UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ස්වර්ණ ජයන්තිය සමරන මට්ටක්කුලියේ ශ්‍රී වික්‍රමාරාමය

ස්වර්ණ ජයන්තිය සමරන මට්ටක්කුලියේ ශ්‍රී වික්‍රමාරාමය
 

මාතලේ සාසනතිලක අනුනාහිමි

 

සම්බුද්ධ ශාසනයට නව ආලෝකයක්

අපවත් වී වදාළ අප නිකායේ අනුනායක ධුරන්දරව වැඩ සිටි විද්‍යා විශාරද රාජකීය පණ්ඩිත මාතලේ සාසනතිලක මාහිමිපාණන් වහන්සේගේ නිවැරදි අනුශාසනාවත් රාජකීය පණ්ඩිත පූජ්‍යතර මාතලේ ධම්මකුසල ස්ථවිරපාදයන් වහන්සේගේ නොමඳ කැපවීමත් නිසා උතුරු කොළඹ මට්ටක්කුලිය ගමේ ශ්‍රී වික්‍රම මහා විහාරය ඉදි වී තිබෙනු දැක බලවත් සතුටට පත්වීමි. උතුරු කොළඹ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාව සිටි ජනසතු සේවා අමාත්‍ය වී.ඒ. සුගතදාස මැතිතුමන් ඇතුළු සැදැහැවත් දායක කාරකාදීන්ගේ බලවත් පරිත්‍යාගයනුත් මෙම ආරාමය ඉදිවීමට උපස්ථම්භක වී ඇති බව අසා ඇත්තෙමි. ආරම්භ කරන යුගයේ මම එම ස්ථානයට වරින් වර ගොඩ වී ඇත්තෙමි.

උතුරු කොළඹ මට්ටක්කුලිය එකල ගංවතුර වැනි ස්වාභාවික උපද්‍රව බහුල ප්‍රදේශයකි. මෙවන් පළාතක යම්තම් ලෑලිවලින් ආවරණය කළ තහඩු සෙවිළි කළ කුඩා කුටියක වැඩ හිඳිමින් මාතලේ අනුනාහිමි මෙම ආරාමය ගොඩ නැගීමට ක්‍රියාකළේ සහායට වැඩසිටි ශිෂ්‍ය සද්ධිවිහාරික භික්ෂූන් වහන්සේ කීප නමකගේ සහාය ඇතිව මාතලේ අනුනාහිමියන් වහන්සේගේ අප්‍රතිහත ධෛර්ය මැදය. සැහැල්ලු පැවැත්මෙන් වීර්යයෙන් යුතුව මාතලේ අනුනායක ස්වාමීන් වහන්සේ ආරම්භ කළ මෙම විහාරස්ථානය ආරම්භ කොට මෙම මැයි මාසයට වසර පනහක් පිරෙන බව අසා බලවත් සතුටට පත් වීමි. ශ්‍රී වික්‍රමාරාම ඉතිහාසයේ ස්වර්ණ ජයන්තිය සමරන මේ අවස්ථාවේ දෙවි රැකවරණින් ස්ථානයේ සියලු කටයුතු සාර්ථක වේවායි ආශිංසනය කරම්හ.


අනේකවිධ උපකාර සිහිකරමු

1956 උදා වූ 2500 බුද්ධ ජයන්තිය පිළිබඳ ප්‍රබෝධයෙන් පිබිදුණු සැදැහැති බෞද්ධයන් කීප දෙනෙකු විසින් උතුරු කොළඹ මට්ටක්කුලියේ බෞද්ධ ආරාමයක් ගොඩනැගීම සඳහා ක්‍රියා කිරීමට වෙරදරා තිබුණත් එවැන්නක් සඳහා ඉඩමක් නොමැතිකමත් ශක්තිමත් බෞද්ධයෙකුගේ ඉදිරිපත්වීමක් නොමැතිකම නිසාත් එම අරමුණ වරින්වර බිඳ වැටී තිබුණි.

මේ වන විට අපගේ ආචාර්යපාද විද්‍යා විශාරද රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය මාතලේ ශාසනතිලක අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ මරදාන ශ්‍රී ලංකා විද්‍යාල පිරිවෙනෙහි උප ප්‍රධානාචාර්යවරයා ලෙස කටයුතු කරමින් සිටියහ. උන්වහන්සේ ශාස්ත්‍රීය කටයුතුවල නිරත වු කෙනෙකි. සහජයෙන්ම ලත් ජාති මමත්වයෙන් ඔදවැඩීගිය අදහස් ඇති කෙනෙකි. සිංහලයාට හෝ සිංහල භාෂාවට හෝ මදි පුංචිකමක් වේ නම් එයට විරුද්ධව නොවළහා කරුණු කීමට ඉදිරිපත් වු මහතෙර නමක්ද වූහ. ශ්‍රී ලංකා විද්‍යාලය වැනි විද්‍යාස්ථානයක නැවතී සිට එම විරෝධතා දක්වනු වෙනුවට උන්වහන්සේ කල්පනා කළේ තමන්ගේම ස්ථානයක නැවතී සිට එය කළ යුතු බවයි. එබැවින් තමන්ට කියා තම අතින් ගොඩනැගුණු විහාරස්ථානයක් පිළිබඳ සංකල්පයක් උන්වහන්සේ සිතේ මතුවෙමින් තිබුණි. මේ අතරතුර සිංහල රාජ්‍ය භාෂාව වීමෙන් පසු උප භාෂාවන් භාවිත කිරීමට නීති රීති පැනවීමේ ගැටලුවට රජය මැදිහත්වී සිටි බැවින් එම ප්‍රශ්නවලටද අප නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අතිපූජ්‍ය බද්දේගම විමලවංශ නාහිමි, කේ.ඇන්.පී. රාජරත්න මැතිතුමා සහ ආර්.ජී. සේනානායක ආදී ජාතික ව්‍යාපාරයෙහි පුරෝගාමීව සිටි අය සමඟ සාකච්ඡා කරමින් භාෂා සටනෙහි පෙරමුණේම ගමන් කළහ.

