Print this Article


මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ

මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ

චරිතාපදානය-7

මෙරට මෑත ශාසන ඉතිහාසයේ සුපේෂල ශික්ෂාකාමී හිමිනමක් වූ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ චරිතාපදානය බුදුසරණ පුවත්පතට සම්පාදන කිරීම සඳහා තොරතුරු සැපයීමට මඟ පෙන්වන්නේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහ නායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහ නාහිමියන්ය.

මාදුළුවාවේ සෝභිත හිමියන් ප්‍රමුඛ මහා සංඝ රත්නය සිංහල බල මණ්ඩලයේ මෙහෙයවීමෙන් කොළඹ බෞද්ධ මහා සම්මේලනයේ පැවැති සමුළුවේදී මුහුණ දුන් මෙරට ඉතිහාසයේ කලු පැල්ලමක් ඇති කළ සිදුවීම ගැන අපි පසුගිය කලාපයෙන් කතා කෙළෙමු. රටේ අකටයුත්ත, අසාධාරණය කොතැනද එතැන නිරතුරුවම නැඟී සිටි සෝභිත හිමියන් මුහුණ දුන් එඩිතරව නොබියව ඉදිරියට ආ තවත් සිදුවීමක් වාර්තා වන්නේ 1983 වසරේ යාපනෙයේදි රණවිරුවන්ට සිදුවූ හදිසි තත්ත්වයක් ගැනයි. ඒ අවස්ථාවේ රණ විරුවන්ට නිසි ගෞරවය ලබා දෙනු පිණිස සෝභිත හිමියන් ප්‍රමුඛ භික්ෂූන් වහන්සේ වැඩම කළද උන් වහන්සේට රෝහලට පවා යාමට ඉඩ ප්‍රස්තාව ලබා නොදුණි. එම අවස්ථාවේදී සෝභිත හිමියන් භික්ෂූන් පෙරටු කරගෙන ඊට එරෙහිව පෙළපාලියක් යන්නට විය. එහිදී ද උන් වහන්සේට දැඩි තාඩන පීඩන එල්ල විය. .

පෙළපාලිය ඇස් වාට්ටුවට ආසන්න වෙද්දී එම ස්ථානයට පැමිණි සහකාර පොලිස් අධිකාරී නිලධාරියා දැඩි ආවේගයෙන් පෙළපාලි යාම තහනම් බවත් ගියොත් වෙඩි තබන බවත් මහ හඬින් දැනුම් දුන්නේය. එහෙත් සෝභිත හිමියන්ගේ ගමන නතර කරන්නට ඒ හඬට නොහැකි විය. අඩි කිිහිපයක් උඩ පැන ඉදිරියෙන් ආ සෝභිත හිමියන්ට හා ඉත්තෑපාන නාහිමි යන්ට වෙඩි තබන ලෙසනියෝග දුන්නේය. පොලිස් නිලධාරීහු වෙඩි තැබූහ. සෝභිත හිමියන්ගේ කන ළගින් වෙඩි උණ්ඩ ඉගිල ගියේය. මේ වෙඩි තැබීමෙන් කිහිප දෙනෙක් මිය ගියහ. සෝභිත හිමියන්ගේ ගමන වෙඩි තැබීමෙන් නවතාලිය නොහැකි විය.

යළි මෙවන් බිහිසුණු සිදුවීමකට සෝභිත හිමියන් මුහුණ දුන්නේ 1987 වසරේදීය.

මැයි රැලිය පැවැත්වීම තහනම් කර තිබීම නිසා උද්ගතවූ තත්ත්වයයි.

එහෙත් උතුරේ මැයි රැලි පැවැත්වීමට කිසිදු බාධාවක් නොවීය. අවශ්‍ය නම් මැයි 2 වැනිදා මැයි රැලි පැවැත්වීමට ඉඩ දී තිබුණි. එහෙත් මේ අයුක්තියට හිස නොනැමීමට සෝභිත හිමියෝ ප්‍රමුඛ මහා සංඝරත්නය තීරණය කළහ. එදින මැයි දින උත්සවය නාරාහේන්පිට විහාරස්ථානයකදී පැවැත්වීමට තීරණය කර තිබුණි. ඒ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කෙළේ මවුබිම සුරැකීමේ සංවිධානයට නායකත්වය ලබා දුන් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, හැඩිගල්ලේ පඤ්ඤාතිස්ස හිමි හා අයුක්තියට සැමදා එරෙහි වූ මාදුළුවාවේ සෝභිත හිමියන්ය.

එදින උදෑසන සිටම නාරාහේන්පිට විහාරස්ථානය අසල පොලිස් නිලධාරීන් සැරිසරන්නට විය. පස්වරු 1.00 පමණ වන විට විහාරස්ථානය වට කරගෙන පොලිස් නිලධාරීහු බලා සිටියහ. පස්වරු 2.00 පමණ වන විට සෝභිත හිමියෝද එම ස්ථානයට වැඩම කළහ.

