UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අවුරුදු සිරිතේ යටගියාව

අවුරුදු සිරිතේ යටගියාව

අන්තවාදය බුදු දහමින් ප්‍රතික්ෂේප කර තිබේ. සංස්කෘතික ව්‍යුහය නිරතුරු විපරිණාමය වන්නකි. අප අඳින ඇඳුම් පැළඳුම් ගෙවල් දොරවල් ආහාරපාන හැසිරීම් මෙන්ම සිරිත් විරිත්ද අමිශ්‍ර පරම නිර්මල පවිත්‍ර ඒවා යැයි සිතීම නිවැරදි නොවේ. සියයට සියයේ සංස්කෘතිය නමින් රැල්ෆ් ලින්ටන් නම් මානව විද්‍යාඥයා මේ බව පැහැදිලි කොට ලිපියක් ලියා ඇත. තවත් දහස් ගණන් ලේඛන මේ සම්බන්ධ රචනා කොට තිබේ.

නූතන සමාජයේ ශ්‍රම විභජනය ගැන සලකන විට සිංහල, දෙමළ ජනයා අලුත් අවුරුද්ද සමරන විට මේ රටේ අනිකුත් වාර්ගික හෝ ආගමිකයෝ නිවාඩු නොගෙන රැකි රක්ෂා කරති. ඒ අයගේ උත්සව වලදී අපිදු එසේ නිවාඩු හා විවේක නොගෙන රැකියාව කරන්නෙමු. පුවත්පත්, ගුවන්විදුලිය, රූපවාහිනිය හෝ කවර ජනමාධ්‍යයකින් වුවද කවි, කෙටිකතා, සුබපැතුම්, නාට්‍ය ලියැවෙනු රඟ දැක්වෙනු ගීත ගැයෙනු අපි අසා දැක ඇත්තෙමු. මේවායේ නිරත සියලු දෙනාම සිංහල හෝ බෞද්ධ දෙමළ හෝ හින්දූහු නොවෙති. ඇතැම් විට වෙනත් ජාතිකයෝය,ආගමිකයෝය, එතැන කිසි වරදක් ගැටලුවක් නැත. එතැන සංහිඳියාව, සහජීවනය පවතී. අලුත් අවුරුදු මංගල්ලයේදී සැදැහැ ගුණ නුවණ අවංක කායික ,මානසික ක්‍රියාවලියක් බවට පත්වීම වැදගත්ය.

එකිනෙකා කෙරෙහි තරහෙන්, ද්වේශයෙන්,වෛරයෙන්, නුරුස්සනා ලෙස හා ගැටුම්කාරි ලෙස ජීවත්වන්නේ නම් එහි අවුරුදු සිරිය නැත. විශ්වාසය, ඉවසීම, ඊර්ෂ්‍යාවක් නැති මුදිතාව,මුළු දිවිය පුරාම මෛත්‍රී කරුණාව පතල කරන චිත්ත වීථි, පුරුදු පුහුණු වී පවතී නම් එම ගුණදහම් වාසනාව ගෙන දෙන්නේය. අලුත් අවුරුද්දේ පමණක් නොවේ. මුළු දිවිය පුරා සොබාදහම, පරිසරය, විශ්වය පිළිබඳ මෙත් කුලුණු ගුණෙන් කටයුතු කරන පොළව , ජලය, හුළඟ, ගින්න සමඟ අවබෝධයෙන් එකලස් එකඟ කරගත් අනලස් , අනල්ප සිතුවිලි හැඟීම් සමඟ ක්‍රියාකරනු ලබන පින් සිත කුසල් සිත වර්ධනය කරගන්නට හැක්කේ පවුකම් වලින් ඈත්ව සිටින සුදොවන්තයාට පමණි. නිශ්ශබ්දතාව මනසම සන්සුන් කරන්නේය.අද අපේ දෛනික ජීවිතය කලබලයෙන් ,අවිවේකයෙන්, තරහගතියෙන් වල් වැදී ඇත. අනවශ්‍ය වියපැහැදම් නැති නාස්ති කිරීම් අපමණය. මඟුල් ගෙදරකදි මිනිසුන් කනබොන හැටි දුටු විට විපිළිසරකමක් ඇතිවේ.ආහාරපාන නැතිව කෝටි ගණනක් මිනිසුන් ජීවත්වන ලෝකයක අපි අප්‍රමාණ ලෙස ආහාරපාන නාස්ති කරන්නෙමු. අපේ ඇඳුම් පැළඳුම් ආදී උපයෝග පරිභෝග භාණ්ඩ අප වටා කඳු ගැසී ඇත. උමතු වඳුරකු, කුළු හරකකු දඟලන අශ්වයකු, නැතිනම් චංචල මීයකු මෙන් හිත එහේ මෙහේ දිව යයි. සිත අශ්වයාය. හුස්ම අසතුවාය. නුවණින් සිත පාලනය කළ යුතුය. මේ ටිබෙට් කියමනකි. අලුත් අවුරුද්ද අපට අප දෙස හැරෙන්නට කදිම විවේකයක් ලබාදෙන කාලයයි.

