේතුව හරියට දැන එය ප්‍රහාණය කිරීම ඊට අදාළ කාර්යයි. ඒ අනුව ප්‍රහාණය කළ යුත්තේ දුකට හේතුව වූ තෘෂ්ණාවය. තෘෂ්ණාව ප්‍රහාණය නොකර ‘දුක’ නැති කිරීමට ගන්නා ප්‍රයත්නය නිෂ්ඵල වෙනවා. නිරෝධය යනු දුකට හේතුව නැති කිරීමෙන් ලැබෙන ස්ථාවරත්වයයි. එය වඩා ගතයුතුයි. මාර්ගය නම් උතුම් ආර්යය මාර්ගය වැඩීමයි. එය එහි භාවිතයයි.

මේ ස්ථාවර දෙක නිවැරදි නම් තුන්වන පියවර සාක්ෂාත් වෙනවා. එනම් දුක හරියටම දැන ගත්තා යන තත්ත්වය ලබනවා. දුකට හේතුව වූ තෘෂ්ණාව ප්‍රහාණය කළා යන තත්ත්වය ලබනවා. නිර්වාණය සාක්ෂාත් කළාය යන ස්ථාවරයට පත්වීමයි. ඒ යා යුතු මඟ මම වඩා අවසන් කළා යන ස්ථාවරයට පත් වීමයි. පූර්ණ රහත් භාවය යන මෙම තුන් වන පියවරයි. එනම් සත්‍ය ඤාණ, කෘත්‍ය ඤාණ, කෘත ඤාණ යන ඤාණ තුනෙන් යුතුව දුක්ඛ, සමුදය, නිරෝධ, මග්ග යන සත්‍යයන් කෙරෙහි පිළිපැදීමෙන් ලබන පූර්ණත්වය රහත් භාවයයි. නිර්වාණයයි.

මේ උතුම් දහමට ‘පුබ්බේ අනනුස්තේසු ධම්මේසු යන පෙර නොඇසූ විරූ දහමක් යන ප්‍රකාශය බුදුරජාණන් වහන්සේ සිදු කරනු ලබනවා. ලොව්තුරා බුදු කෙනෙකු හැර වෙන කිසිදු අයකු මෙම දර්ශනය ප්‍රකාශ කර නැහැ. ඒ බැවින් පෙර නොඇසූ විරූ දහම දැන ගත්තා පමණක්ම මදි. එය ප්‍රායෝගික කරන්න අවශ්‍යයි. ඒ අනුව එම දහම ප්‍රත්‍යක්ෂ කර ගන්නත් අවශ්‍යයි. තම තම නැණ පමණින් දැන ගතයුතු යයි ලෝවැඩ සඟරා කතු හිමියන් ප්‍රකාශ කළේ ටික, ටික, බිඳ බිඳ මේ දහම ප්‍රත්‍යක්ෂ කළයුතු ආකාරයයි.

මේ දහම ඇසූ මුලින් කී පස්වග භික්ෂූන්ගෙන් ධම්මචක්ෂුසය හෙවත් සෝතාපන්න බව ලැබුවේ කොණ්ඩඤ්ඤ හිමියෝයි. ඒ නිසා උන්වහන්සේ දැනගත් කොණ්ඩඤ්ඤ හිමි හෙවත් අඤ්ඤා කොණ්ඩඤ්ඤ යන නමින් හැඳින්වූවා. එසේ වූයේ ‘යංකිඤ්චි සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මං’ එනම් යම් දෙයක් හේතූන්ගෙන් ප්‍රභවය වූවා නම් ඒ සියල්ල විනාශ වෙනවා යන දර්ශනය අවබෝධ වීමෙන්. බුදුරජාණන් වහන්සේගේ දේශනයේ පමණක් දැක්වෙන ‘පූර්ණ අනිත්‍යත්වය’ හා ඒ මත පදනම් වූ ත්‍රිලක්ෂණ දර්ශන වැඩීම සමඟ මාර්ගඵල ප්‍රතිලාභ වෙනවා. මේ උතුම් දහම් වඩමින් සියලු කෙලෙස් නසා නිර්වානාවබෝධයට පත් වීමට වෙර වඩත්වා.

තෙරුවන් සරණයි.

 

  ඇසළ පුර පසළොස්වක පෝය

  ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 19 වනදා අඟහරුවාදා පූර්ව භාග 4.40 ට ලබයි. 20 වනදා බදාදා පූර්ව භාග 04.26 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 19 වනදා අඟහරුවාදා.

මීළඟ පෝය ජූලි 26 වනදා අඟහරුවාදාය..


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 19

Second Quarterඅව අටවක

ජූලි 26

Full Moonඅමාවක

අගෝස්තු 02

First Quarterපුර අටවක

අගෝස්තු 10


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]