UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියසදී පැවැත්වෙන අලුත් සහල් මංගල්‍යය

ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියසදී පැවැත්වෙන අලුත් සහල් මංගල්‍යය

ඉතිහාසය පුරා ලක්දිව රජ කළ විවිධ රජවරු අනුරාධපුර විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වෙත විවිධාකාරයෙන් බෝධි පූජා පවත්වා තිබේ. වර්තමානයේදී ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වෙත වාර්ෂිකව පවත්වන ප්‍රධාන පූජා හෙවත් මංගල්‍යය හතරක් දැකගත හැකිය. ඒවා නම් දුරුතු මංගල්‍යය (අලුත්සහල් මංගල්‍යය) පරණ අවුරුදු මංගල්‍යය, නානුමුර මංගල්‍යය හා කාර්ති මංගල්‍යය වේ.


ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ

මෙම මංගල්‍යය අතුරින් විශේෂ තැනක් ගන්නා “දුරුතු මංගල්‍යය” ,”අලුත් සහල් මංගල්‍යය” අලුත් සහල් මංගල්‍යය, හෙවත් අග්‍රශෂ්‍ය මහා දානය” මෙවර 49 වැනි වතාවට පැවැත්වෙනුයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි. එම පුණ්‍ය මහෝත්සවය වාර්ෂිකව සිදුකෙරෙන්නේ අනුරාධපුර අටමස්ථානාධිපති, ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිසුමන ධම්මරක්ඛිත සිරිනිවාස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පූර්ණ අධීක්ෂණය හා අනුශාසනා පරිදිය.

කෘෂිකර්ම අමාත්‍යාංශය හා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් උතුරුමැද පළාත් සභාව ප්‍රමුඛ රජයේ විවිධ දෙපාර්තමේන්තු, සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතනවලද අනුග්‍රහය ඇතිව සමස්ත ලංකාවාසී ගොවි ජනතාවගේ ආශිර්වාදාත්මක සහභාගිත්වයෙන් හා රජයේ පූර්ණ අනුග්‍රහයෙන් 2016 අපි‍්‍රයෙල් මස 9-10 දෙදින තුළඑම පුණ්‍ය මහෝත්සවය ඉතා උසස් අයුරින් සිදුකිරීමට සියලු කටයුතු සංවිධානය කර තිබේ.


පසුගිය වසරේ පැවති අලුත්සහල් මංගල්‍යයයේදී අටමස්ථානාධිපති නාහිමියන් මහා පාත්‍රය සහලින් පිරවීම සිදුකළ අයුරු.


ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය වසරේ පැවති අලුත් සහල් මංගල්‍යයේදී ආදිවාසී නායක විසින් අටමස්ථානාධිපති නාහිමියන් වෙත මී පැණි පූජා කළ අයුරු.

එම මංගල්‍යයේදී නියමිත නැකත් දිනට පෙර දින 05 ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ සමීපයේ සර්වරාත්‍රික පිරිත් දේශනයක් පැවැත්වේ. ඒ සමගම අලුත් සහල් රැස් කරනු ලබන රන් ආලේපිත පිත්තල පාත්‍රය (මහා පාත්‍රය) වැලිමළුවේ පාවාඩ මත, උඩුවියන් යට මහත් ගෞරවයෙන් තැන්පත් කෙරේ. සාමාන්‍ය දින වලදී මෙම මහා පාත්‍රය බෝධින් වහන්සේගේ විහාර මන්දිරයේ තැන්පත් කර තිබේ. මෙම පාත්‍රය මහ බෝ වැලි මළුවේ තැන්පත් කිරීම අටමස්ථානාධිපති නාහිමියන්ගේ අනුශාසනා මත පෞරාණික වත් පිළිවෙත් නොපිරිහෙලා ඉටුකරමින් බෝමළුව පරම්පරාවේ භික්ෂූන් වහන්සේලා විසින් සිදුකරනු ලබයි. ඒ අවස්ථාවේදී ශ්‍රී මහා බෝධින් වහන්සේට සම්ප්‍රදායිකව රාජකාරි කරන අය විසින් ශබ්ද පූජා පවත්වති.

10 වෙනි දින අලුයම එළඹෙන නැකත් හෝරාවේදී බෝධීන් වහන්සේගේ සතර වාහල්කඩ කිරි ඉතිරවීම මංගල්‍යය සිදු කෙරේ. ඒ සඳහා සැරසිලි කළ නැවුම් මුට්ටි සහ අගිල්, සඳුන් වැනි සුවඳ දර වර්ග ගනු ලැබේ’. ශබ්ද පූජා මැද කිරි උතුරවනු ලබන්නේ පිරුවට ඇඳගත් පුරුෂ පක්ෂයේ අය විසිනි. එසේ පිළියෙල කර ගන්නා කිරි ආහාරය ජය ශී‍්‍ර මහා බෝධින් වහන්සේට මහත් ගෞරවයෙන් පූජා කෙරේ.

ඉන්පසුව දස දෙසින් පැමිණ සිටින රටට බත සපයන ගොවි, ගෙවිලියන් සහල් පිරවූ මැටි පාත්‍රා ද අතැතිව අනුරාධපුර සිංහකණුව සිට විසිතුරු මහපෙරහරෙන් ජය ශ්‍රී මහා බෝ මළුව වෙත පැමිණෙති. ඔවුහු උඩුවියන් යටින් රැගෙන එන සිය කෙත්වතුවල අග්‍රකොටස ශ්‍රී මහා බෝධින් වහන්සේට මහත් ගෞරවයෙන් පූජා කරති. මැටි පාත්‍රා වල පුරවාගෙන එන අලුත් සහල්වලින් මහා පාත්‍රය පුරවති.

තම කෙත් වතු සරුසාර වන්නේ ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ පිහිටාධාරයෙන් බව ගැමියෝ විශ්වාස කරති. එබැවින් දුරුතු මංගල්‍යය හෙවත් අලුත් සහල් මංගල්‍යය කෘතගුණ සැලකීමේ චාරිත්‍රයක් ලෙසද සැලකිය හැකිය. මහා පාත්‍රය අලුත් සහලින් පිරවීමෙන් පසු දවල් මහා සංඝරත්නය විෂයෙහි සපිරිකර මහා සංඝගත දක්ෂිණාවක් පිරිනැමේ.

 

 මැදින් අමාවක පෝය

අපේ‍්‍රල් 06 වනදා බදාදා අපර භාග 08.36 ට ලබයි. 07 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 04.53 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අපේ‍්‍රල් 07 වනදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය අපේ‍්‍රල් 14 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අප්‍රේල් 07

First Quarterපුර අටවක

අප්‍රේල් 14

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 21

Second Quarterඅව අටවක

අප්‍රේල් 30

 


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]