සිංහල අවුරුදු සිරිත් විරිත් සඳහන් කොට දින නියමයෙන් ලියන අවුරුදු විස්තරය අවුරුදු සීට්ටුව යනුවෙන් හැඳින්වේ. මෙය මුළු ගම පුරා අතින් අතට යැවේ. එක් ගෙයකට ලැබුණ අවුරුදු සීට්ටුව බලා ඊළග නිවසට යවනු ලැබේ. මේ ආකාරයෙන් සීට්ටුව සෑම නිවසක් වෙතම අතින් අත යැවීමෙන් තොරතුරු දැන ගනිමි. අවුරුදු ලිත් හෝ පුවත්පත්, ගුවන්විදුලි , රූපවාහිනි, විද්‍යුත් මාධ්‍යය, නොතිබු යුගයක මේ සාම්ප්‍රදායික සන්නිවේදන ක්‍රමය ඉතා ප්‍රයෝජනවත් වූවකි. මහා නැකැතිනා සකස් කළ නැකැත් සීට්ටුව අවුරුද්දට වැඩ අත්හැරීම, ගිනිමෙලවීම,ආහාර පිසීම,අනුභවය, ගමන්බිමන් යෑම, වැඩ ඇල්ලීම ආදි සියල්ලම සඳහන් කරන ලද තොරතුරු පත්‍රිකාවකි. මේ සෑම කටයුත්තක්ම ඉෂ්ට කරන්නේ නැකතකට සුබ මුහුර්තයකට අනුවය. පෙර කාලයේ දන් සීට්ටුව අතින් අත යැවෙන්නේද මේ ලෙසය.

අවුරුද්ද ලබන්නට පෙර දින නිවසේ ගෘහණිය සිය ගෙවල්දොරවල් අවට පරිසරය ශුද්ධ කොට ළිප්බොක්කද අතුපතු ගා කුණූ කෑල්ලක් ගෙන ගොස් තුන් මං හංදියක් අසලක අයිනේ ඉවත දමයි. මෙසේ දමන දෝසය එළියට දැමීම සිදු කරයි. ඇතැම් ගම් පියසෙක මේ කටයුතු කරන්නේ අවුරුදු කෑමෙන් පසුවය. බද්දේගම විමලවංශ හිමියන් පවසනුයේ පෙර අවුරුද්දකම ඉතා දුප්පත් ගෙදරක වුවද කැවුම් කිරිබත් පිළියෙළ කරන අතර අලුත් වස්ත්‍රද ගැනීමට අමතක නොකරන බවකි. කැවුම්, කොකිස්, ආස්මි අතිරස, මුංගුලි, මුං කැවුම්, නාරං කැවුම්, උඳුවැල්, පැනිවළලු,අලුවා ආදි සිංහල අලුත් අවුරුදු කාලයටම ඉවෙන පිහෙන කැවිලි වර්ග වන අතර අතහුරු පුරුදු නැති අයට මේ කැවිලි පිසගැනීම පහසු කාර්යයක් නොවෙයි. දුප්පත් අයට මිල මුදල් හිඟ නම් සිය දරුවන්ට වස්ත්‍ර ලබාදෙති. එබැවින් කුඩා දරුවන්ට වුවද අවුරුද්ද ගැන හැඟීම් ජනනය වන්නේය.

