UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සාමයේ අරුණළු දේශයට උදා කළ බක් පොහොය

සාමයේ අරුණළු දේශයට උදා කළ බක් පොහොය

බක් මාසය යනු ශ්‍රී ලාංකේය සිංහල හා හින්දු බැතිමතුන්ගේද ආකර්ශනය දිනාගත් සතුට ජනනය කරන කාල පරිච්ඡේදයක් ලෙසින් අතීතයේ සිට නූතනය දක්වා සිහිපත් කෙරේ. කාලගුණික දේශගුණික වශයෙනුත් සෞම්‍ය කාලගුණයකින් හෙබි විසිතුරු මලින් හා ලතා එල්ලවයන්ගෙන් ගැවසීගත් නානාවිධ සියතුන්ගේ කන්කළු නාදයන්ගෙන් ප්‍රබෝධිත වූ අස්වැන්නෙන් සශ්‍රීකව ගිය බක් මාසය සැම සතුනට ආශ්වාදය ජනනය කරන කාලයක් ලෙසින් සැළකිය හැකිය. සැමදෙනම සිරිත්විරිත් ගරු කරමින් නොහොඳ නෝක්කඩු පසකෙලා එකාවන්ව සමඟියෙන් සාමයෙන් කෙළිදෙළෙන් ගත කෙරෙන බක් මාසයේ එළඹෙන පුන් පොහෝදිනය ද ශ්‍රී ලාංකේයයන් හැටියට මෙන්ම බෞද්ධ ප්‍රජාව ලෙසින්ද දේශය තුළ බුදුවදනින් සමගිය සාමය ස්ථාපිත කළ පළමු සුවිශේෂිත දිනය ලෙසින්ද සලකනු ලැබේ. ශී‍්‍ර ලංකාවට සාමයේ පණිවුඩය ගෙන එමින් සාමයේ වටිනාකම අවබෝධ කොට සාමය ස්ථාපිත කළ ප්‍රථම දිනය එළඹෙනුයේ බක් පුරපසළොස්වක දිනය සාමය හා සමගිය හා සබැඳි මාසයටම සම්බන්ධව පැවැතීම නිසා එහි අර්ථාන්විත බව තවදුරටත් වර්ධනය වී තිබේ.

මානව සමාජය තුළ සාමය සමඟිය තහවුරු කෙරෙමින් මානුෂිකත්වයට මුල් තැන ලබාදීමට කටයුතු කළ බුදුරජාණන් වහන්සෙගේ කාර්ය සමස්තයටම හිතසුව පිණිස විය. බුදුන් වහන්සේගේ දේශනාවන් තුළින් ඇති කළ සමාජ සංශෝධනය වූයේ සමාජය සංවරත්වයකට සමඟියකට ගෙන ඒමයි. මේ නිසා සමාජය තුළ බෙදීම් අවම වී මානුෂිකත්වය ජනතාව තුළ වර්ධනය වී කරුණාවෙන් , දයාවෙන්, මෛත්‍රියෙන්, සැම සතුන් දෙස බලන සමාජයකට මග සිය දේශනයන් තුළින් උන්වහන්සේ ලෝකයාට අවධාරණය කළ සේක. එවන් දහමක පහස ලබන්නට අදවන් දිනක ලක්දිව වැසියෝද මහත් භාග්‍ය ඇත්තෝ වූහ.

එමෙන්ම භේදයට තුඩු දෙන සාමයට මං අහුරන විනාශයක් ඇතිවන විට බුදුරජාණන් වහන්සේ ඍජුවම එම අවස්ථාවනට සම්බන්ධව සමාජයේ සමඟිය හා සමාජ සම්බන්ධතා තහවුරු කරලීමට ක්‍රියා කළහ. ශාක්‍යයන් අතර රෝහිණී නදියේ දියවර අරඹයා ඇති වූ අරගලයේදීත්, ලිච්ඡවීන් සම්බන්ධයෙනුත් ගත් ක්‍රියාමාර්ග නොවන්නට මහත් ව්‍යසනයකින් කෙළවරවීමට තුඩුදුන් කරුණු රැසක් ඇතිවීමට තිබුණි. නමුත් එම ස්ථානයට වැඩම කරන බුදුන් වහන්සේ සිය අරගලයේ ඇති සාධාරණ හා අසාධාරණ බවත් එවැනි ප්‍රශ්නයන් නිරාකරණය කරගත යුතු ආකාරය පිළිබඳවත් නිවැරැදි ආකල්පයක් ලබාදීම මත ඇති ප්‍රශ්නයන් නැති කර ගැනීමටත් සමාජ කණ්ඩායම් අතර සමගිය තහවුරු කර ගැනීමටත් අවස්ථාව සලසා දුන් සේක. එලෙසින්ම ලක්දිවට වැඩම කළ උන්වහන්සේ චූලෝදර, මහෝදර නා රජු අතර ඇතිවීමට ගිය මහා සටන නවත්වා සාමයේ වැදගත්කම අවධාරණය කළ සේක.