ඉහත කී කරුණු හා වෙනත් ජාතික ආගමික වුවමනාවන් සඳහා තමන් වහන්සේ අලුත් විහාරස්ථානයක් ගොඩනැගීම පිළිබඳව ශිෂ්‍යයෙකු වන මා සමඟත් අනෙකුත් සහෝදර භික්ෂූන් වහන්සේ සමඟත් පැවසූ අවස්ථා බොහෝය. මේ අදහස්වල අවසන් ප්‍රතිඵලය වූයේ කොළඹ 15 මට්ටක්කුලියේ ශ්‍රී වික්‍රමමාවතේ ශ්‍රී වික්‍රමාරාමය නමින් අභිනව ආරාමයක් ගොඩනැගීමය .

පන්සල ගොඩනැගුණ මුල් අවස්ථාව කරදර කම්කටොලු සහිත විය.හේතුව ආරාමයක් ගොඩනැගීම පිළිබඳ දැනුමක් ඇති අත්දැකීමක් ඇති බෞද්ධයන් නොසිටීමයි. එසේ වුවත් පරලොව සැපත් වෛද්‍යාචාර්ය ඕවිටිගල ගුණසේකර මහතාට අයත් කුඩා බිම් කොටසක ස්ථානය ආරම්භ වී දැනට පාර දෙපස පිහිටි ධර්ම ශාලාව,ආවාස ගෙය, චෛත්‍යය, බෝමළුව, ඝණ්ඨා ස්ථම්භය, මකර තොරණ ආදි අංගයන්ගෙන් සමූප ලක්ෂිත විහාරස්ථානයක් බවට පත් වී තිබේ.

මෙම ස්ථානය ගොඩනැගීමේදී නේවාසිකව සිටි මාතලේ අමරවංශ හිමි, පඬිකෙටූවැවේ සුමනසේන හිමි, මක්කානිගොඩ අස්සජි හිමි ආදී නේවාසික භික්ෂූන් වහන්සේලාගෙන් ලැබුණු රුකුලත් අතිපූජ්‍ය බද්දේගම විමලවංශ නාහිමි, අතිපූජ්‍ය පාතේගම විමලසිරි නාහිමි වැනි හිමිවරුන්ගෙන් ද ස්‍යාමෝපාලි මහානිකායික කොටහේන පරමානන්ද පුරාණ විහාරාධිපතිව වැඩ විසූ පූජ්‍යපාද එල්ලාවල කල්‍යාණවංශාභිධාන නාහිමිවරුන්ගෙන්ද ලැබුණු අනේක විධ ආධාර උපකාර සිහිපත් කිරීම අවශ්‍යය.

උතුරු කොළඹ පාර්ලිමේන්තු මන්ත්‍රීව සිටි වී.ඒ. සුගතදාස ඇමැතිතුමා හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ඇමැතිව සිටි වින්සන් පෙරේරා මැතිතුමන්ගෙන් හා නාගරික මන්ත්‍රිවරයාව සිටි ඔගස්ටින් ඩයස් මහතා ඇතුළු ප්‍රදේශවාසීන්ගෙන්ද ඉමහත් උපකාර ලැබුණි.


උතුරු කොළඹ බෞද්ධ පුනර්ජීවනයට අත්වැලක්

මරදානේ ශ්‍රී ලංකා විද්‍යාලයාධිපති රාජකීය පණ්ඩිත බද්දේගම විමලවංසාභිධාන ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක මාහිමිපාණන්ගේ ඇරයුමෙන් විද්‍යා විශාරද රාජකීය පණ්ඩිත මාතලේ සාසනතිලක ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක මාහිමිපාණන් වහන්සේ මරදානේ ශ්‍රී ලංකා විද්‍යාලයට වැඩම කොට එහි උප ප්‍රධානාචාර්ය ධුරයට පත් වූහ.