ළිඳ ඉඳුල් කිරීම නම් චාරිත්‍රයක් තිබේ. ගෙවී ගිය අවුරුද්දේ නැකැත් නියමිත වේලාවට ළිඳෙන් ගෙන දිය කළයෙන් ටිකක් භාජනයකට දමා වහලේ එල්ලා තැබීම හෝ ප්‍රවේශම් කොට තැබීම සිරිතයි. ඒ ජලය පොද ගෙන ගොස් ළිඳට හලා වතුර කලයක් අලුත් අවුරුද්දට ගෙන එනු ලැබේ. ඒ අවස්ථාවේ සතයක්ද කිරිබත් ආදියද පොඩි පොට්ටනියක බැඳ ළිඳට දැමීම චාරිත්‍ර ධර්මයයි. මේ ළිඳ ඉඳුල් කිරීම නමින් හැඳින්වේ. ළිඳ හා ගනු දෙනු කිරීමටද ගැමියා අමතක නොකරයි. ළිඳෙන් ගත් මේ ජලය ආරක්ෂා කිරීම වෛදික සිරිතක් විය හැකියයි විමලවංස හිමියෝ පවසති.

කුණු ටිකිරට බත්දීම යනුවෙන් චාරිත්‍රයක් දැක්වේ. සිංහල අවුරුදු දා කිරිබත්,කැවුම්, කෙහෙල් ගෙඩි ආදිය කෙහෙල් කොළයකට හෝ තටුවකට පිළියෙල කොට පොල්තෙල් පහනක්ද දල්වා එය ගෙන ගොස් කුණු ගොඩක් උඩින් තැබීම සිරිතයි. අවුරුදු කැවිලි වර්ග පොල් කටුවක දමා පහනක් සමඟ හෝ ගෙන ගොස් තැබීම සමහර පලාතක සිරිතයි. මෙය හඳුන්වන්නේ කුණු ටිකිරට බත්දීම වශයෙනි. දැනුදු මේ සිරිත දකින්නට ඇත්තේ සමහර පළාතක පමණි. මෙවැනිම සිරිතක් පුරාණ ඉන්දු ආර්යයන් අතර පැවතුනි. එය රුදුට කරන පූජාවකැයි විමලවංස හිමියෝ කරුණු දක්වති. කුණු කසල ගොඩක් උඩ හෝ හුඹස් උඩ රුදු සඳහා පුද පූජා පැවැත්වූහ. කුණු ටිකිරට බත්දීමෙන් රුදු පූජාවෙන් සමානකමක් ඇත්තේය.

සිංහල හින්දු අලුත් අවුරුද්ද යන ව්‍යවහාර ප්‍රශ්නකාරිය, සිංහල වූ කලි ජනවර්ගයකි. ජාතියකි. හින්දු යනු ආගමකි. ඊට ඵෙතිහාසික හේතු අද තිබේ. සිංහල අලුත් අවුරුද්දේ මායාව සම යථාර්ථය නම් තිලක් සේනාසිංහ ලියූ පොතේ දක්වයි. සිංහල අවුරුද්ද යනුවෙන් මහාචාර්ය නලින්ද සිල්වා ලියු කෘතියේත් මහාචාර්ය විනී විතාරන ඉංගී‍්‍රසියෙන් ලියූ ඉරහඳ හා සිංහල සංස්කෘතිය ග්‍රන්ථයේම ආචාර්ය නන්දදේව විජේසේකර, මහාචාර්ය දයා අමරසේකර,ආචාර්ය හේමන්ත කුමාර ඇතුළු බොහෝ විද්වතුන්ගේ ලිපි හා පොත්වල මේ කරුණු සාරගර්භ ලෙස සාකච්ඡා කොට තිබේ.