බුදුන් වහන්සේගේ බුද්ධත්වයෙන් පස් වෙනි වර්ෂයේ දී උන්වහන්සේගේ ශ්‍රී ලංකා ගමන සනිටුහන් කරන්නේ බක්පුර පසළොස්වක දවසය. මිණි පළඟක් අරඹයා චූලෝදර, මහෝදර නා රජුන් අතර ඇති වූ මහා අරගලය මගින් ඇති වීමට ගිය මහා විනාශය දුටු බුදුන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙන් පිටත්ව ඔවුන් කෙරේ මහා කරුණාවෙන් අලුයම් කාලයේ නාගදීපයට වැඩම කොට නා රජුන් අතර සමගිය ගොඩනගන පුදබිම සකස් කළ සේක. යොදුන් පන්සියයක් පමණ වූ නාග භවනෙහි අධිපතිකම් කළ මහෝදර නා රජුත් කණ්වඩනම්වන පර්වතයේ විසු නා රජු හට පාවා දෙනු ලැබූ සිය සොයුරියගේ පුත්වන චූලෝදරයන් අතර මෙම සටන ආරම්භ වේ. ඔහු ගොඩබිම් වැසි නාගවංශිකයින්ගේ අධිපතියෙක් සේ සැළකීය. චූලෝදරගේ මවගේ පියා මිය යන කල්හි ඔහු සතුව පැවතුණු වටිනා මැණික් පුටුව සිය පුතණුවන් වු මහෝදරයනට නොදී සිය දියණියට ලබාදීමට කටයුතු කළෙන් මහෝදරයන් විසින් සිය නැඟණියගෙන් මැණික් පුටුව ලබා ගැනීමේ චේතනාවෙන් යුතුව යුද්ධයට එළඹිණ.