මට්ටක්කුලිය ග්‍රාමයෙහි විහාරස්ථානයක් ඇති කිරීමේ අභිලාශයෙන් වෛද්‍යාචාර්ය ඕවිටිගල මැතිතුමන්ගේ සහායෙන් 1966 දී ශ්‍රී වික්‍රමාරාමය ගොඩනැංවූහ. ප්‍රදේශවාසී ජනතාවට ආධ්‍යාත්මික නායකත්වයක් ලබා දෙනු සඳහා විවිධ ආගමික ක්‍රියාකාරකම් සංවිධානය කරන ලදුව දිනෙන් දින එය දියුණු වන්නට විය. ශී‍්‍ර වික්‍රම ළදරු පාසල, ශ්‍රී ගාමිණී දහම්පාසල ,ශ්‍රී වික්‍රමාරාම දායක සභාව, ශ්‍රී වික්‍රම තරුණ සංවිධානය, උතුරු කොළඹ අමද්‍යප සංවිධානය, උතුරු කොළඹ සර්වෝදය මධ්‍යස්ථානය, ශ්‍රී වික්‍රම සාක්ෂර මධ්‍යස්ථානය, වැනි ආයතන බිහි කරමින් කළ සේවය අමරණීය වෙයි. එම ශීඝ්‍ර සංවර්ධනයෙහිලා නාහිමියන්ගේ පසුබිමෙහි ක්‍රියාකාරීහු රැසක් වූහ. හිටපු ජනසතු සේවා අමාත්‍ය වී.ඒ. සුගතදාස මැතිතුමා , කොළඹ උප පුරපති ඔගස්ටින් ඩයස් මැතිතුමා, කී‍්‍රඩා අමාත්‍ය එම් වින්සන්ට් පෙරේරා මැතිතුමා , එම්.එච්. මදනායක මැතිතුමා, වෙළෙඳ අමාත්‍ය ආර්.ජී. සේනානායක මැතිතුමා, වී.එස්. පෙරේරා මහතා, ඔස්වල්ඩ් ප්‍රනාන්දු මහතා, සමරවික්‍රම වෛද්‍යාචාර්ය තුමා,ඇම්. ඒ. ප්‍රනාන්දු මහතා, සිරිසේන එදිරිමාන්න මහතා, ගොඩගේ වෛද්‍යාචාර්යතුමා ඇලිස් සිල්වා මාතාව , ඔගස්ටින් රත්නායක මහතා, ඒ අතරින් සිහිපත් වෙයි.

1985 අගෝස්තු 16 වන දින අනුනාහිමියන්ගේ අපවත්වීමෙන් පසු එහි ආධිපත්‍යයට පත් වූයේ මරදානේ ශ්‍රී ලංකා මහ පිරිවෙන්හි පරිවේණාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී මාතලේ ධම්මකුසල නාහිමිපාණන් වහන්සේය. තම ගුරු හිමියන්ගේ කාර්ය භාරය තවත් දෙගුණ තෙගුණ කරමින් විහාරස්ථානය වැඩි දියුණු කළහ. පර්චස් දහසයකට සීමාවී තිබු විහාර භුමියට අලුතින් පර්චස් විස්සක භූමිභාගයක් එක් වූයේ හිටපු ජනාධිපති ආර්. පේ‍්‍රමදාස මැතිතුමන්ගේ අනුග්‍රහය මතය. දෙමහල් ධර්මශාලා මන්දිරය, දෙමහල් දහම්පාසල් ගොඩනැගිලි, දෙමහල් විහාර චෛත්‍යය නිර්මාණය, පුස්තකාලය,ධාතු මන්දිරය, නේවාසිකාගාරය, උන්වහන්සේගේ උත්සාහයේ ප්‍රතිඵලයන් වෙයි. ප්‍රදේශවාසී දූ දරුවන් ධර්මානුකූල වැඩ පිළිවෙළකට යොමු කොට දේශීය චින්තනය සංස්කෘතිය සංවර්ධනය කිරීමට ගත් උත්සාහය අද මල්ඵල ගැන්වී ඇත.

ගංවතුර සහනාධාර ලබාදීම, සුනාමි ආධාර බෙදාදීම, විපතට පත් ද්‍රවිඩ ජනතාවට ආරක්ෂාව සැපයීම උතුරු කොළඹ පාසල් සංවර්ධනයට අනුශාසනා කිරීම උන්වහන්සේගේ සේවයෙන් බිඳක් පමණි.

2016 මැයි මස වන විට සිය පණස්වැනි වියට පාතබන මට්ටක්කුලිය ශ්‍රී වික්‍රමාරාම මහා විහාරය තම වගකීම් නිසි ලෙස ඉටුකිරීමෙහිලා සමත් වූ මහත් අභිමානයෙන් ඔදවත්ව තෙදවත්ව වැජඹෙයි.

 

  වෙසක් අව අටවක පෝය

   වෙසක් අව අටවක පෝය මැයි 29 වනදා ඉරිදා පූර්ව භාග 6.18 ට ලබයි. 30 වනදා සඳුදා පූර්වභාග 04.57 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 29 වනදා ඉරිදාය.
 
මීළඟ පෝය ජුනි 04 වනදා සෙනසුරාදා


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 29

Full Moonඅමාවක

ජුනි 04

First Quarterපුර අටවක

ජුනි 12

Full Moonපසෙලාස්වක

ජුනි 19


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]