1833 වසරේ සිට එතෙක් පැවැති උපදේශක මණ්ඩලය වෙනුවට නව ව්‍යවස්ථාදායක මණ්ඩලයක් සහ විධායක මණ්ඩලයක් පත්කර ඇත. කෝල්බෲක් කොමිසම නමිනි. ඒ 1829 වසරේ බ්‍රිතාන්‍යය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවට පැමිණි රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වූ ලුතිනන් කර්නල් ඩබ්ලිව්. එම්.ජී. කෝල්බෲක් ගේ නිර්දේශ මත මේ අදහස ඉටුවිය.

“බෞද්ධ විතරක් නෙමෙයි යාපනයේ හින්දු මිනිසුන්ටත් ඒ දවස තරමක් වැදගත්. ඒ හින්දා ඒ මිනිසුන්ටත් යම් වටිනාකමක් දෙන්නත් එක්ක අපි ඔය නිවාඩුව බෞද්ධ සහ හින්දු අලුත් අවුරුද්ද යනුවෙන් ප්‍රකාශයට පත්කරමු.” එම ව්‍යවස්ථාදායක සභාවේ මුලසුන හෙබවූ ආණ්ඩුකාර විලියම් ග්‍රෙගරි පැවසීය.

“මම හිතන්නෙ ඒකෙත් පුංචි පරහක් තියෙනවා. මොකද මේ රටේ බෞද්ධයන්ගේ අලුත් අවුරුද්ද කියන්නේ බුද්ධ වර්ෂය මුල් කොට ගත්තු වෙසක් උත්සවය . එතකොට මේ රටේ බෞද්ධයන්ට අලුත් අවුරුදු දෙකක් වෙනවනේ. “සභාවේ නිල නොලත් සභිකයෙකුගේ හඬක් මතුවිණි.

“ඉතින් එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් ඕක සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද කියලා නම් කරන්නකො ප්‍රශ්නෙ ඉවරයිනේ.”

මේ අතීත කතාව බව තිලක් සේනාසිංහ කියයි. අවසානයේ දේශපාලනික බලය හා ආධිපත්‍යයද ජනමාධ්‍ය තරගයද කූඨ වෙළහෙළඳාම් ද අවුරුදු උත්සවය සංස්කෘතික චාරිත්‍ර ධර්ම ගොදුර බිම් කරගති.

අපේ‍්‍රල් වසන්ත කාලය බක් මාසය කොවුලන්ගේ අභිජනන වකවානුවයි. එරබදු ගස්, කජුපුහුලන් , නොයෙක් මල්වර්ග , මීමැස්සන්, බඹරුන්, වඳවී ගිය පරිසරය වෙනස් වූ බරපතළ කාලයක අපි ජීවත්වමු. වකුගඩු පිළිකා හෘදයාබාධ, දියවැඩියාව බහුලය. පවුල් කුටුම්බ වශයෙන් රට වශයෙන් අතිශය ණය බරින් අපි පීඩිත වෙමු. අවුරුදු සැමරීමේදී අණන සුඛයෙන් මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් සොරකමින් ප්‍රචණ්ඩත්වයෙන් වැළකී සිටීමට තරම් ප්‍රතිඥාවක් තිබිය යුතුය.

අද අප සලකන අලුත් අවුරුදු සූර්ය සංක්‍රාන්තිය යනු සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කිරීමය.මේ සංක්‍රාන්තිය මුල්වරට සිදුවී ඇත්තේ කවර බක්මාසයක් තුළද, අන්න ඒ බක් මාසයේ සිට ශකවර්ෂ ක්‍රමය ආරම්භවන්නට ඇතැයි මට සිතේ.