දෙපාර්ශ්වයේම යුද ශක්තිය එක සමාන වු අතර කිසිවෙකුත් කිසිවෙකුට බිය නොවී මැණික් පුටුව ලබා ගැන්මට හා ආරක්ෂා කිරීම චේතනාන්විතව මහසෙන් පිරිවරා දෙපාර්ශවයේ ශක්තිය මතින් මැණික් පළඟ අත්පත් කර ගැනීම මෙම යුද්ධයේ අරමුණ විය. මේ නිසා දෙපාර්ශ්වයම නියෝජනය කළ නාග සේනාව මහෝදර හා චූලෝදරගේ නායකත්වයෙන් සටන් බිමට බටහ. මහා සේනාවන් සහිතව සටන් බිම වෙත ආ නා රජුන් නිසා ඇතිවන ව්‍යසනය දුටු බුදුන් වහන්සේ මෙලෙසින් ලක්දිවට වැඩම කොට නාගදීපයේ අහසෙහි මධ්‍යයේ සිට යුද බිමට වැද සිටි නාගයන් අඳුරක් මවා භීතියට පත් කරමින් නැවත ආලෝකය ලබාදිණි. මෙලෙසින් බුදුරදුන්ගේ ප්‍රාතිහාර්ය නිසා අඳුරෙන් මිදී ආලෝකයට ආ නාගයෝ බුදුන් වහන්සේ දැක මහත් සොම්නස් සිත් ඇතිව බුදුන් වහන්සේගේ පා කමල් වැන්දාහ. බුදුන් වහන්සේ දැක යුද්ධය පසෙකලා දෙපසට වී වාඩි වූ නා රජුන් ප්‍රමුඛ සේනාවලට සමගිය අරභයා සමගියේ වැදගත්කම මුල්කොට සමඟිය ගොඩනැගීමට ඉවහල් වන ධර්මදේශනාවක් කළහ. කාකෝලෝක ජාතකය, එන්දක ජාතකය, වටුකික ජාතකය, වට්ඨක ජාතකය ආදී ජාතක අනුසාරයෙන් වෛර කිරීමේ ඇති දෝෂයන් හා එයින් ඇතිවන අනිටු ඵලවිපාකයන් මතුකොට සමඟියෙහි ඇති අනුසස් මනාව ඉස්මතු කොට බුදුන් වහන්සේ කළ දේශනයෙන් යුද පිණිස යුද පිටියට ප්‍රවේශව සිටි නා රජුන් දෙදෙන ධර්ම කථාවෙන් අපමණ පී‍්‍රති ප්‍රමෝදයට පත්ව යුද්ධය සඳහා මුල් වූ මිණි පළඟ බුදුන් වහන්සේට පූජා කළහ. මැණික්පළඟ පිළිගත් බුදුන් වහන්සේ අහසින් වැඩ එම පුටුවේ වැඩම සිට නාගයන් විසින් පිළිගන්වන ලද දන් වළඳා අසූකෝටියක් නාගයන් තිසරණ සහිත පන්සිල් හි පිහිටුවා පාරිභෝගික චෛත්‍යයන් වශයෙන් වැඳුම් පිදුම්කිරීම පිණිස සුමන දෙවියන් විසින් දඹදිවින් වැඩම කොට කිරි පලු රුකත්, මිණි පළඟත් නාගයන්ටම පවරා සැවැත් නුවරටම වැඩම කළහ. මෙම ඓතිහාසික සිද්ධිය ශී‍්‍ර ලාංකේය වංසකථාවන් සඳහන් කරන අතර සාමය වෙනුවෙන් සාමයේ සුබ ඵලයත් අසමඟියේ අනිටු විපාකයත් එක්තැන් කරමින් ශී‍්‍ර ලාංකේය භූමිය තුළ දෙසු පළමුවෙනි ධර්ම දේශනය හැටියට මේ දේශනය සඳහන් වේ. ධර්මය හා සාමය අතර තිබෙන අවබෝධාත්මක දැනුම කෙතෙක්ද  යන්න මෙන්ම අසමඟියෙන් ඇතිවන ව්‍යසනයේ ඇති කුරිරු බව බියකරු බව එදා නාගදීපයේ දී බුදුන් වහන්සේගේ මේ දේශනයෙන් පසක් කළහ.

නාග ගෝත්‍රිකයන් උදෙසා උන්වහන්සේ දේශනා කළ දහම සදාතනික මානව වර්ගයාට සාමය ගොඩනඟන්නට සාමය තුළින් සමඟිය හා සංහිදියාව පසක් කිරීමට මේ දේශනය එතැන් සිටම හේතුවූ බව පැහැදිලිය. එතැනින් නොනැවතී උන්වහන්සේ මෙම දේශය සාමයේ දේශයක් කරනු වස් සිය බෑණනුවන්ට සහාය දැක්වීමට කැලණියේ සිටි මනිඅක්ඛික නා රජු හමුවීමත් එම නා රජුගේ ආරාධනය අදවන් දිනක පිළිගැනීමත් මේ දේශයට උන්වහන්සේගේ තෙවන වර වැඩමවීමට හේතු වූ බැවින් බක් පුර පසළොස්වක පොහෝ දවස ශී‍්‍ර ලාංකේයයන්ට සාමයේ අරුණලු නැගුණු දිනයක් මෙන්ම බුදුපහස ලත් දිනයක් ලෙස සැමරීම නව අවුරුදු උදාවත් සමඟම ගොඩනැගෙන සමඟියේ බැම්ම සමඟියේ හා සාමයේ බැම්ම සවි ශක්තිමත් කිරීමට ඓතිහාසික පදනමක් ලබා දෙන බව කිව යුතුය.

 

 බක් පුර පසළොස්වක පෝය

අප්‍රේල් 21 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 08.20 ට ලබයි. 22 වනදා සිකුරාදා පූර්ව භාග 10.53 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 21 වන දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය අප්‍රේල් 30 වනදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 21

Second Quarterඅව අටවක

අප්‍රේල් 30

Full Moonඅමාවක

මැයි 06

First Quarterපුර අටවක

මැයි 13


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]