මැයි රැලි රැස්වීම ආරම්භ වූයේ පස්වරු 2.00ට පමණය. ඒ සඳහා විහාරස්ථානයේ අතුරු සිදුරු නැතිව ගිහි පැවිදි පිරිස් රැස්ව සිටියහ. ගොවි, කම්කරු, ශිෂ්‍ය ඇතුළු විශාල ගිහි පිරිස් දැඩි පීඩා විඳීමින් එහි පැමිණ සිටියහ. විහාරස්ථානය වටා සිටි අතිවිශාල පොලිස් නිලධාරීන්ට නායකත්වය ලබා දුන්නේ පොලිස් නිලධාරිවරයෙකි.

රැස්ව සිටි පිරිස පන්සිල් හි පිහිටවා සෙත් පිරිත් සජ්ඣායනා කොට මැයි දින කතා ආරම්භ විය. පළමු කතාව යෙදී තිබුණේ මාදුළුවාවේ සෝභිත හිමියන්ටය.

උන් වහන්සේ දැඩි වේදනාවකින් කතා කෙළේ 80වැඩ වර්ජකයන්ගේ රැකියා අහිමි කිරීම ගැනය. පසුව මැයි රැලි තහනම් කිරීම ගැනද උන් වහන්සේ දැඩි ආවේගයකින් කතා කළහ. පන්සල වට කර පොලිස් නිලධාරීන් යෙදීම ගැනත් කදුළු ගෑස් ප්‍රහාරක සේනාංක යෙදීම ගැනත් උන් වහන්සේ දැඩි දෝෂ දර්ශනයට ලක් කළහ. භික්ෂූන් වහන්සේ දෙසට එල්ල කරගෙන සිටින තුවක්කු ත්‍රස්තවාදීන් දෙසට හරවන ලෙසද උන් වහන්සේ පොලිස් නිලධාරියාට අභියෝග කළහ.

තවත් කතා කිහිපයකින් පසුව පිරිස සාමකාමිව විහාරස්ථානයෙන් පිටව යන්නට විය. එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් පිරිස වටකරමින් කලබලකරන්නට විය. විහාරස්ථානයටද කදුළු ගෑස් ප්‍රහාර එල්ල කරන ලදී. පිරිස සීසී කඩ දුවන ලදී.

ඒත් සමඟම උසස් පොලිස් නිලධාරියාගේ අණ පරිදි පොලිසිය වෙඩි තබන ලදී. එයින් නොනැවතුණු පොලිස් නිලධාරීහු බැටන් පොලු වලින්ද පහර දුන්හ. සෝභිත හිමියන්ගේ හිස ළගින්, කන ළගින් වෙඩි උණ්ඩ ඉගිල ගියේය. වෙඩි තැබීම නතර කරන්නැයි භික්ෂූන් වහන්සේ ඉල්ලා සිටියත් නතර නොවීය. පොලිස් වෙඩි ප්‍රහාරවලින් බොහෝ දෙනෙකු තුවාල ලැබූ අතර වෙඩි වැදුණු පිරිස් රෝහලට ගෙන යාමට හෝ ඉඩ ලබා දුන්නේ නැත.

වෙඩි ප්‍රහාර ලැබූ එක් පුද්ගලයකුගේ හිසට තුවාල වී තිබූ බවත් සිවුරෙන් පටියක් ඉරා ඒ පුද්ගලයාගේ හිස එක්කොට බැඳ රෝහලට ගෙන යාමට උත්සාහ කළද අකාරුණික බව නිසා ඔහු රෝහලට ගෙන යාමට නොහැකි වූ බවත් ඒ පුද්ගලයා භික්ෂූන් වහන්සේගේ දෑත මතම මිය ගිය බවත් සෝභිත හිමියන් නිරතුරුව සංවේගයෙන් සිහි කළ සිද්ධියකි.

විහාරස්ථානයේ ඝණ්ඨාරය දිගින් දිගටම නාද වීමත් සමඟ අවට සිටි පිරිස් කඩිනමින් පන්සල වෙත දිව එන්නට විය. එහෙත් ඒ වන විට විහාරස්ථානය දෙසට වාහන ඒම නතර කර තිබුණි. අසල්වාසී පිරිස් පැමිණ වතුර බාල්දි ගෙනවිත් විහාරස්ථානයට කදුළු ගෑස් වැදුණු පිරිසට සහන සලසන්නට විය. ඒ අතර නාරාහේන්පිට ප්‍රදේශයේ පිරිස් දිගින් දිගටම පොලිසියට විරෝධය පළ කරමින් පැමිණි නිසා තව තවත් පොලිස් නිලධාරීන් පැමිණෙන්නට විය.

සෝභිත හිමියන් මේ සියල්ල මැද ජනතාව වෙනුවෙන් ඉදිරියට වැඩම කළහ.

උන් වහන්සේ පොලිස් අත් අඩංගුවට පවා පත් වූහ. දින හතරක් පමණ රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරිණි. එතැනින් පසු උන් වහන්සේගේ රට වෙනුවෙන් යන ගමන නතර වීද ?

ඊළග කලාපයෙන් ඒ ගැන කියවමු.


පසුගිය සතියෙන් - මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ - චරිතාපදානය-6