නොනගතය ගැනද විවිධ අය විවිධ මත ප්‍රකාශ කරති. එහෙත් මා එය දකින්නේ වෙනස් ආකාරයකට. මෙහිදී මුලින්ම නොනගතය යන වචනය සෑදී ඇති ආකාරය විග්‍රහ කිරීම වටී.

අගත යනු, පැමිණී යන්නයි. එසේ නම් අනගත නොපැමිණි යන්නයි. මේ අනුව නොනගත යන්නෙහි අරුත නොපැමිණේ නොවේ යන්නයි. මෙය ඇවිල්ලත් නැහැ නෑවිල්ලත් නැහැ ලෙසින් තවත් සරල කළ හැකිය. මෙහිදී ඇවිල්ලත් නෑවිල්ලත් නැත්තේ සූර්යයාය. මන්ද සුර්යයා මේ දවසේ එක් රාශියක සිට තවත් රාශියකට ගමන් කරන බැවිනි. මින් හැඟෙන්නේ සූර්යයා නොනගතය තුළදී එක් රාශියකින් නික්මෙමින් පවතින අතර අනෙක් රාශියට ඇතුළු වෙමින් තිබෙන බවය. එනම් කිසිදු රාශියකට පූර්ණව අයත් නොවන බවය. “මහාචාර්ය නලින්ද සිල්වා. “අලුත් අවුුරුදු දවස කලින් කලට වෙනස් වෙනවා යනුවෙන් ලියු ලිපියේ අදහස වැදගත්ය. මෙහි ඇති විද්‍යාත්මක භාවය එකකි. සංස්කෘතිකමය පැත්ත තවත් එකකි. අද දවසේ පවා නොනගතය යනුවෙන් අප විශ්වාස කරන්නේ පුණ්‍ය කාලය නැකත් නැති කාලය යන්නය. ඒ අවස්ථාවේ අපි පන්සල් යන්නෙමු. පරණ අවුරුද්දට පෙර අපි පන්සලට වියලි සලාක දන්කඳක් පිරිනමමු. නැවත අප පන්සල් යන්නේ අවුරුදු උත්සවයෙන් පසුව හෙයිනි. ඒ වනතුරු විහාරස්ථාන යේ හිමිවරුන් කුසගින්නේ නොතැබිය යුතු නිසා දන්කඳක් පිරිනමමු. අලුත් අවුරුද්දට කිරිබත් කැවිලි බන්දේසියක් ගෙන විත් බුදුන් පුදන අපි හිමිවරුන්ටද කැවිලි දෙන්නෙමු. නැවතත් හිස තෙල්ගෑම සඳහා අපි විහාරයට යන්නෙමු.

අවුරුදු මංගල්‍යයේ සාමූහික ක්‍රීඩාවන්ට විශේෂ තැනක් තිබේ. අවුරුදු කුමාරයා හා කුමාරිය තේරීම අලුත් වෙවී එන තරගයි. අපගේ අවුරුදු අද වන විට විකෘති වීමත් කෘත්‍රිම වීමත් ගැටලුවකි.

විවේකයක් ගෙන, සතුටින් සමාදානයෙන් සහජීවනයෙන් සංහිඳියාවෙන් කෙටි කාලයක් ගතකොට හිසතෙල් ගා නෑමෙන් පසුව නැවත වැඩකටයුතු කිරීමට එළැඹීමට ලබන පුනර්ශක්තියක් නවජීවනයක් වශයෙන්ද තවත් අතකින් සූර්ය මංගල්ලය සැලකිය හැකිය.

 

 බක් පුර පසළොස්වක පෝය

අප්‍රේල් 21 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 08.20 ට ලබයි. 22 වනදා සිකුරාදා පූර්ව භාග 10.53 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 21 වන දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය අප්‍රේල් 30 වනදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 21

Second Quarterඅව අටවක

අප්‍රේල් 30

Full Moonඅමාවක

මැයි 06

First Quarterපුර අටවක

මැයි 13


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]